IMG-LOGO

ගෝඨා - මහින්ද - මෛත්‍රී මුහුණට මුහුණ හමුවක

 

සුළි කුණාටුවක් සේ තිබූ දේශපාලන කරළිය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බවක් පෙනෙන්නට තිබේ. ඇතැම්විට කැලඹිලි සහගත තත්ත්වයක්ද නැතිවා නොවේ. එහෙත් සමස්තයක් ලෙස ගත්කල ආණ්ඩුව පාර්ශ්වයේ දේශපාලන කරළිය නිවුණු ස්වභාවයක් ගෙන තිබේ. එහෙත් විපක්ෂය පැත්තෙන් බැලූ කල ඒ දේශපාලන කරළිය ඇත්තේ කැලඹිලි සහගත තත්ත්වයක බව පැහැදිලිය. විපක්ෂ නායකකම පිළිබඳ අර්බුදය නිමාවට පත්වුවද, එජාප නායකත්වය පිළිබඳ අර්බුදය තවමත් විසඳී ඇති බවක් පෙනෙන්නට නැත. එජාපයේම පිරිස දෙපිලකට බෙදී ඒ ගැන වාද විවාද කරගනිමින් සිටින්නේ ආණ්ඩුවේ දේශපාලන ගමන්මගට ඔක්සිජන් සපයමිනි.


ගිය සතියේ සඳුදා හැන්දෑවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී විශේෂ මංගල උත්සවයක් පැවැත්වුණේ අතිවිශේෂ ප්‍රභූන් රැසකගේ සහභාගීත්වයෙනි. මනාලිය වත්මන් රජයේ උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ වැඩිමහල් දියණිය වන රන්දුලා ගුණවර්ධනයි. මනාලයා ව්‍යාපාරික පවුලකට සම්බන්ධ ගිහාන් ද සිල්වාය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කථානායක කරු ජයසූරිය, හිටපු විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුද මැති ඇමැතිවරු පිරිසක් ද මාලනි ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, ස්වර්ණා මල්ලවආරච්චි ඇතුළු කලාකරුවෝ පිරිසක් ද මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ද ව්‍යාපාරිකයන්, පුවත්පත් කතුවරුන් ඇතුළු පිරිසක් ද මංගල උත්සවයට එක්වී සිටියහ.


කථානායක කරු ජයසූරිය මහතා ප.ව. 6.30 පමණ වෙද්දී හෝටලයට පැමිණ සිටි අතර, හිටපු විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඉන් ටික වේලාවකට පසුව පැමිණියේය. අගමැති මහින්ද රාජපක්ෂ මහතාත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අනතුරුව පැමිණි අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඉන් ටික වේලාවකට පසුව පැමිණියේ සිය බිරිය අනෝමා රාජපක්ෂ මහත්මිය ද සමගිනි. කථානායක කරුත්, රනිල් වික්‍රමසිංහත් නව යුවළට සුබ පතා කල්වෙලා ඇතිවම පිටත්ව ගිය අතර ගෝඨාභයත්, මහින්ද හා මෛත්‍රීත් බොහෝ වෙලාවක් රැඳී සිටියේ ආගිය තොරතුරු ද කතාබහ කරමිනි. ගෝඨාත්, අයෝමා රාජපක්ෂත්, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා සහ දිනේෂ් ගුණවර්ධනත්, බන්දුල සහ ඔහුගේ බිරිය තමරා ගුණවර්ධනත් එකම මේසයේ වාඩි වී කතාබහ කරමින් සිටියහ. පිරිස කතාබහ කරන අතරේ ඇමැති බන්දුල අනෙකුත් මේසවලට ද ගොස් ආරාධිත අමුත්තන් සමග කතාබහ කරමින් සිටිනු දක්නට ලැබිණි.


මහින්දත්, මෛත්‍රීත් එක ළඟ වාඩි වී කතාබහ කරමින් සිටි අතර, මැති ඇමැතිවරුන්ද කලාකරුවන් ද වරින් වර පැමිණ ජනාධිපතිවරයා සමග කතාබහ කරනු දක්නට ලැබිණි. රාත්‍රී 9.30 පමණ වෙද්දී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සුප් එකක් ද බී නව යුවළට සුබපතා පිටත්ව ගිය අතර, ගෝඨාත්, මහින්දත් රාත්‍රී ආහාරය ද ගෙන පිටව ගියේ බොහෝ වේලාවක් සිටීමෙන් අනතුරුවය.


මේ අතර, බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා එදින මංගල උත්සවය හමාර වී රාත්‍රියේම බංග්ලාදේශය බලා පිටත්ව ගියේ කලින් යොදාගත් විදේශ සංචාරයක් හේතුවෙනි. ආසියා සහ අප්‍රිකා රටවල ධරණීය සංවර්ධනය සඳහා මූල්‍ය අනුග්‍රහය පිළිබඳ සමුළුවක් බංග්ලාදේශයේ පැවැති අතර, බන්දුල එහි ආරාධිත අමුත්තෙක් විය. ඒ අනුව, විවාහ මංගල උත්සවය අවසන්වීමත් සමග බන්දුල බංග්ලාදේශය බලා පිටත්ව ගිය අතර එහි අධ්‍යාපන ඇමැතිවරිය හා තොරතුරු තාක්ෂණ ඇමැතිවරයා ද මුණගැසී ඔහු ගිය බ්‍රහස්පතින්දා සවස දිවයිනට පැමිණියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති මන්දිරයට කැඳවීය. ජනාධිපතිවරයා සිය ධුරයේ දිවුරුම් දුන් පසුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවූ පළමු අවස්ථාව එය විය. එදින රැස්වීමට කැඳවා තිබූ මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබුණේ ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් පසුව පැවැත්වෙන භෝජන සංග්‍රහයටද සහභාගිවීම සඳහා පවුලේ සාමාජිකයන්ද කැටුව එන ලෙසය.   


මුලින්ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීම ප.ව. 6.30ට පමණ ආරම්භ විය. එහි මුලසුන ගත්තේ ජනපති ගෝඨාභයය. අගමැති මහින්ද රාජපක්ෂ මහතාද මැති ඇමැතිවරු වැඩි දෙනෙක්ද ඊට සහභාගි වී සිටියහ. පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ට අමතරව ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ද වැඩි දෙනකු ඊට සහභාගි වී සිටීම විශේෂයෙන් කැපී පෙනුණි.   
මුලින්ම අදහස් දැක්වූයේ ජනාධිපතිවරයාය. සිය ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ මැති ඇමැතිවරුන්ට ස්තුතිය පළකළ ජනාධිපතිවරයා සිය ආසන බල ප්‍රදේශවල සංවර්ධන කටයුතු සඳහා මන්ත්‍රීවරුන්ට රුපියල් මිලියන 20 බැගින් හා ග්‍රාම නිලධාරී කොට්ඨාසයකට ලක්ෂ 20 බැගින් මුදල් වෙන්කර ඇති බවද කීවේය. දිසාපතිවරුන් මාර්ගයෙන් එම මුදල් වෙන්කර අැති බවත් එම වැඩ කටයුතු අධීක්ෂණය කර අඩුපාඩු ඇතිනම් නිවැරදි කළ යුතු බවත් ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට කීවේය.   


අනතුරුව කතාබහට ලක්වූයේ ලබන මස 3 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තු නව සැසිවාරය ගැනය. ඒ ගැන මුලින්ම පැහැදිලි ක​ළේ අගමැති මහින්දය. පාර්ලිමේන්තුවේ සභානායක සහ ආණ්ඩු පක්ෂ සංවිධායක ආණ්ඩුවේ පක්ෂ නායකයන් තීරණය කරන බව අගමැතිවරයා කීවේය. මේ අතර අගමැතිවරයා කීවේ පාර්ලිමේන්තු සභාවාරවලදී විපක්ෂයටද වැඩි කාලයක් ලබාදිය යුතු බවය.   


ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සියලු මැති ඇමැතිවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයට ද ආරාධනා කළේය. මැති ඇමැතිවරුන් සිය පවුල්වල සාමාජිකයන් සමග පැමිණ සිටි අතර ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ඔවුන් සමග කතාබහ කරමින් බොහොම සැහැල්ලුවෙන් සිටිනු දක්නට ලැබිණි.  



අදහස් (0)

ගෝඨා - මහින්ද - මෛත්‍රී මුහුණට මුහුණ හමුවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 99 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 642 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site