ලංකාවේ ආර්ථිකය ගැන කතා කිරීමේදී සංචාරක කර්මාන්තය යනු අද අපට අවතක්සේරු කළ යුතු සාධකයක් නොවේ. ආර්ථික වර්ධනය මතු නොව විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධානතම මාර්ගය බවට පත්ව ඇත්තේ සංචාරක කර්මාන්තයයි. එහිදී තුන්වැනි ස්ථානයේ තිබෙන එහි දායකත්වය රටේ ආර්ථිකයේ ඍජු, වක්‍ර හා උත්තේජක වර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමට අතිශය වැදගත්ය. ලංකාවේ සංචාරක කර්මාන්තයෙහි ඍජු හා වක්‍ර ලෙස අවම වශයෙන් හාරලක්ෂ පනස්දහසක පමණ පිරිසක් ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටිති. මේ අවමයයි. සැබෑ ගණන මීට වඩා විශාලය. අඩුම තරමින් එක් අයකුගෙන් පවුලේ තිදෙනකු යැපෙනවා නම් ලක්ෂ පහක පිරිසක් මගින් ලක්ෂ පහළොවක ජනතාවක් නඩත්තු වේ යැයි සිතිය හැකිය. සංචාරක කර්මාන්තයෙන් යැපෙන පිරිස ලක්ෂ විස්සක් යැයි ගණන් හැදෙන්නේ මේ අනුවය.

ආයතන කිහිපයක කතිපයාධිකාරිත්වයක් තිබියදී පවා ආදායම බොහෝ දුරට බෙදී යෑම සංචාරක කර්මාන්තයේ විශේෂම ලක්ෂණයකි. සංචාරකයන් ගමකට ගිය විට ඒ ගමේ පහළම මට්ටමේ වෙළෙන්දෝ පවා ඔවුන් සමග ගනුදෙනු කරති. රටේ සේවා නියුක්තියෙන් හා ජාතික ආදායමෙන් සියයට පහක් වැනි අගයකට සංචාරක කර්මාන්තය දායක වීමේ රහස ද එයයි.

2020 දී බිලියන පහක පමණ ඉපැයුම් හැකියාවක් සංචාරක කර්මාන්තයට පැවැතිණි. 2020 කොරෝනා බලපෑම එනවිට පළමු කාර්තුවේදී ඩොලර් මිලියන නවසිය අනූ ගණනක් උපයා තිබීමෙන් එය පැහැදිලිය. එමෙන්ම විදේශ ආයෝජනවල ප්‍රධානම මාර්ගය බවට පත්ව තිබෙන්නේ ද සංචාරක කර්මාන්තයයි. අනෙක් අංශවලට වඩා විදේශීය ආයෝජන පැමිණියේ සංචාරක කර්මාන්තය පදනම් කරගෙනය. එසේ බලද්දී විදේශීය ආයෝජන මෙරටට ඇදගැනීම සඳහාත් සංචාරක කර්මාන්තය මහඟු මගකි. එහෙත් කොරෝනා වසංගතය නිසා මෙම පසුබිම දැන් තිබෙන්නේ උඩුයටිකුරු වීය. සංචාරක කර්මාන්තයේ පාරිභෝගිකයා නම් සංචාරකයාය. පාරිභෝගිකයා නැතිව මේ කර්මාන්තය කළ නොහැකිය. එනිසා සංචාරක කර්මාන්තයට අදාළව අප මේ මොහොතේ මුහුණ දී ඇති ලොකුම ප්‍රශ්නය වන්නේ සංචාරකයන් ලංකාවට කැඳවාගන්නේ කෙසේ ද යන්නයි. සංචාරකයන් මෙරටට ගෙන්වීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නේ ඒ අභියෝගය අනුවය. මා මෙහිදී පවසන්නේ තීරණයක් වශයෙන් එය නිවැරැදි බවය. ප්‍රශ්න පැමිණියේ එය ක්‍රියාවට නැගූ ආකාරය සම්බන්ධයෙනි. යාල සෆාරි සිද්ධිය ඊට කදිම නිදසුනකි. ප්‍රතිපත්ති සම්පාදනය කළ පසු ක්‍රියාවේ යෙදීම ලංකාවේ ආණ්ඩුවල පැවැත්ම කෙරෙහි පවා බලපාන බරපතළ ප්‍රශ්නයකි. ඇතැම් ආණ්ඩු කඩාවැටුණේ ඒවා ගත් තීන්දුවල වැරැදිභාවයක් නිසා නොව ක්‍රියාත්මක වීමේදී වූ අඩුපාඩු නිසාය. මෙතැන ඇත්තේ නිවැරැදි තීන්දු ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නොව ගත් තීන්දු නිවැරැදිව ක්‍රියාත්මක කිරීම යැයි ආරම්භයේදීම මා කීවේ එහෙයිනි.

සංචාරක කර්මාන්තය යළි පිබිදවීමේදී පහළ ස්ථරවල ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතු වේ. සංචාරකයන් නිසා අප හෝ අප නිසා සංචාරකයන් හෝ රෝගීවන්නට බැරිය. එසේ සංචාරක කර්මාන්තය රෝගී කර නොගැනීමට හොඳ නිදසුනකි මාලදිවයින. මේ වනවිට මාලදිවයිනට අනූදහසක් පමණ සංචාරකයෝ පැමිණ සිටිති. ඔවුහු එය ඉතාම සාර්ථකව කරගෙන යති. මාලදිවයිනේ සංචාරක කර්මාන්තය මහජන කේන්ද්‍රීය නොවේ. තායිලන්තය ඊට වෙනස්ය. එහි විශේෂත්වය නම් එය දීර්ඝ කාලීන සංචරණ මත පදනම් වීමය. ඇතැම් පිරිස් තායිලන්තයට ගිය විට මාස හය හත රැඳී සිටිති. මේ දීර්ඝ කාලීන සංචාරකයන්ගේ විශාල වර්ධනයක් තායිලන්තය පහුගිය කාලයේදී අත්පත් කරගත්තේය. පී.සී.ආර්. පරීක්ෂණ කර ගම් නියම් ගම්හි පදිංචි වී කාලය ගත කිරීමට සංචාරකයන්ට අවස්ථාව සලසා දී ඇත. කාම්බෝජය හා වියට්නාමය ද එසේ සංචාරක කර්මාන්තය ස්ථායි කරගත් රටවල්ය. ඔවුන් මෙම ජයග්‍රහණ අත්පත් කරගැනීමට ප්‍රමුඛ හේතුවක් නම් මහජන විනයයි. සංචාරකයකු දුටු මනතින් වට කරගෙන ගසාකෑමේ ප්‍රවණතා ඒ රටවල නැත. සුද්දන්ට සුද්දයක් දීමේ ආකල්ප එහි නොවේ. සංචාරකයා සතුටු වීමෙන් සතුටු සිතින් ලැබෙන ආදායම වර්ධනය ඔවුන්ගේ උපක්‍රමයයි.

ආර්ථික ක්‍රියාවලියේ නිරත අවිධිමත් අංශය ද සංචාරක කර්මාන්තයට නැතිවම බැරිය. මේ කියන අවිධිමත් අංශය විධිමත් පද්ධතියකට අන්තර්ග්‍රහණය ඉතා වැදගත්ය. මේ අවස්ථාවේ එය කරගැනීමට නොහැකි වුවහොත් එය ආණ්ඩුවේ අසමත්භාවයක් වනු ඇත. ලියාපදිංචි කිරීම් නොමිලේ කිරීම ආදී උපක්‍රම මගින් අදාළ පිරිස් සංවිධානාත්මක කොටස්කරුවන් කිරීම වැදගත්ය. යම් ආකාරයකට එය දැන් සිදුවන නමුත් තවදුරටත් එය වර්ධනය විය යුතුය. තමන්ගේ වගකීම හා කාර්යභාරය ගැන කර්මාන්තයට අදාළ පහළම ස්ථර පවා දැනුවත් කළ යුතුය.

 එවිට යම් සිදුවීමකදී රජයට හෝ අදාළ ආයතනවලට සිදු වූ දේ ගැන දැනීමක් නැතැයි කිව නොහැකිය. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතනවල සිට ප්‍රාදේශීය මට්ටමේ පිහිටි සංවිධාන කණ්ඩායම් ඒකරාශි කරගනිමින් දැනුවත් කිරීමේ ක්‍රමයක් සකසාගත හැකිය. ලංකාවට පැමිණෙන සංචාරකයන් වැඩිපුර කැමැති මොනවාට ද අකැමැති මොනවාට ද යන කරුණු විමසීමේ සමීක්ෂණ පවා වැදගත්ය. දේශීය ගුවන්තොටුපොළට ගොඩබැස්ස අවස්ථාවේ සිට නැවත මෙරටට සමුදෙන අවස්ථාව දක්වා සිය ගමනේ අත්දැකීම් ගැන දැනගැනීමට හැකි ක්‍රමවේද සකස් කළ යුතුය. ඩිජිටල් මාධ්‍ය සමීක්ෂණ ඊට පහසුවෙන් යොදාගත හැකිය. නොඑසේව සියල්ල තමන් දන්නේ යැයි සිතා ගන්නා උඩඟු තීරණවලින් මෙය කළ නොහැකිය. ඇත්ත වශයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් එක් අවස්ථාවකදී එවැනි සමීක්ෂණ ක්‍රමයක් නිර්මාණය කළහ. සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඔවුහු එය පැහැදිලි  කළහ. එහෙත් අවාසනාවට ඉන් ඔබ්බට සිදු වූ දෙයක් නැත.

විශේෂයෙන්ම මේ එළැඹෙමින් තිබෙන්නේ සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධියට වටිනාම කාලයකි. යුරෝපයට මේ සමයේ එළැඹෙමින් තිබෙන්නේ තද සීත කාලයකි. ඔවුන්ට එය දරා සිටීම අපහසුය. එක් සීත ඍතුවක් කොරෝනාවට කැප කළ ඒ වැසියෝ තවත් ඍතුවක් කැප කිරීමට කැමැති නැත. ඔවුන් උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටකට පැමිණ ශරීර ශක්තිය පවත්වා ගැනීමටය. එහෙත් සංචාරක කර්මාන්තය දියුණු කරන්නේ නම් එහි නියුතු පිරිස ද එක අරමුණක් වෙනුවෙන් සංවිධානගතව ක්‍රියා කිරීම අවශ්‍යය.

අසංවිධානාත්මකභාවය හා අපිළිවෙළ නිසා සංචාරක කර්මාන්තයට වන හානිය කොරෝනාවෙන් ඊට වූ හානියට වඩා වැඩි විය හැකි බව දැන්ම කිව යුතුය. සංචාරක පැමිණීම්වල ප්‍රතිලාභ මේ ජන කොටස් අතර සාධාරණ ලෙස බෙදී යන ක්‍රමයක් ද එහිදී අවශ්‍යය. ඒ සඳහා නිර්මාණාත්මකභාවය ද වැදගත්ය. මේ දිනවල ඉන්දියාව කරන ලස්සන වැඩක් නිදසුනකට දැක්විය හැකිය. ඉන්දියාව දැන් කරන්නේ මංගල සංචාරක කර්මාන්තය හෙවත් වෙඩින් ටුවරිසම් ප්‍රවර්ධනයයි. එහිදී සිදුවන්නේ මධු සමයට යන නව විවාහක යුවල ඉලක්ක කරගැනීමය. මධු සමයට යන නව විවාහක යුවලක් වැඩිපුර කාලය ගෙවන්නට කැමැති ජනාකීර්ණ පරිසරයේ නොවේ. හුදෙකලාවය. ඉන්දියාව පරිසරය සකසන්නේ එයටය. අනෙක් කරුණ නම් ආයුර්වේද සංචාරක කර්මාන්තයයි. මේ වාරයේදී ලංකාවට පැමිණි සංචාරකයන්ට ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළ යොමු කිරීම කොතෙක් දුරට වීදැයි කියා ක්ෂේත්‍රයේ පිරිස් සතුව දත්ත තිබිය යුතුය.

සංචාරක කර්මාන්තයේ දියුණුවට ලංකාවේ ආවේණික වටිනාකම් හඳුන්වාදීමේදී ඇසේ හැපෙන ආභරණය නම් බෞද්ධ දර්ශනයයි. ලංකාවේ පළමු වතාවට බෞද්ධ සංචාරක මධ්‍යස්ථානයක් පිහිටුවීමට කොළඹ විශ්වවිද්‍යාලයේ අප මූලික වූයේ ඒ නිසාය. කුරුණෑගල රිදීගම රිදී විහාරයේ එම මධ්‍යස්ථානය පිහිටුවනු ලැබුවේ පසුගිය ආණ්ඩු සමයේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සර්වාගමික නියෝජිතවරිය පවා කැඳවා සංවිධානය කළ එම අවස්ථාවේදී බෞද්ධ සංචාරක කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යෑම ගැන සම්මන්ත්‍රණයක් පවා පැවැත්වීය. දෙස් විදෙස් ප්‍රාමාණිකයන් ඇසුරෙහි දියත් වූ අපේ උත්සාහය අගය කිරීමක් හෝ ඉන් ඔබ්බට එයට අත්වැලක් රාජ්‍ය පාර්ශ්වයෙන් ලැබුණේ නැත. අඩුම තරමින් වගකිව යුතු රාජ්‍ය නියෝජනයක් ඊට තිබුණේ නැත. තායිලන්තය ගැන කියන විට බොහෝදෙනකුට සිහියට එනු ඇත්තේ කාමෝද්දීපන සංචාරක කර්මාන්තයයි. එහෙත් බොහෝදෙනකු නොදන්නා කරුණ නම් එරටේ සංචාරක කර්මාන්තයට බෞද්ධ සංචාරක කර්මාන්තය දක්වන දායකත්වයයි.

ලංකාවේ පිරිස් ඊට යොමු නොවුණ ද බොහෝ ජපන්, චීන, කොරියානු ජාතිකයන් විශාල සංඛ්‍යාවක් තායිලන්තයට යන්නේ බෞද්ධ දර්ශනය හැදෑරීමට හා එහි පිළිවෙත්මය පාර්ශ්වයෙන් චිත්ත විශුද්ධිය ඇතිකරගනු වස්ය. ලංකාවේදී මෙයට සංචාරක නියෝජිතායතන ඒ සා කැමැත්තක් නැත්තේ තමන්ගේ ආදායමට ලොකු දායකත්වයක් නැති නිසාය. එහෙත් බෞද්ධ සංචාරකයන්ගෙන් සංචාරක කර්මාන්තයේ පහළ ස්ථරවලට ලැබෙන ප්‍රතිලාභ සුළුපටු නැත. ඇතැම් අවස්ථාවල ගම්වැසියන් ඉලක්ක කරගෙන එවැනි දානපතින් ඩොලර් මිලියන ගණනින් කරන මූල්‍ය ප්‍රධාන අතිවිසල්ය. භාවනා ක්‍රම ආදිය ප්‍රවර්ධනය කරමින් බෞද්ධ සංචාරක කර්මාන්තයක් ගොඩනගනවා නම් ලංකාවේ ඇති රජමහා විහාර හා සෞන්දර්යයෙන් පිරුණු ග්‍රාමීය විහාර ඊට හොඳටම සෑහේ. එය හුදෙක් සංචාරක කර්මාන්තයේ නැගීමට මතු නොව පරාභවයට පත්වෙමින් යන අපේ විහාරාරාම රැකගැනීමට ද උපස්ථම්භක වනු ඇත. අතීතයේදී සංචාරක කර්මාන්තය ගැන අපේ ගැමි ආකල්පය වූයේ එය සංස්කෘතික සෝදාපාළුවකට පාදක කරුණක් බවය. එහෙත් දැන් තත්ත්වය වෙනස්ය.  

හැටනව ලක්ෂයක ජනතාවක් ඡන්දය දී ජනාධිපතිවරයා බලයට පත්කළේ විශාල විශ්වාසයකිනි. එහෙත් අද වනවිට සිදුවන වන විනාශය ගැන අපට කතා කිරීමට සිදුවන්නේ කනගාටුවෙනි. මන්දයත් එයද සංචාරක කර්මාන්තයට විශාල හානියක් කරන බැවිනි. මිනිසා මැදිහත් වී ප්‍රවර්ධනය නොකළ නමුත් ස්වාභාවිකව හටගත් ගහකොළ යනු ලංකාවේ සංචාරක කර්මාන්තයට ආභරණයකි. මුහුදු වෙරළ යනු අප නිර්මාණය කළ වස්තුවක් නොවේ. ප්‍රාථමික වනාන්තර ද එසේය. සංස්කෘතිය මිනිස් නිර්මිතයක් වුව සංචාරක කර්මාන්තයට ගැළපෙන සංස්කෘතික වටිනාකම් යනු අපේ පරම්පරාවේ නිර්මාණ නොවේ. බහුතර සාධක අපට දායාද වූ දේය. එනිසාම අප ජාතියක් හැටියට හැසිරෙන්නේ ඒවායේ වටිනාකම් අවබෝධ කර නොගෙනය. ගසක් කපා බිම හෙලීමට පෙර එමගින් තමාටත් සමාජයටත් ලැබෙන ආර්ථික මෙන්ම සෞඛ්‍යමය ප්‍රතිලාභ ගැන අප සිතිය යුතුය. මේ සිදුවන පරිසර විනාශය දිගටම සිදුවුවහොත් එය බලපානු ඇත්තේ සංචාරක කර්මාන්තයට පමණක් නොවේ. සියලුම කර්මාන්තවලටය.  

යම්කිසි අවස්ථාවක පරිසරයට හානි කිරීමට සිදුවන්නේය යන්න පාරිසරික ආර්ථික විද්‍යාව ද පිළිගනී. එහෙත් එය විය යුත්තේ හානිය අවම වන අයුරින් බව ද ඒ සමගම එහි පාඩමකි. මාර්ගයක් ඉදිකිරීමට ගස් සියයක් කපනවා නම් තවත් තැනක ගස් සියයක් එකසිය පනහක් සිටුවීම හෝ විය යුතුය. සාමාන්‍ය මනුෂ්‍යයා දන්නේ මාර්ගයක අවශ්‍යතාවයි. එහිදී විනාශ වන පරිසරය වෙනුවට නව පරිසරයක් ජනනය කිරීමේ වැදගත්කම ප්‍රතිපත්ති තනන්නන් විසින් සන්නිවේදනය කරනු ලැබිය යුතුය. සංචාරකයන් පසසන ප්‍රධාන කරුණක් නම් හරිත වර්ණ පරිසරයයි. ඔවුන් ගුවන්යානයකින් රටකට පැමිණෙන විට ම විපරම් කරන්නේ මේ හරිත තීරුවේ දිග පළලයි. ඉතින් සරලවම කිවහොත් ලංකාවට විකුණන්නට ඇත්තේ සයුරේ නිල් පැහැයත්, වනයේ හරිත පැහැයත්ය. එවිට සංචාරක කර්මාන්තය වෙනුවෙන් මේ කොළ නිල් පැහැද්වයම රැකගැනීම පුරවැසි රාජ්‍ය වගකීමකි. ඇතැම් රටවලට ගොඩබසින විට අහසේ නිල් පැහැයවත් පැහැදිලි නැති තරමට දූවිලි වළාය. ලංකාවේ තරම් ලස්සන ගහකොළ දකින්නට නැත. කුරුල්ලන්ගේ කිචි බිචියක් ඇත්තේම නැති තරම්ය. පරිසර සංරක්ෂණය පදනම් කරගත් සංචාරක කර්මාන්තයක් සඳහා ජනමාධ්‍යට පැවැරී ඇත්තේ ද විසල් කාරියකි. හරිත ආර්ථිකයට හානි කෙරෙන ව්‍යාපෘති හෝ ක්‍රියාකාරකම්වලට විරුද්ධව නැගී සිටිමින් ඒවා අනාවරණය කිරීම රටට ආදරය කරන ජනමාධ්‍යවේදියාගේ වගකීමකි. අපට වැදගත් විය යුත්තේ දේශපාලන පක්ෂ නොවේ. රට ආරක්ෂා කරගැනීමය.

සංචාරක කර්මාන්තය දියුණු කරන්නේ නම් ප්‍රතිපත්ති සම්පාදකයන් අමතක නොකළ යුතුම කරුණ නම් එහි ඓන්ද්‍රීය සාධක ගැන අවබෝධ කරගැනීමයි. සංචාරක කර්මාන්තය පෞද්ගලික අංශයේ යැයි කීවද වැඩිපුර භාවිත වන්නේ පොදු සම්පත්ය. ගමකට ගොස් එහි සංස්කෘතිය පෙන්වීමේදී ගැමියන්ගේ ඉඩම් කඩම්වල ඇවිදීමේදී ආගමික සිද්ධස්ථානයක් නැරඹීමේදී පාවිච්චි වන්නේ මහජන සම්පත්ය. එනිසා සංචාරක කර්මාන්තය යනු පොදු දේපළ නිරන්තරයෙන් පාවිච්චි කෙරෙන ජනතාවගේ කර්මාන්තයක් යැයි කීම වඩා නිවැරැදිය. එසේ බලද්දී සංචාරක කර්මාන්තය යනු පොදු සම්පත් භාවිතා වන ප්‍රජාමූලික වූ පෞද්ගලික ආයෝජන හා ව්‍යවසාය මත කෙරෙන කර්මාන්තයකි. එහෙත් ක්‍රියාත්මක වීමේදී ඇතැමුන් මෙය අමතක කර ඇති බව අපට පෙනේ. ඇඟලුම් කම්හලක් මෙන් ෆැක්ටරිය පමණක් ගොඩනැගීමෙන් දියුණු කළ නොහැකි සංචාරක කර්මාන්තයට ගමත් ගැමියාත් අත්‍යවශ්‍යය. ජනතාවගේ ආශීර්වාදය අවශ්‍යය. ඓන්ද්‍රීය සාධකය වූ ගැමියා එයින් විතැන් කළහොත් එහි අනිටු පල විපාකය වනු ඇත්තේ ආයෝජකයන් ගැමියන්ගේ වෛරයට ක්‍රෝධයට ලක්වීමය. එය වින කරනු ඇත්තේ පෙරලා සංචාරක කර්මාන්තයටමය. නවීන ලෝකයෙහි පුරවැසියා අතීතයේ මෙන් අන්දන්නට පහසු නැති වග දේශපාලකයන් ද දැනගෙන සිටිය යුතුය. වත්මන් තරුණ පරම්පරාව බුද්ධිමත්ය. සැබැවින්ම මේ ආණ්ඩුව නොතිබුණා නම් රටේ තත්ත්වය තවත් නරක් වීමට ඉඩ තිබිණි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්කරගත්තේ මිනිසුන් ප්‍රචාරණ යාන්ත්‍රණවලට යටවීම නිසා නොව විකල්පයක් නොතිබූ නිසා බව ද සිහියට නැගිය යුතුය. නායකයන් මේ යථාර්ථය තේරුම් ගත යුතුය.

කාර්යසාධක බළකා සෑදිය යුත්තේ තීරණ ගැනීමට පමණක් නොව තීරණ ක්‍රියාත්මක කිරීමටත් යැයි ආරම්භයේදීම කීවේ එහෙයිනි. ආණ්ඩුව බලයට පැමිණි මුල් දිනවල තාප්පවල චිත්‍ර ඇන්ද මිනිස්සු පිරිසක් සිටියහ. එහෙත් සිදුවන දේවල් නිසා ඒ මිනිසුන් දැන් සිටින්නේ මන්දෝත්සාහීවය. රට ගොඩනැගීමේදී ඒ මිනිසුන් ද අමතක නොකළ හැකි සාධකයක් බව පමණක් අවසන අවධාරණය කරමි.


(*** සටහන: බිඟුන් මේනක ගමගේ )