පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ ස්ථාවර තැන්පතුවල මුදල් වලින් රුපියල් කෝටි පහක මුදලක් එහි ප්‍රධානියකු වංචනිකව ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝප්) තොරතුරු අනාවරණය වූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 

කෝප් කමිටුව ප්‍රකාශ කරන පරිදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනය මහජන බැංකුව පේරාදෙණිය ශාඛාවේ පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු 14 ක් 2009 ජනවාරි 01 වැනි දින සිට 2016 දෙසැම්බර් 31 දින දක්වා කාලය තුළ අවසන් කර ලබාගත් රුපියල් කෝටි 9 ක මුදලින් රුපියල් කෝටි 4 ක් පමණක් නව ස්ථාවර තැන්පතුවල අායෝජනය කර රුපියල් කෝටි 5 ක මුදලක් නිලධාරියකු වංචා සහගත ලෙස පෞද්ගලිකව මුදලින් ලබාගෙන මූල්‍ය වංචාවක් සිදු කර තිබේ. ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

ඕනෑම සිදුවීමකට, එම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් හා ස්ථාන ආදිය නිසා විශේෂත්වයක් ගනී. 
මහ මඟදි පුද්ගලයකුට ම්ලේච්ඡ ලෙස පහර දෙන පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වූයේ ඔහු පොලිස් නිලධාරියකු වන හෙයිනි. එවන්නෙකුගෙන් එබඳු හැසිරීමක් අපේක්ෂා නොකරන හෙයිනි. රුපියල් කෝටි 9 ක මුදලක් වංචා කිරීමේ සිදුවීම විශේෂ වන්නේ එම සිදුවීම වාර්තාවන්නේ විශ්ව විද්‍යාලයකින් වීම නිසාය. විශ්වවිද්‍යාලයකින් එබඳු වංචාවක් වාර්තාවීම හුදී ජනයාගේ නළල රැලි ගන්වන්නකි. 

‘හොරකම’ ජාතික දේහයේ රුධිර නාළිකාවක් බවට පත්ව ඇති සෙයකි. එපමණටම හොරකම් සම්බන්ධ සිදුවීම් වාර්තා වේ. 2015 ජනවාරියෙන් පසු එතෙක් පැවැති රජයේ බොහෝ දේශපාලනඥයන්ට, නිලධාරීන්ට එරෙහිව එකක් පසු පස එකක් වශයෙන් හොරකමට සම්බන්ධ චෝදනා එල්ල විය. ඇතැම්හු හිරේ විලංගුවට ද පත් වූහ. ඔවුන්ගේ දේශපාලනය රාජකාරිය හොරකම් කිරීම පමණකැයි සිතෙන තරම්ම එකක් පසු පස එකක් වශයෙන් සිද්ධි වාර්තා විය. 

මෙම රජය යටතේ ද එය එසේමය. පෙර රජයේ බොහෝ පිරිස්වලට විවිධ චෝදනා එල්ල වෙමින් තිබේ. ‘‘ටොප් - 10 කම්බ හොරු’’ නමින් පොතක් ද එළි දක්විණි. 

මෙම ක්‍රියාදාමය තුළ හොරකමට එරෙහිව විශාල ජන මතයක් ගොඩ නැගී තිබේ. හොරකමට එරෙහිව දැවැන්ත විරෝධයක් ඇවිළී ගොස් තිබේ. හොරකම් කරන්නාට තමන් ගැනම ලජ්ජා සිතෙන තරමට එසේ ජනමතයත් ජන විරෝධයත් බලවත්ය. අවශ්‍ය වන්නේ මෙම ජනමතයත්, ජන විරෝධයත් වැර වෑයමෙන් උස් මහත් කිරීමය. හොරකමට එරෙහිව මහා ප්‍රවාහයක්, මහා ප්‍රාකාරයක් ගොඩ නැගීමය. මිනිස් දම්වැලක් ගොඩ නැගීමටය. 

ඒ සඳහා පුරෝගාමී මෙහෙවරක් කළ හැකි වන්නේත් හොරකමට එදිරිව ගොස් නැඟෙන ජනමතයත්, ජන විරෝධයත් කුළු ගන්වා ගත හැකි වන්නේත් උගතුන්ටය. බුද්ධිමතුන්ටය. එම උගතුන්ට, බුද්ධි මතුන්ට සමාජය අති ගෞරවනීය පිළිගැනීම ඉතා ඉහළය. නොවෙනස් වන සුළුය. ඔවුන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වන්නේ එහෙයිනි. 

කරුණු කාරණා එපරිදි වුවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වාර්තා වන්නේ මහා මූල්‍ය වංචාවකි. එය ඇතැම් විට එක් පුද්ගලයකුගේ හෝ දෙතුන් දෙනෙකුගේ ක්‍රියාවක් විය හැකිය. එහෙත් එවැන්නක් විශ්වවිද්‍යාලයකින් බලාපොරොත්තු විය නොහැක. උගතුන්ගෙන් වියතුන් ගෙන් එබඳු හොරකම් වාර්තා වන විට මෙරට ජනයාට විශ්වාසය තැබීමට ඉතිරි වූ ක්ෂේත්‍රයක් වේද යන්න විමසිය යුතුය. 

විශ්වවිද්‍යාලයක් යනු රටේ අනාගත පැහැසර බුද්ධි සම්පත් නිර්මාණය කරන රන් දෙවොලය. උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ, නිර්මාණශීලී මිනිසුන්ගේ ගැඹුරු කට හඬින් නින්නාද වන භූමිය රටේ අනාගත ගමන් මඟ නියත වශයෙන්ම තීරණය කරනු ලබයි. එහෙත් එම ඓතිහාසික භූමිකාව යම් පමණකට දෙදරුම් කා තිබේ ද? යන සැකය මතු කරන සිදුවීම් විශ්ව විද්‍යාල පද්ධතියෙන් වරින් වර වාර්තා වේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වාර්තා වන මූල්‍ය වංචාව ද එවැන්නකි. 

යමකට ගෞරවය දිනා ගැනීම පහසු නැත. ගෞරවය ගොඩ නැගෙන්නේ විශ්වාසයේ ප්‍රමාණය මතය. එමෙන්ම දිනාගත් ගෞරවය ආරක්ෂා කර ගැනීම පහසු නොවන්නා සේම ගිලිහී ගිය විශ්වාසය යළි අත්පත් කර ගැනීම ද අතිශයින්ම දුෂ්කරය. උගතුන්ට, බුද්ධිමතුන්ට මේවා තේරුම් කර දිය යුතු නැත. තමන්ගේම ගෞරවය ආරක්ෂා කර ගත යුත්තේ ඇයි ද යන්න ද ඔවුන්ට තේරුම් ගැනීමට අසීරු නැත. 

මෙරට ජනතාව එක් අතකින් ඉතා අවාසනාවන්ත වෙති. ඔවුන්ට රැකවරණය සැපයිය හැකි ක්ෂේත්‍ර පවතින්නේ ඉතා අඩුවෙනි. විශ්වවිද්‍යාල පද්ධතිය යනු එබඳු හොඳ රැකවරණ මධ්‍යස්ථානයකි. ඒ මත යමකු වසුරු හෙළන්නේ නම් තරාතිරම නොබලා දඬුවම් කළ යුතුය. පේරාදෙණිය සිදුවීම සෙසු විශ්වවිද්‍යාල ද එයට හිමි නිසි බරින් ග්‍රහණය කර ගන්නේ නම් එය ඉතා වැදගත්ය.

(***)