කාඞ් සෙල්ලමට ඇය කළ ඇරයුමට මම එතරම් කැමැත්තක් නොදැක්වූවෙමි. මන්ද කියතොත් ඇය සමග කාඞ් සෙල්ලම් කිරීම නීරස දෙයකි. නමුත් ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නොහැකි තැන ඊට එතරම් කැමැත්තක් නැතිබව හඟවමින් සුසුම් හෙළන්නට වීමි.

 

මගේ මේ වෙනස ගැන වැටහෙන්නට ඇයට වැඩි වෙලාවක් ගියේ නැත. අසතුටු මුහුණ එල්ලාගෙන ඇය අවඥා සහගත හඬින් මෙසේ ඇසුවාය. “මොකද යින්කියෝ වෙලා තියෙන්නේ?. ගෙදර නෝනා ගැන හිතනවද?. පණ ඇතිව ඉන්නවකො.”


“නෑ. මොනවත් නෑ.” මම පිළිතුරු දුන්නේ අලස ලෙසිනි. මම මගේ අත් ඔරලෝසුව දෙස බැලුවෙමි. වෙලාව තවමත් දෙක හමාරය. මගේ මුවින් නැවතත් සුසුමක් පිටවිය. මේ සෙල්ලම මොනතරම් නම් නීරසද?


“දැන් තමුන්ගේ වාරෙ.”ජියැන්ග් කීවේ තරහින් බැලුම් හෙළමිනි. මම එයට ක්ෂණික ප්‍රතිචාරයක් නොදක්වා මගේ අතේ තිබෙන කාඞ් අත දෙස අසිහියෙන් මෙන් බැලුවෙමි. ඊට ටික වෙලාවකට පෙර මම යන්ත්‍රානුසාරයෙන් මෙන් කාඞ් පතක් මේසය මත හෙළීමි. එය වැරදි කාඞ් පතකි. ජියැන්ග් මාදෙස දෑස් දල්වා බැලුවද මම එය නොදැක්කා සේ සිටියෙමි. 


“මොකද වෙලා තියෙන්නේ යින්කියෝ?”ඇගේ ස්වරයෙන් හැඟවුණේ තරහ පාලනය කරගන්නට ඇය උත්සාහ දරන බවකි. කොයි මොහොතේ හෝ එය පුපුරා යාමට ඉඩ තිබුණි. 


“ඕ..මොනවත් නෑ.”මවෙතින් මතුවූවේ අකමැත්ත හඟවන හඬකි. නැවත වරක් මම අත් ඔරලෝසුව දෙස බැලීමි. “සභාපතිතුමාට හවස රැස්වීමකට යන්න තියෙනවා.”


“ටියැන්ග් යූනු ඒ ගැන බලා ගනීවි. අද රාජකාරි පැවරිලා තියෙන්නේ එයාටනෙ.”


සභාපතිතුමා එක්ක මටත් යන්න තියෙනවා යන්න පවා නොකියා මම කට උල්කරමින් නිහඬව සුසුමක් හෙළීමි. අපි සෙල්ලමෙන් වට දෙකක් ම පැරදුණු අතර තුන්වැනි වටයත් ඇරඹුණි. ඒ වටයත් අප පරදින බැව් පෙනුණි. මගේ සුසුම්ලෑම නොනැවතීම කෙරුණි.
“මේකෙන් මං අයින් වෙනවා. මොකක්ද මේ සවුත්තු සෙල්ලම?.”ජියැන්ග් කාඞ් අත මේසය මතට දමා ගසමින් කෑ ගැසුවාය.

“මොකක්ද තමුන් අද මේ කරන්න ලෑස්තිවෙන්නෙ?.”


“ඔබතුමියට දැන ගන්න ඕනැ නම් මම කියන්නම්. මට සභාපතිතුමා එක්ක රැස්වීමකට යන්න තියෙනවා. නමුත් ඔබතුමියට ඕනැ මා එක්ක කාඞ් සෙල්ලම්කරන්න. මං මොනව කරන්න ඕනැ කියලාද ඔබතුමිය හිතන්නේ?.”


“ඔහොම කතා කරන්න තමුන්ට ඔච්චර හයියක් කොයින්ද?.” ජියැන්ග් මදෙසට ඇඟිල්ල දිගු කරමින් කීවාය. “කාට කතා කරනවා කියලද තමුන් හිතන්නේ?.”


“මං කතා කරන්නේ ඔබතුමියට. මේ සේරම පටන් ගත්තේ ඔබතුමියයි.”


“ඒ මොන හරුපයක්ද?. තමුන් මට සේවය කරනවද? නැත්නම් මම තමුන්ට සේවය කරණවද? උත්තර දෙනවා!.”


“මම සභාපතිතුමාට සේවය කරන්න ජනතාව විසින් පත් කරලා තියෙන්නේ. දේශපාලනික වශයෙන් අපි සමානයි. ඔබතුමිය සමග කාඞ් සෙල්ම් කිරිම මගේ රාජකාරිය නෙවෙයි.”


“කොහොමද, කොහොමද......”ඇය තරහින් වෙව්ලන්නට වූවාය. “තමුන්ට කොහෙන්ද එච්චර හයියක්. තමුන් නිකම්ම නිකම් ශරිර ආරක්ෂකයෙක් විතරයි. පලයන් යන්න මෙතැනින්. තොලොංචි වෙලාම පලයන්.


අනිකුත් ශරිර ආරක්ෂකයින් සහ සාත්තු සේවිකාවන් ඉදිරියේ මට එලෙස අපහාසාත්මකව බැණවදිමින් ජියැන්ග් කළේ බලවත් වැරැද්දකි. ඇය මගේ ආත්ම ගරුත්වය පළුදු කළාය. මේ සියල්ල ඇයට අනිකුත් ශරීර ආරක්ෂකයින්ට කිව හැකි වුව ද මට කිව නොහැකිය. මා ශරිර ආරක්ෂකයින්ගේ අණදෙන නිලධාරියා වු අතර තිස් අට වසරක් වයසැති කෙනෙකි. වසර දොළහකට වැඩි කාලයක් මාවෝ ළඟ සිටි කෙනෙකි. එමෙන්ම අනිකුත් ශරිර ආරක්ෂකයින් මගේ අණ යටතේ ඉන්නා අයයි. මෙවන් අපහාසයක් හේතුවෙන් මා අනිත් අය ඉදිරියේ උපහාසයට ලක්විය. කෝපය හිසට නැගී මම පෙරළා කෑ ගැසුවෙමි. “ඔබතුමියගේ ඔය උද්ධච්චකම පැත්තක තිබ්බොත් හොඳයි. දැනට ඔබතුමිය ලේකම් කෙනෙක් විතරයි.  “දිගුකල් දිනේවා”කියලා ජනතාව කියන ජාතියෙ කෙනෙක් නෙවෙයි.”


“උඹ මා ගැනද ඒ කිවේ?. ආයේ කියපන් බලන්න.”ජියැන්ග් මා වෙත කඩා පනින්න හදද්දී සාත්තු සේවිකාවෝ ඇය අල්ලා නතර කළහ. මා අල්ලාගත් අනිකුත් ශරීර ආරක්ෂකයන් මා කාමරයට ඇදගෙන යන්න උත්සාහ ගනිද්දී ඔවුන්ගෙන් මිදීමට දඟලමින් මම ද කෑ ගැසුවෙමි. “මම කීවේ ඔබතුමියට තමයි. මම ශරිර ආරක්ෂකයින්ගේ අණදෙන නිලධාරියා මිසක ඔබතුමියගේ කාඞ් සෙල්ලමේ සහකාරයෙක් නෙවෙයි.”

ආරියනන්ද දොඹගහවත්ත