ඒ.ඩී. රංජිත් කුමාර

“නමෝ නමෝ මාතා.....”
“මනරංජන දර්ශනීය ලංකා....”
“පුංචි සුදා සුදු කැටියා.....”
“එන්නද මැණිකේ මමත් දියඹට නෙලන්න කෙකටිය මල්”
“ඉදිරියට යමු සැවොමා....”
“ජීවන මේ ගමන සංසාරේ.....”

මේ ගීත ලියූ ගේය පද රචකයා, ගායකයා ගැන අසා නැති කෙනෙකු සොයා ගැනීම නිකිණි සොයනවා වැනිය. ඔහු ගැන මීට වසර 65කට පමණ පෙර මීමන ප්‍රේමතිලක “සිළුමිණ” පුවත්පතට ලියා තිබුණේ මෙසේය.


ඔහු ගුත්තිල පණ්ඩිතයින් මෙන් දක්ෂ වීනා වාදකයකු යි මම නොකියමි. එහෙත් ඔහු ගුත්තිලයෙහි එන කවියක් වැනි පුද්ගලයෙකි. ගුත්තිලයෙහි එන සුරඟන රැඟුම් පද්‍යයෙහි සංගීතයත්, චිත්‍රයත් මැවී දැක්වෙයි. ආනන්ද සමරකෝන් ද ඒ පද්‍යයන් වැන්න. ඔහු අතිශය ජනප්‍රිය සංගීතඥයකු වන අතරම දක්ෂ සිත්තරෙක් ද වෙයි. ඒ එක් අතකින් බලන විටය. තවත් අතකින් බලන විට ඔමාර් බායියාම් නමැති පර්සියන් ජාතික කවියාගේ දර්ශනයෙහි ප්‍රතිමූර්තියකි ආනන්ද සමරකෝන්.

වසර 70ක් සැමරූ ජාතික නිදහස මෙන්ම අපේ වසර 68ක් පැරණි ජාතික ගීය ද අපට අමතක නොවේ. ඒ සමගම ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් ද අමතක නොවේ. තමා උපන් මේ අසිරිමත් දිවයින පිළිබඳව සමරකෝන් තුළ උදාර හැඟීම් මුලින්ම ඇතිවූයේ ඉන්දියාවට සංගීත ඉගෙනීමට ගිය මුල්ම දවසේය. ඒ සිතුවිල්ල 1951 වසරේ නොවැම්බර් 25 වැනිදා ඔහු ඉරිදා ලංකාදීප පත්‍රයට ලියා තිබුණේ ඉන්දියාවට පා තැබූ දිනයේ සිට හදවත පුරා බුර බුරා නැගී ස්වදේශානුරාගික හැඟීමෙන් අපේ ජනතාව පුබුදු කළ හැකි සමූහ ගීතයක් නැතිකමේ අඩුපාඩුව තමාගේ සිතේ තදින් බල පැවැත්වූ බවය. එවකට අධ්‍යාපන අධ්‍යක්ෂකව සිටි ටී.ඩී. ජයසූරිය මහතාට ද එවැනි ගීතයක ඇති අවශ්‍යතාව පැහැදිලි කළ ඔහු පිස්සෙක් විය.

1940 ඔක්තෝබර් මාසයේ 20 වැනි දින හවස මම ගෙදර ගියෙමි. මගේ දිවයින පිළිබඳ ඇති වූ උදාර සිතිවිලි හා සෞන්දර්ය පිළිබඳ රසික හැඟීම් කෙළවරක් නැත. කල්පනා කළෙමි. ඒ මේ අත ඇවිද්දෙමි. රාත්‍රී දහයේ පමණ සිට පහන් නිවා කලුවරේම කල්පනා කළෙමි. ඇඳට වී කල්පනා කළෙමි. තරමක් නින්ද ගියේය. අඩ සිහිනකින් පෙනී ගිය පරිදි තනුවත් එය සරිලන පද මාලාවත් සමග මේ “නමෝ නමෝ මාතා” ගීය සටහන් විණ. පසුවදා උදයේ ගී ප්‍රබන්ධය වුණු හැටිය. පසුවදා මම එකල ඉගැන්වූ ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ළමයින්ට මේ ගීය උගැන්වූයෙමි. සමරකෝනුවන් පවසා තිබුණි.

“නමෝ නමෝ මාතා” නම් ගීතය ගැන ගුණ දෝෂ විවේචනයක් මාර්ටින් වික්‍රමසිංහ මහතාගෙන් සමරකෝන් බලාපොරොත්තු වුවත් එහි කිසි අඩුපාඩුවක් ඒ මහතා සඳහන් කර නැත.

ජෝර්ජ් විල්ප්‍රඞ් අල්විස් සමරකෝන් පසුව ආනන්ද සමරකෝන් විය. උපතින් ක්‍රිස්තු භක්තිකයකු වූ 1911 ජනවාරි 13 වෙනිදා පාදුක්කේ වටරැකදී උපත ලැබූ ඔහු නිදහස් මතධාරියකු වී ඇත. ඔහුගේ පියා සැමුවෙල් සමරකෝන් සහ සහෝදරයන් කලාවට සම්බන්ධ වී සිටීම සමරකෝන්ට වාසියක් විය. ඔහුගේ පියා ද වීනා වාදකයෙකි. ඔහුගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනා වූ සැම්සන් වික්ටර් හා සී.ඇස්.ඒ. සමරකෝන් දක්ෂ චිත්‍ර ශිල්පියෝ වූහ. ආනන්ද මෙන්ම බාල සොහොයුරු බර්ටි ද චිත්‍ර කලාකරුවන්වීම අරුමයක්ද?

ආනන්ද සමරකෝන් මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයෙනි. චිත්‍ර කලාවට දස්කම් පෑ ඔහු චිත්‍ර කලාවෙන් හොඳම සිසුවා ලෙස ත්‍යාග ලබා ගත් අතර, “මව්ත් ඕගනය” වාදනය කිරීමෙන් සංගීතයට ආදරය කිරීමට පටන් ගත්තේය. කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේම ගුරුවරයකු වූ ඔහු 1936 වසරේ රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ශාන්ති නිකේතනය බලා පිටත්ව ඇත්තේ සුරූපී ලලනාවක් වූ චන්ද්‍රා සෙනෙවිරත්න සමගය. ඇය ආනන්ද හා විවාහ වී ඇත්තේ ශාන්ති නිකේතනයට යන දිනට පෙර දිනය. ඔවුන් මධුසමය ගත කිරීමට මෙන් එහි ගියාය. ශාන්ති නිකේතනයේදී සංගීතය හැදෑරූ සමරකෝනුන් ලෝ ප්‍රකට චිත්‍රශිල්පී නන්දලාල් බොස් වෙතින් චිත්‍ර කලාව උගත්තේය.

ලංකාවට පැමිණි සමරකෝනුන් සංගීතඥයකු හා ගායකයකු ලෙස ප්‍රකට විය. එහෙත් පිටරටවල ඔහු ප්‍රකටව සිටියේ චිත්‍ර ශිල්පියකු ලෙසය. භාරතය ඔහුගේ චිත්‍ර කලාව කොතරම් අගය කළාද යත්, එහි ප්‍රධාන ප්‍රවෘත්ති සඟරාවක් වූ එයැ ෂකකමිඑර්එැා උැැනකහ දf ෂබාස් හි මුල් කවරය සැරසීමට ඔහුට පැවරුවේය. ඔයැ ඊදපඉ්හ ත්‍රුැ ඡරුි ඊමකකැඑසබ ඔයැ ීඑර්සඑි ඔසපැිල ඔයැ ඵ්ක්හ ඵ්සකල ඔයැ ෘැජජ්බ ්‍යැර්කා පුවත්පත්වල ඔහුගේ චිත්‍රත්, ඒවා ගැන කලා විචාරත් පළ වී ඇත. ඒ අතර සමරකෝනුන් නිර්මාණය කොට ගැයූ “පුදමි මේ කුසුම්” නම් ගීතය සංගීතය පිළිබඳ ලක්නව් හි සංගීත විද්‍යාලයේ නාට්‍ය සංදර්ශනයකදී වංග මානවිකාවන් සමූහයක් විසින් ශෘංගාර රසිකයන් සමූහයක් ඉදිරිපිට චිත්තාරාධනය පරිදි ගායනා කළ අවස්ථාව වූ කලී මේ නවීන යුගයේදී සිංහල සංගීතයක් ප්‍රථම වරට ඉන්දියාවේ ගායනා වූ අවස්ථාවක් විය හැකි යයි 1952 අගෝස්තු 01 දී “දිනෙන් දින” (පසුව එය “දින දින” විය) සඟරාවේ සංස්කාරක ආනන්ද තිස්ස ද අල්විස් ලියූ ලිපියක සඳහන්ව ඇත.

ක්වාලම්පූරයේ ඔහු චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වා ඇත්තේ මලයාවේ ළමයින් බේරා ගැනීමේ අරමුදලට තමාට ලැබූ මුදල්වලින් ආධාර දීමේ අදිටනි. මේ හේතුව නිසා ත්‍රස්තවාදීන්ගෙන් ඔහුට අලාභහානි සිදුව ඇත. ඔවුන් පාසලේ නාට්‍යචාර්යවරයා මරා සමරකෝනුන්ගේ චිත්‍ර ද ගිනිබත් කළ බව මීමන ප්‍රේමතිලකයන් ලියූ ලිපියක සඳහන් වෙයි. ගාල්ලේ මහින්දයේ උගන්වන කාලේ ආනන්ද සමරකෝන් අනංගයා සමග කළ හාදකම් ගැන මීමන සඳහන් කර ඇත. ඔහු ගේය පද ලියා තනුවක් යොදා සහාය ගායිකාවක් සමග ගැයූ ගාල්ලේදී මවා පෑ ප්‍රේම ගීතයක් ඉදිරි ජීවිතය පිළිබඳ රසවත් ජවනිකාවක් බව මීමන කියයි. ඒ ගීතයට සමරකෝනුන් දැඩි ලෙස ආදරය කොට ඇත.

තරුණයා - එන්නද මැණිකේ මමත් දියඹටා
        කඩන්න කෙකටිය මල්
        ඔහො ලස්සනයි ඔහො ලස්සනයි
         පිපිච්ච කෙකටිය මල්.
තරුණිය - මහන්සි වන්නට එපා එපා
        අනෙ එපා එපා අනෙ
        ඉන්නකො ගං ඉවුරේ
        ඔහො ලාස්සනයි ඔහො ලාස්සනයි
        ඔහො නැමිච්ච කෙකටිය මල්

හිරු නැග ඒමට පෙර ඇතිවන අරුණු එළියට ඒ ගීතය සම කළ හැකි බව මීමන කියයි. ආනන්ද සමග මැණිකේ මෙන් යුග ගීයට සහාය වී ඇත්තේ ඉලෙන්ද සිල්වා මෙනවියයි. එහෙත් ආන්දගේ ගී දැලට අසුවී ඇත්තේ ඉලෙන් නොව ඇගේ සොහොයුරිය වන කැරොලයින්ද සිල්වා මෙනවියයි. 1940 දෙසැම්බර් 20 වැනිදා ආනන්ද හා කැරොලයින් විවාහයට සාක්ෂිකරුවන් ලෙස අත්සන් කර ඇත්තේ ගාල්ලේ විජයානන්ද දහනායක හා අධ්‍යාපන අධ්‍යක්ෂ ටී.ඩී. ජයසූරිය මහතුන්ය. මේ සිද්ධිය තේමා කොට ආනන්ද සමරකෝනුන් මල්බර රුකක් යට දුන්නක් වමතින් ගෙන දකුණත පෙම්වතියගේ බඳ මත දා ඇති තරුණයකුගෙන් සමන්විත චිත්‍රයක් සිතුවම් කර තිබුණි. එම විවාහයෙන් ලැබුණු දරුවාට අරුණදීප යයි ඔහු නම් කළ අතර, වසර කිහිපයක් බලවත් රෝගයකින් දරුවා මියගොස් ඇත. බලවත් සොවින් සමරකෝනුන් “නිමි පහන නිවී ගියා”’ ගීතය ගයා ඇත.

සමරකෝන් ගැයූ ගීත අතිශයින් ජනප්‍රිය වී ඇත. “පොඩි මල් එතනෝ - පුදමු මේ කුසුම්, විලේ මලක් පිපිලා, බැස සීතල ගඟුලේ, ඇසේ මධුර ජීවනයේ ගීතා, පුංචි සුදා සුදු කැටියා, සුමනෝ පොඩි සුමනෝ, රම්‍ය නගරේ අනුරාධපුරේ මේ ගීත අතර විශේෂය. තමා විසින් අරඹන ලද සංගීත පන්ති සඳහා කොල්ලුපිටියේ නිවසේ කාමරයක් නොමිලයේ සැපයූ කළ්‍යාණ මිත්‍ර සූර්යසංකර් මොල්ලිගොඩට හා වී.පී. ලීලාවතීට සමරකෝනුන් අපූරු ගේය පද සහිත ගීත දෙකක් නිර්මාණය කර දුන්නේය. “කරුණා නදියේ පැද යාමූ” හා “අක්කෙ අක්කෙ අර බලන්නකෝ” මේ ගීතයි. ගුවන්විදුලියෙන් ආනන්ද සමරකෝන් ගේ ගීත ඇසූ එකල තරුණියන් ඔහුට ආලය කරන්නට පටන් ගෙන ඇත. මේ බව මීමන ප්‍රේමතිලකයන් කියා ඇත්තේ මෙසේය.

“ගමන් නොදුටු දෙව්ලොවක් ගැන වැණූ සමහර පැරණි ග්‍රන්ථකාරයන් මෙන් ඔවුහු නොදුටු ආනන්ද සමරකෝන්ට පෙම් කළහ. ආනන්ද සමරකෝන් ද පෙම් කළේ සුවඳට දුවන මී මැස්සෙක් මෙනි. මී මැස්සා හොඳ මලක් සොයා යන්නේ මලෙහි සුවඳ අනුවය. ආනන්ද සමරකෝන් ද ඔහුට එන පෙම්පත් අතුරින් පෙම්වතියක් තෝරා ගනී. පෙම්පත් අනුව තෝරා ගත් පෙම්වතියට ඔහු පෙම්පත ලියයි. ඊට එන පිළිතුර ද බලාපොරොත්තුවෙන් සිට එය ලැබුණු විට ඔහු උදන් අනයි. එහෙත් ඔහු නොහික්මවිය. පෙම් පත්වල රසය ඉරීමෙන් ඔහු සතුටට පත් වූ අවස්ථා එමටය.

ආනන්ද සමරකෝන් විසින් ලියූ “නමෝ නමෝ මාතා” ගීතය මුලින්ම කොළඹ ප්‍රදර්ශනයකදී කොළඹ මියුසියස් විද්‍යාලයීය බාලිකාවන් පන්සිය දෙනකු විසින් ගායනා කර ඇති බව පුවත්පත්වල සඳහන් වී ඇත.

සමරකෝන්ගේ “නමෝ නමෝ මාතා” ගීතය ලංකා රජයේ ජාතික ගීය වූ ඉතිහාසයේ නිහඬ වීරයා ආනන්ද තිස්ස අල්විස් බවට ඉඟි 1952 වසරේ පළ වූ “දිනෙන් දින” (පසුව ‘දින දින) සඟරාවෙන් අනාවරණය වෙයි. ආනන්ද තිස්ස කුඩා කළ සමරකෝනුන්ගෙන් 1933 වසරේ සංගීතය හදාරා ඇත.

සමරකෝන්ගේ අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට නම් ශාන්ති නිකේතනයේ තාගෝර්යන්ගේ පා සෙවණෙහි උගත යුතු බව මම ඔහුට අවබෝධ කර දුනිමි. ජීවිතයේ අනාගතය අප දෙදෙනා දන්නා සිහිනයක් බොහෝ විට එක සමාන විය. අවසානයේදී ඔහු එහි ගියේය. ඔහු යන්නට සූදානම් වෙද්දී නව ප්‍රගතියට ආධාර දීමේ ශක්තිය ඇති ඔහුගේම ශිෂ්‍යාවක් වූ චන්ද්‍රා සමග ඔහු විවාහ වූයේය. ඔහුගේ මංගල්‍යයේදී මම ද සාක්ෂිකරුවෙක් වශයෙන් අත්සන් කළෙමි.”

ඉන්දියාවේ සිට පැමිණි සමරකෝන් යුවළ ලංකා ගුවන්විදුලියෙහි දීප්තිමත්ම ගායක යුවළ වූ අතර, ගුවන්විදුලියෙහි ගම්බද ගී (ජන ගී) ගායනා කරමින් ආනන්ද තිස්ස ද අල්විස් (හිටපු අමාත්‍ය හා කතානායක) මේ යුවළට එක්වී ඇත. 1950 වසරේ අප්‍රේල් මාසයේදී මුදල් අමාත්‍ය ජේ.ආර්. ජයවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට ලිපියක් ලියමින් කියා සිටියේ, රජයේ උත්සව සහ වෙනත් උත්සවවලදී එවකට ජනප්‍රියව තිබූ “නමෝ නමෝ මාතා” ජාතික ගීය ලෙස භාවිතය සුදුසු බවය. එකල ජේ.ආර්.ගේ සමීපතම ගෝලයකු මෙන්ම ලේකම්වරයකු ව සිටි ආනන්ද තිස්ස මේ කාර්යයේදී පසුබිමේ සිට ලොකු මෙහෙවරක් කරන්නට ඇතැයි අනුමාන කළ හැකිය. සමරකෝන් හා ද අල්විස් ගේ සමීප සම්බන්ධතාවය නිසා සමරකෝන් එක්සත් ජාතික පක්ෂයේ කාව්‍යයක්කාරයා ද වී ඇත.

1951 නොවැම්බර් 22 වැනිදා “නමෝ නමෝ මාතා” ජාතික ගීය විය යුතු යයි අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ ඇමැති මණ්ඩලය තිරණය කළ බව 1951ක් වූ නොවැම්බර් මස 24 වැනි සෙනසුරාදා “දිනමිණ” පත්‍රයේ ප්‍රධාන ශීර්ෂයෙන් එහි විශේෂ වාර්තාකාරියක වූ හේමා වික්‍රමාරච්චි (පසුව සිරිවර්ධන) අනාවරණය කළාය.

කැබිනට් මණ්ඩලය තමාගේ ගීය ජාතික ගීය ලෙස තෝරාගෙන ඇති බව සමරකෝන් දැනගත්තේ ද හේමා වික්‍රමාරච්චි මෙනවියගෙනි.

“ඔබේ මේ ගීතය ලංකාවේ ජාතික ගීය වශයෙන් පිළිගෙන තිබෙනවා” වාර්තාකාරිනිය සමරකෝන්ට පැවසුවාය.
“හැබෑවට මම දන්නෙ නෑ”

හේමා වික්‍රමාරච්චි කියන තොරතුරු සඳහන්ව ඇත්තේ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් සංස්කරණය කළ “සියත” පුවත්පතේ විශේෂාංගයෙනි. එහි මෙසේ ද සඳහන් වෙයි.

ඇය පවසා තිබූ ආකාරයට ඉහත කී ආකාරයට සමරකෝන් පිළිතුර දී ඇත්තේ ආඩම්බරයෙන් තොර ස්වරූපයෙන් බවත්, තමා දෙස අහිංසක බැල්මක් හෙළා මුවඟ සිනහවකින් සරසා පිළිතුරු දුන් බවය.
“ඔබේ ගීත ගැන හිතන්නේ කුමක් දැයි” ඇය අසන පැනයට ඔහු පිළිතුරු දෙමින් මේ ගීතය සිංහල ජන කවියෙහි පැබැඳූ ගීතයක් බවය.

“බලන්න ගීතයක් ගයන්නැයි” ඈ කී විට සරල මධුර ස්වරයකින් ආනන්ද සමරකෝන් ගායනා කොට ඇත.
මුල සිටම සමරකෝන්ගේ ජාතික ගීයට අරියාදු සිදුව ඇත. මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ලියූ “ආනන්ද සමරකෝන් අධ්‍යයනය” කෘතියේ එන ආකාරයට ජාතික ගීයෙහි රචකයාට ගරු කිරීමක් වශයෙන් රජය රුපියල් 2500ක ප්‍රදානයක් කිරීමට තීරණය කළ අතර, සමරකෝන් ඒ වන විට “සැඩ සුළං” චිත්‍රපටයේ ගීත ලිවීමට ඉන්දියාවට ගොස් සිට ඇත.  ඉන්දියාවේ සිට සමරකෝන් එවූ ලිපියක් රැගෙන තම දෙවන බිරිඳ කැරොලයින් මේ මුදල ගැනීමට උත්සාහ කළත් ජාතික ගීතය ඇතුළත් සමරකෝන්ගේ සෙසු ගීත ද ඇතුළත් “කුමුදිනී” පොත මුද්‍රණය කළ මරදානේ පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන එම මුදලට අයිතිවාසිකම් නීතිපතිට ඉදිරිපත් කොට එය ලබාගෙන ඇත. සමරකෝන්ට අසාධාරණය ගැන කාටුන් චිත්‍ර දෙක ජී.ඇස්. ප්‍රනාන්දු විසින් “ලංකාදීප” පත්‍රයට අඳින ලදී.

ආනන්ද සමරකෝන් “සුජාතා” චිත්‍රපටයට රචනා කළ “මනරංජන දර්ශනීය ලංකා” (ගායනයෙන් කේ. රාණි සහ පිරිස) “සැඩ සුළං” චිත්‍රපටයට ලියූ “පෙම් කැකුළ පිපී” ජීවන මේ ගමන සංසාරේ (ගායනය ජමුනා රාණි සහ ඒ.ඇම්. රාජා) ශ්‍රී ලංකා මාතා, මා ප්‍රියාදර ජය භූමි (ගායනය ලතා මංගේෂ්කර්) “ඉදිරියටා යමු සැවොමා” (ගායනය ලතා මංගේෂ්කර් හා මොහිදින් බෙග්) ගීත ඉතාමත් ජනප්‍රිය විය.

1960 වසරේ සිට ජාතික ගීයේ “නමෝ නමෝ” මුල් පදය සමරකෝන්ගේ අනුමැතියෙන් තොරව “ශ්‍රී ලංකා මාතා” වෙනස් කළාය. මෙයින් කළ කිරුණු සමරකෝන් 1962 මාර්තු 03 වැනිදා විපක්ෂ නායක ඩඞ්ලි සේනානායකට ලිපියක් ලියා ඇති බව “සියරට” පත්‍රයේ පළ වූ පුවතක් ආචාර්ය ආරියරත්න උපුටා දක්වයි.
මෙයින් මා තුළ හට ගෙන ඇති බලවත් චිත්ත වේදනාව කවදා මුත් කෙළවර වන්නේ මාගේ මරණයෙන් පමණක් බව දනිමි. මෙවැනි අපරාධ කෙරෙන සිත් පිත් නැති රජයක් යටතේ තවදුරටත් දිවි ගෙවනවාට වඩා මේ මොහොතේම මිය යාම සැපතකි.

නිදි පෙති 25ක් 30ක් අතර ප්‍රමාණයක් ගෙන ආනන්ද සමරකෝන් 1962 අප්‍රේල් 02 වැනිදා දිවි නසා ගත්තේය. මේ කාලයේ සමරකෝන්ගේ සමීප මිතුරාව සිටි ප්‍රවීණ රංගනවේදී සිරිල් වික්‍රමගේ කියන්නේ, තමා සමග බොරැල්ලේ ඩිරොයි හෝටලයේ කාමරයක නැවතී සිටි ඔහු දිවි නසා ගත්තේ ජාතික ගීය පිළිබඳ සිත් තැවුල නිසා නොවන බවය. එය ප්‍රථම ආදරය මෙන්ම එය අභිරහසකි. කෙටි ජීවිතයක් නිමා කළ ආනන්ද සමරකෝන් 1962 අප්‍රේල් 05 වෙනිදා වයස අවුරුදු 51ක් ජීවත්ව මියගියේය.