පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති කොමිෂන් සභාව නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් සමාජයේ විවිධ ස්ථරවල තව තවත් කතා නිර්මාණය වෙමින් තිබේ. ඇතැම් දේශපාලන පක්ෂ සංවිධාන සහ පුද්ගලයෝ කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය නිර්දේශ හා වපසරිය සම්බන්ධයෙන් විවිධ මත පළකරමින් සිටිති. එම කණ්‍ඩායම්වලට අලුතින්ම ආගමික කොටස්ද එකතුවී තිබීම විශේෂත්වයකි. බොදුබල සේනා සංවිධානය තහනම් කළ යුතු බවට පාස්කු ඉරිදා පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව නිර්දේශ කිරීම ප්‍රතික්ෂේප කරන බව කොළඹ අගරදගුරුතුමා ඉකුත්දා ප්‍රකාශ කළහ. අස්ගිරි පාර්ශ්‍වයේ මහා ලේඛකාධිකාරී නාහිමියන් සහ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාහිමියන්ද පාස්කු වාර්තාවේ ඇතැම් නිර්දේශ ප්‍රතික්ෂේප කිරීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් පාස්කු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ වරදකරුවන්ට දඬුවම් දීමට පියවර ගන්නැයි කතෝලික සභාවේ බලපෑම් වැඩිවෙමින් තිබේ. එහි මුල් පියවරක් ලෙස කොළඹ රදගුරු පදවිය ලබන ඉරිදා කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශ්‍යට පත්කර තිබේ. රටපුරා නිවෙස්වල කළුකොඩි ප්‍රදර්ශනය කරන්නැයි දැනටමත් කොළඹ රදගුරු පදවිය ජනතාවට දන්වා තිබේ. පාස්කුදා ප්‍රහාරයේ මහමොළකරුවන් මේ මස 21 වැනි දිනට පෙර නීතියේ රැහැනට හසුකර නොගතහොත් රටපුරා විරෝධතාවක් දියත් කරන බවද කාදිනල්තුමෝ සඳහන් කරති. කෙසේ වෙතත් පවතින විරෝධතා හා අදහස් යෝජනා අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ වාර්තාවේ ඉදිරි පියවර කුමක්වේදැයි නිශ්චිතවම කිව නොහැකි යැයි නීති විශාරදයෝ සඳහන් කරති. කොමිෂන් සභා වාර්තාවේ පිටපත් මේවනවිටත් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. ඉදිරියේ ඒ සම්බන්ධ නීති පියවර ගැනීමේ පූර්ණ වගකීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බවද නීති විශාරදයෝ පෙන්වා දෙති.

මේ අතර පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන්ද දේශපාලන කරළියේ නැවත කතාබහක් නිර්මාණය වී තිබේ. ආණ්‍ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට එකඟතාව පළකිරීම එම කතාබහට හේතුව වී තිබේ.
එක්සත් ජාතීන් මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රශ්නය තියෙනවා. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳ ප්‍රශ්නය නිසා ඉන්දියාවේ නොහොඳ නෝක්කාඩුවක් තියෙනවා. ලබන ජුනි මාසයේදී පළාත් සභා ඡන්දය තියන්න සැලසුම් කරනවාය කියන එක කාරණා දෙකක් මත සිදුවිය හැකියි. එකක් මානව හිමිකම් කවුන්සිල ප්‍රශ්නයේදී ඉන්දියාවේ සහාය ලබාගැනීම, අනෙක් කරුණ ඇත්තටම පළාත් සභා ඡන්දය තියන්න ආණ්‍ඩුවට රටෙන් ඇතිවන බලපෑම. මේ දෙකෙන් කුමන එක හරිදැයි කියන්න බැහැ යැයි දේශපාලන විචාරකයෝ මත පළ කරති. කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්වීමට කිසිදු හැකියාවක් නැතැයි ද දේශපාලන විචාරකයෝ කියති. පළාත් සභා නව ක්‍රමයට පවත්වන්නට නම් සීමා නිර්ණය කර තිබිය යුතුයි. රටපුරා සීමා නිර්ණ සලකුණු කිරීමට කාලයක් ගත වෙනවා. එහෙම වුණොත් මේ වසර තුළ කිසිසේත් ඡන්දයක් තියන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා පළාත් සභා ඡන්දය තියන්න වෙන්නෙ පැරණි මනාප ක්‍රමයටයි. පැරණි මනාප ක්‍රමයට තියෙන එක ලේසියි. පනතට පාර්ලිමේන්තුවේදී සුළු සංශෝධනයක් සිදුකිරීම පමණයි අවශ්‍ය වෙන්නේ යැයිද ඔවුහු ප්‍රකාශ කරති.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ පළාත් සභා ඡන්දය පැවැත්වීමට රජය අවශ්‍ය වටපිටාව සකස්කර දෙන්නේ නම් සහ නීතිමය ගැටලු විසඳා දෙන්නේ නම් ඡන්දය පැවැත්වීමට කිසිදු බාධාවක් නැති බවය. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු දැනටමත් සූදානම් බවද මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෝ පවසති. මේ අතර කොළඹ වරායේ බටහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා කැබිනට් මණ්‍ඩල අනුමැතිය ඉකුත් සතියේ හිමිවිය. නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා ආයෝජනය කිරීමට සූදානම්ව සිටි ඉන්දියාවේ සුප්‍රකට අදානි සමාගම ජෝන් කීල්ස් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන පාර්ශ්ව තුන ඒකාබද්ධව රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායකත්වයක් යටතේ එම ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට නියමිතය.

මේ අතර මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීමේදී ඉන්දියාව ඡන්දය ලබාදීමෙන් වැළකී සිටිනු ඇතැයි දේශපාලන විචාරකයෝ දැනටමත් මත පළ කර සිටිති. මීට ඉහත අවස්ථාවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණේය. එහෙත් ආණ්‍ඩුව අපේක්ෂා කරන්නේ කෙසේ හෝ ඉන්දියාවේ සහාය ලබාගැනීමටය.

ඉන්දියාව මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ලබාදේවි යැයි අපි විශ්වාස කරනවා’ යැයි කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබිණ.

කොරෝනා නිසා මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානය කිරීම පිළිබඳව නැවත වතාවක් ගැටලුවක් මතුවී තිබේ. ඒ එම මෘතදේහ භූමදානයට යොදාගන්නා බවට ප්‍රකාශයට පත්වූ ඉරණතිව් දූපතේ ජනතාව ඊට විරෝධය පළකිරීමය. ඉරණතිව් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පිහිටි දූපතක්වන අතර එහි ධීවර පවුල් වාසය කරති. ඒ සියලු දෙනා කතෝලිකයන් වීමද විශේෂත්වයකි. පාස්කුදා ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලිකයන්ගේ පවතින දැඩි විරෝධය ඉරණතිව් දූපතේ වැසියන් හරහා තවත් වරක් ප්‍රකාශයට පත්කරන බවද ඇතැම් පිරිස් කියති.

පාස්කු ඉරිදා ප්‍රහාරය සමබන්ධයෙන් කතෝලික ප්‍රජාව දියත් කරන කළු ඉරිදා විරෝධතා වැඩසටහනට සහාය පළකිරීමට ජාතික ජනබලවේගය පක්ෂය තීරණය කර තිබේ. ජාතික ජනබලවේගය පක්ෂයේ නායකයන් හා නියෝජිතයන් රටපුරා විවිධ ප්‍රදේශවලට ගොස් ඒ ඒ ප්‍රදේශවල තිබෙන කතෝලික පල්ලි සමග එක්ව එම විරෝධතා වැඩසටහන්වලට එක්වන බවද ජාතික ජනබලවේගය පක්ෂය කියයි.

පාස්කුදා ප්‍රහාරයෙන් විශාල ඛේදවාචකයක් සිද්ධ වුණා. ඊට ගොදුරු වූවන්ට සහනයක් නීතියේ පිළිසරණක් අත්විය යුතුයි. ඒක තවම සිදුවුණේ නැහැ. ඒ නිසා විරෝධය සාධාරණයි. ජාතික ජනබලවේගය පක්ෂය ඊට සහාය දක්වන්නේ ඒ නිසා යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස කියන්නේය.

මීට අමතරව ජාතික ජනබලවේගය පක්ෂය මාර්තු මාසය තුළදී තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. රටේ ආර්ථික ප්‍රශ්න ඔඩු දුවලා. ණය බර ඉහළයි. බදුබර වැඩිවෙලා. ආණ්‍ඩුවට මේ දේවල්වලට පිළිතුරු නැහැ. රටේ ප්‍රශ්න ගොඩගැහිලා. මේ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට තීරණය වෙලා. ජාතික ජනබලවේගය පක්ෂයේ නායකයින් මාර්තු මාසය තුළ ප්‍රදේශ කීපයකම ජනතාව ඒකරාශී කරගෙන එම සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කරනවා යැයිද එම පක්ෂයේ නායකයෝ සඳහන් කරති.

ජාතික ජනබලවේගය පක්ෂයේ අදහස වී ඇත්තේ නැගෙනහිර ජැටිය මෙන්ම බටහිර ජැටිය ආරක්ෂා කර ගතයුතු බවද අනුර දිසානායක කියන්නේය. මේ ආණ්‍ඩුව ඉන්දියාවට ඇමෙරිකාවට සහ චීනයට රටේ සම්පත් විකුණනවා. බටහිර ජැටිය ඉන්දියාවට විකුණනවාටත් අපි විරුද්ධයි. වරාය සහ අනෙකුත් වෘත්තීය සමිති එකතුකරගෙන අපි මේ දිනවල සාකච්ඡා කරනවා කොහොමද බටහිර ජැටිය බේරාගැනීමේ විරෝධතාව සංවිධානය කරන්නෙ කියලා. ඒ අනුව සුදුසු පරිදි විරෝධතා ක්‍රියාමාර්ග ගන්නවා. යැයිද ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර දිසානායක කියන්නේය.

මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් ඉකුත්දා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණේය. එහි සඳහන් වී තිබුණේ කොරෝනා ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන්ගේ භූමදානය සම්බන්ධ කාරණාව ජාතිවාදී දෘෂ්ටි කෝණයකින් නොබැලිය යුතු බවය. එවැන්නකින් සිදුවන්නේ මුස්ලිම් ජනතාව තව තවත් වේදනාවකට පත්වන බවකි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායකයා සඳහන් කරන්නේ මුස්ලිම් මෘතදේහ ඉරණතිව් දූපතේ භූමදානය කිරීම පිළිබඳව සිය පක්ෂය විරෝධය දක්වන බවය.

කොළඹ කුප්පියාවත්ත සුසානභූමියේ සහ අම්පාර ප්‍රදේශයේ භූගත ජලමට්ටම පහළ මට්ටමක පවතින හෙයින් එවැනි ස්ථානවල භූමදානය කිරීමට අවසර හිමිවිය යුතු බවද රාවුෆ් හකීම් කියන්නේය.
ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු දින ඊට පක්ෂව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් හතර දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළහ. එම මන්ත්‍රීවරුන් වන්නේ මඩකළපුව නියෝජනය කරන හාපිෂ් නසීර්, දිගාමඩුල්ල නියෝජනය කරන එච්.එම්.එම්. හරීස්, ෆයිසර් කාසිම් සහ ත්‍රිකුණාමලය නියෝජනය කරන එම්.එස්. තව්ෆික්ය. ඔවුන් විස්සට සහාය දීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන්නැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්‍ඩලය ඔවුන්ට දැනුම් දී ඇතත් ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් දක්වා නැතැයි පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි. එම මන්ත්‍රීවරුන්ට උත්තරීතර මණ්‍ඩලය දන්වා ඇත්තේ විස්සට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට හේතු ලිඛිතව ලබාදෙන ලෙසත් සහ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවත්ය. එහෙත් මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ එම මන්ත්‍රීවරුන් එය මගහරිමින් සිටින බවද පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.

එක්සත් ජාතික පක්ෂ නායකයා ඉකුත් නවම් පෝදා කොළඹ ගංගාරාම විහාරස්ථානයට ගියේ නවම් පෙරහැරේ සමාරම්භක උත්සවයට සහභාගිවීමටය. සිය මිත්තණිය වූ හෙලේනා විජයවර්ධන ළමාතැනී සමග ගංගාරාමයට යාම ආරම්භ කළ දා සිට සිය ජීවිත කාලය තුළ සෑම නවම් පෙරහැරක්ම නැරඹීමට විහාරස්ථානයට යාමට රනිල් අමතක නොකළේය.

මෙවරද සුපුරුදු පරිදි නවම් පෙරහැර නැරඹීමට රනිල් ගංගාරාමයට ගිය අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඇමති බන්දුල ගුණවර්ධන ආදී මැති ඇමතිවරු රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ. ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු රැසක් පැමිණ නායකයාගෙන් විමසුවේ එකම පැනයකි. ඒ “ඔබතුමා කවද්ද පාර්ලිමේන්තු එන්නේ” යන්නයි.

“ජනතාව මට ගෙදර ඉන්න කිව්වා. ඉතින් මම ගෙදර ඉන්නවා. ආයෙත් දේශපාලනයට එන්න කියලා ඉල්ලීමකුත් තියෙනවා. එහෙත් තරුණ, අලුත් පිරිසක් ඉදිරියට ගේන්න තමයි මට ඕනේ. කොහොම වුණත් තාම මම මේ ගැන තීරණයක් අරගෙන නැහැ. ඕනේ නම් එළියේ ඉඳන් වුණත් දේශපාලනය කරන්න පුළුවන්නේ” නායකයා කීවේ සිනාසෙමිනි.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු බොහෝ අදහස් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසය. නායකයා ඊට සිනාසුනා මිස කිසිවක් කියන්නට ගියේ නැත. තවත් වැඩකටයුතු කිහිපයකට යාමට ඇති බැවින් නායකයා ඉක්මනින් ඉන් නික්ම ගියේය.

ඉකුත් සතියේ සිරිකොත පක්ෂ මූලස්ථානයට ගොස් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ගැන සොයා බැලූ නායක රනිල් කඩිනමින් එම කටයුතු ආරම්භ කරන ලෙස පක්ෂ ක්‍රියකාරීන්ට දැනුම් දුන්නේය. බොහෝ පිරිසක් ඉකුත් සතියේ කොළඹින් පිටත සිටීම නිසා විශේෂ තීන්දු තීරණ කිසිවක් ගැනීමට අවස්ථාවක් නොවීය.

පක්ෂ ක්‍රියාකාරීන් ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා නායකයාගේ කොළඹ නිවසට පැමිණියේ සතියේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.

“කාදිනල්තුමා මාධ්‍ය හමුවක් තියලා අපේ ආණ්ඩුවටයි දැන් ඉන්න ආණ්ඩුවටයි දෙකටම දොස් කිව්වා. පැවැති ආණ්ඩුවේ නායකයන්ටත් මේකෙන් පැනලා යන්න බෑ කියලා තමයි උන්නාන්සේ කියන්නේ” සංදිත් සමරසිංහ කතාව ආරම්භ කළේ එලෙසිනි.

“ඔව්. කාදිනල්තුමා කියපු එක හරි. මම එදත් පැනලා ගියේ නෑ. ආණ්ඩුවක් ලෙස වගකීම බාරගෙන ත්‍රස්තවාදීන්ගේ ඉදිරි ප්‍රහාර වළක්වන්න අවශ්‍ය කටයුතු කළා. ආරක්ෂක ප්‍රධානීන්ට අරලියගහ මන්දිරයට එන්න අවසර නෑ කිව්ව නිසා මම ම ආරක්ෂක අමාත්‍යාංශයට ගිහින් සියලු දෙනා කැඳවලා සැලසුම්කර තිබූ ත්‍රස්ත ප්‍රහාර සියල්ල අඩපණ කරන්න ආරක්ෂක අංශ යොමු කළා. මෙරට සැඟවී සිටි සියලු ත්‍රස්තයන් අල්ලා ගන්න පුළුවන් වුණේ වගකීම අරන් කටයුතු කළ නිසයි” නායකයා කීවේ කනගාටුවෙනි.

“එදා ආණ්ඩුවේ අගමැති වුණාට නායකතුමාව ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට කැඳෙව්වේ නෑනේ. එතුමාව දැන් බොරුවට මේකට පටලවන්න හදනවා. එතුමා ඒ වෙලාවේ ගත්ත ක්ෂණික තීරණ නිසා තමයි වෙන්න ගිය මහා විනාශයක් මේ තරමින් හරි වළක්වා ගන්න ලැබුණේ” රංගේ බණ්ඩාර කීවේය.

“ඔව්, ඒ වුණාට පාස්කු කොමිසමේ වාර්තාවෙන් පස්සේ නායකතුමා මාධ්‍යවලට කියපු ප්‍රකාශ නිසා කට්ටිය කලබල වෙලා කියලා ආරංචියි” ශමල් සෙනරත් ද පැනයක් මතු කළේය.

“මම මාධ්‍ය හමු තිබ්බේ නෑ. හැබැයි පුවත් පත් දෙකකින් මගෙන් සම්මුඛ සාකච්ඡා ඉල්ලුවා. ඒ අය අහපු ඒවට මම පිළිතුරු දුන්නා. එතනදිත් මම කොමිසමේ වාර්තාව ප්‍රතික්ෂේප කළේ නෑ. මම කිව්වේ ඒක අසම්පූර්ණයි කියලා විතරයි. මොකද රජයක් ලෙස ඒ වෙලාවේ අපි ලංකාව තුළ වූ සියලු දේ සොයා ගත්තා. එහෙත් කොමිසම පත් කළේ මේ ප්‍රහාරය පිටුපස වෙනත් පිරිසක් ඉන්නවාද? මහ මොළකරු කව්ද කියලා හොයන්නයි. එය මෙතනින් වෙලා නෑ. එයයි මම මතු කළේ” නායක රනිල් කීවේය.


(*** කස්තුරි)