තානාපතිවරයකු යනු කිසියම් රටක රාජ්‍ය නායකයා වෙනුවෙන් වෙනත් නම් කරන ලද රටකට යවනු ලබන නේවාසික නියෝජිතයා වෙයි. වෙනත් රටක් නැත්නම් එය ජාත්‍යන්තර සංවිධානයක් වුව ද විය හැකිය. තානාපතිවරයකුගේ ප්‍රධානම කාර්යභාරය වනුයේ තමන් නියෝජනය කරන රටේ විදේශ සේවා නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණයත්, තමන්ගේ කාර්යාලයේ සේවය කරන නිලධාරීන් මෙහෙයවීමත්, අදාළ රටේ පවතින තමන්ගේ රටේ විවිධ ආයතන, ඒජන්සි, වෙළෙඳ ව්‍යාපාරවල ඕනෑ එපාකම් සොයා බැලීමත් වශයෙන් සැලකෙයි. ඊට අමතරව තමන්ගේ රටේත් තමන් ධුරය දරන රටේත් ජාතික කටයුතුවලදී ඉදිරිපත් වී කටයුතු කිරීම ද තානාපතිවරයකුගේ නිල කටයුත්තකි.

තානාපතිවරයකු හෝ එසේත් නැත්නම් මහ කොමසාරිස්වරයකු වශයෙන් පැවැරී ඇති එකී නිල රාජකාරි සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම අවශ්‍ය යැයි අපට හැඟුණේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා නියෝජනය කරමින් විවිධ රටවලට යැවුණු තානාපතිවරුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් දැනගන්නට ලැබුණු තොරතුරු හේතුවෙනි. වත්මන් විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය 12 වැනිදා ඉදිරිපත් කරන ලද වාර්තාවක සඳහන් වී තිබුණේ පසුගිය වසර 9 තුළදී තානාපතිවරුන් වශයෙන් පත්කොට යවන ලද 17 දෙනකුට විදේශ සේවා අත්දැකීම් නැති බවය. එහි තිබූ තවත් තොරතුරක් වූයේ ඔවුන් අතරින් දෙදෙනකුගේ අධ්‍යාපන සුදුසුකම් වශයෙන් තිබුණේ අ.පො.ස. උසස් පෙළ පමණක් බවය. මේ 17 දෙනා තානාපතිකම් හොබවා තිබුණේ සුළුපටු රටවල්වල නොවේ. ඇමෙරිකා එක්සත් ජනපදය, මහා බි්‍රතාන්‍යය, ඕස්ටේ්‍රලියාව, ජපානය හා ප්‍රංශය වැනි ලොවේ බලවත්ම රටවලට පවා විදේශ සේවයේ අත්දැකීම් නැති පුද්ගලයන් මෙසේ තානාපතිවරුන් වශයෙන් පත්කර ඇත.

කළුතර දිස්ත්‍රික් ජ.වි.පෙ. මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ඇතුළත් වාර්තාව විදේශ සේවය සම්බන්ධයෙන් යොමු කර තිබූ ප්‍රශ්නයක පිළිතුරක් වශයෙන් මේ තොරතුරු විදේශ ඇමැතිවරයා විසින් සභාගත කර තිබිණ. ඉහත කී පුද්ගලයන් 17 දෙනාගෙන් පහළොස්දෙනකුට විවිධ උපාධි තිබුණත් ඒවා විදේශ සේවයට අදාළ උපාධි නොවන බව ද එකී වාර්තාව හෙළි කරයි. පාර්ලිමේන්තුවේ අඩු තරමින් සාමාන්‍ය පෙළවත් සමත් නැති මන්ත්‍රීවරුන් සෑහෙන සංඛ්‍යාවක් සිටින රටක මෙවැනි තත්ත්වයක් පැවැතීම ගැන එක අතකින් පුදුම විය යුතු නැත. එහෙත් තානාපති සේවය මේ තරමින් හෑල්ලුවට ලක්වීම හරහා රටේ ප්‍රතිරූපයට සිදුවිය හැකි හානිය පිළිබඳව සියලු දෙනාගේම අවධානය යොමු වීම අවශ්‍යය.

ශ්‍රී ලංකාවේ විදේශ සේවයට නිලධාරීන් බඳවා ගනු ලබන්නේ විවෘත තරගකාරී විභාගයකිනි. මේ සඳහා අයැදුම් කිරීමට සුදුසුකම් වශයෙන් සඳහන් වන්නේ පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් තිබීම හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් පිළිගන්නා විදෙස් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා සිටීමය. අයැදුම්කරුවන් වයස 22ත් 30ත් අතර විය යුතු බව ද රාජ්‍ය සේවයේ නිලධාරියකු නම් වයස 40ට අඩුවිය යුතු බව ද දැක්වෙයි. වසර කිහිපයකට වරක් පවත්වනු ලබන මේ තරගකාරී විභාගයේ සුදුසුකම් ලබන පිරිස විදේශ සේවයට III වැනි ශ්‍රේණියේ නිලධාරීන් වශයෙන් බඳවාගනු ලබන අතර ඔවුහු ඉන්පසුව උසස්වීම් සහ අවශ්‍ය පළපුරුද්ද ලබා එහි ජ්‍යෙෂ්ඨයෝ බවට පත්වෙති. තානාපති සහ මහ කොමසාරිස් ධුර සඳහා බඳවාගනු ලැබීමට ඔවුන් සුදුසුකම් ලබන්නේ ඉන්පසුවය. එහෙත් පසුගිය වසර 9 තුළදී ඒ ආකාරයට විදේශ සේවයේ සුදුසුකම් ලැබූවන් සඳහා ලැබිය යුතු තානාපති ධුර 17ක් සුදුසුකම් නොලත් පිටස්තර අයට ලැබී තිබේ. එසේ ලැබෙන්නේ දේශපාලන බලපෑම් හේතුවෙන් බව නොරහසකි.

බොහොමයක් අවස්ථාවලදී අප දකින්නේ මහ මැතිවරණයෙන් පරාජයට පත්වන ඇතැම් ජ්‍යෙෂ්ඨයන් සඳහා තානාපති ධුර වෙන් කෙරෙන බවය. එසේත් නැතහොත් එවැනි අය විසින් නම් කරනු ලබන පුද්ගලයන් පත්කරන බවය. එය එක් පැත්තකි. තවත් පැත්තකින් අප දකින්නේ බලයේ සිටින පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ හිතවතුන් සහ ඥාතීන් ද මේ පත්වීම් ලබන බවය. මේ වැරැද්ද පසුගිය වසර 9 තුළදී බලයේ සිටි ආණ්ඩු විසින් පමණක් නොව ඊට කලින් සිටි ආණ්ඩු විසින් ද සිදුකර තිබෙන බව සඳහන් කළ යුතුය. ඇතැම් බලවතුන්ගේ සහෝදරයන්ට “මඟුල් තෑගි” වශයෙන් පවා තානාපති ධුර ලැබුණු අවස්ථා ද මෑත කාලීන අපේ දේශපාලන ඉතිහාසයේ ලියැවී තිබේ. එවැනි සිදුවීම් අපගේ විදේශ සේවයේ කළු පැල්ලම් වශයෙන් හැඳින්වීමේ වැරැද්දක් නැත.

මෙයින් වඩාත් අසාධාරණයක් සිදුවන්නේ නියමිත සුදුසුකම් සපුරා සිටින විදේශ සේවයේ නිලධාරීන් පිරිසකටය. ඔවුන්ට තානාපතිවරයකු වශයෙන් කටයුතු කිරීමේ අවස්ථාව අහිමි වී යාමය. යම් යම් අවස්ථාවලදී විශේෂ හේතු මත ඇතැම් සුවිශේෂ පුද්ගලයන් තානාපතිවරුන් වශයෙන් පත් කිරීමට ද සිදුවන බව අපි දනිමු. එයින් රටට හානියක් නොවිය හැකි වුව ද තානාපති ධුර විදේශ සේවයේ සුදුසුකම් ලත් පළපුරුදු නිලධාරීන්ට පමණක් සීමා කළ හැකි නම් බොහෝ වැරැදි මඟහරවා ගැනීමට හැකිවනු ඇත. තානාපති වරප්‍රසාද ආණ්ඩුවේ බලවතුන්ගේ වරප්‍රසාද බවට පත්කළ යුතු නැත.