ලංකාවේ ආණ්ඩු ක්‍රමයේ වරින් වර විවිධ වෙනස්කම් සිදුව තිබේ. ඇතැම් ඒවා රාජ්‍ය ස්ථාවරභාවය පැත්තට බරව සිදුවුණි. තවත් වෙනස්කම් වූවේ ප්‍රජාතන්ත්‍රවාදය ට වැඩි බරක් තබමිනි. එකී වෙනස්කම් කවර ස්වරූපයක් ගත්තද වැඩි අවධානය යොමුකළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය දෙසටය. ලංකාවේ තිබෙන්නේ අර්ධ ජනාධිපති ක්‍රමයකි. ඒ ක්‍රමයේ වරදක් නැත. එකී ක්‍රමය නිසඟයෙන්ම ස්ථාවර ආණ්ඩු ක්‍රමයක් ජනිත කරන්නකි. එනිසා ස්ථාවරභාවය සකසා ගැනීමට මේ ක්‍රමය යටතේ දැඩි ලෙස මහන්සිවීමේ වුවමනාවක් නැත.

19 වැනි සංශෝධනය අහෝසි කිරීමට විසිවැනි සංශෝධනය ගෙනඒමට වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කළ කාරණා එතරම් තාර්කික නැත. රාජ්‍ය ස්ථාවරභාවයට, ජාතික ආරක්ෂාව උදෙසා විසිවැනි සංශෝධනය ගෙන එන බව කීම එක් උදාහරණයකි. මෙය ඇත්තක් නොවේ. 19 වැනි සංශෝධනය ක්‍රියාත්මක වූ කාලයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ගැටුම් ඇතිවීමෙන් රාජ්‍යය දුර්වලවීමේ ප්‍රතිඵලයක් ලෙස පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ බව හැඟවීම ප්‍රායෝගිකද? එවන් හේතු නිසා විසිවැනි සංශෝධනය ගෙන එනවා යැයි කීම කොතරම් අදාළද? මෙවන් තර්ක ගොඩනැගීමම වැරැදිය. අර්ධ ජනාධිපති ක්‍රමයේදී ජනාධිපතිවරයා බලවත් වන්නේ අනිවාර්යයෙන්ම ඔහුගේ පාර්ශ්වයට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිවන්නේ නම් පමණි. එසේ නොවන ඕනෑම අවස්ථාවක බලවත් වන්නේ පාර්ලිමේන්තුවය.

එවන් විශේෂ අවස්ථාවක් වන්නේ චන්ද්‍රිකා ජනාධිපතිනිය සිටියදී 2001 දෙසැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වී ආණ්ඩුවක් පිහිටුවීමය. ඒ අනුව ක්‍රියාත්මක වූවේ අගමැතිගේ ආණ්ඩුවකි. එදා 19 වැනි සංශෝධනයක් තිබුණේ නැත. එදා වසර දෙකකට වැඩි කාලයක් ආණ්ඩුකරණය වූවේ අගමැතිගේ සහ ඇමැති මණ්ඩලයේ අභිමතය පරිදිය. එනම් පැවැති ක්‍රමය ක්‍රියාත්මක වීමේදී පාර්ලිමේන්තු ක්‍රමයක් බවට පරිවර්තනය වීමය. පවත්නා ආණ්ඩු ක්‍රමයේ නිසඟ ස්වභාවය එයයි. එය වැරැද්දක් නොවේ. එහෙත් මේ තත්ත්වය ලෙහෙසියෙන් නිර්මාණය වන්නේ නැත. එයට හේතුව ජනාධිපතිවරණය අවසන් වූ පසු හැකි ඉක්මනින් මහ මැතිවරණය පැවැත්වීමය. එවිට පාර්ලිමේන්තු බලය හිමිවන්නේද ජනාධිපතිවරණය ජයගත් පක්ෂයටමය. එනිසා ජනපති සහ අගමැති අතර බල අරගලය නිමා කිරීමට, රට අරාජික වීම වැළැක්වීමට විසිවැනි සංශෝධනය ගෙන එන බවට ගොඩනගන තර්කයට වලංගු භාවයක් නැත.

2015 දී වූයේ පාර්ලිමේන්තු බලය නැති ජනාධිපතිවරයකු පත්වීමය. පාර්ලිමේන්තු බලය හිමි ඇමැති මණ්ඩලයක් පත්වූයේ වෙනත් පක්ෂයකිනි. ඒ අනුව බලය හිමිවූයේ ඇමැති මණ්ඩලයටය. මේ නිසා යම් ආකාරයක ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වුණි. එසේ නැතිව එය 19 වැනි සංශෝධනය හේතුවෙන් නිර්මාණය වූවක් නොවේ. පාස්කු ප්‍රහාරය ඇතුළුව විස්ස ගෙනඒමට දක්වන කාරණා ගතහොත් 19ට පෙර පැවැති ජනාධිපති ක්‍රමයට විරුද්ධවත් මේ ආකාරයේම චෝදනා ඉදිරිපත් කරන්නට පුළුවන. ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය ලංකාවේ ආරම්භ වී වර්ධනය වූවේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් පවතිද්දීය. කටුනායක ගුවන්තොටුපොළට ප්‍රහාර එල්ල වුණේ ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග කාලයේය. ඊට පෙර පොලිස් භටයන් හය සියයක් පමණ ඝාතනය වූවේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේය. යුද්ධය ජයගැනීම මහින්ද රාජපක්ෂගේ පෞද්ගලිකව හොඳ ගුණාංගයක් වන්නට පුළුවන. එනිසා 19 වැනි සංශෝධනය සහ මෙවන් කාරණා පටලවා නොගත යුතුය.

19 වැනි සංශෝධනය ගෙන ඒමෙන් ලංකාව ප්‍රජාතන්ත්‍රීයකරණය වුණි. එය හොඳ දෙයක් හැටියට බාරගත යුතුය. වැදගත්ම කාරණය එයයි. වයඹ ඡන්දයට පෙර ලංකාවේ මැතිවරණවල තිබූ දූෂිත ස්වභාවය සියලුදෙනාටම මතක තිබිය යුතුය. වයඹ ඡන්දයෙන් පසුව ඇතිවූ කම්පනයත් 17 සහ 19 වැනි සංශෝධන හේතුවෙන් කිසිදු මිනිස් ඝාතනයක් සිදුනොවී පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොරව, පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නැතිව සැලකිය යුතු ලෙස සාමකාමීව පැවැත්වීමට හැකිවී තිබේ. මේවා යහගුණයක් වශයෙන් බාරගත යුතුය. සාධනීය තත්ත්වයක් වශයෙන් දැකිය යුතුය. එහෙත් අද විසිවැනි සංශෝධනයෙන් උත්සාහ ගන්නේ මේ සාධනීය තත්ත්වය ආපසු හැරවීමටය. රටට ජනතාවට මේ මොහොතේ අවශ්‍ය වන්නේ එවැන්නක්ද?

විගණනය සම්බන්ධයෙන් මතුවන කාරණා මොනවාද? එයද අවධානයට ගත යුතුය. මහ බැංකු හොරකම වංචාව එළියට පැමිණියේ විගණනය සම්බන්ධයෙන් යම් සාධනීය තත්ත්වයක් නිර්මාණය වූ නිසාය. ලංකාවේ වංචා දූෂණවල සෑහෙන අඩුවීමක් දැකගන්නට පුළුවන. යහපත් ආණ්ඩුකරණයේ ප්‍රතිඵල වශයෙන් මේ කාරණා හැඳින්වීමේ වරදක් නැත. යහපත් ආණ්ඩුකරණය සම්බන්ධයෙන් නීති පද්ධතියක් සම්පාදනය කළේ 19 වැනි සංශෝධනයෙනි. ඒ වගේම මහජන උනන්දුවක් ද මේ කාරණා සම්බන්ධයෙන් ඇතිවුණි. මේ සාධක දෙකේ බලපෑමෙන් අපේ රට යහපත්  තලයකට ඔසවා තැබුවේය. එය ආපසු හැරවීමට උත්සාහ කරන්නේ නම් එය ඉතාම වැරැදි වැඩකි. අගමැති කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය විගණනයෙන් ඉවත් කිරීම කොහෙත්ම සාධාරණ නැත.

රාජ්‍ය ස්ථාවරභාවය සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන තර්ක පිළිගැනීමට තරම් සාධක නැත. රාජ්‍ය ස්ථාවරභාවය ගොඩනැගීමට කලින් පෙන්වා දුන් ආකාරයට ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තු බලයත් එක් පැත්තක තිබිය යුතුය. වෙනත් ආකාරයකට කියන්නේ නම් ජනාධිපතිවරයා නියෝජනය කරන පාර්ශ්වයට පාර්ලිමේන්තු බලයක් ලැබිය යුතුය. එසේ නොවන තැනක ගැටුම් ඇතිවිය හැකිය. එහෙත් අගමැතිවරු යටතේත් රට විශාල වශයෙන් අස්ථාවර නොවූ බව අමතක නොකළ යුතුය. එනිසා සියල්ල විසිවැනි සංශෝධනයට ලඝුකර ගැනීම සාධාරණ නැත. දරුවා සමගම බේසමේ වතුර විසි කළයුතු නැත. එහෙත් විස්සෙන් කිරීමට සූදානම් වන්නේ එවැන්නකි. එනිසා ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බලන විට මෙය ඉතාම නරක ක්‍රියාවකි.

19 වැනි සංශෝධනයෙන් කළේ මෙරට පවතින ජනාධිපති ආණ්ඩු ක්‍රමය වඩා ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමය. මෙරට තිබෙන ජනාධිපති ක්‍රමයට පාර්ලිමේන්තු බලය තදින් එකතු වූ විට අවශ්‍ය නම් ආඥාදායකත්වයකට යාමට පුළුවන. එය මෙරට පවතින ක්‍රමයේ ප්‍රධාන වරදකි. ලංකාවේ ජනාධිපති ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයෙන් අඩු බවත් එය අත්තනෝමතික බවත් ඉදිරිපත්වූ ප්‍රධාන චෝදනාවකි. මේ චෝදනාවලින් මිදීමට ඇතැම් අය යෝජනා කළේ ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කිරීමය. එහෙත් මා සිටින්නේ එම මතයේ නොවේ. ජනාධිපති ක්‍රමය වුවත්, කැබිනට් ක්‍රමය වුවත් අර්ධ ජනාධිපති ක්‍රමය වුවත් ප්‍රජාතන්ත්‍රවාදීය. එහි තේරුම වන්නේ කිසිදු ක්‍රමයක් ඒ නිසාම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවය. ප්‍රජාතන්ත්‍රීකරණය වෙනුවෙන් ක්‍රමවේද අනුගමනය කළ යුතු බවය. ප්‍රතිපාදන සකසා ගත යුතු බවය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කළ යුතු බවය. 19 වැනි සංශෝධනය යනු එබඳු ප්‍රතිසංස්කරණයකි. කළ යුත්තේ වැරැදි තිබුණා නම් ඒවා නිවැරැදි කර ගැනීමය. එහෙත් අද විස්සෙන් කිරීමට යන්නේ ජනාධිපති ක්‍රමය ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීමට 19 න් ඉදිරිපත් කළ ප්‍රධානම මෙවලම වූ කොමිෂන් සභා අහෝසි කිරීමය. කොමිෂන් සභා අහෝසි කළ පසු ඉතිරි වන්නට දෙයක් නැත. නිතැතින්ම අත්තනෝමතිකත්වයට ගමන් කරනු ඇත. ජනාධිපති ක්‍රමය ප්‍රජාතන්ත්‍රීයකරණය කරනවා නම් හොඳය. එසේ නොකරන යළි 1978 තත්ත්වයට පැරණි ඒකාධිපතිත්වයට යාමට උත්සාහ කරනවා නම් සියලුදෙනා එක්ව එය පරාජය කළ යුතුය.

විසිවැනි සංශෝධනයේ කේන්ද්‍රීයව අන්තර්ගතව ඇත්තේ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ගෙන එන ලද වෙනස්කම්, සංශෝධන අහෝසි කරන කරුණුය. අතුරු කාරණා සම්බන්ධව එතරම් උනන්දුවක් නැත. ජනාධිපති අපේක්ෂකයකු වීමේ වයස් සීමාව අවුරුදු 35 සිට 30 දක්වා අඩු කිරීම එයට එක් උදාහරණයකි. මේවා නොකළ යුතුව තිබූ දේවල්ය. මෙයින් සිදුවන්නේ වාසියක් නොව අවාසියකි. ද්විත්ව පුරවැසි කාරණයේදී දෙපැත්තටම කරුණු තිබේ. වැරැදි කරුණක් වුවත් තර්ක ගොඩනැගිය හැකිය. මෙයින් ඉලක්ක ගත පුද්ගලයකු සිටින බවද පැහැදිලිය. එසේ එක් පුද්ගලයකු ඉලක්ක කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනස් කිරීම බරපතළ තත්ත්වයකි. රාජපක්ෂ පවුල ඉලක්ක කර ඉහත කී වයස් සීමාව 30 සිට 35 දක්වා වැඩි කළ බව කවුරුන් හෝ කියන්නට පුළුවන. එය  ඇත්තක් විය හැකි වුවද එම කාරණය පොදුවේ යොදාගත හැකිය. රටක් පාලනය වැනි බරපතළ වගකීමක් දැරීමට අවුරුදු 35 ක අවම වයස් සීමාවක් පැනවීම වරදක් නොවේ.

එහෙත් ද්විත්ව පුරවැසි කාරණය හරහා වෙනත් ප්‍රශ්න මතුවන්නට පුළුවන. ද්විත්ව පුරවැසිභාවය හිමි දෙමළ ඩයස්පෝරාවේ හෝ වෙනත් අයකුට ඡන්දයට ඉදිරිපත් වීමට මේ හරහා ඉඩකඩ විවරවන බව පැහැදිලිය. විදෙස් රටවල පවත්නා ඡන්ද පොළවලදී ඡන්දය පාවිච්චි කිරීමට මේ අය අවසර ඉල්ලා සිටියහොත් ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද? එනිසා මේවා එතරම් සුදුසු නැත.

යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය හීන කිරීමට ගන්නා උත්සාහය මේ සියල්ලට වඩා බරපතළය. විගණනය සම්බන්ධයෙන් කර ඇති වෙනස්කම්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධව කර ඇති වෙනස්කම් ඉතාම බරපතළය. 19 වැනි සංශෝධනයේ මුල් කෙටුම්පතට මම විරුද්ධ වූවෙමි. ඒ ජනාධිපතිවරණයක් පවත්වා පත්කර ගන්නා ජනාධිපතිවරයා සතු බලතල යම් සංශෝධන හරහා අගමැතිවරයා යටතට ගැනීම හේතුවෙනි. එවැනි බලයක් අවශ්‍ය නම් පූර්ණ පාර්ලිමේන්තු ක්‍රමයකට අදාළ ව්‍යවස්ථාවක් සකසා ගත යුතුව තිබුණි. ඒ කෙසේ වුවත් අද ඉදිරිපත් කර තිබෙන විසිවැනි සංශෝධනය ගමන් කරන්නේ කුමන දිශාවකටද? මෙහි සමස්ත හරය රඳා පවතින්නේ කොමිෂන් සභා සම්බන්ධ කාරණාවලය. ස්වාධීන කොමිෂන් සභා දුර්වල කරන්නේ කුමන අරමුණකින්ද? පවතින මැතිවරණ ක්‍රමය පිළිබඳ සියලුදෙනාටම විවේචන පවතින අවස්ථාවක කොමිෂන් සභා නිෂ්ක්‍රීය කිරීමෙන් අපේක්ෂා කරන්නේ මැතිවරණ දූෂණ කළ යුතු බවද? මැතිවරණ කොමිසමට අත්වන ඉරණම මෙන්ම අනෙක් කොමිෂන් සභාද අහෝසි වන තැනට විසිවැනි සංශෝධනයෙන් කටයුතු කිරීමට යාම අනුමත කළ නොහැක. මේ කොමිෂන් සභා ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට පත්කරන්නේ නම් ඒවා තිබීමෙන් වැඩක් නැත.

නීති, පනත් ආදිය සැකසීම මහජනයාට විවෘතව සිදුවිය යුතුය. මහජන සංවාදයට ලක්විය යුතුය. ඒ ක්‍රියාවලියට සාධාරණ කාලයක් අවශ්‍යය. එහෙත් විස්සෙන් කරන්නේ ඒ අවස්ථාව අහිමි කිරීමය. විසිවැනි සංශෝධනය ගෙන ඒමේ අරමුණ කුමක්දැයි රට හමුවේ ඇති ගැටලුවයි. අද අප සිටින්නේ ශිෂ්ටාචාරමය වශයෙන් ඉහළ තලයකය. විස්සෙන් කරන්නේ එය සම්පූර්ණයෙන් කණපිට හැරවීමය. එය සුදුසු දෙයක් නොවේ.

(***සටහන - චමින්ද මුණසිංහ)