ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රටක මූලික නීතියයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ලිඛිත හා අලිඛිත වශයෙන් වර්ග දෙකකි. ඒ අනුව මෙරට ද ලිඛිත හා අලිඛිත වශයෙන් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ පාලනය වී තිබේ. විශේෂයෙන්ම රජවරුන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් යටතේ පැවැති රාජාණ්ඩුවල දී ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විය. ව්‍යවස්ථා     යන වචනය මධ්‍ය යුගයේ මෙරට ශිලා ලේඛනවල ද සඳහන් වී තිබිණි.

රටක් යනු සමාජ, දේශපාලන, සංස්කෘතික වශයෙන් වූ පද්ධති ගණනාවකින් සැදුම් ලද්දකි. එහි අතිශයින්ම වැදගත් පද්ධතියක් හැටියට නීති පද්ධතිය හැඳින්විය හැකිය. ආක්‍රමණිකයකු රටක් අත්පත් කරගැනීමේ දී පළමුවෙන්ම වෙනස් කරගැනීමට උත්සාහ කරන්නේ එරට නීති පද්ධතියයි. ශ්‍රී ලංකාවේ දී ද අපට ඒ අත්දැකීම තිබේ. පෘතුගීසීන්ට පවත්වාගත නොහැකි වූ පාලනය ස්ථාවර කර ගැනීමට ලන්දේසීන් කල්පනා කළේ නීති පද්ධතිය මගිනි. ඉංග්‍රීසීහු ද එමග ගියෝය. කෝල්බෲක්, මැනිං, ඩොනමෝර්, සෝල්බරි ආදී වශයෙන් වූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සිදු වුණේ ඒ අනුවය.

ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඒ ආකාරයෙන් නිර්මාණය වුව ද ඊට පෙර සිටම අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්ප්‍රදායක් තිබිණි. එම ඓතිහාසික මූල ධර්ම ගැන සෙල්ලිපි ආදී මූලාශ්‍රවල සඳහන් වේ. දුටු ගැමුණු රජු පැවසුවේ මාගේ ව්‍යායාමය රජ සැප පිණිස නොව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස බවය. එහිදී සම්බුද්ධ ශාසනය යනුවෙන් සංයුක්ත වූයේ මේ රටේ සියල්ලය. මේ රටේ මහා සංස්කෘතියයි. අහසින් වැටෙන එක දිය බිඳක් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලායන්නට ඉඩ නොදෙන බවට මහා පරාක්‍රමබාහු රජු අවධාරණය කළේ ද කෘෂිකර්මය වාරිතාක්ෂණය හා බැඳුණු ඒ මහා අධ්‍යාත්මයයි. ප්‍රකාශයෙන් නොනැවතී සාගරයක් බඳු ජලාශ ඉදිකර පෙන්වූයේ තම ආර්ථික න්‍යාය ධර්මයයි.

මා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දකින්නේ අපේ පොළවේ හෝ ජන විඥානයේ නැති බටහිරින් ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිවෙත්හි කෙල පැමිණීමක් හැටියටය. 13 හා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යනු එය තවදුරටත් ඉදිරියට ගෙනගිය භයානක නීති ප්‍රතිසංස්කරණය. මෙරට භෞමික අඛණ්ඩතාව අභියෝගයට ලක්කරමින් 13 වැනි සංශෝධනය කෙරෙද්දී 19 න් වුණේ විජාතික න්‍යාය පත්‍ර එහි තවදුරටත් පැළ කිරීමකි. ජනාධිපතිවරණයේ සිට මහමැතිවරණ හා සමූපකාර ඡන්ද දක්වා ලක්ෂ ගණනින් මිනිසුන් ඡන්ද ප්‍රකාශ කරමින් අවධාරණය කළේ මෙම කුමන්ත්‍රණ ආපසු හරවන්නටය. 20 වැනි සංශෝධන කෙටුම්පතක් සකස් කෙරුණේ ඒ පැහැදිලි ජනවරම අනුවය.

එහෙත් මේ වනවිට යෝජිත විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් මතු වී තිබේ. එහි අන්තර්ගතව තිබෙන්නේ ජනතාව දුන් ජනවරම අනුදත් ප්‍රතිසංස්කරණ ද යන්න එහි මූලික ප්‍රශ්නය වී තිබේ. ඒ නිසා විස්ස ගැන දැන් යම් සංවාදයක් නිර්මාණය වී තිබේ. ඡන්දය දුන් නුදුන් පක්ෂ විපක්ෂ ඇත්තන්ගේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිතයන් දක්වා එම සංවාදයේ කොටස්කරුවෝ වී සිටිති. එය හොඳ තත්ත්වයකි. මන්දයත් ව්‍යවස්ථා සම්පාදනයක දී මහජන සහභාගීත්වය අතිශයින් වැදගත් වන බැවිනි.

මේ රටට පළමු වරට මේ රටවැසියන්ගේම හර පද්ධතියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්වයංජාත වූයේ 1972 දීය. ඉතාම විනිවිදභාවයෙන් යුතුව සිදුකළ එම ව්‍යවස්ථාව විනාශ වූයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනි. එය සිදුකළේ ද ජනතාවට කොළේ වහලාය. එනිසා අපට නැවතත් 1978 පාලකයන් ගිය මගේ යෑමට නොහැකිය. ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කළ ඇමැතිවරයාම එහි හිමිකරු කවුදැයි තමා නොදන්නා බව කියද්දී ජනතාවට මතුවන්නේ ප්‍රශ්නයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට සුජාතභාවය, විශ්වාසය, ස්ථිරභාවය ලැබෙන්නේ එය සම්පාදනයේ පළමු පියවරේ සිට අවසන් පියවර දක්වා ඉතාම විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කළහොත්ය. විශේෂයෙන්ම විසල් ජනවරමකින් පසුව කෙරෙන එවැනි වැඩපිළිවෙළක දී එහි හිමිකාරිත්වය අතිශය වැදගත්ය. හැදුවේ කවුදැයි නොඅසා එහි අන්තර්ගතය බලන්නැයි කිව නොහැකිය. රටේ මූලික නීතිය කෙටුම්පත් කරනු ලබන්නේ කවර නියෝජිතයන් විසින්දැයි දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබේ. පැවැති නීතිය වෙනස් කළේ ඇයිද? අලුතින් නීති එකතු කළේ ඇයි ද? කියා ප්‍රශ්න කිරීමට ඡන්දදායකයන්ට අයිතියක් තිබේ. එනිසා විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වශයෙන් අප කරන මේ විවේචනය ආණ්ඩුව බාර ගත යුත්තේ ධනාත්මක ලෙසය.

ඕනෑම කාරණයක හොඳ නරක කියා දෙකක් තිබේ. එපරිද්දෙන්ම යෝජිත විසි වැනි සංශෝධනයේ ද හොඳ කරුණු තිබේ. 19 වැනි සංශෝධනයට පවා එය පොදුය. උදාහරණයකට 19 වැනි සංශෝධනයෙන් මහජනතාවට ලබාදුන් තොරතුරු දැනගැනීමේ අයිතිය දැක්විය හැකිය. ලංකාව වැනි රටවල දී සාමාන්‍ය ජනතාවට රජයේ නිලධාරීන්ගෙන් තොරතුරු ලබා ගැනීම අතිශය දුෂ්කර ව්‍යායාමයකි. මහජන මුදල් වැය කරන මහා පරිමාණ ව්‍යාපෘති සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ලෙහෙසි නැත. එහෙත් 19 වැනි සංශෝධනයෙන් තොරතුරු මහජන දේපළක් බවට පත්විය. එය හොඳ තත්ත්වයකි. ප්‍රශ්නය වූයේ තරාදියක දමා කිරා බලද්දී එවැනි සාධනීය ලක්ෂණවලට වඩා එහි ප්‍රතිගාමී ලක්ෂණවල බර වැඩිවීමය. විසි වැනි සංශෝධනය බලද්දී ඊට සාපේක්ෂව සාධනීය කරුණු වැඩිය. උදාහරණයකට පළාත් රාජ්‍ය සේවය විසි වැනි සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ විෂය පථයට යටත් කර තිබේ. ජාතික පොලිස් කොමිසමේ වැඩි ඡන්ද බලය පොලිස්පතිවරයාට ද ලබා දී ඇත. එහෙත් 19 වැනි සංශෝධනය යටතේ පොලිස්පතිවරයා පත්කර තිබුණේ කොමිසමට සහභාගී වුවත් නිරීක්ෂකයකුගේ තත්ත්වයටය. 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීමට ඇති බලය වසර හතරහමාරක් යනතුරු ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය කළේය. එහෙත් 1978 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට එම බලය පාර්ලිමේන්තුවට වසරක් ගත වන තැන සිට අභ්‍යාස කිරීමට අවස්ථාව දී තිබුණේය. විසි වැනි සංශෝධනයෙන් 19 යේ එකී දුර්වලතාව නැවතත් මගහරවා ඇත. 19 න් උත්සාහ කළේ ජනාධිපතිවරයාගේ බලය උදුරාගෙන අගමැතිවරයාට ලබා දීමටය. එහෙත් අවසානයේදී එයින් නිර්මාණය වුණේ ජනාධිපතිටවත් අගමැතිටවත් බලය නැති ගන්ධබ්බ රාජ්‍යකි. එහෙත් විසි වැනි සංශෝධන කෙටුම්පතින් නැවතත් ජනාධිපතිවරයා ශක්තිමත් රාජ්‍ය නායකයකු බවට පත්කර තිබේ. රටට වැඩදායී නීති සකසද්දී පාර්ලිමේන්තුව සහාය නොදක්වයි නම් ඊට ජනතාවගේ සෘජු අනුමැතිය ඉල්ලන ක්‍රමයක් ද මෙමගින් යෝජනා කර තිබේ. එය යහපත් තත්ත්වයකි.

19 න් ස්වාධීන මැතිවරණ කොමිසමක් සැකැසිණි. අවසාන කාලයේදී මැතිවරණ පැවැත්වීමට එරෙහිව අධිකරණයට ගියේ එම කොමිසමේම සාමාජිකයෙකි. කොරෝනා වසංගත සමයේ කොමිසම ක්‍රියා කළේ ජනතාවට සහන සැපයීමට ප්‍රතිරෝධීවය. මේ නිසා යෝජිත විසි වැනි සංශෝධනයෙන් මැතිවරණ කොමිසමට මැතිවරණ කටයුතු හැරුණු විට රාජ්‍ය හා අධිකරණ සේවය වැනි ක්‍ෂේත්‍රවලට අත තැබීමට ඇති ඉඩ වළකා තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනස් කිරීම ද විස්සේ තවත් පියවරකි.  17 වැනි සංශෝධනයෙන් නිර්මාණය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තු සභාව බවට පත්වුණේ 18 වැනි සංශෝධනයෙනි. නැවතත් එය 19 වැනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හැටියට ප්‍රතිනාමකරණය විය. ඉහළ තනතුරුවල පත්කිරීම් නිර්දේශ කිරීමේ බලය පැවරුණේ ව්‍යවස්ථා සභාවටය. ඒවා අනුමත කරනු ලැබුවේ ජනාධිපති විසිනි. එහෙත් මෙම ක්‍රියාවලිය ප්‍රශ්නකාරී වූ අතර ඇතැම් තනතුරුවලට පත්කිරීම් නිසියාකාරව සිදුවීදැයි සැකයට භාජනය විය. මේ නිසා දැන් නැවතත් එම බලය ජනාධිපතිවරයාට පවරාදීමට යෝජනා වී තිබේ.

ජනාධිපතිවරයාට හදිසි පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට 1978 ව්‍යවස්ථාවෙන් හිමි වූ බලය නැවතත් ලබාදීම ද එවැනිම සාධනීය පියවරකි. මේ ආදී වශයෙන් නිරීක්ෂණය කරද්දී මට අනුව නම් විසි වැනි සංශෝධන කෙටුම්පත සාපේක්ෂ වශයෙන් යහපත් එකකි. අප කළ යුත්තේ ද්විත්ව පුරවැසිභාවය ආදී එහි ඇති ප්‍රශ්නකාරී තැන් විවෘතව මහජන සංවාදයට ලක් කිරීමය. ජනවරමට සාධාරණයක් වන විනිවිදභාවයෙන් යුතු ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියකට අවතීර්ණ වීමට ආණ්ඩුවට පාර කැපෙන්නේ එමගිනි. සැබැවින්ම ඇතැම් දේ වෙන්නේ හොඳටය. විසි වැනි සංශෝධන යෝජනාව ගැන මහා සමාජයේ හටගත් මහා සංවාදය ගැන ද කිවයුත්තේ එයයි. සිදුවිය යුත්තේ එය නිසි පරිදි රටේ යහපත සඳහා යොදාගැනීමය. පසුගිය අවුරුදු පහක කාලයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික මෙන්ම සමාජීය, දේශපාලන හා සංස්කෘතික වශයෙන් ද විශාල ප්‍රශ්න ගණනාවක් හට ගත්තේය. අවසානයේ දී පැවැති ආණ්ඩුවට පාලන බලය අහිමි වුණේ අර්බුදකාරී තැනකට රට තල්ලු කරමිනි. ජනතාව මේ ආණ්ඩුවෙන් අපේක්ෂා කළේ ඒ අර්බුදයෙන් රට ගොඩ ගැනීමය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ද එහි වැදගත්ම සංධිස්ථානයකි.


(*** සටහන- බිඟුන් මේනක ගමගේ)