වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මීගමුවේ කඩොලාන පද්ධතියක් පිහිටි භූමියක ක්‍රීඩා පිටියක් ඉදිකිරීමේ සූදානමක් හා ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය ඊට එරෙහිව නිර්භයව කළ මැදිහත්වීමක් සමග පරිසර පද්ධතිය ගැන පමණක් නොව ඔක්සිජින් වායුව හා ගම්පහ වන ආවරණය ගැන ලොකු කතාබහක් මතුව තිබේ.

දේශපාලන විධායක බලය හසුරුවන ආකාරය හා රාජ්‍ය ප්‍රතිපත්ති යනු කුමක්ද යන්න ගැන පවා මහජනතාව පුළුල්ව කතා කරන තැනකට එම සිදුවීම තල්ලු වී ඇත. එනිසා වන සංරක්ෂණයේ වත්මන හා දිසා වන නිලධාරිනිය ඇඟිල්ලෙන් ඇන ප්‍රතිපත්ති ක්‍රියාවේ යොදන්නන්ට පෙන්වන යථාර්ථය ගැන මද පමණින් හෝ විමසීම වටී.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට අනුව මේ වනවිට ලංකාවේ ස්වාභාවික වනාන්තර වර්ග ප්‍රමාණය අනුව හෙක්ටයාර දහ නව ලක්ෂ පනස් එක්දහස් හාරසිය හැත්තෑ තුනකි. එය භූමියේ ප්‍රතිශතයක් හැටියට ගත්කළ 29.7%කි. ඒ, වන වැස්මේ ස්වභාවය අනුව ඝන වනාන්තර, විවෘත වනාන්තර, කඩොලාන වනාන්තර හා සැවනා වනාන්තර යන එකතුව හැටියටය. එහි කඩොලාන වනාන්තර ප්‍රමාණය දැක්වෙන්නේ හෙක්ටයාර 15 670 ක් හැටියටය. එහෙත් පරිසරවේදීහු සැලකිය යුතු පිරිසක්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තු දත්ත අභියෝගයට ලක් කරති. ඔවුන් පවසන ආකාරයට 1882 වනවිට 82% ක්ව තිබූ වන ගහණය 2016 වනවිට 16% දක්වා නරක අංකයකට පහළ වැටී තිබේ. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඇතුළු ස්වාධීන ජාත්‍යන්තර සංවිධාන මෙන්ම ජගත් කීර්තිධර විශ්ව විද්‍යාල ද මේ අනතුරු ඇඟවීම ලංකාවට කර තිබේ.

“මේක පැහැදිලිව ම රජයේ වනාන්තර භූමියක්. වනාන්තර භූමියක් නිදහස් කරන්න බැහැ. ගම්පහ තමයි අඩු ම වනගහනය 1.6%යි. මේ වෙනකොට අන්න බෙදනව ඉඩම් කච්චේරි තිය තිය. කවුද මේවට වග කියන්නේ? අපිට හුස්ම ගන්න නෑ. ඔක්සිජන් කෝ?”‍ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයාට සෘජුවම යොමු කළ ප්‍රශ්නය එයයි. මේ තර්කයේ ඇත්ත නැත්ත ගැන කළ විමසීමේදී පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් එය තහවුරු කළේ මෙසේය.

ඔක්සිජන් හා කාබන්ඩයොක්සයිඩ්
“ලංකාවේ මේ වනවිට කෝටි දෙකකට අධික ජනතාවක් ඉන්නවා. මිනිත්තුවකට අඩුම වශයෙන් එක් පුද්ගලයෙක් හුස්ම ගන්නවා. එහෙම බැලුවොත් මිනිත්තුවකට කෝටි 36 වතාවක් මේ රටේ මිනිස්සු පරිසරයට කාබන්ඩයොක්සයිඞ් පිට කරනවා. එහෙම කාබන්ඩයොක්සයිඞ් ප්‍රමාණයක් පිටවන රටක අඩුම තරමින් ඊට සරිලන ඔක්සිජන් ප්‍රමාණය නිපදවෙන්න නම් 24%ක වන ගහණයක්වත් නඩත්තු කරගත යුතුයි. ඒත් රටක් විදියට 1882 වනවිට 82% ක් තිබූ වන ගහණය 2016 වනවිට 16% දක්වා පහළ බැහැලා තිබෙනවා. ප්‍රාථමික හා සෙසු වනාන්තර විනාශ කිරීමෙන් ලංකාව ලෝකයේ සිව්වැනි ස්ථානයට පැමිණ තිබෙන බව සඳහන් කරමින් ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානය 2011 නිකුත් කළ තම පර්යේෂණ වාර්තාවේ මේ කතාව පැහැදිලිව කියනවා. ස්වීඩනයේ ගවුතන්බර්ග් විශ්ව විද්‍යාලයත් එම පර්යේෂණයම කරලා ඒ දත්ත සනාථ කරනවා. 2011 න් පසුව මේ දක්වා පමණක් ලංකාවේ වනාන්තර හෙක්ටයාර ලක්ෂ ගණනින් විනාශ කර තිබෙනවා. බුත්තල ප්‍රදේශයේ අක්කර දෙදාහක් ලුණුගම්වෙහෙර හා සෝමාවතියේ අක්කර දාහක් බැගින් ඩෝල් සමාගමට දීම ඊට සරල උදාහරණයක් පමණයි. ජාතික භෞතික සැලැස්මට අනුව යෝජිත ව්‍යාපෘතිත් ක්‍රියාවට නැගුවාම ලංකාවේ වනාන්තර තව ලක්ෂ ගණනක් අඩුවෙනවා. 2030 වනවිට ලංකාවේ වනාන්තර ප්‍රමාණය 10-12% ප්‍රමාණයට අඩු වේවි කියලයි අපි හිතන්නේ.”

සාමාන්‍ය ජනතාව අතර පරිසරය ආරක්ෂා කරගැනීමේ වටිනාකම ගැන හටගෙන තිබෙන උද්‍යෝගීමත් සාකච්ඡාවට පින්සිදුවන්නට ඊට අදාළ ගණන් හිලව් ගැන ද සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වනු දැකිය හැකිය. එහෙත් ආචාර්ය කාරියවසම් මහතා හා ජාත්‍යන්තර සංවිධාන කරන අනාවරණය අනුව නම් ලංකාවට මුහුණදීමට සිදුව තිබෙන්නේ රජයේ නිල දත්ත සංඛ්‍යාලේඛනවලින් කියනවාටත් වඩා නපුරකටය. මීගමු කළපුව රැකගන්නවාද පිට්ටනියක් ඉදිකරනවාද යන ප්‍රශ්නය පැනනගින්නේ එවැනි අර්බුදකාරී පරිසරයකය. එසේම ඔක්සිජන් හා කාබන්ඩයොක්සයිඩ් වායු නිපදවන මූලාශ්‍ර ගැන සඳහන් කිරීමේදී ආචාර්ය කාරියවසම් කී තවත් අපූරු කතාවක් මෙසේය.

“මීගමුව කියන්නේ මහා නගරයටකට ආශ්‍රිත ප්‍රදේශයක්නෙ. මීගමුව ආශ්‍රිතව තමයි ගුවන් යානා විශාල සංඛ්‍යාවක් ගුවන්ගත කරන්නේ. මෝටර් රථ සියල්ල අමතක කළත් ගුවන් යානයක් ගුවන්ගත කිරීමේදී කාබන්ඩයොක්සයිඞ් විශාල ප්‍රමාණයක් පරිසරයට මුදාහරිනවා. හරිනම් කරන්න ඕනේ ගුවන් තොටුපොළ වන ආවරණය තවත් වැඩිකිරීම. මේ තිබෙන ප්‍රමාණය මදි. දිසා වන නිලධාරිනිය කියන්නේ ඒ කතාව. ගම්පහට ඔක්සිජින් ගම්පහින්ම හැදෙන්න ඕනෑද කියලත් සමහරු අහනවනෙ. තර්කයක් විදියටම ඒක වැරදියි. ඇත්තටම හැදෙන්න ඕනේ එහෙම තමයි. මොකද ඔක්සිජන් මිනිසුන්ට ලබාගැනීමේ පහසුව ළඟම මූලාශ්‍රවලින් වීමයි. ඒ කියන්නේ ගස්කොළන්. මීගමුව අවට ඇදුම, හෘදයාබාධ, වකුගඩු, සයිනොසයිටීස් හා පිළිකා රෝගීන්සංඛ්‍යාව ගණනය කළා නම් ඒක දර්ශකයක් විදියටම ඔප්පු කරන්න පුළුවන්. ඉතින් මේ ගැන වැඩියෙන්ම වදවෙන්න ඕනෑත් මීගමුවේ සහ ගම්පහ මිනිස්සු”

කඩොලාන යනු සුවිශේෂී ශාඛ ප්‍රජාවකි. ලුණු වතුරත් ගංගා වතුරක් මුසු වූ වතුරේ ජනිත වන කඩොලාන ශාඛ සිය කරු, කයිරු හා වායුධර මුල් වර්ග තුනෙන් නිකුත් කරන ඔක්සිජන් වායුව මීගමු ජනතාවගේ සෞඛ්‍යසම්පන්න ජීවිතයට අතිශය වැදගත් බව අවධාරණකටයුතුය. එහෙත් මීගමුවේ කඩොලාන තිබෙන්නේ මුතුරාජවෙල මීගමුව කලපුව අවට ප්‍රදේශයේ පමණි. මීගමුවේ මෙන්ම කඩවත, ජා ඇල හා වත්තල ඇතුළු ප්‍රදේශවල ගංවතුර පාලනයට තිබෙන එකම භූමියත් එයයි. ඉස්සන් ඇතුළු කළපු මත්ස්‍යයන් බිත්තර දාන්නේ මෙම ප්‍රදේශයේයි. මීගමුව කලපුව අවට ජනතාව බහුතරයක් ධීවර වෘත්තිය ජීවිකාව කරගත් පිරිසකි. එහෙත් අද වනවිට විශාල ගොඩනැගිලි හා හෝටල්වල කොන්ක්‍රීට් පරිසරයට විනාශ වී සුසුම්ලන බිම් පෙදෙසක් බවට මීගමුව පත්ව තිබෙන්නේ ශෝචනීය ලෙසිනි. මීගමුව නගරයේත් ජාඇල වත්තල ප්‍රදේශවලත් අපද්‍රව්‍ය බහාලන මධ්‍යස්ථානයක් බවට ද මීගමු කළපුව පත්ව තිබෙන්නේ ද ඊට එරෙහිව පරිසරවේදීන් තමන්ට හැකි ශක්ති ප්‍රමාණයෙන් විරෝධය පළකරමින් තිබෙන්නේ ද කලෙක පටන්ය. අවාසනාව වන්නේ විටින් විට මතුවන ප්‍රවෘත්ති ඇසුරෙන් සිද්ධිවාචකව කියවාගැනීමෙන් ඔබ්බට එහි ඇති නපුර ගැන ප්‍රතිපත්තිමය එළැඹුමකට ආණ්ඩු කරන උදවිය අවතීර්ණ නොවීමය.

“‍මෙය රුපියල් ලක්ෂ 10 000ක මහා පරිමාණ ව්‍යාපෘතියක්. කළපුවේ ගැඹුර වැඩි කිරීම, මාර්ග සංවර්ධනය වගේ වැඩ ගොඩක් තියෙනවා මේ ව්‍යාපෘතිය යටතේ. ‍මේ ව්‍යාපෘතියෙන් අවුරුදු 7ක් තිස්සේ තවම රුපියල් ලක්ෂ 3000ක් විතරයි පාවිච්චි කරල තියෙන්නේ. තවත් රුපියල් ලක්ෂ 7000ක මහා පරිමාණ ව්‍යාපෘතියක් මේක. එක නිලධාරිනියකගේ ලියුමක් නැති නිසා මේක නතර වෙලා තියෙනවා.” විවාදයට තුඩු දුන් ව්‍යාපෘතිය ගැන බී.බී.සී සිංහල සේවයට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අදහස් දක්වා තිබුණේ ඒ අයුරිනි. අමාත්‍යවරයාගේ ප්‍රකාශය අනුව මෙහි මූලික ගැටලුව ඇත්තේ සංවර්ධනය පිළිබඳව දේශපාලන විධායකය හොබවන තැනැත්තන්ගේ ආකල්පයෙහි බව පැහැදිලිය. සංවර්ධනය යනු කරදිය වළල්ලෙන් මෙපිටට ගලා එන ඩොලර් මිලියන් ප්‍රොජෙක්ට් හැටියට තේරුම්ගැනීමේ ඛේදාන්තය මෙය නොවේද? ලෝක ආධාර ගැන මේ සංවර්ධන ප්‍රතිපත්ති පීලි මාරුව නිවැරැදි කර නොගතහොත් රටක් හැටියට අප වැටෙනු ඇත්තේම ලෝක අමාරුවකය.

භූතානයෙන් අදර්ශයක්
සංචාරක කර්මාන්තය ආර්ථික වර්ධනයෙහි මූලික ප්‍රවේශයක් කරගැනීමට අපේක්ෂා කරන රටක් වන බැවින් ද  මීගමුව එම ප්‍රතිපත්තියේදී සුවිශේෂී ස්ථානයක් වන බැවින් ද ඊට අදාළ ලෝක උදාහරණයක් ගැන කීම වටී. සංවර්ධනය වෙමින් පවතින රටක් මෙන්ම සංචාරක කර්මාන්තයෙන් කප් ගසා ඇති භූතානය ඊට දකුණු ආසියාවෙන්ම දිය හැකි හොඳම උදාහරණයයි. රටේ සමස්ත භූමියෙන් 72% ක් වනාන්තර පද්ධතියකින් ආවරණය වී ඇති භූතානය රාජ්‍ය පාලනයෙහි බර තබා ඇත්තේ දළ ජාතික සතුටටයි. සංචාරක කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගයක් කරගත්ත ද ඔවුන් මූලිකත්වය දෙන්නේ තිරසර සංවර්ධනයකටය. මානසික පැවැත්ම, සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී දර්ශක නවයකින් මෙම දළ ජාතික සතුට ගණනය කෙරෙන අතර එක්සත් ජාතින්ගේ සංවිධානය පවා සිය නව දර්ශක සැකැසීමේදී මේ රාජ්‍ය පාලන පිළිවෙත සැලකිල්ලට ගෙන ඇත. ආවාට ගියාට සංචාරයට යැයි කියා රටට ඇතුළුවීමට අවස්ථාවක් නොදෙන භූතානය සිය වන වැස්ම උපරිම ලෙස ආරක්ෂා කරගැනීමට ගැලපෙන ආකාරයට සංචාරක කර්මාන්ත පිළිවෙත් ද සකස් කරගෙන තිබේ. 2004 වනවිට 69% ක් වූ වන වැස්ම 2016 වනවිට 72% දක්වා වැඩිකරගැනීමට භූතානයට හැකිවූයේ ඒ අනුවය. එහෙත් ලංකාව අද වැටී තිබෙන්නේ 16% වන වැස්ම ද තවත් දශකයක ඇවෑමෙන් 10-12% ක පරිමාණයට වැටෙන පල්ලමකටය. ඉතින් එහෙව් අබග්ගයක ගම්පහ දිසා වන නිලධාරිනිය කියන ආකාරයටම පිලිකුත්තුව, හොරගොල්ල ජාතික වන උද්‍යානය හා මීගමුව කළපුවේ කඩොලාන ප්‍රදේශය හැරුණු විට ගම්පහ දිස්ත්‍රික්කයට සැලකිය යුතු වන වැස්මක් ඉතිරිව නැත. ඇය රාජ්‍ය පරිපාලන භාෂාවෙන් වුව කියන්නේ ගිය හකුරට නාඩා තියෙන හකුරවත් රැකගනින්ය යන්නය. රට කරන ඇත්තනුත් නාසයෙන් හුස්ම ගන්නා ජනපදිකයනුත් සිහිබුද්ධියෙන් කල්පනා කළයුත්තේ මේ යථාර්ථය ගැනය.

බිඟුන් මේනක ගමගේ
සහ විනීතා එම්. ගමගේ