එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැනි අතිශය වැදගත් වෙනත් කරුණක් යොදාගැනුණ ද එය සිදු විය යුතුව තිබුණේ ප්‍රභාකරන්ගේ න්‍යායට අනුවය. අද සමස්ත ලෝකයම ක්‍රියාත්මක වනුයේ කොරෝනා නමැති වසංගත රෝගයට අනුරූප වන පරිදිය. බොහෝ ආගම්වල, දර්ශනවල ඉගැන්වීම්, දිරිගැන්වීම් පමණක් නොව සාහිත්‍යයද අභියෝගයට ලක් වෙමින් තිබේ. සමස්ත ලෝකයම කොරෝනා වසංගතයට මුහුණ දී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත. එයට මුහුණ දෙන ආකාරය ගැන රාජ්‍ය මට්ටමින් නොයෙකුත් වාද විවාද හා සම්මන්ත්‍රණ පැවැත්වෙමින් තිබේ. 


බොහෝ රටවල් මෙහෙය වන නායකයෝ එයට එහා ගොස් ක්‍රියාකාරී ප්‍රායෝගික පියවර ගනිමින් සිටිති. මේ සටහන තබන මොහොත වන විට මෙම ව්‍යසනයෙන් පුද්ගලයන් 6036 ක් පමණ දැනට මියගොස් ඇති අතර එම වෛරසය ශරීරගතව රෝගය ආසාදනය වී ඇති බවට 158,844 ක් හඳුනාගෙන ඇතැයි වාර්තා වේ. මුලින්ම චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් මෙය වාර්තා වූ අතර එම පළාත වසා දැමීමට එහි බලධාරීහු කටයුතු කළහ. එහි ශ්‍රී ලාංකිකයන් පිරිසක් කොටු වී සිටි නිසා අපේ රටට ද ප්‍රශ්නය බලපෑවේය. එහෙත් ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වූ අපේ බලධාරීහු ගුවන් යානාවක් යවා එම පිරිස නිරුපද්‍රිතව මෙරටට  රැගෙන අවුත් නිරෝධායන ක්‍රියාවලියට යොමු කළහ. මේ වන විට ඒ අය සිය නිවෙස්වල වාසය කරති. චීනයෙන් අසල්වාසී දකුණු කොරියාවටත් දුර ඈත පිහිටි ඉතාලිය, ඉරානය වැනි රටවලටත් මෙම රෝගය පැතිරී ගියේය. එය කෙතරම් සීඝ්‍ර ව්‍යාප්තියකට ගොදුරුව ඇද්දැයි කියතොත් මේ වන විට රටවල් සියයකින් පමණ රෝග ආසාදිතයන් හමු වී ඇතැයි වාර්තා වේ. ලංකාවේද පළමු කොරෝනා ආසාදිතයා මේ වන විට හඳුනා ගෙන ඇත.


මහා මැතිවරණය අත ළඟටම පැමිණ ඇති අවස්ථාවක් නිසා අපේ රටේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුට තබා නායකයන්ටවත් මේ වසංගත රෝග ගැන අවධානය යොමු කිරීමට ඇති ඉඩකඩ බොහෝ අඩුය. 


සමස්ත ලෝකය පුරා සිටින මුස්ලිම් බැතිමතුන් නොබෝ දිනකින් හජ්ජි උත්සවය පැවැත්වීමට නියමිතය. ලොව පුරා සිටින මුස්ලිම්වරු ලක්ෂ ගණනින් ඔවුන්ගේ ශුද්ධ වූ නගරය වන මක්කමට රැස්ව මෙම හජ් වන්දනාවට සහභාගී වෙති. මුස්ලිම්වරුන් සිටින සෑම රටකින්ම වන්දනාකරුවෝ මක්කමට ගලා එති. මේ මහා ජන සන්නිපාතය ඒකරාශී වීම කොරෝනා වෛරසය පැතිර යාමට රුකුලක් වනු ඇතැයි අදහස් කළ සවුදි අරාබි රජය හජ් උත්සවය මෙම වසරේ නොපැවැත්වීමට තීරණය කර ඇත. හින්දු ජනයා බහුතරයකින් සුසැදි ඉන්දියාවේද මෙම රෝගය ආසාදිත පුද්ගලයන් කීප දෙනෙකු හමු වී ඇත. හින්දු භක්තිකයන්ගේ හෝලි උත්සවය මහා රාශ්ට්‍ර ප්‍රාන්තය කේන්ද්‍ර කර ගනිමින් රට පුරා පැවැත්වෙන මෙම මහා උළෙලකි. කොරෝනා උපද්‍රව්‍ය හේතුවෙන් මෙම හෝලි උළෙල අත්හැර දැමීමට ඉන්දියානුවෝ පෙළඹුනාහ. 


ආගම නිසා ආණ්ඩු පෙරළන පමණට උණ පවතින ඉන්දියාව වැනි රටක මෙවැනි තීන්දුවක් ගෙන ඇත්තේ බැරිම තැන බව නොකිවමනාය. බෞද්ධයන්ගේ අතිශය ගෞරව නමස්කාරයට බඳුන් වන සිද්ධස්ථානය වන්නේ සිදුහත් මහත් බෝසතාණන් වහන්සේ බුදු බව අත්කර ගත් බුද්ධගයා මහ පුද බිමයි. කුලපුත්‍රයෙකු විසින් තම ජීවිත කාලය තුළ වැඳ පුදා ගතයුතු අට මහා පුදබිම් අතරින් එකක් වනුයේ මෙම ස්ථානයයි. දැන් කොරෝනාවේ සීඝ්‍ර ව්‍යාපෘතිය ගැන සලකා බොදු දනන්ගේ මුදුන් මල්කඩ වන බුද්ධගයාව වන්දනාවට යාම නීතියෙන් තහනම් කර තිබේ. 


ලෝකයේ කුඩාම රාජ්‍යය වන්නේ වතිකානු රාජ්‍යයයි. කතෝලික ජනතාවගේ ආධ්‍යාත්මික නායකයාණන් ලෙස සැලකෙන පාප්තුමාගේ පාලනය යටතේ පවතින මෙම ප්‍රදේශය තුළ පිහිටි මහාදේව මන්දිරය බැසිලිකාව නමින් හැඳින්වේ. පාප් වහන්සේගේ වාසස්ථානය ද වූ මයිකල් ඇන්ජිලෝ නම් දක්ෂ චිත්‍ර ශිල්පියාගේ චිත්‍ර වලින් ඔප් නැංවුණු මෙම පුද බිමට යාමට කිසිදු කතෝලික බැතිමතෙකුට දැන් ඉඩ කඩක් නොමැත. එය අද ඉතාලි සංයුක්ත රාජ්‍යයේ කොටසක්ව පවතින නිසාත් කොරෝනා වෛරය පැතිරයාම වැළැක්වීම සඳහා එහි පළාත් නවයක් වසා දමා ඇත්තේය. මධ්‍ය කාලීන යුගයේ සිට පැවත එන සිරිත් විරිත් පාලන සම්ප්‍රදායන් සහ ආගමික ඉගැන්වීම්වලට තෝතැන්නක් වූ ඉතාලිය අද තුන් බිය පැතිරුණු විශාලා මහනුවරක සිරිය ගෙන තිබේ. දෙවියන් විසින් මිනිසා පාපයෙන් ගලවාගෙන ස්වර්ග රාජ්‍යය කරා මෙහෙය වන බව ආගමික ඉගැන්වීම්වල සඳහන් වේ. දෙවියන්වහන්සේ තම ඒක ජාත පුත්‍රයා ලෝක සත්ත්වයාගේ ගැලවීම උදෙසා මිනිස් වෙසින් මනු ලොවට එව්වේ එම උතුම් සද්කාර්යය සඳහායි. දේව පණිවුඩය කුමක් වුවත් පසුකාලීනව මිනිස් සමාජය තුළ ධනය, බලය සඳහා වූ තණ්හාව, මිනිසා විසින් මිනිසා සූරා කෑමේ අදාන්ත පාලනය සහ කෲර අවි නිෂ්පාදනය, වෙළෙඳාම සහ තමන්ගේ  තාවකාලික සුඛවිහරණය උදෙසා වර්තමාන මෙන්ම අනාගත පරම්පරාවල ද උපන් සහ නූපන් දරුවන් උදෙසා ආරක්ෂා විය යුතු පරිසරය විනාශ කිරීම ආදී මිනිස් ක්‍රියාකාරකම්වලට ලැබුණු දේව දඬුවමක් ලෙස මෙවැනි ව්‍යසනයක් සිදුවීද යන සැකය ද අවඥාවෙන් බැහැර කළ නොහැක. අද රාජ්‍ය නායකයන් අතට අත දීමෙන් වැළකී සිටීමට උත්සාහ කරති. 

 

 


ලෝකයේ විශාලම ක්‍රීඩා උත්සවය ලෙස සැලකෙන ඔලිම්පික් මහා ක්‍රීඩා මංගල්‍යය. මේ වසරේ පැවැත්වීමට නියමිතය. එය නවතා දැමීම හෝ කල් දැමීම ගැන තවමත් තීරණයක් ගෙන නැතත් ඒ පිළිබඳව අදහස් මතු වෙමින් තිබෙන බව මාධ්‍ය වාර්තා පළවේ. ලෝකයේ රටවල් සිය ගණනකින් කොරෝනා වෛරස් ආසාදිතයන් හමු වී ඇතැයි ප්‍රකාශයට පත්ව ඇතැයි නිල වශයෙන් නිවේදනය වී ඇතැයි කියවෙන පසුබිමකදී සකල ලෝක වාසී ඉහළ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකම පිටියකට එක් රැස් කර මෙම ක්‍රීඩා මංගල්‍යය පැවැත්විය හැකි ද යන සැකය බලධාරීන්ගේ මනසට නැගීම අත්‍යන්තයෙන්ම ස්වභාවිකය. 


සමහර ආගම් සහ දර්ශන වෙතින් උගන්වා ඇති දේව කැමැත්ත හෝ දේව නියමය අනුව හෝ වේවා බුදු දහම මගින් පැහැදිලි කරන ආකාරයට ඇතිවීම සහ නැතිවීම යන සංකල්පයට යටත්ව හෝ වේවා මෙසේ කොවිඩ් 19 වෛරසය ඇතිවූවා යැයි අපි මොහොතකට පිළිගනිමු. එහෙත් ජාත්‍යන්තර තලයේ රහසින් කතා බහට ලක් වෙන තවත් අදහසක් ද තිබේ. එහෙත් එය මේ වනතුරු තහවුරු වී හෝ නිල වශයෙන් සාකච්ඡා වී නැත. එනම් ආර්ථික වශයෙන් අංක එක ළඟා වෙමින් පවතින චීනයේ ශක්තිමත් මූල්‍ය බලය අඩපණ කර දැමීමට යම් කිසි මිනිස් නිෂ්පාදනයක් වූ රසායනික අවියක් ලෙස මෙම වෛරසය එළි දුටුවාද යන මතයක් ද ජාත්‍යන්තරය තුළ මුනුමුනු ගාමින් තිබේ. එවැනි මතයක් නුදුරු දිනක දී ප්‍රසිද්ධියේ කරළියට පැමිණියහොත් අපි එයට ද පුදුම නොවන්නෙමු. 


චීනයේ පැවැති ස්වාධීන සාම්ප්‍රදායික පාලන රටාව වෙනස් කර චීන පාලනය සහ ඈත යුගයේ පවා පැවැති සමෘද්ධිමත් ආර්ථිකය බිඳ දමා එහි වාසිය තම අතට ගැනීමට බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන් විසින් චීනයට බලහත්කාරයෙන් අබින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි කරන ලද ආකාරය ඉතිහාසයෙන් පෙනෙන නිසාය. මෙම උවදුරට චීන ජනතාව කෙතරම් ඇබ්බැහිවූවේ ද යත් නිද්‍රාශීලී ජාතියක් බවට පත් වී අබින් නැතිව ඇවිදින්නටවත් බැරි කුසීත කම්මැලි ජාතියක් බවට පත් විය. යුරෝපයේ සිට චීනයට ගලා ආවේ ටොන් දහයේ පෙට්ටිවලින් බව කියවේ. අපි ඒ ඉතිහාසය ගැන මඳක් විමසා බලමු. 

 

 


ලංකාවට පෘතුගීසි සංක්‍රමණය සිදුවූවේ ක්‍රි.ව. 1505 දී බව අපේ ඉතිහාසය පෙන්වා දෙයි. එහෙත් චීනය එවැන්නකට ඉඩ තබා තිබුණේ නැත. එකම රජෙකු යටතේ චීන මහා රාජ්‍යය නොපැවතියා වුවද එම කුඩා රාජ්‍යවල පාලකයෝ තම රටට බටහිර අපල උපද්‍රව ඇතුළු කර නොගැනීමට ප්‍රවේශම් වූහ. එහෙත් ඉන්දියාවේ ගෝවේ, දමන්දියු ආදී ප්‍රදේශ තමන් යටතට ගත් පෘතුගීසීහු ලංකාවේ මුහුදු බඩ පළාත් ද අත්පත් කරගෙන සිටියහ. කෙසේ හෝ 1516 වසර වන විට පෘතුගීසීහු කැන්ටන් නුවරට ගොඩබැස සුළු වෙළෙඳ පොළක් ඇති කර ගැනීමට සමත් වූහ. එකල චීන නීතිය පිටරටවල අයට අනුව රට අභ්‍යන්තරයට ගොස් පදිංචිවීමට හෝ ව්‍යාපාර කිරීමට අවසර නොතිබුණි. නැවේ සිටම තොග වෙළෙඳුන්ට තම භාණ්ඩ අලෙවි කර ආපසු නැව පිටත් වීම පැවති ක්‍රමවේදය විය. මෙසේ ඇති වූ පෘතුගීසී - චීන ගනුදෙනු වසර හතළිහකට පසු වෙනත් මඟකට හැරුණි. 1556 වන විට ඔවුහු කැන්ටන් නගරය ආසන්නයේ පැවති මැකෝයෝ දිවයින අල්ලා ගත්හ. ඔවුන්ගේ සිතයට පැවති අපේක්ෂාව මෙසේ කරළියට පැමිණියේය. අධිරාජ්‍යවාදය ලෝකයේ ඕනෑම රටකට පැමිණියේ චක්‍රයක ආකාරයෙනි. පළමුව පෘතුගීසීහුය ඊළඟට ලන්දේසීහුය. අනතුරුව බ්‍රිතාන්‍යයෝය. ලන්දේසීහු මේ වන විට චීන කලපයේ බලවතෙක්ව සිටියේය. ලන්දේසි පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගමේ මූලස්ථානය පිහිටුවා තිබුණේ ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරය. එකල නාමය වූයේ බතාවියාවය, චීනයේ වරායක් ලබා ගැනීම සඳහා මෙකල ඔවුහු උනන්දුවක් දක්වමින් සිටියහ. එහෙත් එය කිසිදා ඉටු නොවූ අපේක්ෂාවක් විය. බ්‍රිතාන්‍යයන් චීනයේ වෙළෙඳපොළවල් ගැන උනන්දුවක් දක්වන්නට වූවේ යුරෝපයේ සිදු වූ කාර්මික විප්ලවයෙන් පසු බ්‍රිතාන්‍යයේ ඇති වූ කාර්මික නිෂ්පාදන සඳහා දැවැන්ත චීන වෙළෙඳපොළට ප්‍රවිශ්ඨ වීමේ අවශ්‍යතාව නිසාය. එහෙත් චීනයේ දැඩි නීති රීති සහ සම්ප්‍රදායික සිරිත් විරිත් නිසා එය පහසු ක්‍රියාවක් වූයේ නැත.  ඒ නිසා ආදායම් උපදවා ගැනීම සඳහා වෙනත් වෙළෙඳාම් සඳහා ඔවුන්ගේ අවධානය යොමු වූ බව සඳහන් වේ. තමන් යටතේම පාලනය වන බෙංගාලයේ මහා පරිමාණයෙන් නිපදවෙන අබින්වලට චීනුන් පුරුදු කරවා ගතහොත් මහා ධන නිධානයක් බ්‍රිතාන්‍යයට පාදා ගත හැකි වෙතැයි ඔවුහු කල්පනා කළහ.
පලමුවරට බ්‍රිතාන්‍යයෝ චීන රාජ්‍ය සේවයේ නිලධාරීන්ට අබිං භාවිතය උපක්‍රමශීලීව පුරුදු කළහ. එහි අතිබහුතරය නොබෝ දිනකින්ම අබින් නැතිවම බැරි තැනට පත්ව සිටියහ. පොලිසිය හා අධිකරණ පටිපාටියේ නිලධාරීහු ද එයට ගොදුරු වූහ. චීන අධිරාජයා අබින් භාවිතයට විරුද්ධව නොයෙක් නීති රීති පැනවුවද ඒවා ක්‍රියාත්මක කරන නිලධාරීහු අබින් ලෝලීහු බවට පත්ව සිටියහ. අබින් වෙළෙඳාම දියුණු වී බොහෝ දෙනා එයට ඇබ්බැහි කර ගත් පසු එම මත්ද්‍රව්‍ය නිසා රටේ විශාල ජනතාවක් මත් උවදුරින් මත් වී නිදාශීලීව කාලය ගත කිරීමට පුරුදු වූහ. රාජ්‍ය සේවය, පොලිසිය හා අධිකරණ සේවය ද මුළුමනින්ම අඩාල වූවේය. එපමණක් නොව ගම්බද ගොවියෝද තම නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඉවත්ව කැත්තට උදැල්ලට සමු දී නිද්‍රෝපගතව සිහින ලෝකයේ සැරි සැරූහ. ගොවි බිම් පාළුවට යන තරමට අර්බුදය උග්‍ර වූවේය. ස්වයංපෝෂිත ආර්ථික රටාවකට උරුම් කම් කී චීන දේශීය ආර්ථිකය බිංදුවට වැටුණේය.  


රජ පවුලට දුරින් ඥාතියෙකු වූ කුමාරයෙක් මෙම ජාතික ව්‍යසනය හමුවේ ඉදිරියට අවුත් ප්‍රසිද්ධ ලේඛනයක් සකස් කර අධිරාජ්‍යයාට ඉදිරිපත් කළේය. එහි කොටසක් මෙසේය. 
මේ රටේ සෑම දිස්ත්‍රික්කයකම අබින් ගුහා ඇත. මේවා සාමාන්‍යයෙන් පවත්වාගෙන යනු ලබන්නේ මහේස්ත්‍රාත්වරුන්, කොස්තාපල්වරුන් හා හමුදා භටයින් විසිනි. ප්‍රදේශයේ ධනවත් පවුල්වල සල්ලාල තරුණයින් රැස්කරගෙන රහසේ මේ දුම්බීමට පුරුදු කර ගනිති. මහේස්ත්‍රාත් උසාවිවල ලිපිකරුවන් වැඩි දෙනෙකු ද මීට ඇබ්බැහි වී ඇති හෙයින් ඔවුන්ට ආරක්ෂාව සැලසෙනු නිසැකය. මෙතැන් පටන් අවුරුද්දක් ඇතුළත අබින් බොන සියලු දෙනා මරණ දඬුවමට පත් කරන බවට දිනයක් නම් කරන ලෙස මහරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. තමාගේ ගිජුකමට ඉඩ දී පෝරකයෙහි මිය යනවාට වඩා සිය සයනයෙහි වැතිර මියයන්නට හැකි නම් කවුරුත් පිළියමින් ලැබෙන දුක් කරදර විඳ ගත යුතුය. 
එහෙත් ජාවාරම්කරුවන්ගේ සහ බ්‍රිතාන්‍යයන්ගේ අතකොළු බවට පත්ව විශාල ආදායම් ලබමින් සිටි පළාත් ආණ්ඩුකාරවරු මේ යෝජනාවට එකඟ නොවූහ. එක් එවැන්නෙක් මෙසේ පැවසූ බව සඳහන්ව තිබේ. අබින් දුම් පයිප්පයක් බීමේ වරදට මිනිසෙකුට දඬුවම් පමුණුවන්නට පටන් ගත හොත් හිර ගෙවල ඔවුනට ඉඩක් නොමැති වන හෙයින් සිරකරුවන් වීදි දිගේ සිටුවන්නට වෙයි. මේ යෝජනා නම් කිසි කාලෙකත් ක්‍රියාත්මක කළ නොහැකිය. 

 

 


අබින් ගැන සංවාදය මෙසේ පවතිද්දි චීන අධිරාජ්‍යයා පෙර සඳහන් මරණ දඬුවම් යෝජනාව අනුමත කර එය ක්‍රියාත්මක කිරීමේ වගකීම එම යෝජනාව ගෙන ආ ලින් නමැති කුමාරයා කැන්ටනයේ ආණ්ඩුකාරවරයා ලෙස 1839 මාර්තු මාසයේදී පත් කර එවුවේය. ඔහු වහාම අබින් විරෝධී සංග්‍රාමය ඇරඹීය. 


මෙසේ කැන්ටනයේ ආණ්ඩුකාරවරයා ලෙස බලයට පත් වූ ලින් කුමාරයා තමන් සතුව ඇති අබින් මත්ද්‍රව්‍ය වහාම තමාට භාර දෙන ලෙසත් එසේ නොවන්නේ නම් බලය යොදා අබින් තොග රාජ සන්තක කර අදාළ පුද්ගලයන්ට මරණීය දණ්ඩනය පමුණු වන බවටත් තරයේ අවවාද කළේය. කෙසේ වුවත් බ්‍රිතාන්‍යය පාලකයෝ තම වැසියන් සතු අබින් තොග ලින් වෙත භාර දෙන්නැයි. බ්‍රිතාන්‍යය වැසියන්ට උපදෙස් දුන්හ. ඒ අනුව විශාල පෙට්ටි විසි දහසකින් යුතු මහා පරිමාණ මත් ද්‍රව්‍ය තොගයක් ලින් වෙත භාර කරනු ලැබීය. ඔහු කළේ ටොන් විශාල ගණනක් වූ මෙම අබින් තොගය විශාල වළක් කපා එයට දමා පිළිස්සූ හුනු, ලුණු එකතු කර ගිනි තැබීය. එයින් ගලා ආ දියරය ඇළක් කපා සමුද්‍රයට එක් වන්නට ඉඩ හැරියේය. බ්‍රිතාන්‍යයෝ මෙයින් මහත් කෝපයට පත්ව කෝටි ගණනක වන්දියක් ඉල්ලා යුදවදින බවට තර්ජනය කළහ. බ්‍රිතාන්‍යයන් යටතේ පැවති මැකෝයෝ දූපත මුල් කොටගෙන හමුදා එක් රැස්වීම ද ආරම්භ වූ අතර ලන්ඩන් රාජකීය ආණ්ඩුවේ ආශිර්වාදය ඔවුන්ට ලැබුණි. 


බ්‍රිතාන්‍යය හා චීනය අතර අබින් යුද්ධය ලබන සතියේ.

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි