ඕනෑම ආයතනයකට දැක්මක් තිබිය යුතුය. ශිෂ්ටසම්පන්න ලොවෙහි ක්‍රමානුකූලව දියුණුව අත්පත් කරගතහැක්කේ එමගිනි. මෙය රටකට වුවද එසේම අදාළය. ලංකාවට අදාළව ගත්තොත් අප දැන් සිතිය යුත්තේ 2050 දී අප සිටින තැන කොතැනද කියාය. එහෙත් මේ දැක්ම යනු 2020 හෝ 2025 එන ජනාධිපතිවරණයකට සූදානම්වීමක් නොවේ. අවාසනාවකට ලංකාවේදී දැක්ම මෙහෙවර ආදිය සැකැසෙන්නේ ඊළඟ මැතිවරණය දෙස බලාගෙනය. මේ ප්‍රශ්නයේදී අප නිරන්තරයෙන් චෝදනාභිමුඛ වන්නේ දේශපාලකයන්ටය. එහෙත් ප්‍රතිපත්ති සම්පාදකයන්, රාජ්‍ය හා පෞද්ගලික අංශ වශයෙන් ද වෘත්තිය සමිති ආදී සෙසු පාර්ශ්ව වශයෙන් බැලුව ද මෙම කටයුත්තේදී සමෝධානයක් නැත. අරමුණු සැකැසීමට නම් දර්ශනයක් තිබිය යුතුය. එහෙත් අපේ රටේ බොහෝ වැඩවලදී අරමුණු කරා ළඟාවන්නේ දර්ශනයක් නැතිවය. ඉබාගාතේය. එහි ප්‍රතිඵලය වන්නේ රටේ තිබෙන ප්‍රශ්න නිවැරැදිව හඳුනාගැනීමට නොහැකි වීමය. මේ නිසා අප විසඳුම් සොයන්නේ සැබෑ ප්‍රශ්නවලට නොවේ. එය හරියට වේදනා නාශක භාවිතයට සමානය. තාවකාලිකව පැලැස්තර දැමුව ද ප්‍රශ්න එසේම පවතී.

ලංකාවේ නිදහස් අධ්‍යාපනය මගින් ගාම්භීර අතීත උරුමයක් පැවැතිය ද මේ වනවිට ක්‍ෂේත්‍රයක් හැටියට එය තිබෙන්නේ ප්‍රශ්න රැසක් හිසින් දරාගෙනය. මාලබේ සයිටම් විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ඇදි ඇදී යමින් තිබෙන ප්‍රශ්නය ඊට හොඳම උදාහරණයකි. සයිටම් ප්‍රශ්නයට පෙර රාගම වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවේය. එහිදී ද එදා පාර්ශ්ව වශයෙන් දෙකක් තිබුණේය. නැවතත් සයිටම් ප්‍රශ්නය පැමිණියේය. දැනට කුමක් හෝ ප්‍රතිකාරයක් කළ ද මේ ප්‍රශ්නය නැවතත් තවත් වසර විස්සකින් පමණ වෙනස් මුහුණුවරකින් පැමිණෙනු ඇත. එසේ නැවත නැවතත් අපේ රටේ එකම ප්‍රශ්නය මතුවන්නේ ඇයි? ප්‍රශ්නවලට දාර්ශනික එළැඹුමක් නොමැති නිසාය. අධ්‍යාපනය හා ධ්‍යාපනය යනු වැඩ දෙකකි. අධ්‍යාපනය යනු උගැනුමයි. අයි.කිව් ලෙවල් යනුවෙන් බුද්ධි මට්ටම මැනීමක් ඒ යටතේ සිදුවේ. ඇල්බට් අයින්ස්ටයින්ගේ එහි අගය 160 ගණනකි. බුද්ධි මට්ටම ඉතා ශීඝ්‍ර අගයක් ගත්ත ද හදවත හා බැඳුණු අධ්‍යාත්මය පෝෂණය නොවන්නේ නම් එහිදී මතුවන්නේ ප්‍රශ්නයකි. අපේ සමාජයේ බොහෝ තැන්වලදී දැන් මතුවෙමින් තිබෙන්නේ මේ බුද්ධිමය ගනුදෙනුවකට පමණක් සීමා වූ හදවත් නැත්තන්ගේ වියවුලය. 

එහෙත් ධ්‍යාපනය යනු මේ බුද්ධිමය ගනුදෙනුවම නොවේ. ඉන්දියාව අද වනවිට මෙය වටහාගෙන තිබේ. නාලන්දා වැනි විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනිද්දී මේ ධ්‍යාපන පරීක්ෂාව සිදුවන්නේ එහෙයිනි. එහෙත් අපේ ක්‍රමය බද්ධ වී තිබෙන්නේ අධ්‍යාපනය සමඟය. රටේ මූලික ප්‍රශ්නවලදී දාර්ශනික පිවිසුමකට යන්නට අපට නොහැකිව තිබෙන්නේ මේ නිසාය. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙහි වෙනසක් ඇති විය යුතුය. නොඑසේව ඉදිරියටත් බිහිවනු ඇත්තේ රෝග නිධානයට බෙහෙත් නොදෙන ජාතියක් බිහිවීමය. ඔවුන් හුරුවනු ඇත්තේ ද වේදනා නාශක ගෙන නිහඬවීමටය.

මේ දිනවල සෑම පක්ෂයක්ම පාහේ විද්වතුන් උගතුන් ආශ්‍රය කිරීමට කැමැතිය. තමන්ගේ දේශපාලන සාකච්ඡා මණ්ඩපවල අදහස් දැක්වීමට ඔවුන්ට මුල් තැනක් දී ඇති බව අපට පෙනේ. ඇත්ත වශයෙන්ම එය හොඳ ප්‍රවණතාවකි. මෙය දියුණු රටවලදී දැකගත හැකි තත්ත්වයකි. ප්‍රතිපත්ති සම්පාදනයේදී සියලු පාර්ශ්ව සම්බන්ධ කරගැනීම එම රටවල ලක්ෂණයකි. හොඳම උදාහරණය නම් මාර්ගෝපදේශ සැකැසීමේදී ඇමෙරිකාව, එංගලන්තය ආදී රටවලදී සරසවි ආචාර්යවරුන් හා සිසුන් අතර ඇති බැඳීමයි. එහෙත් ලංකාවේ වත්මන් ප්‍රවණතාවේදී ඇතැම් අවස්ථාවල අප දකින්නේ මේ විද්වත් හමු අලෙවිකරණ උපක්‍රමයක් හැටියට අවභාවිත කරන ආකාරයයි. උදාහරණයකට මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් මුණගැසීමට දේශපාලකයන් නිතර යෑම දැක්විය හැකිය. එතැන ඇති දේශපාලනය රටට වැදගත් නැත. එනිසා වැදගත්වන්නේ අවංක අභිලාෂයි.

ඕනෑම ආයතනයකට මෙන් රටකට ද නායකත්වයක් තිබිය යුතුය. මෙම නායකත්ව සංකල්පයේදී අපේ තෝරාගැනීමට බුද්ධිය මෙන්ම හදවත ද තිබිය යුතුය. එහෙත් අපේ සමාජයේ නිතර කතා වෙනු ඇසෙන්නේ බුද්ධිමත් නායකත්වයක් ගැනය. මේ නිසා අප එසේ තෝරාගන්නා බුද්ධිමත් නායකයා සංවේදී නොවන අයකු වුව වීමට පුළුවන. ලංකාවේ නායකයන් සම්බන්ධයෙන් ඇත්තේ ද මේ ප්‍රශ්නයයි. මහජනයා පෙළන දැවෙන ප්‍රශ්න දේශපාලකයන්ට ප්‍රශ්න නොවන්නේ ද මේ අර්ථයෙනි. දේශපාලන පක්ෂ භේදය ද මේ යටින් දිව යයි. පක්ෂ ලෙස ඇති බෙදීම දේශපාලනයේ තීව්‍ර එකකි. ඒ ඒ දේශපාලන පක්ෂවලට වෙන වෙනම දර්ශන ඇතත් ඒවා රටේ අනාගතය සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්තිමය සංයුක්තතාවකින් නිර්මාණය වූ ඒවා නොවේ. පක්ෂ දර්ශනයේ අනිවාර්ය අංගයක් විය යුත්තේ රට ගොඩනංවන ඉලක්කයි. එහෙත් අපේ දේශපාලන සංස්කෘතියේදී ලාංකික දේශපාලන පක්ෂවලට එම දියුණු තත්ත්වය අත්පත් කරගැනීමට තවම හැකි වී නැත.

ලෝකයේ දියුණුම රටවල වුවද මෙවැනි විශාල කැබිනට් මණ්ඩලයක් නැත. ආණ්ඩුව සිය කැබිනට් මණ්ඩලය හැඳින්වූයේ විද්‍යාත්මක ඇමැති මණ්ඩලයක් හැටියටය. එහෙත් අප දන්නා දේශපාලනයට අනුව ලංකාවේ එවැනි ඇමැති මණ්ඩල පත්කිරීමක් සිදුවන්නේ නැත. ඇමැති ධුර බෙදීයන්නේ ඒ ඒ දේශපාලන පක්ෂවල පුද්ගලයන්ගේ ඉල්ලීම් කේවල් කිරීම් අනුවය. උදාහරණයකට උසස් අධ්‍යාපන හා අධ්‍යාපන අමාත්‍යංශ විෂය සමගාමීය. එහෙත් ලංකාවේ විෂය වෙන්වන්නේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග කියාය. මේ එක් උදාහරණයක් පමණි. මා අවධාරණය කරන්නේ මෙවැනි රාජ්‍ය ප්‍රතිපත්තිමය පොදු කරුණු සම්බන්ධයෙන් පක්ෂ භේදය අත්හැර සියලු දේශපාලකයන්ට අවංකව ගනුදෙනු කළහැකි ප්‍රවේශයක් තිබිය යුතුය. අවශ්‍ය නම් 20 වැනි සංශෝධනයක් මගින් මේ වෙනස්කම් කළ හැකිය. ඊට අවශ්‍ය සරල කළමනාකරණයකි. කළමනාකරණයේදී ප්‍රධාන කාරණා 4කි. සැලසුම් කිරීම, සංවිධානය, ක්‍රියාත්මක කිරීම හා පාලනය කිරීමය. කමිටු පත්කිරීම ආදිය සිදුවන්නේ පාලනය කිරීමේ ක්‍රමයක් හැටියටය. එහෙත් කමිටු පත්කිරීමෙන් පමණක් පාලනය කිරීම සිදුවන්නේ නැත. විවිධ ගැටලු අරබයා කමිටු පත්කිරීමෙන් නොනැවතී ඒවා සුපරීක්ෂණ කරන ක්‍රමයක් රටකට තිබිය යුතුය. ඕනෑම රටක් කළමනාකරණය සම්බන්ධයෙන් විවිධ මත දරයි. මේ මතවාදවලදී කියැවෙන එක් මාතෘකාවක් වන්නේ යම් යම් රටවල් දියුණු වූ ආකාරය අනුගමනය කිරීමයි. මේ උපදෙස යම් පමණකට හොඳ වුවත් විදේශයක අංගෝපාංග මෙරටට 100% ක් ගැළපෙන්නේ නැත. කළ යුත්තේ එනිසා රටවල් සමූහයක් ලෙස එකතු කර නිවැරැදි තක්සේරුවකට යාමය.

පවතින ක්‍රමයේදී රට තුළ සිදුවන ඕනෑම වරදකදී අදාළ දේශපාලකයකු අල්ලාගෙන පහරදීමට අපි පුරුදු වී සිටියෙමු. එහෙත් රටේ ප්‍රතිපත්ති ක්‍රියාවලියට නිෂ්පාදන ක්‍රියාවලියට ඍජුව සම්බන්ධ වන පාර්ශ්ව අදාළ ප්‍රශ්නවලට කොතරම් සංවේදීදැයි ප්‍රශ්නාර්ථයකි. රටේ ප්‍රශ්නවලට බෞද්ධ දර්ශනයෙන් පිළියම් සෙවීම රජ කාලයේ පටන්ම දකින්නට තිබුණු දෙයකි. එහෙත් මේ වනවිට අප එය ද අල්ලාගෙන තිබෙන්නේ වලිගයෙනි. ඇත්ත වශයෙන්ම බෞද්ධ දර්ශනය නිවැරැදිව කියවාගැනීමට ලාංකිකයන්ට හැකිවුණි නම් මේ රටේ ප්‍රශ්න රැසක්ම විසඳාගන්නට තිබිණි. එනිසා බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් ලංකා සමාජය ප්‍රත්‍යාවලෝකනයකට යා යුතු කාලය එළැඹ ඇතැයි මට සිතේ.

වංචාව දූෂණය යනු ලෝකයටම පිළිලයකි. එය සෙසු රටවල ද තිබූ පමණින් සාමාන්‍යකරණය කිරීමට අපට බැරිය. උද්ධමනය ගැන කතා කරන ඇමැතිවරුන් මේ තර්කය එයට ද අදාළ කරගන්නා ආකාරය අපට පෙනේ. ආසියානු කලාපයේ උද්ධමනය ඉහළ ගොස් ඇති නිසා ලංකාවේ උද්ධමනය ගැන කලබල විය යුතු නැතැයි ඔවුහු පවසති. පාලකයන්ට මෙන්ම පුරවැසියන්ට ද රටේ තත්ත්වය හා සමාජ ජීවිතයේ දිග පළල ගැන විශාල අවබෝධයක් නැති ගානය. කලින් කලට එන වාණිජ රැලිවලට යට වෙන ස්වභාවයෙන් අපේ සමාජය පෙන්නුම් කරන්නේ එයයි. රථ වාහන මිලදීගැනීමේදී අපේ සමාජයේ මතුවන රැලි අධ්‍යයනය කිරීමෙන් එම අනවබෝධයේ ගැඹුර ඕනෑම අයෙකුට තේරුම් ගත හැකිය. සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව වාහන මිලදී ගැනීමෙන් කල් බදු සමාගම්වලට වැටුප සින්න කරගන්නා ජීවිත හොඳම උදාහරණයි. ජීවිත පරිබාහිරින් පින්තාරු කරගෙන සිටිය ද ඇතැම් මිනිසුන් රථවාහනවලට කල් බදු ගෙවමින් සිටින්නේ දැඩි පීඩාකාරී තත්ත්වවලය. මූල්‍ය සාක්ෂරතාව යනු කැනඩාව වැනි දියුණු රටවල කුඩාම අවධියේ පටන් දරුවන්ට කියා දෙන පාඩමකි. එහෙත් ආර්ථික වශයෙන් දරුණු අඩියකට වැටී සිටින ලංකාවේදී එවැනි උගැන්වීමක් නැතිකම විශාල අඩුවකි. වතුකරයේ පටන් නාගරිකයන් දක්වා සිර වී සිටින ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය ද එවැනිය. ලෝකයේ වෙනත් කලාපවලදී ක්‍ෂුද්‍ර මූල්‍ය ණය යනු මිනිසුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවන ව්‍යාපෘතියකි. එහෙත් ලංකාවේදී එය ණය උගුලකි. අන්තිමේදී මිනිසුන් සිරව සිටින්නේ දරිද්‍රතාවේ විෂම චක්‍රයකටය.

ජනමාධ්‍ය හා ආණ්ඩුකරණය පහසු නැත. එහෙත් එසේය කියා ඒ සමඟ ගැටෙන තැනකට රටක ආණ්ඩුවක් පත්වන්නේ නම් එය එරටේ ඉදිරි ගමනට බලපානු ඇත්තේ නිශේධාර්ථයෙනි. ජනමාධ්‍ය නිදහස යනු වැදගත් සංකල්පයකි. රටක් දියුණුවට පත්වීමේදී ජනමාධ්‍ය කාර්යභාරය ගැන විවාදයක් නැත. ජනමාධ්‍ය ගැන සැක කරනවා නම් එයම ප්‍රශ්නයකි. යහපාලන සංකල්පයට අනුව බැලුවහොත් ජනමාධ්‍ය නිදහසට එම ව්‍යාපෘතියේ හිමිවිය යුත්තේ ප්‍රමුඛ තැනකි. එවැනි තැනක තිබිය යුතු ආයතනයක් සමඟ ආණ්ඩුව දිගින් දිගටම පාක්ෂික ලෙස ගැටීම යහපත් දෙයක් නොවේ. ආණ්ඩු කළ යුත්තේ සාධාරණ විවේචන සහිතව මිත්‍රශීලීව ජනමාධ්‍ය සමග ගනුදෙනු කිරීමය. 

අපේ රටේ බොහෝ නායකයන්ට රට ගැන ආදරයක් හැඟීමක් නැත. මේ නිසාම ඔවුන්ට දුර දකින්නට වුවමනාවක් නැත. මේ තත්ත්වය තුළ අද ලංකාව ගමන්කරන්නේ දර්ශනයක් නැති රාජ්‍යක් කරා යැයි කීවොත් වැරැදි නැත. සමාජවාදී, ලිබරල්වාදී වශයෙන් විවිධ සන්නාම යටතේ පාර්ශ්වවලට බෙදී ප්‍රශ්න ව්‍යවච්ඡේදනයට අපි බොහෝ සමතුන් වෙමු. එහිදී බොහෝවිට සිදුවන්නේ කල්ලි කණ්ඩායම් හැටියට වෙන්ව විවේචනය කරගැනීමය. එහෙත් එයින් ඇත්ත ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැත. ඉන්දියාව සිය රට ජාත්‍යන්තරයෙහි නිශ්චිත තැනකට ඔසවන්නට සැලසුම් සකස් කළේ 90 දශකයේ සිටය. කවර දේශපාලන පක්ෂයක් බලයට පැමිණිය ද ඔවුන්ගේ දැක්මට හානියක් වූයේ නැත. එහෙත් ලංකාවේ මධ්‍යම ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරයා වෙනස් වූවිට නිල වෙබ් අඩවිය ද වෙනස් වේ. ප්‍රතිපත්ති සැලසුම් සියල්ල නොපිට හැරේ. දැන් මෙය කෙතරම් අර්බුදකාරී තැනකට තල්ලු වී ඇතිද යත් එකම ආණ්ඩුවේ විෂය භාර ඇමැතිවරුන් එක අවුරුද්දට කිහිප වරක්ම වෙනස් වේ. මේ ප්‍රශ්නය සරල නැත. එහි ප්‍රතිඵලයක් හැටියට රට දර්ශනයක් නැති රාජ්‍යක් කරා යමින් සිටින බව නැවතත් සිහිකැඳවීමට අපට සිදුවේ.

සටහන - බිඟුන් මේනක ගමගේ