නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා යළිත් පුවත් මවන්නෙක් බවට පත් වී සිටියි. ඒ ‘සුදු’ කාරණාවක් සම්බන්ධයෙන් නොවේ. ‘කළු’ කාරණාවක් සම්බන්ධයෙනි. හේතුව ඒ මහතාට අයත් බව කියන ‘බැටික්ලෝ කැම්පස් පෞද්ගලික සමාගම’ නමැති විශ්වවිද්‍යාලය සඳහා සෞදි අරාබියේ තහනම් සංවිධානයකින් රුපියල් කෝටි 1757කට අධික මුදලක් මෙරටට ගෙන්වා ගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි. සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී සඳහන් විය.

බැටික්ලෝ කැම්පස් මුලින් විශ්වවිද්‍යාල ආයතනයක් වශයෙන් ආරම්භ වී තිබුණ ද එය මේ වනවිට ‘පෞද්ගලික සමාගමක්’ බවට පත්ව තිබේ. අදාළ මුදල එකී සමාගමට ගෙන්වාගෙන ඇති බව කියන්නේ මෙරට රාජ්‍ය බැංකුවක් හරහාය. සෞදි අරාබියේ තහනම් සංවිධානයකින් ලබාදී ඇතැයි කියන මේ අතිවිශාල මුදල් සම්භාරය යොදවාගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා ද නැත්නම් ත්‍රස්තවාදී ක්‍රියා සඳහා ද යන්න සොයාගැනීමට වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බවද සඳහන්ය. ත්‍රස්තවාදීන්ට මුදල් සපයා ඇතිදැයි සොයා වෙනම විමර්ශනයක් සිදුකෙරෙන බවද අධිකරණයේදී සඳහන් වී තිබිණි.

මඩකලපුවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ඉදිවෙන බව රටේ සෙසු ප්‍රදේශවල බොහොමයක් දෙනා දැනගත්තේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හේතුවෙනි. ඒ බව දැනගන්නා විට බැටික්ලෝ කැම්පස් ගොඩනැගිලි ඉදි වී එහි පැවැත්වෙන පාඨමාලා පිළිබඳ දැනුවත් කිරීම් ද සිදු වී අවසානය. එහි ෂරියා නීතිය පවා ඉගැන්වෙන බවද එම දැනුවත් කිරීම්වල සඳහන් වී තිබූ බව කියති. විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයේ සභාපතිවරයා වූයේ හිස්බුල්ලා මහතායි. දැන් එහි සභාපති ඔහුගේ පුත්‍රයාය. මෙය හැබෑවටම පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වුවත් එය පවුලේ බූදලයක් වශයෙන් පැවැති බව මෙයින් සනාථ වෙයි. පවුලේ බූදලයක් වන පෞද්ගලික විශ්වවිද්‍යාල සමාගමකට රුපියල් කෝටි 1757ක් ලැබෙන විට, එසේ ලැබෙන්නේ සෞදියේ තහනම් සංවිධානයකින් බව පවසන විට එහි යටිපෙළේ ලොකු කතාවක් තිබේ. එම කතාවේ කෙළවර ඉස්ලාම් ත්‍රස්තවාදයට සම්බන්ධදැයි අපි නොදනිමු. ඉස්ලාම් ත්‍රස්තවාදයට මෙරට මුස්ලිම් ජනතාවගෙන් අතිබහුතරය විරෝධය දක්වන බවද ඒ සමඟ සඳහන් කිරීම අපේ යුතුකමකි.

සෞදි අරාබිය පිළිබඳව අප දැන සිටින්නේ අපට මිතුරු රටක් වශයෙනි. මිතුරු යැයි ප්‍රකාශ කළත් ලොකු ඇයි හොඳැයියක් නැත. එහෙත් එරටේ නායකයන් සහ ජනතාව අපට හතුරුකම් නොකරති. අපේ ලොකුම විදේශ විනිමය උපයන ‘මිනිස් ශ්‍රමය’ එරටද ලොකු ඉඩකඩක් වෙන්කර තිබේ. එය අගය කරමු. ඒ තොරතුරු දැන සිටියද සෞදි අරාබියේ තහනම් සංවිධාන තිබෙන බවක් නම් අප අසා තිබුණේ නැත. එහෙත් ඕනෑම රටක තහනම් සංවිධාන පවතින බවත් අපේ රටේද පාස්කු ඉරිදා පුපුරා ගිය බෝම්බ වැලට වගකිව යුත්තේ එවැනි සංවිධානයක් බවත් දැන් සියලුදෙනාම දැන සිටිති. තවමත් නොදන්නා කරුණ වන්නේ සෞදියේ තහනම් සංවිධානය අපේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට (හෝ සමාගමකට) ඩොලර් කෝටි ගණන් පොම්ප කිරීමට තිබෙන රුදාව කුමක්ද කියාය. මේ දෙපිරිස එකිනෙකට මුණගැසුණේ විශ්වවිද්‍යාලය ඉදිකිරීමට ද නැතහොත් තරුණයන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට පත්කිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් ද යන්න වහාම සොයාබැලිය යුතුය. එවැනි ව්‍යාපෘතියක් දියත් වී නම් ඊට සම්බන්ධ සියලු දෙනා කොතරම් ධනවත්, බලවත් පිරිසක් වුවත් ඔවුන් හැකිතරම් ඉක්මනට අධිකරණය ඉදිරියට පමුණුවා ඔවුන්ට ඉහළම දඬුවම් ලබාදීම අවශ්‍ය බව අපි දැඩිව ප්‍රකාශ කරමු.

කළු සල්ලි සුදු කිරීමත් ගෝලීය ත්‍රස්තවාදයත් අතර පවතින්නේ ඉතාම සමීප සම්බන්ධතාවකි. මේ සිද්ධියට සම්බන්ධ සෞදි අරාබියේ තහනම් සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායම්වලට මුදල් ලබාදී ඇති බවට තොරතුරු හෙළි වී තිබෙන බවද මේ පිළිබඳව මඩකලපුව පොලිස් අධිකාරී කාර්යාලයට සිදුකළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි. මේ පැමිණිල්ල ඉදිරිපත් කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසිනි. එකී තහනම් සංවිධානය ඩොලර් මිලියන 100කට අධික මුදලක් බැටික්ලෝ කැම්පස් ඉදිකිරීම් කටයුතු සඳහා ලබාදී ඇති බවද පැමිණිල්ලෙන් ප්‍රකාශ වී තිබිණි. මේවා පිළිබඳව වහාම සොයාබැලීම අවශ්‍යය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව විවිධ ජන කොටස් එකිනෙකා කෙරෙහි සැකමුසුව බැලීම ඇරුඹිණි. එම තත්ත්වය තවමත් අඩු වැඩි වශයෙන් පවතින බවද සඳහන් කළ යුතුය. මේ තත්ත්වය මඟහැර සාමාන්‍ය තත්ත්වයට රට ගෙන ආ හැකි වන්නේ සියලු දෙනා අවංකව අවස්ථාවාදී නොවී ඍජුව වැඩ කිරීමෙන් පමණි. ඒ අනුව බැටික්ලෝ කැම්පස් සම්බන්ධයෙන් පැන නැඟී තිබෙන ව්‍යාකූල තත්ත්වයද දුරු කළ හැක්කේ කැත්තට පොල්ල මෙන් වැඩ කිරීමෙන් නොව විමර්ශනවලට සහාය දැක්වීමෙන් බව හිස්බුල්ලා මහතා තේරුම් ගත යුතුය. බැටික්ලෝ කැම්පස් කෙරෙහි රටේ බහුතරයක් ජනතාව බලන්නේ දැඩි සැකයකින් යුතුවය. එය නැතිකළ හැක්කේ ද එම කැම්පස් එකේ පවුලේ උරුමක්කාරයන්ටම පමණි.