අලුත් අවුරුදු උදාවෙන් පසුව යළිත්  මැති ඇමැතිවරු වැඩ ආරම්භ කළෝය. ආණ්ඩුව තීරණයකර ඇත්තේ මේ වසරේ දී කඩිනම් සංවර්ධන වැඩ සටහනක් දියත් කිරීමටය. නව වසරේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම ඉකුත් අඟහරුවාදා පැවැත්විණ. එදින වැඩිපුරම සාකච්ඡාවට භාජන වූයේ මුදල් අමාත්‍යාංශයට අයත් කැබිනට් පත්‍රිකාය. ඇමති මංගල සමරවීර ට අය-වැය විසර්ජණ පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේය. 

මීට අමතරව ආණ්ඩුවේ ප්‍රධානතම සංවර්ධන ව්‍යාපෘතිය වූ ගම්පෙරළිය නැවත ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැති ඉල්ලා මුදල් ඇමති මංගල සමරවීර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. ඊටද අනුමැතිය ලැබුණු අතර ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ ගම්පෙරළිය යළි ආරම්භ කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අකමැත්තක් නොදැක්වූ බවය. ආණ්ඩුවේ අදහස වී ඇත්තේ දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාසයකම ඉතා කඩිනමින් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමය. “ගමේ වැව් ටික හදන්නෙ නැතිව පාරවල් හදන්නේ නැතිව අපට ගමට යන්න බැහැ. ගමට ගිහින් කියන්න දෙයන් නැහැ” ආදී වශයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ  මැති ඇමතිවරු ඉකුත් කාලය පුරාම අඳෝනා නගන්නට වූහ. ඒ හේතුවෙන් ආණ්ඩුවට ගම්පෙරළිය ක්‍රියාත්මක කරන්නට සිදුවූ අතර එය ආරම්භ කළද එතරම් ප්‍රතිඵලයක් ලබන්නට නොහැකි වූ බව දේශපාලන මතධාරීන්ගේ අදහසය. කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ  ආණ්ඩුව මේ වසරේ දී  කඩිනම් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කිරීමට අපේක්‍ෂා කරමින් සිටින බවය.

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව වසරේ රාජකාරී පළමුවැනිදා ආරම්භ කෙරුණේ පක්‍ෂ නිර්මාතෘ බැසි්ල් රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙනි. එහිදී ආගමික වතාවත් සිදුකිරීමෙන් පසුව කැවුම් කිරිබත් කා බැසිල් රාජපක්‍ෂ හා පක්‍ෂ ක්‍රියාකාරීහු නව වසරට රාජකාරී ආරම්භ කළහ. එහිදී බැසිල් රාජපක්‍ෂ කතාවක් කළේය.

“රටම මඩගොහුරාවක තිබුණු වේලාවක තමයි ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණ පක්‍ෂය බිහිවුණේ. අපි බලාපොරොත්තු වෙනවා, සියලුම පක්‍ෂ සාමාජිකයන්ට වාර්ෂික ගිණුම් ප්‍රකාශයක් ලබාදෙන්න.  ඉතිහාසයේ කිසිම පක්‍ෂයක් එවැන්නක් කර නැහැ. අපේ පක්‍ෂය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන පක්‍ෂයක් යැයි බැසිල් කීවේය. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ යාවජීව අනුශාසකවරයා ලෙස ප්‍රකාශකර තිබියදී නැවත වරක් බැසිල් රාජපක්‍ෂ එවැන්නක් ප්‍රකාශ කිරීම පිළිබඳව පොදුජන පෙරමුණේ ඇතැම්   ක්‍රියාකාරීන් නොසතුටට පත්වූ බවද ආරංචි මාර්ග සඳහන්  කළේය. 

ජනාධිපතිවරයාගේ සොහොයුරු ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන දේශපාලනයට අවතීරණය වීමේ අදහසකින් කටයුතු කරන  බවට ඉකුත් දිනවල රාවයක් පැතිර ගියේය. එම රාවය පැතිර ගියේ ඩඞ්ලි සිරිසේන  ඔහු කළ ප්‍රකාශයක් හේතුවෙනි.

 “අද වනවිට  සමහර දේශපාලනඥයින්ට මුදල්  ගිජුකමින් රට ජාතිය පාවා දෙන තත්ත්වයකට පත්වෙලා. මේ රට කොටස් නවයකට වෙන් කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බව මම දන්නවා. ඊට විරුද්ධව සටනට ජීවිත පරිත්‍යාගයෙන් ජනතාවත් සමග නායකත්වය දෙන්න මම සුදානම්”යැයි ඩඞ්ලි සිරිසේන කීවේය.  ඩඞ්ලි  එම කතාව කිරීමෙන් පසුව තවත් යමක් කීවේය. “මම මේ ප්‍රකාශය කළාම ඒක ප්‍රශ්නකාරි එකක් වන බව මම දන්නවා.”යැයිද ඩඞ්ලි සිරිසේන කීවේය. මේ අතර දේශපාලන  ආරංචි මාර්ග සඳහන් කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආසන සංවිධායක ධුරයක් ඩඞ්ලි සිරිසේනට ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බවය.  මීළඟ මහ මැතිවරණයේ දී පොළොන්නරුවෙන් තරග කිරීමට ඩඞ්ලි සිරිසේනට අවස්ථාවක් උදාවනු ඇතැයි ද දේශපාලන ආරංචි පැතිර යමින් තිබේ.

ඇමති චම්පික රණවකගේ සංකල්පයකට අනුව බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ නිර්මාණයවූ “ෆිෆ්ට් කේ. ඕකිඞ්” නැමති නව සුපිරි අවන්හල ඉකුත් පළමුවැනිදා විවෘත කෙරිණ. එම විවෘත කිරීමේ අවස්ථාවේ ප්‍රධාන  අරාධිතයා වූයේ අගමැති රනිල් වික්‍රමසිංහය. එහිදී අගමැතිවරයා, චම්පික, මංගල සහ රාජිත සමඟ රාත්‍රී භෝජනයකට ද සහභාගී වූයේය. මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් වන ධම්මික පෙරේරා, ඩබ්ලිව්.කේ.එස්. වෑගපිටිය, අශෝක පතිරගේ, සුමල් පෙරේරා, අස්ගි අක්බර් අලි, රාසි පෙස්තන්ජිද එක්ව සිටියහ. එහිදී අගමැතිවරයා සහ ඇමැතිවරුද ව්‍යාපාරිකයෝද විශේෂ සාකච්ඡාවක නිරත වූහ. එම සාකච්ඡාව පැය දෙකහමාරක් පමණ කාලයක් පුරා පැවැත්විණ. රටේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ ව්‍යාපාරික ප්‍රජාව  එම සාකච්ඡාවට මාතෘකා වී තිබිණ. එහෙත් ඔවුන් කතා කළේ කුමන කරුණ ද යන්න සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූයේ නැත. 

අධ්‍යාපනය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට හා ඒ සම්බන්ධ දේශපාලන කතා කීමට බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා දක්‍ෂකම් දක්වන්නේය. ඔහු ඊටත් වඩා උනන්දුවන්නේ  ආර්ථිකය ගැන කිරීමටය. බන්දුල ගුණවර්ධන ඉකුත්දා කීවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර  උසස් පෙළ ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී ජාත්‍යන්තර පාසල්වල සිසුන්ගේ ප්‍රතිඵල එක්කර ගැනීම කුමන්ත්‍රණයක් බවය.  

“අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ කුමන්ත්‍රණයක් මීට පෙර මෙවැන්නක් සිදුවී නැහැ. මේක නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තීන්ට පටහැනියි.” ආදී වශයෙන් බන්දුල චෝදනා නගන්නට වූයේය. 

ජාත්‍යන්තර පාසලක සිසුවියක් මෙවර ඉහළම ප්‍රතිඵල ලබා දක්‍ෂයින් අතරට පත්ව සිටීම පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කළ එම කතාවට දේශපාලඥයින්ගෙන් ඉහළ -පහළ මාධ්‍ය පාංතිකයන්ගෙන් සරසවි ආචාර්යවරුන් ඇතුළු සමාජයේ නොයෙක් පැතිකඩවලින් දොස් ඇසීමට සිදුව තිබේ. බන්දුල ගුණවර්ධනගේ එම ප්‍රකාශයට නාමල් රාජපක්‍ෂ ද විරෝධය දක්වා තිබේ. නාමල්ගේ පෞද්ගලික ට්විටර් ගිණුමෙහි සඳහන් කර ඇත්තේ එවැනි ප්‍රකාශ පිළිගත නොහැකි බවය. මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ බන්දුලගේ කතාවට බැසිල් රාජපක්‍ෂ ද දොස් නගා තිබෙන බවය. මින්පසුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ නොකරන්නැයි බන්දුලට බැසිල් ප්‍රකාශ කළ බවට ද ආරංචි පැතිර ගියේය. 

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවට මේ වසර සුවිශේෂ වන්නේය. මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරනුයේ මේ වසරේදී යම් හෙයකින් මැතිවරණ එකක් හෝ දෙකක් පැවැත්වීමේ ඉඩකඩක් තිබිය යුතු බවය. එහෙත් මැතිවරණ පැවැත්වීමට තිබෙන නීතිමය බාධා ප්‍රායෝගික ගැටලු ආදිය පාර්ලිමේන්තුවෙන් ඉවත් කරනතුරු මැතිවරණ කොමිෂන් සභාවට කළ හැක්කක් නොවන බව ද පැවසේ.

පළාත් සභා කිහිපයකම නිල කාලය අවසන්වී ඇති අතර මේ වසරේ මුල් මාස කිහිපයේදී තවත් පළාත් සභා දෙකක නිල කාලය අවසන්වීමට නියමිතය. ආණ්ඩුවට අවශ්‍යනම් පළාත් සභා මැතිවරණය මේ වසරේදී පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය සකස් කර දිය හැකිය. මීට අමතරව පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂ එකඟතාවයෙන් හා තුනෙන් දෙකකින් කරන යෝජනා සම්මතයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිය. එසේ වුවහොත් මේ වසරේදීම පාර්ලිමේන්තු මැතිවරණයකට යාමේ අවස්ථාව හිමිවේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය මහා මැතිවරණයකට ඕනෑම අවස්ථාවක මුහුණදීමට සුදානම්ව සිටින බව නිතර නිතර ප්‍රකාශ කරමින් සිටියි. එක්සත් ජාතික පක්‍ෂය ද මාස කිහිපයකින් පසුව මහා මැතිවරණයක් පැවැත්වීමට කැමැත්තක් දක්වන බවට ඉඟි කෙරෙන ප්‍රකාශ කිහිපයක්ම  කර තිබිණ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක කිවේ “ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කළා. දැන් අපට නිත්‍යානුකූලව මහා මැතිවරණයකට යාමේ අවස්ථාවක් තිබෙනවා.” යනුවෙනි. ඒ අනුව යම් හෙයකින් මේ  වසරේදී මහා මැතිවරණයක් පැවැත්වීමේ අවකාශය ද නැතිවම නොවේ. පළාත්  සභා මැතිවරණයත් මහා මැතිවරණයත් යන මැතිවරණ දෙකම නොපැවැත්වුණද අනිවාර්යයෙන්ම මේ වසරේදී ජනාධිපතිවරණය පැවැත්විය යුතුමය.

 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත්වූයේ 2015 වසරේ ජනවාරි මස 8 වැනි දින පැවැති  මැතිවරණයෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව  ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකි. දහනව වැනි සංශෝධනයට අනුව වර්තමාන ජනාධිපතිවරයාට අවුරුදු හතර හමාරක් ගිය විට තමාද නැවත තරග කරන බව දන්වා ජනාධිපතිවරණයක් කැඳවිය හැකිය. එසේ කරන්නේ නම් මේ වසරේ ජුනි මාසයේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමේ ඉඩකඩක් තිබේ. ජනාධිතිවරයා එසේ නොකරන්නේ නම් ඔහුගේ ධුර කාලය අවසන්වන මේ වසරේ නොවැම්බර් මාසයේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුය. 

දේශපාලන විචාරකයින් සඳහන් කරනුයේ මේ වසරේ නොවැම්බර් මස 8 වැනි දිනත් දෙසැම්බර් මස 8 වැනි දිනත් අතර අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අනිවාර්යයෙන්ම නව ජනාධිපතිවරයා 2020 වසරේදී ජනවාරි මාසයේදී දිවුරුම්දිය යුතු බව ද ඔවුහු පෙන්වා දෙති.

මේ අනුව 2019 වසරේදී අනිවාර්යෙන්ම මැතිවරණයක් හෝ දෙකක් හෝ පැවැත්වීමට ඉඩ තිබෙන නිසා මේ වසර මැතිවරණ වසරක් ලෙස නම් කිරීම වරදක් නැතැයිද දේශපාලන මතධාරීන්ගේ අදහසය. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනුයේ ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට කොමිෂන් සභාව සූදානමින් සිටින බවය. මේ වසරේ මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් ඒ සඳහා භාවිතා කරනුයේ 2018 ඡන්ද හිමි නාම ලේඛනයයි. 2018 ඡන්ද හිමි නාම ලේඛනය ඉකුත් නොවැම්බර් මාසය වනවිට සනාථ කර තිබේ. 2018 ඡන්ද හිමි නාමලේඛණයට අනුව මීළඟ මැතිවරණයකදී ඡන්දය භාවිතා කිරීමට ඡන්ද දායකයෝ ලක්‍ෂ 159ක් සුදුසුකම් ලබා සිටිති. මැතිවරණ කොමිෂන් සභාවේ වාර්තාවලට අනුව වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේය. එම සංඛ්‍යාව ලක්‍ෂ 17 කට අධිකය. කොළඹ  දිස්ත්‍රික්කයේ ඡන්ද හිමියන් සංඛ්‍යාව ලක්‍ෂ 16කට වැඩිය. දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්කවලට අනුව ත්‍රිකුණාමලය අඩුම ඡන්ද දායකයින් පිරිසක් සිටින දිස්ත්‍රික්කය වේ. ත්‍රිකුණාමලයේ ඡන්ද හිමියන් සංඛ්‍යාව දෙලක්‍ෂ අසු දහස් ගණනකි. මේ අතර ඉකුත් වසරේ දිවයිනේ ඡන්ද හිමියන් සංඛ්‍යාව ලක්‍ෂ 157ක් වූ අතර ඒ අනුව 2017 වසරට සාපේක්‍ෂව 2018 වසරේ ඡන්ද හිමියන් සංඛ්‍යාව ලක්‍ෂ දෙකකින් පමණ වැඩිවී ඇතැයිද පැවසේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ වැඩිවී ඇත්තේ තරුණ ඡන්ද බවය. 

මැතිවරණ කොමිෂන් සභාව නව වසරේ තවත් අලුත් වැඩකට අතගසා තිබේ. ඒ මැතිවරණ පැමිණිලි නිරාකරණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ “මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ කාර්යාංශයක්” ස්ථාපිත කරන බවය. “මැතිවරණ පැමිණිලි විමර්ශනය කරන එක අපි කොහොමටත් කරනවා. හැබැයි මෙතෙක් ස්ථිර අංශයක් තිබ්බේ නැහැ. මේ අංශය අපි ස්ථිර ලෙසම ස්ථාපිත කරනවා. ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා කළා. මාර්ග සැලැස්මක් සකස් කළා. බස්නාහිර පළාතේ දිසාපතිවරුන් හා තේරීම්භාර නිලධාරීන් ලෙස කටයුතු කරපු දැනට අමාත්‍යාංශ ලේකම්ධුර දරන නිලධාරීන් කැඳවා මේ මස 8 වැනිදා සාකච්ඡා කරනවා” යැයිද මහින්ද දේශප්‍රිය සභාපතිවරයා සඳහන් කරයි.

 ඡන්ද පැවැත්වෙන සමයේදී මැතිවරණ පැමිණිලි ලැබීම සාමාන්‍ය දෙයක් වුවද ඡන්දයක් නොපැවැත්වෙන කාලවලදීද මැතිවරණ පැමිණිලි ලැබෙන බව මැතිවරණ කොමිසමේ අදහසය. “ඡන්ද හිමි ලියාපදිංචි නාම ලේඛන සකස් කිරීමේදී ප්‍රශ්න මතුවෙනවා. ඡන්ද හිමියන් හා ග්‍රාමනිලධාරීන් අතර ප්‍රශ්න ඇති වෙනවා. දේශපාලන පක්‍ෂවල අභ්‍යන්තර අර්බුද එම පක්‍ෂවල අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයේ ප්‍රශ්න ආදිය තියෙනවා. මේ හැමදේම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි කරන්න පුළුවන්.” යැයිද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 

අගමැති ධුරය පිළිබඳව පැවැති අර්බුදය මෙන්ම විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන්ද අර්බුදයක් නිර්මාණය වී තිබේ. මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට නම් කර තිබියදී හිටපු විපක්ෂ නායක සම්පන්දන් එය ප්‍රතික්ෂේප කරමින් තමන් තවදුරටත් විපක්ෂ නායකවරයා යැයි ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් කතානායකවරයා ද මේ ගැටලුව සම්බන්ධයෙන් අවුලක පැටලී තිබෙන බවත් වාර්තා වේ. දෙමළ ජාතික සන්ධානය සඳහන් කර ඇත්තේ නඩු මගට පිවිසෙන බවය. එසේ වුවහොත් මහින්ද රාජපක්ෂට විපක්ෂ නායක ධුරය හිමිවේද යන්න පිළිබඳ අවසන් තීන්දුව අධිකරණයෙන් ලබා දෙනු ඇත.