රජයේ වියදම් දැඩිව සීමා කරන්නැයි මුදල් අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. මේ බව අපගේ පුවත්පත් පසුගියදා ප්‍රධාන සිරස්තල මගින් හෙළිදරව් කර තිබිණි. විශේෂ චක්‍රලේඛයක් මගින් සිදුකෙරුණු මෙම දැනුම් දීමෙන් ජල, විදුලි, දුරකතන ගාස්තු හැකිතරම් සීමා කළයුතු බවටත් අනෙකුත් වියදම් සිදුකිරීමේදී නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය කළ යුතු බවටත් උපදෙස් දී ඇතැයි ද සඳහන්ය. මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කරනු ලැබ තිබේ.

රජය බරපතළ ආර්ථික අර්බුදයක වෙළීසිටින බවට මේ චක්‍රලේඛය ප්‍රබල සාක්ෂියකි. එසේ නොවන්නට මැතිවරණ රටේ ප්‍රධානම මාතෘකා බවට පත්ව ඇති කාල වකවානුවක වියදම් සීමා කිරීම් පිළිබඳ චක්‍ර ලේඛ නිකුත්වන්නේ නැත. මෙම අර්බුදයට මෑත කාලීනව දැඩිව බලපෑමක් ඇති කර ඇත්තේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය බවද චක්‍රලේඛයේ සඳහන් කර තිබේ. එහෙත් අපට හැඟෙන ආකාරයට ආර්ථිකය ඒ වනවිට ද තිබුණේ නූල කැඩුණු සරුංගලයක තත්ත්වයෙනි. මේ නිසා ප්‍රමාද වී හෝ මෙවැනි සීමා පැනවීම් අවශ්‍ය වී තිබේ. එවැනි පියවරකින් තොරව ආර්ථිකය හැඩගස්වා ගැනීමක් ගැන සිතීම පවා අසීරු කරුණක් වී තිබෙන බව පැවසිය යුතුය. 

මහා භාණ්ඩාගාර ලේකම්වරයා සිය චක්‍ර ලේඛයෙන් දැඩිව ලබාදී තිබෙන උපදෙසක් වන්නේ රාජ්‍ය ආයතන සඳහා අමතර වියදම් ලබාදීමෙන් වළකින ලෙසටය. එසේම රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකරන නිලධාරීන්ගේ විදේශ අධ්‍යයන චාරිකා, නිල විදෙස් චාරිකා හැකිතාක් සීමාකිරීමට හෝ අවලංගු කිරීමට පියවර ගතයුතු බවය. රාජ්‍ය ආයතන සඳහා අමතර වියදම් බොහෝ විට සිදුකරන්නේ දේශපාලන කාරණා මත පදනම්ව බව මෙහිදී පෙන්වා දියයුතු කරුණකි. රජයේ කිසියම් කාර්යයක් සිදු කිරීමේදී ඊට අදාළ අමාත්‍යවරයා, රාජ්‍ය අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රතිරූප පුම්බන ප්‍රචාරක ව්‍යාපාර සඳහා අතිවිශාල මුදලක් වැයකරන රටක් වශයෙන් අපි ප්‍රසිද්ධියට පත්ව සිටිමු. මේ ඇතැම් රාජ්‍ය උත්සව සඳහා නිර්මාණය කෙරෙන ආරාධනා පත්‍රවලට යන වියදමින් පමණක් එම මුළු උත්සවයම පැවැත්වියහැකි බව අපට පෙනීගොස් තිබෙන කරුණකි. මෙවැනි නාස්තිකාර වියදම්වලින් තොරව අවශ්‍ය වැඬේ අඩු වියදමකින් කරගැනීමට යොමුවන දේශපාලනඥයන් සහ නිලධාරීන් සිටින්නේ අතලොස්සකි. මේ නාස්තිකාර වියදම් යටින් යමරෙට සිදුවන කොමිස් ගැහිලි හේතුවෙන් බොහෝ දෙනා අඩු වියදමින් වැඩක් කිරීමට පෙළඹෙන්නේම නැත.

විදේශ අධ්‍යයන චාරිකා, නිල චාරිකා සම්බන්ධව ද පවතින්නේ මේ හා සමාන තත්ත්වයකි. පාර්ලිමේන්තුවේ වාදවිවාද සඳහා පැමිණ සහභාගීවන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ඇතැම් විට බොහෝ සෙයින් අඩුය. එහෙත් එවැනි අවස්ථාවල පිටරට සවාරියේ යෙදෙන මැති ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව සොයා බැලිය හැකිනම් පවතින කටුක යථාර්ථය තේරුම් ගැනීමට අමාරු නැත. ඇතැම් මැති ඇමැතිවරුන් පිටරට ගොස් සිටින්නේ තනිව නොවේ. තමන්ගේ දරු පවුල්වල කිහිපදෙනෙක් ද නිලධාරීහු ද ඔහු හෝ ඇය සමඟ එම ගමනට සහභාගී වෙති. විදෙස් රටකින් ලැබෙන නිල ආරාධනාවකට වුවද ගුවන් ටිකට්පත ඇතුළු සියලු වියහියදම් දරන්නේ අදාළ ඇමැතිවරයාට පමණි. සෙසු සියලු දෙනාගේ වියහියදම් දැරිය යුත්තේ මෙරට භාණ්ඩාගාරයෙනි. එනම් රටේ බදු ගෙවන ජනතාවගේ මුදලිනි. මුදල් අහේනියක් නොමැති කාලයක වුවද මෙවැනි වියදම් රටේ භාණ්ඩාගාරයෙන් ගෙවිය යුතු වන්නේ ඇයි? මේ ප්‍රශ්නයට කවදාවත් පිළිතුරක් නැත. මෙවැනි වියදම් තාවකාලිකව නොව ස්ථිර වශයෙන්ම කපාදැමිය යුතුය. 

බොහෝ දුරට විදෙස් රටවලින් ලැබෙන ආරාධනා සඳහා අදාළ රටවල සිටින ශ්‍රී ලංකාවේ තානාපති දූත මණ්ඩලවල නිලධාරීන්ට යාහැකිය. එය ඔවුන්ගේ රාජකාරියේම කොටසකි. මෙවැනි නාස්තිකාර වියදම් නීතියෙන්ම අහෝසි කළ හැකිනම් එය රටේ ආර්ථිකයට විශාල සහනයක් වනු ඇත. එහෙත් අත්‍යවශ්‍යම නිල රාජකාරී සහ විදෙස් ශිෂ්‍යත්ව, පුහුණු වීම් වෙනුවෙන් සුදුසු නිලධාරීන් යැවීමට එවැනි නීති හරස් නොවිය යුතු බව ද කිව යුතුය. මැති ඇමැතිවරුන්ගේ අත්‍යවශ්‍යම විදෙස් ගමන්වලදී වුවද හැකිතරම් වියදම් සීමා කිරීමද සිදුවිය යුතුය. වියදම් අධික සුපිරි හෝටල්, සාප්පු සවාරි නැතිවම බැරි පිරිසක් ඕනෑම ආණ්ඩුවක සිටින විට මේ වියදම් වැළක්විය නොහැක. ඒ සියලු දෙනා එයින් වළක්වා ගතහැක්කේ නීති පැනවීමකින්ම පමණි. චක්‍රලේඛයකින් පමණක් මෙවැනි සීමා පැනවිය හැකිද යන්න සොයා ගැනීමට ද මෙය හොඳ අවස්ථාවකි. 

වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ සියලු නාස්තිකාර වියදම් අහෝසි කර දමන බවට ප්‍රතිඥා දෙමිනි. එහෙත් ඒ බව රජයේ වැඩපිළිවෙළින් පෙනෙන්න තිබුණේ නැත. අනවශ්‍ය වියදම් කපාහැර සකසුරුවම් ආර්ථිකයක් ගොඩනැඟීම පිළිබඳව සැබෑ වුවමනාවක් බලධාරීන්ට නොතිබිණි. එසේ තිබුණා නම් වියදම් කැපීමට සීමා පැනවීම සඳහා ආර්ථිකය මෙසේ කරමුලට හිරවන තුරු සිටින්නේ නැත. මහ බැංකුවේ 2018 වාර්ෂික වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ පසුගිය වසරේ අවසානය වනවිට රජයේ ගෙවීමට තිබෙන විදෙස් ණය ප්‍රමාණයේ එකතුව අමෙරිකානු ඩොලර් මිලියන 52,310ක් බවය. මේ අනුව පාස්කු ප්‍රහාරයේ බලපෑමට කලින් සිටම රටේ ආර්ථිකය තිබී ඇත්තේ අවදානම් අඩියක බව පැහැදිලිය. ඒ අනුව මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ මේ විශේෂ චක්‍රලේඛය “ලෙඩා මිය ගියාට පසුව ලැබුණ විදුලිපුවතක්” වීමට ද ඉඩ තිබේ.