IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තේරීම් කාරක සභා වාර්තාවට කැබිනට් රැස්වීමේදී ජනපති දොස් කියයි

ජනාධිපතිවරණයට ඇත්තේ තවත් හරියටම දින දහතුනකි. එය සති දෙකටත් අඩු කාලයකි. ඒ නිසාම දේශපාලන කරළියද මේ වනවිට තිබෙන්නේ ගිනියම් වෙමිනි. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම කරට කර සටනක් දෙමින් රටපුරා යමින් සිටින්නේ දිනපතා පැවැත්වෙන රැස්වීම් ඇමැතීම වෙනුවෙනි. ලබන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය ගල උඩ සටනකි. පරදින කෙනා කවුරුන් වුවද දේශපාලන වශයෙන් ඇතිවිය හැකි තත්ත්වය බරපතළ විය හැකිය.


ජපානයේ නිල සංචාරයක නිරතවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සති අන්තයේ දිවයිනට පැමිණියේය. ජපානයේ නව අධිරාජයා ලෙස පත්වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට නරුහිතෝ අධිරාජ්‍යයාගේ ඇරයුම මත සහභාගිවූ ජනාධිපතිවරයා දින 5ක් දිවයිනෙන් බැහැරව සිටියේය. ගිය ඉරිදා යළි දිවයිනට පැමිණි ජනාධිපතිවරයා සඳුදා හැන්දෑවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මහගමසේකර මාවතේ සිය නිල නිවෙසට කැඳවූයේ මැතිවරණ ව්‍යාපාරයේ වත්මන් තත්ත්වය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධාන කටයුතු ආදිය ගැන සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙනි. ඊට ශ්‍රීලනිපයේ වැඩ බලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මහලේකම් දයාසිරි ජයසේකර, සන්ධාන මහලේකම් මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන අය සහභාගි වූහ.


ජනාධිපතිවරයා මුලින්ම විමසා සිටියේ ගෝඨාභයගේ ඡන්ද ව්‍යාපාරය ගැනය. අමරවීරත් දයාසිරිත් ඒ ගැන පැහැදිලි කරමින් කීවේ ගෝඨාභයගේ මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු හොඳින් කරගෙන යන බවය. ශ්‍රීලනිපයේ අයද එම රැස්වීම්වලට සහභාගි වන බවත් ඊට අමතරව ශ්‍රීලනිපය ද වෙනම රැස්වීම් පවත්වමින් ගෝඨාට සහාය දෙන බවත් ඔව්හු කියා සිටියහ. අනතුරුව කතාබහට ලක්වූයේ ශ්‍රීලනිපය පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ එක්ව පිහිටුවීමට යෝජිත සන්ධානයේ ගිවිසුම ගැනය. එය බ්‍රහස්පතින්දා අත්සන් කිරීමට කටයුතු යොදා ඇතැයි අමරවීරත් දයාසිරිත් කියා සිටියහ.


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කරන්නට යන්නේ කුමක්දැයි යන්න ගැනද මේ හමුවේදී සාකච්ඡාවට ලක්විය. අමරවීර කීවේ එතුමිය ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානය නමින් සංවිධානයක් අටවාගෙන එජාපයට සහාය දෙන්නට යන බවට ආරංචි ලැබී ඇති බවය. ඒ සඳහා එජාප​ෙය්ද සහායෙන් සෙනග ගෙනැවිත් කොළඹදී ලබන 5 වැනිදා සමුළුවක් පවත්වන්නට යන බව දයාසිරි කීවේය. ශ්‍රීලනිපය පක්ෂයක් ලෙස ගෝඨාභයට සහාය දෙන්නට තීරණය කර තිබියදී චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය කරන්නට යන කටයුත්ත ගැන ජනාධිපතිවරයා සිටියේ අප්‍රසාදයෙනි. එවැන්නක් සිදුවුවහොත් ඊට මුහුණ දෙන ආකාරය ගැනද එහිදී පක්ෂයෙ නායකයන්ගේ අවධානය යොමුවිය.


සති දෙකකට පසුව කැබිනට් රැස්වීම ගිය අඟහරුවාදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවැත්විණි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. කලින් සතියේ කැබිනට් රැස්වීම නොපැවැත්වූයේ ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයකට ගොස් සිටි බැවිනි. මෙවර කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබූ පත්‍රිකා තුනක් දීර්ඝ ලෙස කතාබහට ලක්වූයේ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්වූ විවිධ මතිමතාන්තර හේතුවෙනි. ඉන් එකක් එම්.සී.සී. හෙවත් සහශ්‍ර අභියෝගතා සහයෝගිතා ගිවිසුම සම්බන්ධයෙනි. එය ඇමරිකාව සමඟ අත්සන් කිරීමට නියමිත ගිවිසුමකි.


මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 485ක මුදලක් ප්‍රදානයක් ලෙස ලැබිමට නියමිතය. ඒ මෙරට ඉඩම් මැනීමේ ප්‍රතිසංස්කරණ කටයුතු හා බස්නාහිර ප්‍රවාහන ව්‍යාපෘතිය නවීකරණය වෙනුවෙනි. එම මුදල පරිත්‍යාගයක් වුවද එය ලබා ගැනීමට ඇමරිකාව සමඟ ගිවිසුමකට අස්සන් කළ යුතුය. මේ යෝජනාව මාස හත අටක සිටම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ නමුත් එය සම්මත නොවූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට දැඩි විරෝධය පළ කිරීම හේතුවෙනි. ආණ්ඩුව මේ ගිවිසුම අස්සන් කළ යුතු බව දැඩිව කීවේය.


ඒ අනුව ගිය අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමටද යෝජනාව නැවත ඉදිරිපත් කර තිබිණි. අගමැතිවරයාත් මුදල් ඇමැති මංගල සමරවීරත් කීවේ මෙය අස්සන් කළ යුතුම බවය. එහෙත් ජනපති මෛත්‍රී සුපුරුදු ලෙසම ඊට අකමැත්ත පළ කළේය. එහෙත් ඔහු කලින් මෙන් ඊට විරුද්ධ නොවූයේ තව දින කිහිපයකින් ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යන නිසා ආණ්ඩුව සමඟ අලුත් ගැටුමක් ඇති කර ගත යුතු නැති බැවිනි. ජනාධිපතිවරයා කීවේ මේ ගිවිසුමට අත්සන් කිරීම කොන්දේසි ගොඩකට යටත්වීමක් බවය. එහෙත් අගමැතිවරයාත් අැමැති මංගලත් කීවේ එවැනි තත්ත්වයක් ඇති නොවන බවය. මෙය ශ්‍රී ලංකාවට ලැබෙන වාසියක් බව ඔවුහු කියා සිටියහ. ඇමැති මණ්ඩලයේ අනුමැතිය මේ සඳහා කඩිනමින් නොදුන්නොත් ඇමරිකානු ඩොලර් මිලියන 485 නොලැබී යන්නට ඉඩ ඇති බව අගමැතිත් මංගලත් කියා සිටියහ.


අලුතින් පත්වන ජනාධිපතිවරයාට ඕන නම් මේක අස්සන් කරන්න පුළුවන්. නැතිනම් නිකන් ඉන්න පුළුවන්. ඒත් මේක අස්සන් කරනවා කියල අපි තීන්දුවක් අරගෙන දන්වන්න ඕන. මංගල කීවේය. ජනාධිපතිවරයා ඊටද එකඟ නොවීය. බැරිම තැන ජනාධිපතිවරයා කීවේ අලුතින් ජනාධිපතිවරයකු පත්වන තුරු මෙය අස්සන් නොකරන බවට වන කොන්දේසිය මත අනුමත කළ හැකි බවකි. ඒ අනුව කැබිනට් මණ්ඩලය ගිවිසුම අනුමත කළේය. එතනින් නොනැවතී කැබිනට් මණ්ඩලය රැස්වීම අවසන් වූ වහාම මුදල් අමාත්‍යාංශය විශේෂ නිවේදනයක්ද නිකුත් කරමින් කීවේ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අස්සන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණ බවය.


ඊළඟට සාකච්ඡාවට ගැනුණු කැබිනට් පත්‍රිකාව වූයේ කුලියාපිටියේදී මුල්ගල් තැබුණ ෆොක්ස් වැගන් කර්මාන්ත ශාලාව වෙනුවට අලුතින් ආයෝජන ව්‍යාපෘතියක් ගෙන ඒම වෙනුවෙන් මලික් සමරවික්‍රම ඇමැතිවරයා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවකි. ඒ සඳහා නිරික්ෂණ ඉදිරිපත් කිරීමට කල් අවශ්‍ය බව මංගල කීවේය. ඊට විරෝධය පළ කළේ අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයාය. ඔහු කීවේ මුදල් අමාත්‍යාංශය අවුරුදු හතරක් තිස්සේම මෙය ප්‍රමාද කරන බවය. රාජිත සේනාරත්නද අකිලගේ අදහස අනුමත කරමින් කතා කළේය.


ආන්දෝලනයට ලක්වූ ඊළඟ කරුණ වූයේ පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාවය. එය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබිණි. වාර්තාව දුටු ජනාධිපතිවරයාට යකා නැග්ගේය. මේ වාර්තාව මම කිසිසේත් පිළිගන්නෙ නැහැ. මේක තනිකරම දේශපාලන වශයෙන් ඉදිරිපත් කරපු ද්වේශ සහගත ලියවිල්ලක්. මේ​ෙක දේශපාලන අරමුණක් තියෙන්නෙ. ඒ නිසා මට මේකට එකඟ වෙන්න බැහැ. අනෙක මේ වාර්තාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා කියලා කියන්නත් එපා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා කියල විතරක් කිව්වට කමක් නැහැ. එහෙම නැතිව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණු ලියවිල්ලක් විදිහට සළකන්නත් එපා. ජනාධිපතිවරයා කියද්දි සියලු දෙනා මුහුණට මුහුණ බලා ගත්තා මිස කිසිවක් කියන්නට ගියේ නැත.



අදහස් (0)

තේරීම් කාරක සභා වාර්තාවට කැබිනට් රැස්වීමේදී ජනපති දොස් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31295 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13493 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10995 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 104 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 930 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site