අද දවස වන රටේ දේශපාලනය වෙනත් මුහුණුවරක් ගෙන ඇත. මේ රටේ අගමැතිවරයකු සහ ඇමැති මණ්ඩලයක් නැත. වෙනත් ආකාරයකට කියන්නේ නම් අද රටේ ආණ්ඩුවක් නැත. මෙවන් තැනකට රට තල්ලු වූයේ කුමන පසුබිමක් යටතේ ද? එය විමසිය යුත්තකි. 

අපට වැරැදී තිබෙන්නේ 19 වැනි සංශෝධනයෙනි. මේ සංශෝධනය දින 100 ආණ්ඩුවේ ව්‍යාපෘතියකි. 

අද රට පත්වී ඇති තත්ත්වය සම්බන්ධ වගකීම ගත යුත්තේ 19 වැනි සංශෝධනය සකස් කළ සහ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කණ්ඩායමය. 19 වැනි සංශෝධනය පටු අරමුණකින් ගෙනාවා විනා එහි ඇති අඩු ලුහුඬුකම් නිසා රටේ ඇති විය හැකි ව්‍යසන සම්බන්ධව කිසිදු සාකච්ඡාවක් ඇති වූයේ නැත. එදා මෙයට විරුද්ධ වූයේ සරත් වීරසේකර මන්ත්‍රීවරයා පමණි. අනෙක් අය එයට කැමැති වූවා හෝ ඡන්දය දීමෙන් වැළකී සිටියහ. එහෙත් නීති විශාරදයෝ ව්‍යවස්ථා විශාරදයෝ මෙහි ඇති අඩුපාඩු පෙන්වා නුදුන්හ. එනිසා 19 වැනි සංශෝධනය හරහා රටේ ඇති කර තිබෙන ව්‍යවස්ථා අවුල වහාම පාර්ලිමේන්තුවේ විසඳාගන්නේ නැතිව රටක් වශයෙන් ඉදිරියට යාමට නොහැක. රටට කර ඇති විනාශය සම්බන්ධව 19 වැනි සංශෝධනය සකස් කළ අය පවා අධිකරණය හමුවට පැමිණ විය යුතු බව මාගේ අදහසය. කෙසේ වුවත් අද මුහුණ දෙමින් සිටින්නේ මේ හරහා ඇති වී තිබෙන ප්‍රශ්නවලටය. 

පවත්නා පසුබිම යටතේ රට ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි සිතා ගැනීම අපහසුය. විධායක ජනාධිපතිවරයකු මේ මොහොතේ සිටීම රටේ වාසනාවකි. අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ යම් කාලයකට හෝ රට පාලනය කිරීමට ජනාධිපතිවරයාට සිදු වනු ඇත. අගමැතිවරයාට සහ ඇමැති මණ්ඩලයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් තිබියදී අලුත් අගමැතිවරයකු පත් වීමේ ඉඩ කඩක් ද නැත. යම් හෙයකින් මෙතෙක් සිටි අගමැතිවරයාට තව ටික දිනකින් බලය හෙබවීමට හැකි වුවොත් මේ මොහොතේ නව අගමැතිවරයකු පත් කිරීම රට තුළ බරපතළ අර්බුදයක් නිර්මාණය කිරීමකි. ඒ නිසා ස්වර්පාක්ෂික සමුළුවක් කැඳවා මේ සම්බන්ධව පියවර ගත යුතුය. හත් වැනිදාට පෙර බාරකාර ආණ්ඩුවක් හෝ නිර්මාණය කරගෙන එවැනි තත්ත්වයකට රට යටත් කිරීමේ යෝජනාවක් හෝ සම්මත කරගත යුතුය. දැනට වෙනස් ආකාරයට කතා කරන්නේ මන්ත්‍රීවරු දෙදෙනකු පමණි. විජයදාස රාජපක්ෂ මහතා ඉන් කෙනෙකි. අතුරලියේ රතන හිමියෝද පසුගියදා පාර්ලිමේන්තුවට හොඳ ප්‍රකාශයක් කළහ. අප කැමැති වුවත් අකැමැති වුවත් කුමාර වෙල්ගම මහතා ද විවිධ ප්‍රකාශ කරමින් සිටින ආකාරයක් දැක ගත හැකිය. ඒ නිසා මේ කණ්ඩායම් එක් වී රටේ අර්බුදය ගැන වහා සාකච්ඡා කර ව්‍යවස්ථාව සහ අධිකරණය අතර තිබෙන ප්‍රශ්නය නිරාකරණය කර ගත යුතුය. 

ඇමැති මණ්ඩලය සහ අගමැතිවරයකු නැති තැනක රට ගෙන යාම පිළිබඳ ප්‍රශ්නයක් තිබේ දැයි බොහෝ දෙනාට මතුව ඇති ගැටලුවකි. දේශපාලනමය තීන්දු ගැනීම යම්තාක් දුරකට නතර වීමක් තිබේ. එය ඉදිරි දින කීපයක් වන්නට පුළුවන. එහෙත් අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාටය. ඒ වගේම ජනාධිපතිවරයාගේ බලතලවලට අධිකරණය මැදිහත් නොවන බව ද අතුරු තහනම් නියෝගය නිකුත් කරමින් අධිකරණය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අමාත්‍යාංශ ලේකම්වරුන් නීත්‍යනුකූලය. මේ නිසා ගැටලුවක් මතු වන්නේ නැත. එදිනෙදා කටයුතු අමාත්‍යාංශ ලේකම්වරුන් හරහා කිරීමේ හැකියාව ජනාධිපතිවරයා සතුය. එවන් පසුබිමක පාර්ලිමේන්තුව ඕනෑ ද එපා ද කියන ප්‍රශ්නයත් මේ සමඟ මතු වන්නකි. ජනාධිපතිවරයාට තනිව රටක් පාලනය කළ හැකි නම් මහජන මුදල් ගෙවා සියලු වරප්‍රසාද දී 225 ක් නඩත්තු කරන්නේ කුමටද? 

ශක්තිමත් ජනාධිපතිවරයකු සහ දුර්වල පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යාම ජේ.ආර්. ජයවර්ධන ජනපති සකස් කළ සංකල්පයයි. ගැටලුව මතු වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ සිටින අය මේ සංකල්පයට පිටින් ගොස් ශක්තිමත් පාර්ලිමේන්තුවක් සකස් කිරීමට යාමත් සමගය. 

විධායක ජනාධිපතිට විරුද්ධව පාර්ලිමේන්තුව තීරණ ගැනීමට යොමු වූ විට අර්බුද නිර්මාණය වීම අරුමයක් නොවේ. දියාරු පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමට ජනපති ජේ.ආර්. කටයුතු කළේ මේ ප්‍රශ්න අවබෝධ කරගෙන සිටි නිසාය. කෙසේ වුවත් මේ අර්බුදය නිර්මාණය වී තිබෙන්නේ වසර 40කට පසුවය. පාර්ලිමේන්තුව ශක්තිමත් වීමට නම් විධායක ජනාධිපතිවරයකු නැති විය යුතුය. බලවත් ආයතන දෙකක් පවත්වාගෙන යාමට හැකියාවක් නැත. මේ අතර පාර්ලිමේන්තුවේ කටයුතු අධිකරණය හරහා විසඳා ගැනීමට යොමු වී තිබේ. විධායකය ව්‍යවස්ථාදායකය, අධිකරණය යන පාද තුනෙන් එකක් හෝ සෙලවුණු විට සමස්තය අස්ථාවර වනු ඇත. අද සිදුව ඇත්තේ එයයි. විධායක ජනාධිපතිවරයාගේ විධායක පාර්ලිමේන්තුව නොපිළිගන්නා තත්ත්වයකට පැමිණ තිබේ. පාර්ලිමේන්තුව නීත්‍යනුකූලව හෝ නීත්‍යනුකූල නොවන ලෙස ගනු ලබන තීරණ ජනාධිපතිවරයා නොපිළිගන්නා තත්ත්වයක් ද තිබේ. මේ දෙක අතරට අධිකරණය ද පැමිණ අවසන්ය. මේ තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් ජනාධිපති, පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර ගැටුම් ඇති වී රට සම්පූර්ණයෙන් අරාජික වන්නට පුළුවන. මේ සමස්ත ක්‍රියාදාමය තුළ රට ගැන සිතන කී දෙනකු සිටිනවා දැයි ප්‍රශ්නයකි. 

මේ මොහොතේ මේ අර්බුදය විසඳීමට තිබෙන කෙටිම ක්‍රමය වන්නේ මහ මැතිවරණයකට යාමය. ඒ වගේම මහ මැතිවරණයක් පැවැත්වීමෙන් පමණක් මේ අර්බුදය විසඳෙන්නේ නැත. පවත්නා ව්‍යවස්ථා අර්බුදය සම්බන්ධයෙන් අලුත් අණ පනත් ගෙනැවිත් යළි මෙවන් තත්ත්වයක් නිර්මාණය වීම වැළැක්වීමේ වැඩසටහනක් මැතිවරණයකින් පසු නිශ්චිත දින ගණනක දී ක්‍රියාත්මක කළ යුතුය. නැතිනම් මේ පූර්වාදර්ශය අනුව යමින් අනාගතයේදී ද මෙවන් අර්බුද නිර්මාණය වන්නට පුළුවන. ප්‍රධාන පක්ෂ දියාරු නොකර ශක්තිමත් කළ හැකි ක්‍රම ගැන නැවත සිතා බැලීමකට යොමු විය යුතුය. එය මැතිවරණ ක්‍රමය හරහා අවධානය යොමු කළ යුතු කරුණකි. ස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය කළ හැකි ආකාරයට පාර්ලිමේන්තු සංයුතිය සකස් කිරීම යනාදී කරුණු ගැඹුරු සාකච්ඡාවට ලක් විය යුතුය. මෙවන් පියවර ගැනීමට තිබූ බොහෝ අවස්ථා අපට මඟ හැරී තිබේ. 

පාර්ලිමේන්තුවේ එකසිය පනස් ගණනක් එක් පක්ෂයකට තිබුණේ 2009 දීය. එවන් අවස්ථාවලදී මෙවන් දුර්වල තැන් කෙරෙහි අවධානය යොමු කර රටේ අනාගතය ගැන සිතා කටයුතු කළා නම් ප්‍රශ්න ඇති වන්නේ නැත. 19 වැනි සංශෝධනයේදී හෝ ස්ථාවර පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගන්නා ආකාරයක් ගැන අවධානය යොමු කළා නම් අද මෙවන් අර්බුදයක් මතුවන්නේ නැත. කුමන පක්ෂයකට හෝ 113 තනිව ලබාගත හැකි ක්‍රමයකට යායුතුය. එසේ නොවුවහොත් සාදාකාලිකවම මේ ප්‍රශ්නයමතුවීම වැළැක්විය නොහැක. පවත්නා තාක්ෂණික ගැටලු වහා විසඳාගත යුතුය. එසේ නොවනතාක් මේ ව්‍යවස්ථා අර්බුදයට නැවතුමක් නැත.

කැමැත්තෙන් හෝ අකමැත්තෙන් 2020 දී ජනාධිපතිවරණයකට යා යුතුය. එම මැතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයාට කැමැති පාර්ලිමේන්තුවක් සකස් කර ගැනීමේ හැකියාවක් මේ වාතාවරණය යටතේ නැත. එයට හේතුව පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන කෙනා අගමැතිවරයාවිය යුතු බවට නීතියේ ලියැවී නැති කාරණයක් මතුවී තිබීමය. 2005 ජනවාරි 08 පැවැතියේ මේ තත්ත්වය නම් කිසි දිනෙක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වන්නේනැත. අද ගොඩනඟන තර්කය අනුව එදා විය යුතුව තිබුණේ එජනිස අගමැතිවරයකු යටතේ පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වනතෙක් ගමන් කිරීමය. එසේ කළා නම් රටේ ඇතිවන තත්ත්වය කුමක්ද? මෙවන් තත්ත්වයක් 2020 දී නිර්මාණය වීමට අවකාශ තිබේ.නොලියවුණු කාරණයක් හරහා බරපතළ ව්‍යවස්ථානුකූල අර්බුදය නිර්මාණය වන්නට පුළුවන. මේ තාක්ෂණික ගැටලුවට විසඳුම් නොදුනහොත් ජපානය සහ ඇතැම් යුරෝපීය රටවල්වල මෙන් බෙහෙවින්ම අස්ථාවර ආණ්ඩු තිබෙන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර නිරන්තරයෙන් ගැටුම් තිබෙන කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළනොහැකි විදේශ ආයෝජන නොලැබෙන දුගී දුප්පත් රටක් බවට පත්විය හැකිය. තවම අප බලන්නේ කවුද හරි? කියන කාරණය දෙසය. අපට වැරැදී ඇති තැනද එයයි. අප බැලියයුත්තේ කුමක්ද හරි? කියන කාරණය දෙසය. විසඳුම් සෙවිය යුත්තේ ඒ වෙනුවෙනි.සෙවිය යුත්තේ පවතින ක්‍රමය හරි ද කියාය. මෙතෙක් කල් තිබූ නිවැරැදි ක්‍රමය සම්පූර්ණයෙන්ම අවුල් කළේ, 19 වැනි සංශෝධනයෙනි. එනිසා නැවතත් මේ ක්‍රමය සකසානොගෙන රටක් වශයෙන් අපට ඉදිරියට යාමට නොහැක.

අගමැතිට, ඇමැති මණ්ඩලයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් වූ පසු ආණ්ඩුවක් නැති තත්ත්වයට පත්වනු ඇත. එසේ නම් සභානායකවරයකු නැත. තේරීම් කාරක සභා නැත. මෙවන් පසුබිමක නිර්මාණය වන තත්ත්වයට විසඳුමක් මා දන්නා තරමින් ව්‍යවස්ථාවේ නැත. අද සිදුවන්නේ තම තමන් කැමැති ආකාරයට ව්‍යවස්ථාව අර්ථ දැක්වීමය. එක්කෝ තමන් කළයුත්තේ කුමක්ද කියා ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතුය. නැතිනම් ලබන හත් වැනිදා ලැබීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව කටයුතුකිරීමට සිදුවනු ඇත.

මැතිවරණයකට යාමට අවස්ථාව උදා වුවොත් එතැනදී ද ප්‍රශ්නයක් මතුවිය හැකිය. පවතින අගමැති සහ තිස් දෙනකුගෙන් යුත් ඇමැති මණ්ඩලයක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බව 19 වැනි සංශෝධනයේ සඳහන්ය. බහුතර බලය නොමැති නිසා පත්කර ඇති අගමැති හා ඇමැති මණ්ඩලය ව්‍යවස්ථානුකූල නොවන බව තීන්දු වුවොත් බැරෑරුම් ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය වන බව පෙනෙන්නට තිබේ.ව්‍යාකූල වාතාවරණයකට රට පත්වනු ඇත. එවන් තැනකදී කළ හැකි වන්නේ ජනාධිපතිවරයා තනිව යම් කාලයකට රට පාලනය කිරීමය.

සියලු අර්බුද නිර්මාණය වී ඇත්​තේ ව්‍යවස්ථාව තමන්ට රිසි පරිදි වෙනස් කිරීමට යාමෙනි.මේවායෙහි තිබෙන ශක්තිමත් අංශ සියල්ල ක්‍රමයෙන් විනාශ කරමින් තිබේ. දුරදක්නා නුවණක් නැතිව කරන වැඩ නිසා සියල්ල සම්පූර්ණයෙන් පාහේ විනාශ වෙමින් තිබේ.කවුරු කැමැති වුවත් අකමැති වුවත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ සූදානමක් තිබේ. 19වැනි කුඩා සංශෝධනයක් ගෙනැවිත් නීති විශාරදයන්, ව්‍යවස්ථා විශාරදයන් යැයිකියා ගන්නා අය ඇතිකර තිබෙන අර්බුදයේ තරම අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.මේ පිරිස එක්වී සකස් කරන ව්‍යවස්ථාවක් සම්මත කළොත් දිනපතා මේ රටේ අර්බුද නිර්මාණය වන්නට පුළුවන. ව්‍යවස්ථා වෙනසක් කරනවා නම් එය ගැඹුරින් සාකච්ඡා කළයුතුය. නැතිනම් රට ව්‍යාකූල වී කිසිවකුට පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වන්නට පුළුවන. ඇතැම් විට මෙය කුමන්ත්‍රණයක් විය හැකිය. අස්ථාවර රටක් ඇතිකර එ.ජා. සංවිධානය පැමිණ ඔවුන්ට අවශ්‍ය ආකාරයට රට බෙදා වෙන වෙන අයට පාලනයකළ හැකි තත්ත්වයට පත් කරන්නට පුළුවන. එවන් තැනකට රට ගෙනයනවාදැයි අපට වැටහෙන්නේ නැත.

පවත්නා වාතාවරණය යටතේ අගමැතිවරයාට ඉල්ලා අස්වීමටද නොහැක. තිබෙන්නේ සුවිශේෂී අවස්ථාවකි. අතුරු තහනම ඉවත්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට එජනිස පාර්ශවය කටයුතු කරමින් සිටින්නේ මෙයට විසඳුම් අපේක්ෂාවෙන් විය හැකිය. පවතින නීතිමය සහ ව්‍යවස්ථා අර්බුදය විසඳා ගැනීමට සියලුදෙනා එක්වී කටයුතු කළ යුතුය.

ආර්ථිකය බරපතළ අර්බුදයකය. ව්‍යවස්ථා අර්බුදය පවතින විට ආයෝජන එන්නේ නැත. ව්‍යවස්ථා අර්බුදය පවතින විට බිහිවන්නේ අස්ථාවර ආණ්ඩුය. ඉදිරියටත් අස්ථාවර ආණ්ඩුවක් පැවතියොත් ආර්ථික අර්බුදය සිතාගත නොහැකි තැනකට තල්ලු වනු ඇත. අපට ණයක් දීමටවත් කිසිවකු ඉදිරිපත් නොවන්නට පුළුවන. මේ තත්ත්වයට සමස්ත පාර්ලිමේන්තුවම වගකිව යුතුය. තමන්ගේ බලයටම කෑදර දේශපාලනඥයන් සිටින තැනක මෙවන් අර්බුදයක් පැවතීම පුදුමයට කරුණක් නොවේ. ඕනෑම සංකීර්ණ ප්‍රශ්නයකට ඇත්තේ සරල විසඳුමක් බව විද්‍යාවේ ප්‍රකාශ වන කරුණකි. එනිසා සියලුදෙනාගේ වගකීම එම සරල උත්තරය සොයා ගැනීමය.පවත්නා ව්‍යවස්ථා අර්බුදයට විසඳුම් සොයාගත හැකි. සරල විසඳුම වන්නේ ජනතාව හමුවට යාමය. මේ වන විට නිර්මාණය වී ඇති තීන්දු තීරණ නොගත හැකි පරිසරයඑවිට වෙනස් වනු ඇත. සියල්ලට කලින් රට ආරක්ෂා කරගත යුතුය. රට ආරක්ෂා කරගතහොත් ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු සියල්ල ආරක්ෂා වනු ඇත.

සටහන
චමින්ද මුණසිංහ