මෙරට දේශපාලනය ත්‍රාසජනක සටන් සපිරි බටහිර චිත්‍රපටයක් බඳුය. පාර්ලිමේන්තුවේ ඉකුත් දිනවල රඟ දැක්වුණු ජවනිකා වුවද එයට කදිම නිදසුනකි. මෙරට දේශපාලන සංස්කෘතිය කොතරම් අවිචාරයේත් මුග්ධභාවයේත් පත්ලටම වැටී ඇද්දැයි වටහා ගැනීමට එම ජවනිකා පෙළ වුවද ප්‍රමාණවත්ය.

ප්‍රතිවිරුද්ධ මත දරන දේශපාලන පක්ෂ අතර මතවාදී සංග්‍රාම, වාග් ප්‍රහාර තියුණු විවේචන ඇතිවිය හැකිය. එය ස්වාභාවිකය. එහෙත් ඒවා වූවද මිනිස් බුද්ධියට නිගා නොදෙන්නක් විය යුතුය. ශිෂ්ටත්වයේත්, මානුෂිකත්වයේත් සීමාව තුළ ඒවා සිදුවිය යුතුය.

මුළුමහත් සමාජයක්ම අවිචාරයේ ගල්ගුහා වෙත වේගයෙන් ගමන් කරන පරිසරයක දේශපාලන ක්ෂේත්‍රයෙන් පමණක් උත්තුංග මානවීය ගුණධර්ම හා ආදර්ශ බලාපොරොත්තු විය යුතු නැතැයි තර්කයක් මතු කළ හැකිය. එහෙත් වෙනත් ක්ෂේත්‍රයකට අදාළව එම තර්කය යම් වලංගු බවක් පළ කළ ද දේශපාලන ක්ෂේත්‍රයට අදාළව එය ගැළපීම උගහටය. මන්දයත් සමාජය නිරීක්ෂණය කරනු ලබන්නේ දේශපාලකයන් වන හෙයිනි. රටේ ජනතාවට උරුමකර දෙනු ලබන්නේ කුමනාකාරයේ රටක් ද යන්න තීරණය කරනු ලබන්නේ දේශපාලකයන් විසිනි. එබඳු බාරදූර වගකීමක් දෙවුර මත හොවාගත් දේශපාලකයන් වෙතින් බලවත් බලගතු ආදර්ශ මතුවිය යුතුමය. මන්දයත් දේශපාලනය යනු දේශය පාලනය කිරීම වන හෙයිනි.

නූතනය වනවිට ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ අතර වන ගැටුම්වලට වඩා එකම පක්ෂයේ පිරිස් අතර වන ගැටුම් කරළිගත වෙමින් තිබේ. සාමූහික වගකීම් සම්බන්ධ අනුල්ලංඝනීය උරුමයක් සහිත ඇමැති මණ්ඩලය තුළ ද වර්තමානය වනවිට කාකොටා ගැනීම් බහුලවෙමින් තිබේ. ඇමැති මණ්ඩලයේ සාමූහික වගකීම් උල්ලංඝනය කිරීම ඇමැති ධුරය අහිමි වීමට හේතුවක් බව ආසන්න මෑත කාලයෙන් ද නිදසුන් තිබේ. එහෙත් පක්ෂයේ දේශපාලනඥයන්ගෙන් බහුතරයක් යනු ඛේදවාචකවලින් මෙපිට පාඩම් ඉගෙන නොගන්නෝ වෙති. එබන්දන්ගෙන් රටේ පොදු මහජනයාට සැපයෙන ආදර්ශ මොනවා දැයි ඒ අනුව සිතා ගත හැකිය.

මෙරට දේශපාලනය යනු බඩරස්සාවක් පමණකැයි සමාජයේ පොදු මතයක් තිබේ. ජනතාවට සේවය කිරීම සඳහා දේශපාලනයට පිවිසි බව ප්‍රකාශ කළ ද බහුතරයක් දෙනා දේශපාලනයට පිවිස තිබෙන්නේ පරම්පරා ගණනකට හරි හම්බ කිරීමට බව ජනතාව චෝදනා කරති. මෙබඳු චෝදනා ගොඩනැඟෙන්නේ නිස්කාරණයේ නොවේ. හේතු සාධක මත පදනම්වය. පාරට දමන තාර ටිකෙන්, බෝක්කුව හැදීමට ගෙනා සිමෙන්ති කොට්ටයෙන් ද ගසා කන චෞර කප්පිත්තාගේ භූමිකාවට පණ පොවන දේශපාලනඥයා නිසා එවැනි චෝදනා එල්ල වී තිබේ.

‘‘වෙන රටක නම් දුම්රිය අනතුරක් සිදුවුණහොත් ඒ රටේ ප්‍රවාහන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙනවා.’’ විදෙස් අත්දැකීම් ඇසුරෙන් අපේ ජනයා එසේ කියති. ජනතාවට වගවීම සම්බන්ධ උපමා නැති අලංකාර ආදර්ශ දියුණු ශිෂ්ට සමාජවලින් ප්‍රදර්ශනය වීම එයට හේතුවය. එබඳු සමාජවලට අනුව තනතුරු යනු ආභරණ නොවේ. වැඩ කිරීම සඳහා අවස්ථාවකි. තනතුරු ආභරණ ලෙස සලකන්නෝ මුග්ධ බව ආඩම්බර පදක්කමක්ව පළඳින්නෝ වෙති.

අප රටේ සිටින දේශපාලනඥයෝ තමන්ට ඇමැති තනතුරු අවශ්‍ය යැයි විලාප දෙති. “මට අර අමාත්‍යංශයම අවශ්‍ය” යැයි ලජ්ජාවකින් හා හිරිකිතයකින් තොරව කියති. ලැබුණු අමාත්‍යාංශය “මදි” යැයි නාහෙන් අඬති. “අරයට දුන්නා නම් මටත් ඕනෑ” යැයි කියති. අනතුරුව ඒ ඒ පක්ෂයේම මැති ඇමැතිවරු එකිනෙකාට දොස් පවරා ගනිමින් මාධ්‍ය ඉදිරියේ නිර්වස්ත්‍ර වෙති. මේ දේශපාලනඥයන්ගේ “ලජ්ජා නහරය” උපතින්ම කපා ඇද්දැයි ජනතාව සිතති.

එක් අතකින් මෙබඳු විගඩම් තිබීම වැදගත්ය. මන්දයත් ජනතාව ජීවත් වන්නේ සිය මූලික අවශ්‍යතා හෝ ඉටු කරගත නොහැකිව වේදනාවෙනි. එසේ වේදනාවෙන් පෙළෙන ජනතාවට දේශපාලකයන්ගේ මෙම විගඩම් දෙස බලා බඩ අල්ලාගෙන සිනාසිය හැකිය. ජනතාව එසේ හෝ සතුටු කිරීම සම්බන්ධයෙන් දේශපාලනඥයන්ට ප්‍රණාමය හිමිවිය යුතුය.