(සිරංගිකා ලොකුකරවිට)

නව හූනන් විශේෂ තුනක් මෙරට හුදකලා කඳුවල පිහිටි ගල්ලෙන් වලින් සොයාගත් බව උරග විශේෂ පිළිබඳ පර්යේෂකයකු වන සුරන්ජන් කරුණාරත්න මහතා පැවසීය.

ඔහු ඇතුළු කණ්ඩායමේ මෙම නව සොයාගැනීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන හූනන් සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් හූනන් විශේෂ 48 ක් ම ලංකාවට ආවේණික විශේෂ වෙයි. 

2019 දෙසැම්බර් මස 31 වැනි දින ඔවුන්ගේ පර්යේෂණ වාර්තාව උභයජීවී හා උරග සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සඟරාවේ ප්‍රකාශයට පත්වීමත් සමඟ ඒ සඳහා ජාත්‍යන්තර පිළිගැනීම ලැබිණි.

මාස කිහිපයකට පෙර සොයාගන්නා ලද හූනන් විශේෂ කිහිපයක් සඳහා මෙරට ජාතික වීරයන්ගේ නම් ලබාදීමත් සමඟ එල්ල වූ විවේචනය හේතුවෙන් මෙවර සොයාගත් නව හූනන් විශේෂ තම මවට, පියාට සහ මෙරට පරිසර විද්‍යාවට අනූපමේය සේවාවක් කළ මහාචාර්ය සරත් කොටගම මහතාට ගෞරව පිණිස නම් කළ බව ද සුරන්ජන් මහතා පවසයි.

දිවාකාලයේ පමණක් ක්‍රියාශීලීවන මෙම හූනන් විශේෂ තුනම නිවෙස්වල දක්නට ලැබෙන සාමාන්‍ය හූනන්ට වඩා කුඩා වන අතර ඔවුන්ගේ හැසිරීම සළකා බලා ඔවුන් දිවාසැරි හූනන් ලෙස නම් කර ඇත.

ඒ අනුව නෙමස්පිස් යන ඝනයට අයත්වන මෙම නව හූනන් තිදෙනා Cnemaspis kotagamai නෙමස්පිස් කොටගමේ, Cnemaspis dissanayakai නෙමස්පිස් දිසානායකේ, Cnemaspis kawminiae නෙමස්පිස් කෞමිනිගේ යනුවෙන් නම් කර ඇත.

ඒ අනුව සිංහල බසින් කොටගමගේ දිවාසැරි හූනා, දිසානායකගේ දිවාසැරි හූනා සහ කෞමිනිගේ දිවාසැරි හූනා ලෙස ඔවුන් හැඳින්වීමට හැකියාව ඇත.

සුරන්ජන් මහතාගේ පියා වන දිසානායක මහතාට ගෞරව පිණිස නම් කළ දිසානායකගේ දිවාසැරි හූනා හමුවී ඇත්තේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පිහිටි ප්‍රදේශයකිනි.

ඔහුගේ මව වන කෞමිණි මහත්මියට ගෞරව පිණිස නම් කළ කෞමිණිගේ දිවාසැරි හූනා හමුවී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිදුරුතලාගල කන්දට ආසන්නයෙන් පිහිටි මන්දාරම් නුවර නමැති කඳු ශිඛරයේ ගල් කුළු ආශ්‍රයෙනි.

බඹරගල කන්දේ හෙක්ටයාර 20ක් පමණ කුඩා වනගොමුවක පිහිටි ආරණ්‍ය සේනාසනයක ගල්ලෙන් ආශ්‍රිතව හමුවූ හූනන් විශේෂය නම් කර ඇත්තේ මහාචාර්ය සරත් කොටගම මහතාට ගෞරව පිණිස කොටගමගේ දිවාසැරි හූනා යන නමිනි.

මෙම පර්යේෂණ කණ්ඩායමට සුරන්ජන් කරුණාරත්න, ඇන්ස්ලම් ද සිල්වා, මාධව බොතේජු, දිනේෂ් ගබඩාගේ, ලංකානි සෝමරත්න, ඇන්ජෙලෝ හෙට්ටිගේ, නිමන්ත අබේරත්න, මජින්ත මඩවල, ගයාන් එදිරිසිංහ, නිර්මල පෙරේරා, සුලක්ෂණ වික්‍රමාරච්චි, තිළිණ සුරසිංහ, නිරංජන් කරුණාරත්න, මෙන්ඩිස් වික්‍රමසිංහ, කණිෂ්ක උකුවෙල, ආරොන් එම්. බවර් යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.

ඔවුන් ශ්‍රී ලංකාවේ හූනන්, සර්පයන්, කටුස්සන්, සිකනලුන් හා කිඹුලන් ආදී උරගයන් පිළිබඳ පර්යේෂණවල නිරතව සිටින අතර ඔවුන් 2020 වර්ෂයේ දී තවත් හූනන් විශේෂ පහක් ලෝකයට අලුතෙන් හඳුන්වාදීමට සූදානම්ව සිටියි.

මෙම පර්යේෂණ කටයුතු සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය, ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය, ජාතික කෞතුකාගාරය යන ආයතනවලින් විශාල සහයෝගයක් ලැබෙන අතර නගාඕ සංවිධානය ඔවුන්ගේ පර්යේෂණ කටයුතු සඳහා මූල්‍යමය ආධාර සපයයි.

උපරිම සෙන්ටිමීටර පහක පමණ විශාලත්වයකින් වැඩෙන සාපේක්ෂව කුඩා මෙම හූනන් පෘෂ්ඨීයව හා උදරීයව පැතලි ස්වරූපයක් ගනී. රළු ගල් මත දිව යා හැකි ආකාරයෙන් ඔවුන්ගේ පාද පරිනාමය වී ඇති අතර වක් වූ නියපොතු ද පිහිටා තිබේ. එමෙන් ම ඇසේ කණිනිකාව ද රවුම් හැඩයක් ගනී.

ගල් ලෙන්වල ඇති උපරිම මිලි මීටර 2 ක් 3 ක් පමණ වූ පැලුම් තම වාසස්ථාන බවට පත්කරගෙන ඒවායේ ආරක්ෂාකාරීව දිවිගෙවන මොවුන් එවැනි පැලුම් ප්‍රමාණයට වඩා විශාලවන විට එම ස්ථානය අතහැර වෙනත් ආරක්ෂිත ස්ථානයක් තෝරාගන්නා බව ද පර්යේෂකයන් විසින් නිරීක්ෂණය කර තිබේ. ඉතා කුඩා සිරුරක් හිමි මොවුන් අනිකුත් විශාල හූනන්ගේ ගොදුරු බවට පත්වන අවස්ථා ද ඇත.

මෙම විශේෂ තුනේ ම ගැහැණු සතුන් ජූලි - අගෝස්තු හා ජනවාරි - පෙබරවාරි යන අවස්ථා දෙකක දී වරකට බිත්තර දෙකක් බැගින් දමන අතර එම බිත්තර කුඩා සෘජුෆෝම් බෝලයක් තරම් වෙයි.

දවස් 30 ත් 40 ත් අතර කාලයේ දී බිත්තර මෝරා පැටවු එළියට එති. ඔවුන් මාස දෙකක පමණ කාලයක ඇවෑමෙන් වැඩිහිටි සතුන් බවට පත්වෙයි. දැනට කර ඇති අනුමානයන් අනුව මොවුන්ගේ උපරිම ආයුකාලය වසර දෙකකට ආසන්න බව විශ්වාස කරයි.

ඔවුන්ට ජීවත්වීම සඳහා සෙල්සියස් අංශක 28 ක පමණ අඩු උෂ්ණත්වයක් සහිත පරිසරයක් අවශ්‍යවන අතර වාතයේ ආර්ද්‍රතාවය ද සියයට 70ක පමණ ඉහළ අගයකින් තිබිය යුතුය.

එමෙන්ම සුළං වේගය ද සාපේක්ෂව අඩු වීම අවශ්‍යවේ. මෙවන් පරිසර තත්ත්වයක පමණක් ජීවත්වන නව හූනන් විශේෂ තුන ම පරිසර තත්ත්වයන්ට දැඩි සංවේදී බවක් දක්වන බැවින් ඔවුන් ජීවත්වන මෙම පරිසර පද්ධතිවල සිදුවන සුළු වෙනස්වීමකින් පවා ඔවුන් මේ ලෝකයෙන් තුරන්වී යා හැකි බව ද පර්යේෂකයෝ පවසති.

ඔවුන් පවසන්නේ මෙම ස්ථානයන්හි කුඩා වපසරියකට සීමා වී ඇති වනගොමු එළි පෙහළි වුවහොත් එය හූනන්ගේ පැවැත්මට විශාල තර්ජනයක් බවයි. නමුත් දිඹුලාගල හා බඹරකන්දේ ආරණ්‍ය සේනාසන අවට එවැනි විනාශයක් නොවන බැවින් ඔවුන්ගේ වාසස්ථාන සුරක්ෂිතව ඇතත් මන්දරාම් නුවර බෞද්ධ විහාරස්ථානය අවට තේ වගාව හා මාර්ග ඉදිකිරීම හේතුවෙන් ඔවුන්ගේ පරිසරයට යම් තර්ජනයක් පවතින බව පර්යේෂකයෝ කියති.

වන විනාශයත් සමඟ ඔවුන්ගේ පරිසරය මෙන් ම සිරුරු පවා වියළී යාමේ අවධානමක් තිබේ. එමෙන්ම වන විනාශය හේතුවෙන් කුඹල් විශේෂයන්ගේ වැඩිවීමක් සිදුවන බැවින් එවැනි කෘමි සතුන් මෙම හූනන්ගේ බිත්තර විනාශ කිරීම මොවුන්ගේ පැවැත්මට තර්ජනයක් වනු ඇත.

පර්යේෂකයන් පවසන්නේ ශ්‍රී ලංකාවේ සමාජය තුළ හූනන් පිළිබඳ ඇති ආකල්පවල පැහැදිලි වෙනසක් කළ යුතු බවයි.

කොඳු ඇට පෙලක් සහිත හෙවත් පෘෂ්ඨවංශී සත්ත්වයන් වන හූනන් පරිසරයේ සමතුලිතතාවට වැදගත් මෙහෙවරක් කරන අතර මෙම මෙහෙවර මූල්‍යමය වශයෙන් තක්සේරු කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට තමන් ඇතුළු කණ්ඩායම කටයුතු කරමින් සිටින බව ද සුරන්ජන් කරුණාරත්න මහතා පැවසීය.