කොරෝනා වෛරසය නිසා දුකට පත්වී සිටින සියලු‍දෙනා සුවපත් වේවා! යන ප්‍රාර්ථනය සහිතව මෙවර ලිපිය අරඹමි. ඒ වසංගතය පිළිබඳව විද්‍යාත්මක හෝ වෛද්‍ය විද්‍යාත්මක හෝ විශ්ලේෂණ ඉදිරිපත් කිරීමට මා යම් පමණකින්වත් දන්නා දේශපාලන විද්‍යාව, රාජ්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය පරිපාලනය යන විෂයයන් දශමයක තරමින්වත් පොහොසත් නැත. එබැවින් මේ ලිපිය කොරෝනා නිමිති කරගෙන අපගේ සිහියට, අවධානයට සහ විමසුමට ලක්විය යුතු වෙනත් මානයක් ගැනය. ඒ මානය පුළුල් ය. අපට රාජ්‍යයක් අවශ්‍ය නම්, ඒ රාජ්‍යය ජාතික රාජ්‍යයක් නම් අපගේ අවධානය ඒකමානීය නොවිය යුතුය.

සිදුවීම එකක් වුවත් එයට බලපාන හේතු බොහෝ ගණනක් තිබිය හැකි ය. එසේම සමහර සිදුවීම්වල බරපතළකම සහ ඛේදජනක තත්ත්වය නිසා අනෙක් බොහෝ තීරණාත්මක දේවල් අමතක වී ගිලිහී යා හැකිය. එහෙත් ඒ ගිලිහෙන දේවල් රටක ඉරණම ඛේදාන්තයක් කරා තල්ලු‍ කරනු ඇත. වෙන වෙනම හඳුනා ගන්නා දේවල් එකිනෙකට තදින්ම ගැටගැහී ඇති බව තේරුම් ගත යුතුම ය. අවුරුදු තිහකට ආසන්න කාලයක් පුරා පැතිරුණු, දිග්ගැස්සුණු සන්නද්ධ ගැටුම නිසා ජාතික ආරක්ෂාව යනු, හුදු හමුදා ආරක්ෂාව පමණක්මය යන අදහස අපේ රටේ ජන මනසට කා වැදුණු අයුරු සිහියට ගැනීම මෙය තේරුම් ගැනීම සඳහා උපකාරයක් ය. එබැවින් මෙවර ලිපියේ අරමුණ කොරෝනා වසංගතය මැදිකරගෙන ජාතික ආරක්ෂාව පිළිබඳ අදහස වඩා පුළුල් තැනකට ගෙන යෑම ය.

මේ ගෝලීය වසංගතයෙන් බේරීම සඳහා වෙහෙසෙන බොහෝ රටවල් උත්සාහ කරන්නේ තම ජාතික රාජ්‍ය සීමා නැතහොත් වපසරි විවිධ උපක්‍රමික තීන්දු තීරණ මගින් ආරක්ෂා කර ගැනීමට ය. මෙය එක්තරා ආකාරයකට කොරෝනා විරෝධයකට වඩා කොරෝනා ජාතිකවාදය’ ලෙස නම් කිරීම වඩාත් නිවැරැදි ය. එනම් කොරෝනා නිසා උද්දීපනය වන ජාතික රාජ්‍යවාදය ය. මේ වෛරසය රටවල ජාතිකවාදය ශක්තිමත් කරනු පෙනේ. එනම් හමුදාවක් මගින් ශක්තිමත්ව ආරක්ෂා කරනවාට වඩා බලවත්ව  ජාතිකවාදය පිළිබඳ හැඟීම වෛරසය නිසා සිදුවන බව පෙනේ. එසේම වෛරසය ලබා දෙන ලද ප්‍රබලම පණිවිඩය වන්නේ ජාතික ආරක්ෂාව යනු හුදු හමුදා ආරක්ෂාව පමණක් නොවේ ය යන්න ය.

ලංකාවේ පැවැති යුද්ධය සහ දෙපැත්ත බෙදී තර්ක විතර්ක ඉදිරිපත් කළ බුද්ධිමතුන්, ආගමික නායකයන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන රට තුළ ස්ථාපිත කළේ ජනවාර්ගික ජාතිකවාදය මිස රාජ්‍ය ජාතිකවාදය නොවේ ය. එය ද එක ජාතියකට එරෙහිව තවත් ජාතියක් යන ඉතාම පටු ජාතිවාදය ය. ඒ නිසාම හැමෝම කොයි පැත්තක හරි යුද ක්‍රියාමාර්ග අනුමත කළෝ ය. ඒකෙන් අත පිසදා ගැනීමට ඒ කාට කාටත් බැරි ය. ඒ නිසා වුණේ ජාතිවාදය කපටින්ගේ පාලන මෙවලමක් සහ උපක්‍රමයක් විධියටත් අනුවණයන් කා කොටා ගන්නා ලබ්ධියක් හෝ ආගමක් බවටත් පත්වීම ය.

එසේම ජනවාරි අග, අගනුවර හන්දිවල ජාතික කොඩි විකුණන අසරණයන්ට කොමිසමක්  ලබාගැනීමට හැකි වන ආකාරයේ ජාතිකවාදයක් බවට පත්වීම ය. මේ දිනවල කොරෝනාවලට බියවී සිටින මැද පාන්තිකයන්ගේ ජාතිකවාදය පවුල්වාදයෙනුත් එහාට පසු බැස තනිපුද්ගල ජාතිකවාදයක් දක්වා පල්ලම් බැස ඇත. ඒ කවුරුත් ජාතික කොඩි හෝ පෙබරවාරි හතර ගැන හිතන්නේවත් නැත. යුද්ධය නිසා ඉහළ අහසට නැඟුණු ජාතිකවාදය කොරෝනා නිසා පාරේ කොඩි විකුණන අයට පමණක් සීමා වී ඇත. එසේ වූයේ මෙරට ජාතිකවාදය සහ ජාතික ආරක්ෂාව අවිවලටම ලඝු කිරීම නිසා ය.

ඉන්දියානු ශාස්ත්‍රඥයකු වන ප්‍රභාකරන් පලේරි 2008 දී ප්‍රකාශයට පත්කළ සිය “ජාතික ආරක්ෂාව: අත්‍යවශ්‍යතා සහ අභියෝග” නම් පොතෙහි ජාතික ආරක්ෂාව පිළිබඳව පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කර ඇත. එහි දී ඔහු ජාතික ආරක්ෂාවට අඩංගු විය යුතු මූලික අංග පහළොවක් නම් කර තිබේ. හමුදා ආරක්ෂාව, ආර්ථික ආරක්ෂාව, සම්පත් ආරක්ෂාව, දේශසීමා ආරක්ෂාව, ජන විකාශ ආරක්ෂාව, ආපදා ආරක්ෂාව, බලශක්ති ආරක්ෂාව, භූ මූලෝපායික ආරක්ෂාව, තොරතුරු ආරක්ෂාව, ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය ආරක්ෂාව, ජනවාර්ගික ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව සහ ජානමය ආරක්ෂාව යනු ඒ මූලික අංග පහළොව ය.

ඉතා සරලව ගත්විට ජාතික ආරක්ෂාව යනු ජාතික රාජ්‍යයක මූලික සාරධර්ම සුරක්ෂිත කොට ඇති සහ තහවුරු කර ඇති තත්ත්වයකි. එනම් රටේ වෙසෙන ජනතාවගේ ජාතික අනන්‍යතාව සහ පරමාධිපත්‍යය ආරක්ෂා කරගනිමින් නිදහස් සහ සුරක්ෂිත පරිසරයක් තුළ ජීවත්වීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන තත්ත්වයකි. ඒ සඳහා ජාතික ආරක්ෂාව යනු මිලිටරි ආරක්ෂාව පමණක් නොව හැම දෙයක්ම විය යුතු ය. එනම් ජාතික ආරක්ෂාව සමස්තාවාදී එකක් විය යුතුය.

මිලිටරි ආරක්ෂාව යනු ජාතික ආරක්ෂාව පිළිබඳව සාම්ප්‍රදායිකව පිළිගත්, පැරණිතම සහ ප්‍රබල ලෙස ස්ථාපිත අදහසකි. ඉන් අදහස් වන්නේ ජාතියකට තමන්ව ආරක්ෂා කර ගැනීමට ඇති හැකියාව සහ  මිලිටරි ආක්‍රමණවලින් තම රටේ භූමි සීමා ආරක්ෂා කර ගැනීමයි. වෙනත් ආකාරයකින් කියන්නේ නම් මිලිටරි ආරක්ෂාව යන්නෙන් අදහස් කරන්නේ මිලිටරි බලය භාවිත කරමින් ජාතියකට සිය ප්‍රතිපත්ති බලාත්මක කිරීමේ හැකියාවයි. ගැඹුරින් සලකා බලන්නේ නම් මිලිටරි ආරක්ෂාව යනු සාම්ප්‍රදායික සහ වෙස්ට්ෆෙලියානු රාජ්‍ය අදහස මගින් ස්ථාපිත වූ එකකි.

ඉහත සඳහන් කළ ප්‍රභාකරන් පලේරි ගේ පැහැදිලි කිරීමට අනුවත් සමකාලීන ලෝකයේ ජාතික ආරක්ෂාව පිළිබඳ සංකල්පය විවිධ අංශ සැලකිල්ලට ගන්නා සියල්ල ඇතුළත් සංකල්පයකි.  ඒ පැහැදිලි කිරීම ජාතික ආරක්ෂාව යන්න පටු විශ්වාසය අවබෝධයෙන් වළක්වා පුළුල් තලයකට ගෙනයනු ලබයි. ඇත්තටම ජාතික ආරක්ෂාව යනු වෙනස් වන බලවේගවලට, පීඩාවලට එරෙහිව ජාතික රාජ්‍යයක අනන්‍යතාව සහ සක්‍රීය අඛණ්ඩතාව පවත්වාගෙන යාමේ හැකියාව හෝ ශක්තියයි. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව ජාතික බලය සමඟ තදින්ම ගැටගැසී ඇත.

ජාත්‍යන්තර ගැටුම් වැළැක්වීම සහ බේරුම්කරණය පිළිබඳ ක්ෂේත්‍රයේ කටයුතු කරන අන්තර්ජාතික අර්බුද කණ්ඩායම (ICG) ට අනුව ආරක්ෂාව යනු විවිධ අංශවලට බෙදිය හැකි එකකි. ජාතික ආරක්ෂාව, ප්‍රජා ආරක්ෂාව, පෞද්ගලික ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව සහ පෞද්ගලික නිදහස ඉන් කීපයකි. කෙසේ වෙතත්, ජාතික ආරක්ෂාව පිළිබඳ සමකාලීන අර්ථ නිරූපණය සමඟ සංකල්පීය අවබෝධය සහ ගොඩනැඟීම  සමාන වන්නේ නැති තත්ත්වයක් දැකිය හැක. එනම් ආරක්ෂාව නම් හමුදා ආරක්ෂාව පමණක්මය යන්න සමාජය තුළ තදින්ම මුල් බැසගෙන ඇත. ඇත්තටම, හමුදා ආරක්ෂාව යනු ජාතික ආරක්ෂාවේ එක් මූලද්‍රව්‍යයක් පමණක් බව අප තේරුම් ගත යුතුමය. ඊට අමතරව දේශපාලන ආරක්ෂාව, ආර්ථික ආරක්ෂාව, බලශක්ති ආරක්ෂාව, රාජ්‍ය තාන්ත්‍රිකභාවී ආරක්ෂාව, මාධ්‍ය/ තොරතුරු පදනමෙහි ආරක්ෂාව, ආරක්ෂාව පිළිබඳ යහපත් දැක්ම, මානව ආරක්ෂාව, ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව, පෞද්ගලික ආරක්ෂාව, ප්‍රජා ආරක්ෂාව, ජනවාර්ගික ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව සහ ජානමය ආරක්ෂාව යනාදිය සහ තවත් දෑ ජාතික ආරක්ෂාවේ මිලිටරි නොවන, එහෙත් ඒ හා සමාන වැදගත්කමක් ඇති මූලද්‍රව්‍යයෝ වෙති.

කෝපන්හේගන් චින්තන ගුරුකුලයේ බැරී බුසාන්, ඔලේ වේවර්, ජාප් ද වයිල්ඩ් ඉදිරිපත් කරන ආකාරයට දේශපාලන ආරක්ෂාව ජාතික ආරක්ෂාවේ ඉතා වැදගත් අංගයකි. දේශපාලන ආරක්ෂාව යනු සමාජ පර්යායේ නැතහොත් පිළිවෙළේ ස්ථාවරත්වයයි. එය මිලිටරි ආරක්ෂාව හා සමාජ ආරක්ෂණය සමඟ මෙන්ම ජාතික ආරක්ෂාවට අදාළ අනෙකුත් මූලද්‍රව්‍ය සමඟ සමීපව බැඳී ඇත.

ආර්ථික සුරක්‍ෂිතතාව සමස්ත ආරක්ෂාවට විශාල වශයෙන් දායක වේ. ආර්ථික සුරක්‍ෂිතතාව සහතික නොකර, වෙනත් ආකාරයේ ආරක්‍ෂාවන් සම්පූර්ණ කරගත නොහැක. ජනතාවගේ සහ රාජ්‍යයේ ආර්ථික සුරක්‍ෂිතතාව එකිනෙකට පරායත්ත වේ. එනම් එකිනෙක මත යැපෙන ඒවා ය. බහුජාතික ගිවිසුම්, අන්‍යෝන්‍ය අන්තර් යැපීම සහ ස්වාභාවික සම්පත් ලබා ගැනීම යනාදියෙන් යුත්  වර්තමාන ජාත්‍යන්තර වෙළඳාමේ සංකීර්ණ ක්‍රමය තුළ, ජාතියක ආර්ථිකය අපේක්ෂිත ආකාරයට සංවර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්ති තෝරා ගැනීම අනුගමනය කිරීමේ නිදහස, ආර්ථික සුරක්‍ෂිතතාවේ සාරයයි. එසේම බලශක්ති සුරක්‍ෂිතතාව සහ ආර්ථික සුරක්‍ෂිතතාව එකිනෙකා සමඟ සහජයෙන්ම බැඳී ඇත.

රාජ්‍ය අවශ්‍යතා සඳහා භාවිත කරන බොහෝ උපකරණවලින් එකකි රාජ්‍ය තාන්ත්‍රිකභාවය. එනම්  රාජ්‍ය දූත සේවය නැතහොත් තානාපති සබඳතා. එය කිසි විටෙකත් ජාතික ආරක්ෂාවේ සහ ජාතික බලයේ අනෙක් උපකරණවලින් හුදකලා ලෙස ක්‍රියා නොකරයි.  රාජ්‍ය තාන්ත්‍රිකභාවය යනු එක් රාජ්‍යයක් වෙනත් රාජ්‍ය සමඟ විධිමත් ලෙස කටයුතු කරන නිල මාධ්‍යයයි. මෙහිදී එකිනෙකා සමඟ කටයුතු කිරීමේ දී ඒ සඳහා දක්ෂ සහ විචක්ෂණ කාර්යමණ්ඩල යොදවා ගත යුතුය. එම සේවය පලදායී වීමට සහ ජාතික ආරක්ෂාවේ කොටසක් වීමට නම් පුද්ගලයින්ට පෞද්ගලික වරදාන දීම සඳහා රාජ්‍යතාන්ත්‍රික සේවය පාවිච්චි නොකළ යුතුය.

මාධ්‍ය සහ තොරතුරු පදනම රාජ්‍යයේ හතර වැනි කුලුන වන බැවින්, එය සියලු‍ බාහිර හා අභ්‍යන්තර රාජ්‍ය විරෝධී ආඛ්‍යාන හා තේමාවලට එරෙහිව රාජ්‍යයට ආරක්ෂාව සැපයිය යුතුය. සංකල්පීය, මානසික හා දෘෂ්ටිවාදාත්මක කලාප සමඟ සටන් කිරීමට මාධ්‍යයට හැකිවිය යුතුය.  මාධ්‍යය පලදායී, ක්‍රියාශීලී හා වගකීම් සහගත නම්, එය ජාතික ආත්මය හා සමාජයීය බැඳීම් වර්ධනය කරනු ඇත. ඊට පටහැනිව, මාධ්‍යය වඩාත් අවුල් සහගත හා ව්‍යාකූල නම් සමාජ සහ ජාතික බැඳීම් දුර්වල කරනු ඇත. ලිපිය වඩාත් දීර්ඝ වන බැවින් ජාතික ආරක්ෂාවට අදාළ අනිත් දෑ කෙටියෙන් සඳහන් කරමි.

ආරක්ෂාව පිළිබඳ යහපත් දෘෂ්ටිය යනු ජාතික ආරක්ෂාව පූර්ණ ලෙස බැලීම ඉතා වැදගත් කොට සැලකීම ය. මානව ආරක්ෂාවට අමතරව රාජ්‍යයට හා සමාජයට සැලකිය යුතු තර්ජන රාශියක් පැන නඟින බව තේරුම් ගත යුතුය. එසේම මානව සුරක්‍ෂිතතාව ජාතික ආරක්‍ෂාවේ වැදගත් මානයන්ගෙන් එකකි. එය රාජ්‍යය කෙරෙහි අවධානය යොමු කරන සාම්ප්‍රදායික ආරක්‍ෂාවේ වෙනත් ආකාරවලින් තරමක් දුරස් වීමකි. මානව ආරක්ෂාව තුළ එහි මූලික අවධානය ජනයා කෙරෙහි ය. මානව සුරක්‍ෂිතතාවට අදාළව ආර්ථික සුරක්‍ෂිතතාව, ආහාර සුරක්‍ෂිතතාව, ජල සුරක්‍ෂිතතාව, පෞද්ගලික ආරක්‍ෂාව, ප්‍රජා ආරක්‍ෂාව, පාරිසරික හා සෞඛ්‍ය ආරක්‍ෂාව යනාදිය බැඳී ඇත. ආහාර සුරක්‍ෂිතතාවට අනුව කිසියම් රාජ්‍යයක සෑම පුද්ගලයකුටම සෑම විටම මූලික ආහාර සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව තිබිය යුතුය. ආහාර තිබීම නොව බොහෝ විට ගැටලුව වන්නේ ආහාර බෙදාහැරීම දුර්වල වීම සහ මිලදී ගැනීමේ ශක්තිය නොමැතිකමය.

මේ දිනවල ජාතික ආරක්ෂාවේ වැදගත් මුලද්‍රව්‍යය වන්නේ සෞඛ්‍ය සුරක්‍ෂිතතාව ය. සෞඛ්‍ය ආරක්‍ෂාව මගින් ජනතාවට, රෝග සහ සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාවලින් අවම ආරක්‍ෂාව සහතික කෙරේ. කොරෝනා ගෝලීය වසංගතය කියාදෙන පාඩම වන්නේ ජාතික රාජ්‍යවල ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සෞඛ්‍ය ආරක්ෂාව තීරණාත්මක වන බවය. එසේම ජාතික ආරක්ෂාව යනු හුදු මිලිටරි ආරක්ෂාව පමණක් නොවන බවය. සුනාමියෙන් ඉගෙන ගත්තේ නැති පාඩම කොරෝනාවලින්වත් ඉගෙනගත යුතුය. සෙස්ස පස්සට.

කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ,

ධම්ම දිසානායක,