වේදිකාවෙන් ලද ප්‍රතිභාව ඒ ආකාරයෙන්ම සිනමාවට සහ ටෙලිනාට්‍ය කලාවට මුදාහළ නළුවකු වී නම් ඒ ආචාර්ය ජයලත් මනෝරත්න බවට අවිවාදයක් නැත. එයට හේතුව බොහෝ වේදිකා නළුවන් වේදිකාවේදී දක්‍ෂයන්, වැඩකාරයන් බවට පත් වුවත් එම ශක්‍යතාව අනිකුත් මාධ්‍ය හිදී පවත්වා ගැනීමේ ගැටලුව බොහෝ දෙනාට පවතින නිසාවෙනි. එහෙත් මනෝරත්න ඒ අතින් අනෙක් නළුවන්ට වඩා පෙරමුණට යමින් ටෙලිනාට්‍ය, වේදිකාව හා සිනමාවේ ප්‍රතිභාන්විත රංගන ශිල්පියකු බවට පත්විය.

අද දවසේ පඳුරකට පයින් ගැසුවත් නළුවන් යැයි නළු බට්ටන් විසිවෙන සමයක මනෝරත්න වැනි ඇසූ පිරූ තැන් ඇති නළුවන් දැයට අහිමිවීම ලාංකීය කලා කෙතෙට පිරිමැසිය නොහැකි පාඩුවකි. මනෝරත්න එක පැත්තකින් ප්‍රතිභාන්විත රංගධරයකු මෙන්ම අනිත් අතින් ගම් නියම් ගම් පවා දන්නා ජනප්‍රිය රංග ශිල්පියකු වීම එක අතකින් ඔහු ලැබූ තවත් වාසනාවකි.

වේදිකාවේ සාර්ථකත්වය අනිකුත් මාධ්‍යවල මුදාහරින ලද නළුවන් අතර ජයලත් සාර්ථක වුවත් සුමින්ද සිරිසේන වැනි නළුවන්ට සිය හැකියාවෙන් සිනමාවේදී වැඩක් ගැනීමට නොහැකිවිය. එහෙත් ටෙලි රංගනයේදී සුමින්ද ද මනෝරත්නයන් සේම සාර්ථක රංගන ශිල්පියකු බවට පත්විය. සිනමාව සුමින්ද වැනි නළුවකු සිටීදැයි පවා නොදන්නේය. සුමින්ද වැනි උදාහරණ කොතෙකුත් ඉදිරිපත් කළ හැකි වුවත් ජයලත්ට එවැනි අවාසනාවන්ත තත්ත්වයකට පත්වීමට අවස්ථාව උදා නොවුණේ පූර්වයෙන් ලද වාසනා ගුණය නිසාය.

කෙසෙල් ගස්පෙ මනතුංග ජයලත් මනෝරත්න ඉපදෙන්නේ 1948.06.12 වැනිදාය. 2020 දුරුතු මහේ 11 වැනි දින පෙරවරුවේ ජීවන රඟමඬලින් මේ ප්‍රවීණ රංගධරයා නික්ම යන තෙක්ම ඔහු ලාංකීය කලා කෙතේ පෝෂණය උදෙසා වේදිකා, ටෙලි, චිත්‍රපට රංගන ශිල්පියකු, අධ්‍යක්‍ෂවරයකු, දේශකයකු, තිරකතා රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු ආදී එකී මෙකී නොකී බොහෝ ක්‍ෂේත්‍ර තුළ සිය හැකියාව නිහඬව මුදාහැරියේය. වර්තමානයේ බොහෝ රංගන ශිල්පීන්ට නොමැති ප්‍රතිභා පූර්ණත්වයක් ජයලත් මනෝරත්නයන්ට උදා වූයේ විශ්වවිද්‍යාල ඇසුර හරහා ලද පන්නරයත් මුල් කාලයේදීම මහදුරු සරච්චන්ද්‍ර ශූරීන් වැනි නාට්‍යකරුවන්ගේ ආභාසයත් නිසා විය යුතුය.

 නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපෙ ගමේ උපන් ආචාර්ය ජයලත් දෙහිපේ ප්‍රාථමික මිශ්‍ර පාඨශාලාව, පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය යන ආයතන හරහා සිය දැනුම උකහා ගත් අතර අවසානයේ ජනසන්නිවේදනය පිළිබඳ දර්ශනපති උපාධිය ලබන තෙක්ම ඔහු දැනුම් පිපාසයෙන් දැනුම සොයා ගියේය. රංගන ශිල්පියකු සිය හැකියාව සේම අධ්‍යාපනය අතින් ද ඉහළ මට්ටමක සිටිය යුතු බවට විශ්වාසයක් ඔහු තුළ විය. එසේම පාසල් සමයේ පටන්ම විවිධ තනතුරු හොබවමින් සමාජශීලීත්වය ප්‍රකට කළ මෙම කලාකරුවා විවිධ තනතුරු හොබවමින් කලාවට මෙන්ම නායකත්වයටද තමන් අති දක්‍ෂයකු බව ඔප්පු කර පෙන්වීය. තනතුරු මනෝරත්නයන්ට ආලෝකයක් සැපයූවා මිසෙක ඔහු ඒවා කිසිවිටෙක ආභරණයක් කර ගත්තේ නැත. ජයලත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව රාජ්‍ය සේවය හා මුලින්ම එක්වන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අනියම් ලිපිකරුවකු ලෙසය. ඉන් අනතුරුව පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය කොමිෂන් සභාව, මහවැලි සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, සැලසිනේ ආයතනය, ටවර්හෝල් රඟහල පදනම වැනි විවිධ ආයතනවල සේවය කළත් තමා තුළ සිටින කලාකරුවාට කුස තුළදීම ගබ්සා වීමට කිසිවිටෙක ඉඩ තැබුවේ නැත. රාජකාරිය අතරතුරම රංගන ශිල්පියකු ලෙස රටට දැයට තම වැඩ කොටස නිහඬවම ඉටු කළේය.

මනෝරත්නයන්ගේ රංගන ජීවිතයේ මූලාරම්භය පේරාදෙණිය විශ්වවිද්‍යාලය වේ. පාසලේදී යම් යම් නාට්‍යමය අත්දැකීම් ලැබුවත් ප්‍රසිද්ධ වේදිකාවට පිවිස රටම දන්නා රංගන තරුවක් වීමට මග පෑදුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාල ඇසුරයි. එහිදී මනෝරත්නයන්ට මහැදුරු සරච්චන්ද්‍රයන් හඳුන්වා දෙනු ලබන්නේ ගමේ සිටි පැරණි ශිෂ්‍යයකු වූ වී.ඒ. සිරිසේන මහතාය. ඒ අනුව ජයලත්ට මුලින්ම සරච්චන්ද්‍රයන්ගේ ‘පේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයට රංගනයෙන් දායක වීමට වරම් උදාවිය. ඒ සඳහා ඔහුට අවස්ථාව ලැබෙන්නේ එම නාට්‍යය සඳහා තෝරාගත් නළුවරණය මගිනි. එම සම්මුඛ පරීක්‍ෂණයේදී මනෝරත්නයන් ගායනා කරන්නේ පණ්ඩිත් අමරදේව හා ආචාර්ය නන්දා මාලිනියගේ ගීත දෙකක් වන ‘කරදර පොදි බැඳ’ සහ ‘වසන්තයේ මල්’ ගීත ද්විත්වයයි. එම ගායනයෙන් අනතුරුව ජයලත් ගැන කදිම රෙකමදාරුවක් ලබා දුන් සරච්චන්ද්‍රයන් ඔහුට ‘පේමතෝ ජායතී සෝකෝ’ උද්දාල බමුණාගේ චරිතයට ආරාධනා ලැබිණි. එමගින් ආරම්භ කළ රංගන ජීවිතය තුළ දශක පහක් තරම් කාලයක් පුරා ඔහු කොතරම් නම් චරිත ප්‍රමාණයක ජීවත් වී ඇද්දැයි දන්නේ ඔහුම පමණය. දශක හතක්ම සිය සහෝදර ශිල්පීන් සමගින් කරට කර රංගනයන් ඉදිරිපත් කළේ ගතේ හයියට වඩා තිබූ හිතේ හයිය නිසාය. අවසාන කාලයේ අසනීපයෙන් පසුවුවත් ඔහු බාරගත් වැඩක් කිසිදා අතපසු කළේ හෝ පොලු තැබුවේ නැති බව ක්‍ෂේත්‍රයේ සැවොම දන්නා කරුණකි.

බොහෝ රංගන ශිල්ප ශිල්පිනියන් වේදිකාව භාවිත කරන්නේ අත්වාරුවක් ලෙසටය. එනම් වේදිකා රංගනයෙන් ක්‍ෂේත්‍රයේ පිරිස හඳුනාගෙන ටෙලිනාට්‍ය හා චිත්‍රපටවලට මාරුවීමට පාලමක් ලෙස ඔවුහු වේදිකාව යොදා ගනිති. එහෙත් මනෝරත්න ටෙලිනාට්‍ය හා චිත්‍රපටවල මොන තරම් අවස්ථා හිමිවුවත් ඔහු කිසි දිනක වේදිකාව අත්නොහැරියේ සුන්දර වේදිකාවට තිබූ ආදරය නිසාමය.

මනමේ, සිංහබාහු, මකරා, චූලෝදර මහෝදර, සුදු ඇතා, දුන්න දුන ගමුවේ, රතු හැට්ටකාරී, ගජමන් පුවත, ජසයා සහ ලෙංචිනා, නරි බෑනා, පොකුරු වැස්ස, තාරාවෝ ඉගිලෙති, ඔත්තුකාරයා, අපි ගෙවන්නේ නෑ, හොරු සමඟ හෙලුවෙන් වැනි විවිධ ගණයේ වේදිකා නාට්‍ය රැසක සිය රංගන මුද්‍රාව තබන්නට මනෝරත්න සමත්විය. එසේම රූපවාහිනී රංගන ශිල්පියකු ලෙසද ගම්පෙරළිය, කන්දේ ගෙදර, මැණික් නදිය ගලා බසී, ගංගා සහ නිශ්ශංක, දූ දරුවෝ, හිරුට මුවාවෙන්, සඳ අමාවකයි, රෝද හතරේ මනමාලයා, ගල් පිළිමය හා බොල් පිළිමය ආදී තවත් බොහෝ ටෙලිනාට්‍යවල සිය නාමය ඉදිරියෙන්ම සනිටුහන් කරගැනීමට මනෝරත්නයන්ට හැකි විය. එසේම රූපවාහිනී මාධ්‍ය තුළ සෙක්කු ගෙදර, රංසිරිගේ සංග්‍රාමය, මගේ කවිය මට දෙන්න, තුන්පත් රටාවක ලස්සන, ඊයේ, අද සහ හෙට වැනි ටෙලි නිර්මාණවල රංගනය මෙන්ම අධ්‍යක්‍ෂණය සිදු කළේ ද ජයලත් මනෝරත්නයන් විසිනි.

සිනමා නළුවකු ලෙස ජයලත් මෑත කාලීනව අතිශය ජනප්‍රියත්වයට පත්වන්නේ හෝ ගානා පොකුණ, සූරිය අරණ, ගෝල් වැනි චිත්‍රපට හරහාය. ඒ අතරිනුත් මුළු රටේම පොඩිත්තන් ඔහු ගැන දැන ගත්තේ හෝ ගාන පොකුණේ ජස්ටින් මාමා නිසා යැයි පැවැසුවහොත් ඔහු රඟපෑ අනෙක් චරිතයන්ට එය අසාධාරණයක් නොවේ. හඳයා, ජීවිතයෙන් ජීවිතයක්, මුහුදු ලිහිණි, සප්ත කන්‍යා, ස්ත්‍රී, සිසිල ගිනි ගනී, මංගල තෑග්ග, පුංචි සුරංගනාවී, සුදු කළුවර, ගිනි කිරිල්ලි හා ඉදිරියේදී තිරගත වීමට නියමිත සරත් ධර්මසිරිගේ ‘සූවිසි විවරණ’ දක්වාම අපූර්ව රංග ශෛලියකින් සිය රංගන ජීවිතය වර්ණවත් කරන්නට ඔහුට හැකිවිය.

මාධ්‍ය කීපයක එකවර සැරිසැරුවද මනෝරත්න වේදිකාවේදී වඩාත් ප්‍රකට වූයේ නළුවකු හා අධ්‍යක්ෂවරයකු ලෙසටය. එයිනුත් සුවිශේෂීම කාරණය වන්නේ රංගන ශිල්පියකු හා අධ්‍යක්ෂවරයකු ලෙස එකවර කටයුතු කරන අතළොස්සක් ශිල්පීන් අතරින් ප්‍රමුඛයා ජයලත් මනෝරත්නයන් වීමය. නළුකම කරමින් අධ්‍යක්ෂණය කිරීම සුළුපටු කාරණාවක් නොවේ. වේදිකාවේ එම ප්‍රතිභාව විදහා පෑ ධර්මසිරි බණ්ඩාරනායක, හෙන්රි ජයසේන වැනි ශිල්පීන් අතර මනෝරත්නයන් ද පෙරමුණේ සිටියේය.

මනෝරත්නයන් පළමු වරට වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ 1980 දී ඔහු නිර්මාණය කළ ‘මහ ගිරිදඹ’ නාට්‍ය හරහාය. ‘තලමල පිපිලා, අන්දරේලා, ගුරුතරුව, සඳගිර, කනේරුමල්, ලෝකය තනි යායක්, හඬ නිහඬ’ වැනි නිර්මාණ තුළින් හතර දිග්භාගයේ කලා රසිකයන් නාට්‍යවලින් මුසපත් කරන්නට මනෝට හැකිවිය. ‘හඬ නිහඬ’ නාට්‍ය නිර්මාණය කිරීමෙන් පසු ඔහුගේ හඬ සඳහටම නිහඬ වේ යැයි කිසිවකු කල්පනා නොකළත් දෛවයට අනුව එම අත්දැකීමට මුහුණ දෙන්නට මනෝරත්නයන්ට සිදුවිය. අසනීපයෙන් පසුවූ කාලයේත් අලුත් වේදිකා නිර්මාණකරණයකට ඔහු සැරසුණත් එය නිර්මාණය කෙරුණේ නැත.

මෙරට වේදිකා නාට්‍ය වංශය තුළ නළුවකු පස් වතාවක් හොඳම නළුවා ලෙසින් රාජ්‍ය සම්මානයෙන් පුද ඇත්නම් ඒ ජයලත් මනෝරත්නයන්ම පමණය. ‘රතු හැට්ටකාරී, පුත්‍ර සමාගම, තලමල පිපිලා, සොක්‍රටීස්, ද්විත්ව’ යන නාට්‍ය සඳහා ඔහු හොඳම නළුවා යන රාජ්‍ය සම්මානයෙන් පුද ලැබුවේය. ඊට අමතරව සරසවි, සුමති ආදී සම්මාන උළෙලවල කිහිප වතාවක්ම හොඳම සහය නළුවා ලෙස ද සම්මාන හිමි කරගත්තේය. වේදිකාවේ ද හොඳම අධ්‍යක්ෂවරයා හා රචකයා ලෙස ද මනෝරත්න සම්මාන හිමිකරගෙන ඇත.

එක්තරා සුමති සම්මාන උළෙලකදී ප්‍රසන්න ජයකොඩිගේ ‘සඳ අමාවකයි’ ටෙලිනාට්‍ය සඳහා මනෝරත්නයන් හොඳම නළුවා ලෙස සම්මාන හිමිකර ගත්තේ බස් රියැදුරකුගේ චරිතය නිරූපණය කිරීම සඳහාය. එහිදී නිවේදිකාව වූ ඉඳුනිල් දිසානායක හොඳම නළුවාගෙන් පැනයක් ඇසුවේය. එනම් මෙච්චර හොඳට රඟපෑවේ කොහොමද යන්නය. එවිට මනෝරත්නයන් සිනාසී පිළිතුරු ලබා දුන්නේ අපේ තාත්තා නීතිගරුක රියැදුරෙක් වූ බවය. මනෝරත්නයන් තාත්තා ගැන නිරහංකාරව මුළු රටටම ඇහෙන්නට කීවේ එසේය. මනෝට රඟපාන්නට මාධ්‍ය කුමක් වුවත් කම් නැත. අධ්‍යක්ෂවරයාට මැටි පිඬක්  වෙමින් ඔහුගේ සිතේ තිබෙන රූපය එලෙසම ප්‍රතිනිර්මාණය කරන්නට මනෝට තිබුණේ සැබෑම දක්ෂතාවයකි. මනෝ වැනි රංගනයටම උපන් නළුවන් රඟමඬලින් බැස යාමේ පාඩුව අදට වඩා හෙට කලා කෙතට දැනේවි යැයි ගැඹුරින් විශ්වාසය පළ කරමින් මනෝට සුව නින්දක් පතමි.

අමිල චින්තක ගමගේ