(*** මුදිතා දයානන්ද)

“ප්‍රහාරය වළක්වා ගන්න නොහැකි වීමේ වගකීම බරගන්නේ නම් මලල්ගොඩ කමිටු වාර්තාව වෙනස්කර පූජිත්ව නිදහස් කරන්නම් කියලා මා කීව බවට කර තිබෙන ප්‍රකාශය සම්පූර්ණ බොරුවක්. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු විසින් ප්‍රධානත්වය දරන ලද කමිටුවක වාර්තාවක් වෙනස් කරන්න තරම් මම අමනෝඥ පුද්ගලයෙක් නෙවෙයි. ජනාධිපතිවරයෙක් ලෙස මා කිසිසේත්ම එවැනි පහත් තැනකට වැටෙන්නේ නැහැ” යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (17) පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ හතරවන දිනටත් සාක්ෂි දෙමිනි.
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ මෙහෙයැවීම යටතේ ඔහු මෙසේ සාක්ෂි දුන්නේය.

කොමිසම ඉස්ලාම් අන්තවාදය සහ ඒ සම්බන්ධ ක්‍රියාකාරකම් පිළිබඳව ගත යුතු පියවර සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට සහ අදාළ නිලධාරීන්ට අවස්ථා ගණනාවක දී උපදෙස් ලබා දී ඇති බව ඔබතුමා  පැවසුවත්, ඒ සම්බන්ධයෙන් වන කිසිදු ලිඛිත සාක්ෂියක් මේ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට මේ වන තෙක් ඔහුට හැකි වී නැහැ.

සාක්ෂිකරු - ඊට  අදාළ ලේඛන ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබිය හැකියි. එම ලේඛන කොමිෂන් සභාව හමුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඒ පිළිබඳව පරීක්ෂා කළ හැකියි.

කොමිසම - පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව වගකීම භාර ගන්නේ නම් ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩගේ සභාපතිත්වයෙන් පත් කළ කොමිෂන් සභා වාර්තාවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස් කරන බවට මේ කොමිසම හමුවේ සාක්ෂි ඉදිරිපත්ව තිබෙනවා.

සාක්ෂිකරු - ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ප්‍රධානත්වය දරන ලද කමිටුවක වාර්තාවක් වෙනස් කරන්න තරම් මම අමනෝඥ පුද්ගලයෙක් නෙවෙයි. ජනාධිපතිවරයෙක් ලෙස මා කිසිසේත්ම එවැනි පහත් තැනකට වැටෙන්නේ නැහැ.
කොමිසම - මෙතෙක් කොමිෂන් සභාව හමුවේ ඉදිරිපත් වී ඇති සාක්ෂි අනුව ජාතික ආරක්ෂක කවුන්සිලය ආගමික අන්තවාදය සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකිරීම සහ ඊට සම්බන්ධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් සිදු නොකිරීම හේතුවෙන් 2019 අප්‍රේල් 21, පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය සිදු වූ බව පැහැදිළි වෙනවා.

සාක්ෂිකරු - මම එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මෙවැනි කරුණු සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට සහ ආයතනවලට මම අවස්ථා ගණනාවක දී උපදෙස් ලබා දීලා තියෙනවා. ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී පමණක් නොවෙයි, වෙනත් රැස්වීම්වලදීත් අදාළ උපදෙස් ලබා දීලා තියෙනවා. මම ජනාධිපතිවරයා ලෙස ගත යුතු ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. නමුත් අදාළ නිලධාරීන් සහ ආයතන එම උපදෙස් අනුව ක්‍රියාකරලා නැහැ.

මම ආරක්ෂක විශේෂඥයකු නොවෙයි. දේශපාලනඥයෙක්. බුද්ධි අංශ, පොලීසිය වැනි ජාතික ආරක්ෂාවට සම්බන්ධ ආයතන ආගමික අන්තවාදය සම්බන්ධයෙන් වන කරුණු සම්බන්ධයෙන් නිසි පරිදි කටයුතු නොකළේ ඇයි ද යන්න බරපතළ ගැටලුවක්. 2019 අප්‍රේල් මස 16 වන දින කාත්තන්කුඩි ප්‍රදේශයේ දී ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම විසින් යතුරුපැදියක අටවන ලද බෝම්බයක් පුපුරුවා හැරීමේ සිදුවීම වැනි සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලීසිය සහ බුද්ධි අංශ එක්ව විමර්ශන සිදු කළ යුතුව තිබුණා. ඒ සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලයේ හෝ ජනාධිපතිවරයාගේ උපදෙස් අවශ්‍ය වන්නේ නැහැ.

කොමිසම - ඔබතුමා  විදෙස්ගත වූ අවස්ථාවල දී තානාපති කාර්යාල මගින් ශ්‍රී ලංකාවේ පුවත්පත් කියවීම සඳහා ලබා දෙන්නේ ද?
සාක්ෂිකරු -  සාමාන්‍යයෙන් එලෙස පුවත්පත් ලබා දුන්නත් 2019 අප්‍රේල් මස තමන් සිංගප්පූරුවේ ගත කළ කාලය තුළ පුවත්පත් කියවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. මම ඉන්දියාවේ තිරුපති කෝවිලට ගිහින් ඊට පසුව තමයි සිංගප්පූරුවට ගියේ. එහේ රෝහල්ගතව සිටි නිසා පුවත්පත් කියවන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.

කොමිසම - පසුගිය රජය සමයේ පැවැති දේශපාලන අස්ථාවරත්වය, ආගමික අන්තවාදය සම්බන්ධයෙන් නිසි උපදෙස් ලබානොදීම සහ ලබා දුන් යම් උපදෙසක් වේ නම් ඒ පිළිබඳව පසුවිපරමක් සිදු නොවීම වැනි කරුණු හේතුවෙන් ආගමික අන්තවාදීන්ට සිය කටයුතු රිසි සේ සිදු කරගෙන යාමට හැකි වූ බව ඔබතුමා පිළිගන්නව ද?
සාක්ෂිකරු - මම ඒක පිළිගන්නේ නැහැ. බෝම්බ ප්‍රහාර සිදු වූ කාලය වන විට කිසිදු දේශපාලන අස්ථාවරත්වයක් තිබුණේ නැහැ. ඒ කලේ යම් යම් දේශපාලන මතවාද තිබුණත් ඒවා නිලධාරීන්ට රාජකාරි කරගෙන යාම සඳහා බාධාවක් නෙවෙයි. නමුත් මෙරට ක්‍රියාත්මක වන විශාලතම බුද්ධි බළකාය වූ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලය සහ නාවික හමුදා බුද්ධි අංශ වැනි ආයතන හරහා ආගමික අන්තවාදය සම්බන්ධයෙන් ප්‍රමාණවත් තොරතුරු නොලැබීම වැනි ගැටලු රාශියක් තිබුණා.

කොමිසම - ඔබතුමා මීට පෙර මේ කොමිසමේ දී කිව්වා ආගමික අන්තවාදය සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දී විශේෂයෙන්ම මුස්ලිම් ඇමතිවරුන්ට උපදෙස් දුන්නා කියලා. ඒත්  හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා මේ කොමිසමේ දී කිව්වේ ඔබ එවැනි උපදෙසක් නොදුන් බවයි.
සාක්ෂිකරු - අවශ්‍ය උපදෙස් ලබා දීම මම සිදු කළා. කබීර් හෂීම් කියනවා නම් මම එහෙම උපදෙසක් ලබා දුන්නේ නැහැ කියලා ඔහු ඒ රැස්විම්වලට සහභාගි වෙන්න නැතුව ඇති.

කොමිසම - එසේ නම් ඔබ විසින් අදාළ උපදෙස් ලබා දුන් සියලුම රැස්වීම්වලට කබීර් හෂීම් සහභාගි වෙලා නැද්ද?
සාක්ෂිකරු -  ඒක මම දන්නේ නැහැ. අවශ්‍ය උපදෙස් මා විසින් ලබා දුන්නා.

කොමිසම - කබීර් හෂීම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ මොහොමඩ් තස්ලීම් නමැත්තාට සහරාන්ගේ කල්ලියේ පුද්ගලයෙකු විසින් වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව තමන්ට ආරක්ෂාව වැඩි කරන ලෙස ඔහු කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලැබුණේ නැති බවත් ඔහු කියනවා.
සාක්ෂිකරු - ඔව්. ඔහු එවැනි ඉල්ලීමක් කළා. මම ඒ ගැන එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ සබරගමුව පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන්නා.

කොමිසම - ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම්වල දී ආගමික අන්තවාදයට සම්බන්ධ කරුණුවලට වඩා නාමල් කුමාර, මත්ද්‍රව්‍ය සහ මාකඳුරේ මදුෂ් ශ්‍රී ලංකාවට ගෙන ඒම වැනි කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කළේ ද?
සාක්ෂිකරු - ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කළා. නාමල් කුමාර ගැන එක දවසක්වත් කතා කරලා නැහැ. මම ඔහුව දැකලවත් කතා කරලාවත් නැහැ. මත්ද්‍රව්‍ය සහ මාකඳුරේ මදුෂ් වැනි අය සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. නමුත් ඒවා කාලයෙන් කාලයට ඉස්මතු වූ විවිධ මාතෘකා පමණයි.

කොමිසම - සහරාන් ඇතුළු කණ්ඩායම විසින් විවිධ ප්‍රදේශවල පවත්වාගෙන ගිය ආරක්ෂිත නිවාස සහ පුහුණු කඳවුරු පිළිබඳව ආරක්ෂක අංශ විසින් ඔබතුමා දැනුවත් කළා ද?
සාක්ෂිකරු - නැහැ. ප්‍රාදේශීය නිලධාරීන් විසින් සිය වගකීම් ඉටු කළේ නම් එවැනි කරුණු සම්බන්ධයෙන් මා දැනුවත් කළ යුතුව තිබුණා. ලබාදුන් නියෝග පහළ මට්ටමේ නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරලා නැහැ, ඒක තමයි මේකෙන් පේන්නේ.

කොමිසම - ඔබතුමා 2019 අප්‍රේල් මස විදෙස්ගත වූ අවස්ථාවේ දී ආරක්ෂක අමාත්‍ය ධුරයේ වැඩබැලීම සඳහා කිසිවෙකුත් පත් නොකළේ ඇයි? හදිසි අවස්ථාවක දී ත්‍රිවිධ හමුදාව කැඳවීමට සහ හදිසි නීතිය පැනවීමට බලතල ඇත්තේ ආරක්ෂක අමාත්‍යවරයාට බැවින් ඔබ විදේශගත වූ අවස්ථාවේ වැඩබලන ආරක්ෂක අමාත්‍යව පත් කළේ නම් 2019 අප්‍රේල් 20 වන දින ලැබුණු බුද්ධි තොරතුර සම්බන්ධයෙන් යම්කිසි පියවරක් ගැනීමේ හැකියාව තිබුණා නේද?
සාක්ෂිකරු -  2019 අප්‍රේල් 10 වන දින වන විටත් හිටපු පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ප්‍රහාරයක අවදානම පිළිබඳව දැන සිටි බැවින් ඔවුන් අවම වශයෙන් ජනාධිපති ලේකම් අදාළ තොරතුර සම්බන්ධයෙන් දැනුවත් කළ යුතුව තිබුණා. මේ පිළිබඳව දැනගෙන සිටි ආරක්ෂක අමාත්‍යංශයේ කුමන හෝ නිලධාරියෙක් එවකට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න දැනුවත් කළා නම් ප්‍රහාරය වළක්වා ගැනීමට යම්කිසි පියවරක් ගත හැකිව තිබුණා. එහෙමනම් ඔහු සියලු දෙනා දැනුවත් කරලා මටත් දුරකතනයෙන් හෝ මේ බව දැනුම් දෙනවා කියලා මට විශ්වාසයි. ඒ නිසා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙක් පත් කළේ නැති නිසා හදිසි නීතිය පනවන්න බැරි වුණා කියන දේට මම එකඟ වන්නේ නැහැ. යුද්ධය අවසන් වීමෙන් පසු කාලයේ දී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විදේශගත වූ අවස්ථාවල දී පවා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත් කළේ නැහැ. 2019 අප්‍රේල් මාසය වන විට රට තුළ කිසිදු යුදමය වාතාවරණයක් නොතිබූ බැවින් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත්කිරීමේ අවශ්‍යතාවයක් දැනුනේ නැහැ.

කොමිසම - එසේ නම් බෝම්බ ප්‍රහාරයන්ගෙන් පසුව එවකට අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කැඳ වූ රැස්වීමට සහභාගි නොවන ලෙසට හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ ජනාධිපති ලේකම්වරයාට දැනුම් දුන්නේ ඇයි?
සාක්ෂිකරු - රනිල් වික්‍රමසිංහ මහතා සහ අනෙකුත් සියලුම නිලධාරීන්ට දුරකතනයෙන් අමතා සිදු කළ යුතු කාර්යයන් කරන ලෙසට මා උපදෙස් ලබා දුන්නා.
මේ අතර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද එදින කොමිසම හමුවේ දොළොස් වන දිනටත් සාක්ෂි ලබා දුන්නේය.

කොමිසම - ඔබ කලින් ලැබුණ හැම බුද්ධි තොරතුරක්ම පහළ නිලධාරින්ට යොමු කරද්දී යම් විස්තර සටහනක් හා නැවත වාර්තා කරන්න කියල සටහනක් යෙදුවා. ඇයි ඔබ අප්‍රේල් හතර වෙනිදා තොරතුර පහළට යොමු කරද්දී එවැනි යෙදුමක් නොකළේ?
සාක්ෂිකරු - එසේ කළ යුතු නැහැ. එම නිලධාරින් මෙවැනි දෙයක් දුන්නම කළ යුතු දේ දන්නවා. ඒ වගේම මෙහි නිශ්චිත බවක් තිබුණේ නැහැ. එහෙත් මෙහි බැරෑරුම්කමක් දුටු නිසයි ජ්‍යෙෂ්ඨ නිලධාරින් හතර දෙනෙකුට එය යොමු කළේ.

කොමිසම - ඔවුන් ගත් පියවර ගැන පසු විපරම් කළා ද?
සාක්ෂිකරු - නැහැ එහෙම කළ යුතු නැහැ.

කොමිසම - ඔබට කාත්තන්කුඩියේ යතුරුපැදි පිපුරුම ගැන වාර්තා වුණේ කවදාද?
සාක්ෂිකරු - අප්‍රේල් 18 හෝ 19 දිනපතා තත්ත්ව වාර්තාවලින් දැන ගන්න ලැබුණා. නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකරත් 18 කිව්වා. නිලන්ත ජයවර්ධනත් 18 වෙනිදා කිව්වා. 19ඔහු වාර්තාවකුත් එවා තිබුණ.

කොමිසම - රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත මහතා ඔබට එවූ වාර්තාවේ එය සහරාන්ලගේ අත්හදා බැලීමක් බවත් එයට මාවනැල්ල බුදු පිළිමවලට හානි කරපු අයගේ සම්බන්ධයක් පවත්නා බවත් ඔවුන් 2018 ඔක්තෝබර් 5, 6, 7 නුවරඑළියේ දී පුපුරන ද්‍රව්‍ය හා අවි පුහුණුව ලබා ඇති බවත් දක්වා තිබෙනවා නේද?
සාක්ෂිකරු - ඔව්. එහෙත් හතර වෙනිදා තොරතුර සමග සම්බන්ධ කර නැහැ. එහි තිබෙන්නේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්.

කොමිසම -  ඒත් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ඔබට කියලා තියෙනවා නේද කාත්තන්කුඩියේ සිදු වුණේ අත්හදාබැලීමක් කියලා.
සාක්ෂිකරු - ඔව්.

කොමිසම - ඔහු ඔබට දුරකථන ඇමතුමක් අරගෙනත් මේ ගැන කිව්වා නේද? කෙටි පණිවුඩයකුත් දුන්නා නේද?
සාක්ෂිකරු - මට ඇමතුමක් ගත්තා. එත් මම කෙටි පණිවුඩ බලන්නේ නැහැ. මට එවැන්නක් ලැබුණේ නැහැ.

කොමිසම - එහෙත් දුරකථන වාර්තාවල එය සඳහන් වෙනවා.
සාක්ෂිකරු - මම එය පිළිගන්නේ නැහැ.

කොමිසම - මේ පිපුරුම වූ ස්ථානයට ආසන්නයේ හමුදා කඳවුරක් තිබුණ ද?
සාක්ෂිකරු - ඔව්. මීටර් 300ක් පමණ ආසන්නයේ සිංහ රෙජිමේන්තුවේ කඳවුරක් තිබෙනවා.

කොමිසම - මේ යතුරුපැදියේ චැසි අංකය අනුව හිමිකරු හොයල ඔබට කියනව නේද ඔහු හොයා ගත්තොත් සහරාන්ලාගේ ඉදිරි සැලසුම් දැනගන්න පුළුවන් වෙයි කියලත් කියා තිබෙනවා නේද?
සාක්ෂිකරු - ඔව්.

කොමිසම - ඔබට පොලිස් විශේෂ කාර්යාංශයෙනුත් වාර්තාවක් ලැබුණා නේද ?
සාක්ෂිකරු - ඔව්. 19 වෙනිදා ලැබුණා.

කොමිසම - හොඳට බලන්න ඔබ එහි සටහන් යොදා තිබෙන්නේ 21. 19 ලැබුණ බව කියන්නේ කෙසේද?
සාක්ෂිකරු - මම 19, 20 අසනීප නිසා නිල නිවසේ හිටියේ 19 මේ වාර්තා තුනම මට කාර්යාලයේ නිලධාරියෙක් ගෙනත් දුන්නා. මම ඒවා මගේ ළඟ තබා ගත්තා. ප්‍රහාරයෙන් පසු කොච්චිකඩේ පල්ලියට ගිහින් ආපසු කාර්යාලයට ආපු වෙලාවේ තමයි මම ඒවාට සටහන් යොදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළේ.

කොමිසම - ඔබ මොනවද එහි සටහන්කර තිබෙන්නේ?
සාක්ෂිකරු - සොයා බලා මැයි පහට පෙර වාර්තා කරන්න.

කොමිසම - එතකොට ඔබ දැන සිටියේ නැද්ද ප්‍රහාරය එල්ල කළ සහරාන් මැරිලා කියලා.
සාක්ෂිකරු - ඒ වෙනකොට දන්නේ නැහැ.

කොමිසම - ඔබට 16 වෙනිදා පිපුරුම ගැන සියල්ල දැනුම් දීලා, මාවනැල්ල බුදුපිළිම කැඩීම ගැන කියලා, වනාතවිල්ලුව ගැන කියලා, සහරාන් යන එන තැන් ගැන කියලා ඇයි මේ ප්‍රහාරය වළක්වගන්න බැරි වුණේ?
සාක්ෂිකරු - ප්‍රහාරයෙන් පස්සේ පොලිස්පති වැරදිකාරයා කරන්න තමයි මුල සිට සැලසුම තිබුණේ. ඒ අනුව තමයි දැන් මෙතන ප්‍රශ්න අහන්නෙත්. ඒත් මුලින් මොනවද කිව්වේ. අන්තවාදය ගැන විවෘත පරික්ෂණ කරන්න එපා නිලන්ත බලාගනී. වාචිකව කියා ඒවා මත ඉන්න බැරි නිසා තමයි මේ හැම සිදුවීමක් ගැනම අපේ නිලධාරින් යොදවා විමර්ශනය කළේ.

කොමිසම - ඔබ කියන්නේ මේකට පොලිසියේ වගකීමක් නැති බවද?
සාක්ෂිකරු - නැහැ මම  එහෙම කියන්නේ නැහැ. සාමූහික වගකීමෙන් අපිට මිදෙන්න බැහැ. අපේ නිලධාරීන් උපරිම කැපවීමෙන්, දුෂ්කරතා මැද වැඩ කළා. එයින් ජයග්‍රහණ රැසක් ලැබුවා. එහෙත් හිටි හැටියේම අපිට උදව් කරපු, ඔත්තු ලබාදුන් අය අනිත් පැත්ත ගැහීම, විමර්ශන අනික් පැත්ත ගැහීම, මුදල්, විදේශීය මුදල්, දේශපාලනය කියන කාරණා ගැන ද කල්පනා කළ යුතුයි. බොළඳ චෝදනා මත මාව ආරක්ෂක කවුන්සිලයට කැඳවීම නැවත්තුවා. මම වෙනුවට කැඳවූ නිලධාරියාට කිව්වා කමිටුවේ විස්තර කියන්න එපා කියලා. විමර්ශන කළ නිලධාරීන්ට අභූත චෝදනා එල්ල කළා. ඒ නිසා ඔවුන් තුළ ඇති වූ කඩා  වැටීම පිළිබඳවත් කලපනා කළ යුතුයි.

මම මේ කිසිම දෙයක් මීට පෙර කියලා නැහැ. වෙනත් කිසි තැනක දී නොකී තවත් බොහෝ දේ කියන්නට තිබෙනවා. කොමිසමෙන් අවසර ලැබෙනවා නම් ඒවා අවසන් දවසේ දී හෙළි කරනවා.