New444211676054_2055507161_n

මා වික්‍රමරත්න මහතා පළමුවෙන්ම හඳුනා ගත්තේ ,1940 දී  සිසුවකු වශයෙන් රාහුල විදුහලේ උගන්නා අවධියේය. එවකට  ඔහු  ජ්‍යෙෂ්ඨ පන්තියේ ඉගෙනුම ලබමින් සිටියේය. අනතුරුව 1952 සිට 1961 දක්වා වසර  නවයක් එවකට  රාහුල විදුහලේ ආචාර්යවරුන් වශයෙන්  සේවය කළ අතර  එතුමා  අධ්‍යාපන විද්‍යා පීඨ කොමසාරිස් වු විට වසර  කිහිපයක් ම එම අංශයේ නිලධාරයකු ලෙස ද සේවය කළෙමි.

කෝට්ටේගොඩ පාතෙගම විසු විදුහල්පතිවරයකුගේ හා ආචාරිනියකගේ පුත්‍ර රත්නය ලෙස ගුණපාල වික්‍රමරත්න  වර්ෂ 1926 මැයි 19 වැනි දා උපන්නේය. එකල බොහෝ විදුහල්පතිවරුන් මෙන් එතුමා ද තම පුතුන් දෙදෙනා ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබනු වස්  ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුළත් කරවීය.

විසි වැනි සියවසේ සිව් වැනි දශකයේ මුල දී දෙවැනි ලෝක සංග්‍රාමය ආරම්භ වී ජපන්නු ලංකාවේ අගනුවර වන කොළඹට ද බෝම්බ දැමුහ. එම නිසා කොළඹ,ගාල්ල වැනි ප්‍රධාන නගරයන්හි ඉගෙනුම ලැබු සිසු දරුවන් බොහෝ දෙනෙකු විදුහල් වලින් ඉවත් කර  තම නිවෙස් අසල පාසල් වලට  ඇතුළු කිරිමට දෙමව්පියෝ පෙළඹුනාහ.

මේ අවදිය වන විට ඩී.ජේ.කුමාරගේ මහතා මාතර රාහුල විද්‍යාලයේ අධිපති ධුරය බාර ගෙන එය අධ්‍යාපනය හා විනය අතින් ඉහළ මට්ටමකට ගෙන ආවේය. පසුව කෝට්ටේගොඩ විදුහල්පති තම පුතුන් දෙදෙනා ඉවත් කර රාහුල විද්‍යාලයට  ඇතුළත් කළේය. වර්ෂ 1945 දී ගුණපාල වික්‍රමරත්න සරසවි  වරම් ලැබීය. රාහුල විදුහලින් ඉදිරිපත්ව ප්‍රථම වරට උපාධිය සමත් වු සිසුන් තිදෙනාගෙන් එක් අයකු වීමේ භාග්‍ය ඔහු උදාකර ගත්තේය.

තෙවසරක සරසවි  උපාධි පාඨමාලාව හදාරා වර්ෂ 1952 සිට 1961 දක්වා වසර නවයක් රාහුල විද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් සේවය කළේය.  ඉගැන්වීමේ  යෙදෙන අතරතුර එක් වසරකින් අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව හා  දෙවසරකින් අධ්‍යාපන ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගත්තේය. වර්ෂ 1956 දී ඩී.ජේ.කුමාරගේ මහතා විශ්‍රාම යාමත් සමඟ ඔහු උප විදුහල්පති ධුරයට පත්විය. වේලාවට පාසලට පැමිණිම, සිසු විනය ක්‍රමවත් කිරිම හා පාසල් පරිපාලනය ක්‍රමවත් කිරිම ඔහුට බාරවිය.

වර්ෂ 1961 දී විදුහල්පතිවරයකු වශයෙන් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට පත්වීම දෙන ලදි. ඔහු අවශ්‍යව තිබුණේ  පරිපාලන කටයුතු වලට  සහය වීමටත් වඩා අභියෝගනයට  මුහුණ දීමයි. ගැටලු වලට මුහුණ දිමයි. එය ආනන්ද ශාස්ත්‍රාලයේ දී සාර්ථිකව ඉටු කළේය. වර්ෂ 1964 සිට 1969 දක්වා නාලන්දා විදුහලේ විදුහල්පතිවරයකු වශයෙන් ද කටයුතු කළේය. ඔහු ගාල්ලේ අධ්‍යාපන අධ්‍යක්ෂ හා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් ලෙසත් විභාග කොමසාරිස් ජනරාල් ලෙසත් සේවය කළේය. ඒ සෑම තැනකදීම විනය රැකිම ප්‍රමුඛ කාරියක් විය.

වර්ෂ 1991 දි ගුණපාල වික්‍රමරත්නයන් විශ්‍රාම ගැනීමෙන් පසුව ද රාජ්‍ය සේවා  කොමිෂන් සභාවේ වසර පහක කාලයක් ද අධ්‍යාපන සේවා කොමිසන් සභාවේ සභාපති ලෙස අවුරුදු තුනක කාලයක් සේවය කරමින් සිය දැනුම, බුද්ධිය හා පරිපාලන ශක්තිය රටේ දියුණුවට මෙහෙයවීය.

ගුණපාල වික්‍රමරත්න මහතාගේ බිරිඳ වීනිතා වික්‍රමරත්න මහත්මිය කොළඹ විශාකා විද්‍යාලයේ ආචාර්යවරියක වශයෙන් සේවය කොට  විශ්‍රාම ලැබ දැන් විවේක සුවයෙන් සිටින්නීය. වික්‍රමරත්න යුවළට  දරුවෝ පස් දෙනෙකි. ඔවුහු සියල්ලෝම  විවිධ කේෂ්ත්‍රයන් එස්සේ රටට  ජාතියට  මහඟු සේවාවක් ඉටු කරති.

ඔහු සමාජයේ කලාතුරකින් මුණගැසෙන්නෙකි. සෘජුය. ප්‍රතිපත්තිගරුකය. අයුත්තියට  කිසි සේත් හිස නොනමයි. දැනුමෙන් හා අත්දැකීමෙන්  මනාව පෝෂිතය. ආගමට හා ජාතියට  මිණි පහනක් බඳුය. ගෙවී ගිය හැත්තෑපස් වසරේ  රට  ජාතියට හා ආගමට අද්වීතිය මෙහෙවරක් ඉටු කළ දැනුදු ඉටු කරන අප සැමගේ කළ්‍යාණ  මිත්‍ර ගුණපාල වික්‍රමරත්න මහතාට  නිරෝගි සුවය පතමු.

 

නන්දසිරි මුතුකුමාරණ

විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය - ආදි  ආචාර්ය