ජලය යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවලින් ප්‍රධාන සාධකයකි. එය මිනිසාගේ මූලික අවශ්‍යතාවලින් ප්‍රධානතම සාධකයක් වන නිසාම ලෝකයේ ශිෂ්ඨාචාරවල ආරම්භය සිදුවූයේ ද ගංගා ආශ්‍රිතවය.

බුදුන්ගේ සමයේ දී රෝහිණී ගඟේ ජලය බෙදා ගැනීමට නොහැකිව ශාක්‍ය හා කෝලිය වංශිකයන් ඇන කොටා ගැනීමට යාමෙන්ම ජලයේ වැදගත්කම මනාව පෙන්වා දෙයි. ජලය නිසා ගහ මරා ගන්නා තැනට පත්ව සිටින රටවල් වෙනුවෙන් මෑත කාලීන හොඳම උදාහරණ  දෙන්නේ ඉන්දියාව, බොලීවියාව සහ ශ්‍රී ලංකාවයි.

රවී සහ බෙයාර්ස් ආදී  හිමාලයෙන් එන ගංගා ඉන්දියාවෙන් පාලනය කිරීමට ගැනීමත් සමඟ පකිස්තානයට යන ජලය ගැන ගැටලු මතුවන්නට විය. අවසානයේ එය කෙළවර වූයේ රටවල් දෙකක් අතර මහා මතබේදයක් නිර්මාණය කරමිනි.  පංජාබ් ප්‍රාන්තය කෑලි දෙකකට බෙදුණු අතර මේ වන විට දහස් ගණනකගේ ජීවිත අහිමිවී ඇතත් ප්‍රශ්නය තවම අවසන් නැත. 

බොලීවියාවේ කොචබම්බාහි ජලය පෞද්ගලීකරණය කිරීමෙන්  පසු ජල මිල ඉහළ ගිය අතර ඊට එරෙහිව මිනිස්සු දහස් ගණනක් පාරට බැස විරෝධතා පැවැත්වූහ. එරට රජය උද්ඝෝෂණ මර්දනය කළේ යුද හමුදාව ලවා වෙඩි තැබීමෙනි. ජීවිත පහක් එයින් අහිමි විය. එයිනුත් නොනැවතුනු මහජන නැගිටීම හමුවේ ජලයේ අයිතිය යළිත් වරක් ජනතාවට ලබා දීමට බොලීවියාවට සිදු විය.

ජලය නිසා ජීවිත අහිමි වූ ඊළඟ හොඳම උදාහරණ ගම්පහ රතුපස්වලයි. කම්හලකින් පිටවීයැයි කියන විෂ සහිත අප ජලය භූගත ජලයට මිශ්‍ර වීමෙන් ප්‍රදේශයේ ගම්මාන 29ක පමණ ජලය අපවිත්‍ර විය. එම විසෙන් එකා දෙන්නා මිය යද්දී ජනතාව පාර බැස්සහ. උද්ඝෝෂණ පාලනය කිරීමට යුද හමුදාවෙන් කළ වෙඩි තැබීමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනෙක් මරු මුවට පත්වූහ. එයින්ද නොනැවතුණු ජන නැගීටීම හමුවේ ප්‍රශ්න ගත කම්හල රතුපස්වලින් ඉවත් කිරීමට ආණ්ඩුවට සිදු විය.

ලංකාවේ අලුතෙන් ඉදිවෙමින් තිබෙන උතුරු උතුරුමැද වාරි ඇළ නිසා ද ඉදිරියේදී ඇතිවිය හැකියැයි කියන අර්බුදයක් ගැන පරිසරවේදීහු වටින් ගොඩින් ප්‍රශ්න මතු කරති. ඔවුන් කියනුයේ ලංකාවේ ජල ගැටලුවට එකම විසඳුම පැරණි වාරි පද්ධතිය යළි ප්‍රතිශ්ඨාපනය කිරීම බවයි. 

බ්‍රිතාන්‍ය ජාතිකයන් පවා මවිතයට පත් කළ පුරාණ ලංකාවේ වාරි තාක්ෂණය ගැන සහ ඊට වර්තමානයේ අත්වී ඇති ඉරණම ගැන හෙළිදරව් කිරීම මෙම ලිපි පෙළේ අරමුණ වන අතර මේ එහි පළමු පියවරයි.

ලංකාවේ ජනවාස සහ වාරි ඉතිහාසය

මහවැලි කැලණි කළු වලවේ යන ගංගා

සමනොළ කන්ද මුදුනේ සිට පැන නැංගා

බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා

මේවා ගලයි මිණි කැට දිය යට හංගා

පී බී අල්විස් පෙරේරා මහතාගේ එම කවි පන්තියෙන් කියැවෙන්නේ ලංකාවේ ප්‍රධාන ගංගා ගැනයි.  කවියා මෙම ගංගා සියල්ල පටන් ගන්නේ සමනොළ කන්ද මුදෙනන් කීවද මේ සියල්ලේ ආරම්භය මධ්‍යම කඳුකරයයි. ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟ ආරම්භ වන්නේ හැටන් ප්‍රදේශයේ සිට ගලා බසිනා ජල දහරා කිහිපයක එකතුවෙනි.   

ලංකාවේ ගංගා ගැන දහස් දක්වමින් පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙසේ කීවේය.

‘‘ලංකාවේ ප්‍රධාන ගංගා 103ක් තිබෙනවා. මේ ගංගා 103න් බහුතරයක් පටන් ගන්නේ මධ්‍යම කඳුකරයෙන්. මධ්‍යම කඳුකරයට වැටෙන වර්ෂා ජලය තමයි බෙදිලා යන්නේ. ලංකාවේ දිගම ගංගාව ලෙස සැලකෙන්නේ මහවැලි ගඟ. මඟුරු ඔය කියලා ගංගාවක් තිබිලා තියෙනවා. මාතලෙන් පටන් අරගෙන හලාවත තුන් මෝදරින් ඉවර වුණු ඒ ගංගාව  දැන් මැරිච්ච ගඟක්. මේ ගංගා 103 අතු ගංගා ගණනාවකට බෙදෙනවා. භූගෝල විද්‍යාත්කමව, ජල විද්‍යාත්මකව, සත්ත්ව විද්‍යාත්මකව ගංගාවල වැදගත්කම් තිබෙනවා. මත්ස්‍ය විද්‍යාත්මකවත් කලාප නම් කරලා තිබෙනවා. එකක් මහවැලි කලාපය. අනික අත්තනගලු නදී ඉඳන් නිල්වලා ගඟ වෙනකම් කලාපය. අනිත් කලාප දෙක තමයි නිරිතදිග කලාපය සහ අතරමැදි කලාප. ‘‘

පහත ඡායාරූප දෙකේ දැක්වෙන්නේ ලංකාවේ ගංගා ද්‍රෝණි සිතියමයි. (උපුටා ගැනීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ 1990/2000 සහ 2016/207 වාර්ෂික වාර්තාවලින්)

 

 

 

ලංකාවේ ප්‍රධාන ගංගා නිම්න පහත වගුවේ දැක්වේ.

අංකය

ගංගා නිම්නය

පෝෂිත ප්‍රදේශය (වර්ග කිලෝමීටරවලිනි)

1

කැලණි ගඟ

2340

2

බොල්ගොඩ ගඟ

396

3

කළු ගඟ

2839

4

බෙන්තර ගඟ

667

5

මාදු ගඟ

69

6

මාදම්පේ ගඟ

90

7

තල්වත්ත ගඟ

41

8

රත්ගම

13

9

ගිං ගඟ

915

10

කොග්ගල ගඟ

55

11

පොල්වත්ත ගඟ

232

12

නිල්වලා ගඟ

1043

13

සීනිමෝදර ඔය

35

14

කිරම ඔය

183

15

රැකව ඔය

70

16

ඌරුබොක්ක ඔය

373

17

කාචිගල්ආර

208

18

වලවේ ගඟ

2424

19

කරගං ඔය

60

20

මලල ඔය

409

21

ඇඹිලිකලා ඔය

69

22

කිරිඳි ඔය

1156

23

බම්බාවේ ආර

66

24

මහාසීලව ඔය

13

25

බූටාව ඔය

37

26

මැණික් ගඟ

1301

27

කටුපිල ආර

111

28

කුරුන්ද ආර

99

29

නාබදගස් ආර

110

30

කරඹේ ආර

54

31

කුඹුක්කන් ඔය

1227

32

බගුර ඔය

93

33

ගිරිකුල ඔය

14

34

හෙළව ආර

38

35

විලා ඔය

472

36

හැඩ ඔය

615

37

කරඳ ඔය

425

38

සැමන් ආරු

72

39

තාන්ඩිඅඩි ආරු

20

40

කංගිකඩිච්චි ආරු

78

41

රුෆුස් කුලම්

27

42

පන්නල් ඔය

195

43

අම්බලං ඔය

112

44

ගල් ඔය

1911

45

ඇඳැල්ල ඔය

534

46

තුන්පන්කේනි

18

47

නාමකන්ද ආරු

12

48

මන්ඩිපත්තු ආරු

90

49

පතන්ටොප්පු ආරු

101

50

වෙට්ආරු

22

51

උන්නිච්චායි

304

52

මුන්ඩේනි ආරු

1373

53

මියන්ගොල්ල ඇල

228

54

මාදුරු ඔය

1439

55

පුලියන්පොට ආරු

87

56

කිරිමෙච්චි ඕඩයි

89

57

බෝදිගොල්ල ආරු

132

58

මන්දන් ආරු

26

59

මකරච්චි ආරු

59

60

මහවැලි ගඟ

10266

61

කන්තලේ ආරු

437

62

පාලම්පොට්ටු ආරු

97

63

පාන්න ඔය

164

64

පාන්කුලම් ආරු

377

65

කුන්චිකුම්බන් ආරු

245

66

පලකුට්ටු ආරු

8

67

යාන් ඔය

1518

68

මී ඔය

89

69

මා ඔය

1042

70

චුරිය ආරු

105

71

චාවර් ආරු

35

72

පල්ලඩි ආරු

66

73

මනල් ආරු

194

74

කොඩලිකල්ලු

92

75

පෙර් ආරු

392

76

පාලි ආරු

70

77

මරුතපිල්ලෙයි ආරු

36

78

තෙර්විල් ආරු

104

79

පිරිමන්තල් ආරු

91

80

මාතෙයි ආරු

114

81

කනකරායන් ආරු

604

82

කල්වලප්පු ආරු

68

83

අක්කරායන් ආරු

244

84

මන්ඩකල් ආරු

208

85

පල්ලවරායන් කඩ්ඩු ආරු

311

86

පාලි ආරු

451

87

චප්පි ආරු

79

88

පරංගි ආරු

770

89

නයාරු

717

90

අරුවෙයි ආරු

3291

91

කල් ආරු

210

92

මෝදරගම් ආරු

1001

93

කලා ඔය

2526

94

මූන්ගිල් ආරු

78

95

මී ඔය

1555

96

මදුරංකුලි ආරු

128

97

කලගම්මුනේ ඔය

169

98

රතඹල ඔය

244

99

දැදුරු ඔය

2622

100

කරම්බල ඔය

693

101

රත්මල් ඔය

341

102

මහ ඔය

1470

103

අත්තනගලු ඔය

811

ශ්‍රී ලංකාවේ ගල් යුගයට අයත් මානවයන් කලාප හයක් පදනම් කරගනිමින් ජීවත් වී තිබෙන බව ඉතිහාසඥයෝ කියති. අර්ධ ශුෂ්ක කලාපය, පහතරට වියළි කලාපය, පහතරට අතරමැදි වියලි කලාපය, තෙත් කලාපය, කඳුරට වියලි අතරමැදි කලාපය සහ ශුෂ්ක කලාපය එම කලාප හයයි. මෙම කලාප තීරණය කිරීමේදී ප්‍රධානම සාධාකය ලෙස ගෙන ඇත්තේ වාර්ෂික වර්ෂාපතනයේ වෙනස්වීම් බව සැලකේ.  ආදි මානවයන් ජීවත් වී ඇත්තේ ඔවුනට පහසුවෙන් ජලය සොයා ගැනීමට හැකි සහ ගල් අයුධ සකස් කර ගැනීමට පහසු තැන් වල බව කියැවේ.

ශ්‍රී ලංකාවේ දැනට සොයාගෙන ඇති ප්‍රාග් ඓතිහාසික ස්ථානවල ව්‍යාප්තිය දැක්වෙන සිතියමක් පහත දැක්වේ. (සිතියම උපුටා ගැනීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ 10 ශ්‍රේණිය ඉතිහාසය පෙළපොතෙනි.)

ක්‍රිස්තු පූර්ව 450 සිට ක්‍රිස්තු වර්ෂ 300 වන තුරු ලංකාවේ මුල් ඓතිහාසික යුගයේ දී ජනාවාස ව්‍යාප්තියේ ප්‍රධාන සාධයකයක් වී ඇත්තේ කුඩා ගම්වැව්ය.  ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්ගේ පුරාණ වැව් ගම්මාන කෘතියෙහි ගමික වැව් හඳුන්වා ඇත්තේ මෙලෙසය.

‘‘ගමික වැව් ලෙස හඳුන්වනු ලබන්නේ ගම් මට්ටමින් සාදා ගමේ කෘෂි අවශ්‍යතාවය හා ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා ඉදි කළ වැව්ය. මේ වැව් අවශ්‍යතාවය මත අක්කරය දෙකේ සිට ඉතා විශාල වැව් දක්වා වර්ධනය වේ. වියළි කලාපයේ බොහෝ තැන්වල මෙම ගමික වැව් දැකගත හැකි අතර දැදුරු ඔය නිම්නයේ හිරියාල ආසනයේ පිහිටා ඇති පන්නව වැව, උයන්ගල්ල වැව, නින්දගම වැව මෙවැනි ගමික වැව්වලට උදාහරණයන්ය.‘‘

නටබුන්ව ගිය එවැනි කුඩා වැව් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව තිබේ.  මුල් ඓතිහාසික යුගයේ දී කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලැබෙන  ප්‍රධාන ක්‍රම දෙකක් විය. එකක් මෝසම් වාර්ෂාවයි. වියලි කාලවලදී ජලය ලැබුණේ ගංගාවලිනි.  ගංගා ජලය කෘෂිකාර්මික කටයුතුවලට යොදා ගනිද්දි ගංගා හරහා අමුණු බැඳ ජලය රැස් කර ගැනීම සිදු කැරුණු අතර අවශ්‍ය තැන්වල ජලය ගෙන යෑම සඳහා ඇල මාර්ග සකස් කිරීම සිදු විය.    ක්‍රිස්තුපූර්ව ක්‍රි:පූ 437 - 367   අතර කාලයේ ජීවත් වූ පණ්ඩුකාභය රජතුමා විසින් සකස් කරන ලදැයි කියන බසවක්කුලම හෙවත් අභය වැවේ සිට වැව් බැඳි ඉතිහාසය ගැන විවිධ සාධක වරින් වර මතුවී තිබේ. 

පහත සිතියමේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පැරණිතම ගම්වැව්වල ව්‍යාප්තියයි. (උපුටා ගැනීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ 10 ශ්‍රේණිය ඉතිහාසය පෙළපොත)

 

ජලය සහ පුරාණ ලාංකිකයන් අතර ඇති බිඳිය නොහැකි සම්බන්ධය ලංකාවේ ඉතිහාසය පුරාම දිවෙයි.  බසවක්කුලම වැවේ සිට ලංකාවේ දහස් ගණනක් වැව් ඉදි කැරුණු අතර වැසි නැති කාලවලදී ආර්ථිකය සවිමත්වීම කෙරෙහි මෙම වාරි පද්ධතිය බලපෑවේය.

මතු සම්බන්ධයි....

සැකසුම - තරිඳු ජයවර්ධන