පසුගිය දිනක එක්තරා රාජ්‍ය ඇමතිවරයකු කරනු ලැබූ ප්‍රකාශයකින් පෙන්වා දී තිබුණේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 94 දෙනෙකු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් වී නොමැති බවය. 126 දෙනකු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සමත් වී නොමැති බවය. එම රාජ්‍ය ඇමතිවරයා තවදුරටත් පෙන්වා දුන් ආකාරයට 2015 වර්ෂය වනවිට 5 ශ්‍රේණිය මට්ටමටවත් අධ්‍යාපනය නොලැබූ 08 දෙනකු කැබිනට් අමාත්‍ය තනතුරු දරා ඇත. පසුගිය දිනක වර්තමාන ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු කියා සිටියේ මේ වසර අග පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටින අය අඩුම වශයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයවත් සමත් වී සිටිය යුතු බවය. තවත් ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයකු මෙයට දින කිහිපයකට පෙර කරන ලද ප්‍රකාශයක් මගින් කියා තිබුණේ අඩුම වශයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හෝ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සුදුසුකම් නොමැති අය මැතිවරණවලට ඉදිරිපත් වී ජනතා නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට යාම පොදු මහජනතාවට කරන බරපතළ අපහාසයක් වන බවය. මේ දිනවල සමාජ මාධ්‍ය තුළ අතෝරයක් නැතිව දමන විවිධාකාර සටහන් මගින් පෙන්වා දෙන්නේ නිදහසින් පසු ගතවී ඇති වසර 71 ක කාලය තුළ මේ රට විනාශය කරා ඇදගෙන යාම සම්බන්ධයෙන් මූලික වශයෙන්ම වගකිව යුත්තේ රට පාලනය කළ මෝඩ පාලකයන් බවය. මෙම සටහන් මගින් අවධාරණය කරන්නේ නූගත් මෝඩයන් සහ මහළු වියට පත් පුද්ගලයන් ජනතා නියෝජිතයන් ලෙස තෝරාපත් නොකිරීමට ජනතාව වගබලා ගතයුතු බවත් එය ජනතාව සතු පරම යුතුකමක් වන බවත්ය.

බුද්ධිමතුන් රට පාලනය කළ යුතු බව සහ ඒ සඳහා ඡන්දදායකයන් විසින් බුද්ධිමතුන් විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ආයතන දෙකට තෝරා පත්කරනු ලැබිය යුතුය යන අදහස මෙරට දේශපාලන ක්‍ෂේත්‍රය තුළ කාලයක පටන් සංසරණය වෙමින් පවතින වැදගත් දේශපාලන මාතෘකාවක් බවට පත්ව තිබේ. මෙම කතිකාවත මගින් නිරූපණය කරන කරුණු කාරණා කිහිපයක්ම තිබේ. එයින් එකක් වන්නේ නිදහසින් පසු ගෙවීගිය අවුරුදු හැත්තෑ එකක කාලය තුළ මෙරට රාජ්‍ය බලය හැසිරවීම සඳහා බුද්ධිමතුන් තේරී පත් වී නොමැති බවය. මෝඩයන් බලයට පත්වීම හේතුවෙන් රට දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් බරපතළ පරිහානියකට ලක්ව තිබෙන බවය. දේශපාලනය සහ රාජ්‍ය පාලනය එකක් නොව අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකින් වෙනස් වන ක්‍ෂේත්‍ර දෙකක් වන බවය. දේශපාලනය ඕනෑම බූරුවකුට, තකතීරුවකුට, මෝඩයකුට කළ හැකි දෙයක් වුවද රාජ්‍ය පාලනය බූරුවන්ට හෝ තකතීරුවන්ට හෝ මෝඩයන්ට කළ හැකි දෙයක් නොවන බවය. රාජ්‍ය පාලනය බුද්ධිමතුන්  කළ යුතු දෙයක් වන්නේ නම් එය මෝඩයන් කිරීමට ගියවිට එම දේ හරියට කිරීමට නොහැකි වීමෙන් රට විනාශ වන බවය. මේ සෑම කරුණකින්ම පෙන්වා දෙන්නේ ප්‍රඥාවන්තභාවය හා රාජ්‍ය පාලනය අතර අතිශය සමීප සම්බන්ධතාවක් පවතින බව සහ ප්‍රඥාවන්තයන් විසින් පමණක් රාජ්‍ය පාලනය කළ යුතු බවය. 

බුද්ධියෙන් අඩු අය රාජ්‍ය පාලනයට අත නොගැසිය යුතුය යන අදහස මෙතරම් දැඩිව සමාජගත වී තිබෙන්නේ ඇයිද යන ප්‍රශ්නය මෙහිදී මතුවේ. මෙම ප්‍රශ්නයට පිළිතුරක් සොයාගත හැක්කේ දේශපාලනය සහ රාජ්‍ය පාලනය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද සහ ඒ දෙක අතර පවතින වෙනස කුමක්ද යන්න පිළිබඳව අවබෝධ කර ගැනීමෙනි. 

දේශපාලනය යනු රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා කෙරෙන අරගලය වේ. මේ අනුව දේශපාලනය කුමන ආකාරයකින් ක්‍රියාත්මක වුවද එහි අරමුණු වන්නේ බලය අල්ලා ගැනීම, බලය තහවුරු කර ගැනීම සහ බලය ව්‍යාප්ත කර ගැනීමය. දේශපාලනය එක්කෝ ප්‍රචණ්ඩකාරීව කළ හැක. එනම් කැරැලි කෝලාහල, විප්ලව හා කුමන්ත්‍රණ මගිනි. නැතිනම් දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදීව කළ හැක. ඒ සඳහා භාවිතයට ගැනෙන ප්‍රධානම මෙවලම මැතිවරණ වේ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රම තුළ බල අරගලය කරන්නේ මේ හරහාය. දේශපාලන ක්‍රමයක් තුළ දේශපාලනය හට ගැනෙන්නේ සමාජය මුහුණදෙන දේශපාලන, ආර්ථික හා සමාජ ප්‍රශ්න විසඳා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් හා පුද්ගල කණ්ඩායම් අතර පොදු අභිමතයක් නොමැති වූ විටය. වෙනත් ආකාරයකට කියනවා නම් සමාජය මුහුණ දෙන ප්‍රශ්න සඳහා විකල්ප විසඳුම් කිහිපයක් ඉදිරිපත් වී තිබෙන විටය. එසේ වූ විට තමන්ගේ විකල්පය රාජ්‍ය බලය යොදවමින් ක්‍රියාවට නැංවීම සඳහා විකල්ප කණ්ඩායම් හෝ පුද්ගලයන් අතර රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා තරගයක් ඇතිවන අතර දේශපාලනය වශයෙන් හඳුන්වන්නේ මෙම බල තරගයයි. 

දේශපාලනය හා සම්බන්ධව මූලික ලක්‍ෂණ දෙකක් හඳුනා ගතහැක. එයින් එකක් වන්නේ ගොළුවකු නොවන කතා කිරීමට පුළුවන් හැම කෙනකුම දේශපාලනය කතා කිරීමය. දේශපාලනය කතා කිරීමට විශේෂයෙන් අයත් කරගත් උගත්කමක් හෝ දැනුමක් අවශ්‍ය නොවේ. කිසිදු උගත්කමක් නැතිව පාඨශාලාවකට වැස්සකටවත් ගොඩ වී නැති ඕනෑම තකතීරුවකුට මහා පණ්ඩිතයකු ලෙස කතා කිරීමට හැකි මේ ලෝකයේ තිබෙන එකම විෂය දේශපාලනය වේ. මේ හේතුවෙන් දැකිය හැකි ලක්‍ෂණය වන්නේ කටක් තියෙන කතා කිරීමට පුළුවන් හැම කෙනෙක්ම දේශපාලනය කතා කිරීමය. අනෙක් ලක්‍ෂණය වන්නේ දේශපාලනය කිරීමට හෝ එහි නියැලීමට කිසිදු ආකාර සුදුසුකමක් අවශ්‍ය නොවීමය. උගත් නූගත්, මෝඩ හා ප්‍රඥාවන්ත, තරුණ මහලු, පිරිමි ගැහැනු යනාදී වශයෙන් ඕනෑම අයකුට දේශපාලනය කළ හැක. ඒ සම්බන්ධයෙන් බලපාන කිසිදු සීමාවක් ඇත්තේ නැත. අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ දේශපාලනය කිරීමේ අයිතිය මූලික මානව හිමිකමක් වේ. එම අයිතිය කිසිවකුට උල්ලංඝනය කළ නොහැක. 

මේ හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ දැකිය හැකි විශේෂිතම ලක්‍ෂණය වන්නේ දේශපාලන ක්‍රමය මුහුණ දෙන ප්‍රශ්න විසඳිය යුතු ආකාරය සම්බන්ධයෙන් සෑම අයකුටම තමන්ටම වෙන්වූ අදහසක් තිබීමත්, කථා කිරීමට පුළුවන්කම තිබේනම් එම අදහස ප්‍රකාශ කිරීමත් සහ රාජ්‍ය බලය අල්ලා ගෙන එම අදහස ක්‍රියාවට නැංවීම සඳහා පුද්ගලයන් දේශපාලන බල අරගලයේ නියැලීමත්ය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ බල අරගලයේ නියැලීම සම්බන්ධයෙන් සීමා බන්ධන නොමැති බැවින් ඕනෑම අයකුට එනම් බුද්ධිමතුන්ට මෙන්ම මෝඩයන්ටද දේශපාලනයේ නියැලිය හැක. එහෙත් මේ සම්බන්ධයෙන් දැකිය හැකි ලක්‍ෂණය වන්නේ නූගතුන්ට සාපේක්‍ෂව බුද්ධිමතුන් දේශපාලන බල අරගලයට සම්බන්ධ වන සංඛ්‍යාව බෙහෙවින්ම පහත මට්ටමක පැවතීමය. මේ අනුව දේශපාලනය බොහෝ විට නූගතුන්ගේ ක්‍රීඩාවක් බවට පත්වන අතර මෙම ක්‍රීඩාවෙන් ජයග්‍රහණය කරන නූගත්තු රාජ්‍ය පාලකයන් බවට පත්වෙති. නූගතුන් රට පාලනය කිරීම යනු මෝඩයන් විසින් රට පාලනය කිරීම වේ. 

දේශපාලනය කිරීම ඕනෑම මෝඩයකුට කළ හැකි දෙයක් වුවද රාජ්‍ය පාලනය කිරීම මෝඩයන්ට කළ හැකි දෙයක් නොවේ. හේතුව රාජ්‍ය පාලනය වූ කලී අතිශයින්ම සංකීර්ණ තාක්‍ෂණික දෙයක් වීමය. රාජ්‍ය පාලනයේ නියැලෙන අයට දේශපාලන සමාජය මුහුණ දෙන දේශපාලන, ආර්ථික හා සමාජ ප්‍රශ්න නිවැරැදිව හඳුනා ගැනීමේ බුද්ධිමය හැකියාව තිබිය යුතුය. එම ප්‍රශ්න විසඳීම සඳහා වඩාත්ම නිවැරැදි විසඳුම් සොයා ගැනීමට අවශ්‍ය බුද්ධිමය හැකියාව තිබිය යුතුය. විශේෂයෙන්ම විකල්ප විසඳුම් කිහිපයක් තිබෙන විට වඩාත්ම සුදුසු ප්‍රශස්තම විකල්පය තෝරා ගැනීමට හැකි බුද්ධිමය ධාරිතාව තිබිය යුතුය. එම විසඳුම් රාජ්‍ය ප්‍රතිපත්ති බවට පරිවර්තනය කොට ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය තාක්ක්‍ෂණික දැනුම හා හැකියාව තිබිය යුතුය. ඉතාම කෙටියෙන් කියනවා නම් ආණ්ඩුවක ප්‍රධාන කාර්යයන් ලෙස සැලකෙන ජාතික ආරක්‍ෂාව තහවුරු කොට පවත්වාගෙන යාම, ජාතික ආර්ථිකය වර්ධනය කිරීම, ජාතික සුබසාධන මට්ටම ඉහළ නැංවීම, ජාතික මතවාදය ආරක්‍ෂා කොට පවත්වාගෙන යාම සහ ජාතික අභිමානය ආරක්‍ෂා කොට පවත්වාගෙන යාම යන කාර්යයන් පහ කාර්යක්‍ෂමව සහ ප්‍රතිඵලදායි අයුරින් ඉටුකිරීමේ බුද්ධිමය හැකියාව රාජ්‍ය පාලනයේ නියැලෙන අයට තිබීම අත්‍යවශ්‍යම වේ. 

මෙම කාර්යයන් ක්‍රියාවට නැංවීම සඳහා නීති පැනවීම අවශ්‍ය වේ. නීති සලකනු ලබන්නේ ඉහළම තාර්කික බුද්ධියේ උත්තරීතර ප්‍රතිඵලය ලෙසය. තාර්කික බුද්ධිය අයත් කරගත හැක්කේ ප්‍රඥාවන්තභාවයෙන් නම්, ප්‍රඥාවන්තභාවය අයත් කරගත හැක්කේ දැනුම තුළින් නම් සහ දැනුම අයත් කරගත හැක්කේ අධ්‍යාපනයෙන් නම් නීති පැනවීම ඉතාම හොඳින් කළ හැක්කේ බුද්ධිමතුන්ට පමණක් බව අමුතුවෙන් කිවයුතු නැත. මෙයින් පෙනීයන්නේ දේශපාලනය හා රාජ්‍ය පාලනය අත්‍යන්තයෙන්ම එකිනෙකට වෙනස් ක්‍ෂේත්‍ර දෙකක් වන බවය. දේශපාලනය කළ පමණින්ම කෙනකුට රාජ්‍ය පාලනය කළ නොහැකි බවය. සෑම දේශපාලනඥයකුටම හොඳ රාජ්‍ය පාලකයකු විය නොහැකි බවය. 

දාර්ශනිකයන් එසේත් නැතිනම් බුද්ධිමතුන් රට පාලනය කළ යුතුය යන අදහස අද ඊයේ ඉදිරිපත් වූ දෙයක් නොවේ. බුද්ධිමතුන් රාජ්‍ය පාලනය ක්‍රියාවට නැංවිය යුතුය යන අදහස ප්‍රථමවරට ඉදිරිපත් කළේ ක්‍රි.පූ. 427-347 කාලය තුළ ජීවත් වූ ග්‍රීක දේශපාලන දාර්ශනිකයකු වූ ප්ලේටෝ විසිනි. ඔහු පෙන්වා දෙන ආකාරයට යම් දෙයක් කළ යුත්තේ ඒ දෙය ඉතාම හොඳින් කිරීමට දන්නා අය විසිනි. රාජ්‍ය පාලන කලාව වූ කලී විශේෂ ප්‍රාගුණ්‍යය සහිත විශේෂ පුහුණුවක් ලැබිය යුතු කලාවක් වේ. සියලුම විද්‍යා අතුරින් උසස්ම විද්‍යාව වන්නේ රාජ්‍ය පාලනය පිළිබඳ විද්‍යාවය. වෛද්‍ය වෘත්තිය ගතහොත් එය සියලුම වෘත්තීන් අතුරින් ඉහළම වෘත්තීය වේ. රටක ජීවත් වන සියලු දෙනාම වෛද්‍යවරුන් කළ නොහැක. හේතුව ඒ සඳහා අවශ්‍ය විශේෂ බුද්ධිමය හැකියාව රටක ජීවත් වන සියලු දෙනාටම එක සමාන ලෙස නොතිබීමය. රාජ්‍ය පාලනය වෛද්‍ය වෘත්තියටද වඩා අපහසු හා අමාරු වෘත්තියක් වේ. එබැවින් රාජ්‍ය පාලන කලාව රටක ජීවත් වන සියලුම අයට අවබෝධ කරගත හැකි දෙයක් නොවේ. එය තේරුම් ගත හැක්කේ බුද්ධියෙන් අග තැන්පත් අයට පමණි. වෙනත් ආකාරයකට කියනවා නම් දාර්ශනිකයන්ට පමණි. එබැවින් රාජ්‍ය පාලනය කිරීමේ කාර්යයට අතගැසිය යුත්තේ එම කලාව හොඳින් ප්‍රගුණ කර ඇති දාර්ශනිකයන් පමණි. අනෙක් අතට යම් විශේෂීගත කාර්යයක් කළ යුත්තේ එම කාර්යය වඩාත්ම හොඳින් කිරීමට හැකියාව ඇති අය විසින් පමණි. 

සපත්තුවක් කැඩුණ විට එය සාදවා ගැනීම සඳහා යා යුත්තේ එම කාර්යය හොඳින්ම කිරීමට දන්නා සපතේරුවකු ළඟටය. අසනීප වූ විට ප්‍රතිකාර ගැනීම සඳහා යා යුත්තේ වෛද්‍යවරයකු ළඟටය. මෙයාකාරයටම රාජ්‍ය පාලනය කළ යුත්තේ එම කාර්යය මැනවින් ප්‍රගුණ කළ බුද්ධිමතුන්ය. එය නොදන්නා අය එය කිරීමට ගියහොත් සිදුවන්නේ රාජ්‍ය මුහුණ දෙන අර්බුදවලින් ගොඩ ඒමට නොහැකි වී රාජ්‍ය විනාශය කරා යාමය. මෙයාකාරයට බුද්ධිමතුන් රාජ්‍ය පාලනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් ප්ලේටෝ අවසාන වශයෙන් කියා සිටින්නේ “මා හිතවත් ගල්‍යුකෝන් මිත්‍රය, අප විසින් විස්තර කරන ලද සමාජය යථාර්ථයක් වීමට නම් සහ අද දවසේ ආලෝකය අප දැකීමට නම් අප විසින් රජවරුන් ලෙස හඳුන්වන අය දාර්ශනිකයන් විය යුතුය. එසේවුවහොත් පමණයි දේශපාලනය හා දර්ශනය එක්තැන් කළහැකි වන්නේ. එබැවින් දාර්ශනිකයන් පාලකයන් වනතෙක් හෝ පාලකයන් දාර්ශනිකයන් වනතෙක් රාජ්‍ය මුහුණ දී ඇති අර්බුදවලින් ගොඩ ඒමට ඒවාට නොහැකි වනු ඇත”. ප්ලේටෝ පෙන්වා දෙන ආකාරයට බුද්ධිමත්භාවය රාජ්‍ය පාලනය සඳහා අත්‍යවශ්‍යම කොන්දේසිය වුවද බුද්ධිමත් වීම නිසාම කෙනකු හොඳ රාජ්‍ය පාලකයකු වන්නේ නැත. 

බුද්ධිමත් වීමට අමතරව විනයගරුක වීම සහ සදාචාරවත් වීම හොඳ පාලකයකු වීම සඳහා අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු අනෙක් ගුණාංග වේ.  මේ සඳහා පාලකයාට පෞද්ගලිකව දේපළ අයත් කර ගැනීමට සහ ගැහැනුන් අයත් කර ගැනීමට ඉඩ නොතැබිය යුතුය. ප්ලේටෝ පෙන්වා දෙන ආකාරයට එසේ කළහොත් පමණයි පාලකයන් රාජ්‍ය දේපළ මංකොල්ල කෑමෙන් වළක්වා ගත හැක්කේ සහ ආර්යාවන්ගෙන් රාජ්‍ය පාලනය බේරාගත හැකි වන්නේ. මෙයින් පෙනීයන්නේ කුමන අඩුපාඩුකම් තිබුණද මෝඩයන් රට පාලනය කරනවාට වඩා බුද්ධිමතුන් රට පාලනය කිරීම වඩාත් යහපත් වන බවය.