මේ දවස්වල අප ගෙවමින් සිටින්නේ එක්තරා ආකාරයක දේශපාලන නොනගත කාලයකය. ඒ කියන්නේ අලුත් ජනාධිපතිවරයකු පත්වී පරණ පාර්ලිමේන්තුවම පවතින කාලකය. මේ තත්ත්වය හේතුවෙන් අලුතින් ඉදිරිපත් වෙන ව්‍යාපෘති කිසිවක් බිමට ගැනීමේ ඉඩක් ලැබෙන්නේ නැති බව පැහැදිලි කාරණයක්ය. මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණය තෙක් සියල්ලම බලාගෙන සිටින්නේ මේ තත්ත්වයට සාපේක්ෂකවය.

මේ සියල්ල අතර පසුගිය දිනවල මතුවී ඇති රන්ජන් රාමනායක නාටකය මගින් පාර්ලිමේන්තු දේශපාලනය සම්පූර්ණ වශයෙන්ම වෙනත් දිසාවකට තල්ලු කර ඇති බවද සත්‍යයක්ය. දැනට සමාජ මාධ්‍යයේ සැරිසරන ඒ මහතාගේ දුරකතන හඬ පට මගින් පෙන්වන්නේ දැන් කාලයේ මන්ත්‍රීවරයකුගේ ඇත්ත ජීවිතය යනු ඉතාමත් පහත් පෙළේ වැඩවලින් පිරුණු පිරිහුණු එකක් බවය. තවත් පැත්තකින් මේ හඬ පටවලින් පෙනී යන්නේ රටේ උත්තරීතර යැයි සැලකෙන ප්‍රධාන ආයතන සියල්ලක්ම පාහේ ‘ජෝක් එකකට’ ගන්නා ආකාරයක්ය.

අධිකරණයෙන් පටන් ගෙන මාධ්‍යවේදීන් දක්වා සියලුම ක්ෂේත්‍රවල සිටින සමහරුන් තම තමන්ගේ උසස්වීම් හෝ වෙනත් වාසි වෙනුවෙන් දේශපාලකයන් ඉදිරියේ හැසිරෙන්නේ ඉතාමත් පහත් ආකාරයකින් බව මේ හඬ පටවලින් පෙන්නුම් කරන තවත් කාරණයක්ය. මේ නිසා සමාජයේ විවිධ පද්ධති පිළිබඳව රටේ තිබුණු විශ්වාසයත් බරපතළ ආකාරයකින් ප්‍රශ්නයට ලක්වී ඇති බවද සත්‍යයක්ය. මීළඟ පාර්ලිමේන්තුව පත්කර ගැනීම පිළිබඳව සාකච්ඡාවක් රට තුළ මතුවීමට සමාන්තරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිළිබඳව රටේ ගොඩ නැගී ඇති මේ අයහපත් තත්ත්වය හේතුවෙන් මන්ත්‍රී ධුරය පිළිබඳව සමාජයේ තිබෙන පිළිගැනීම තවත් පහතට වැටෙන බව ඉතාමත් පැහැදිලිය.

මේ සටහනින් මා සාකච්ඡා කරන්නේ රන්ජන්ගේ දේශපාලනයේ ස්වභාවය පිළිබඳව නොව මීළඟ මහ මැතිවරණයේ රටේ අවධානය යොමු විය යුතු වැදගත්ම කාරණා කීපයක් පිළිබඳවය. ඒ කියන්නේ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ අවධානයට යොමු විය යුතු කාරණා කීපයක් පිළිබඳවය.

ඉදිරි මහමැතිවරණයේදී අපගේ අවධානයට යොමු විය යුතු කාරණා අතරින් මේ මොහොතේ රට මුහුණ දෙමින් සිටින අභියෝගවලට පදනම් වී ඇති මූලික ගැටලු දෙකක් පිළිබඳව අපගේ අවධානයට ගත යුතු බව මගේ අදහසයි. ඒ අතරින් පළමු ගැටලුව වන්නේ අපේ රටේ ආර්ථිකයේ වර්තමාන හැසිරීම තේරුම් ගනිමින් එය ධනාත්මක දිසාවට සංවර්ධනය කිරීමට හා කළමනාකරණය කිරීම සඳහා යොදා ගතයුත්තේ කුමන ආකාරයේ උපාය මාර්ගයක්ද යන කාරණයයි. ඒ කියන්නේ රටේ ආර්ථිකය වර්ධනය කරන්නේ කෙසේද යන කාරණයය. අප මුහුණ දෙමින් සිටින දෙවැනි ප්‍රධාන අභියෝගය වන්නේ නිදහසින් පසු මේ රටේ රාජ්‍යයේ ව්‍යුහය සකස් විය යුත්තේ කුමන ආකෘතියක් පදනම් කර ගනිමින්ද යන ගැටලුව ලිහා ගැනීමයි. සරලව කිවහොත් මේ මොහොතේ අප රටක් ලෙසින් අප ඉදිරියේ තියෙන්නේ ආර්ථිකයේ පදනම පිළිබඳව සිතිය යුතු  හා ව්‍යවස්ථාවේ පදනම පිළිබඳව සිතිය යුතු අභියෝග දෙකක් බව පළල් ආකාරයකින් බැලූ විට පෙනී යන කාරණයය.

නිදහසින් පසු කාලයේ අපේ රටේ දේශපාලනයේ මේ ගැටලු දෙක වෙන වෙනම එක එක ආකාරයෙන් උඩට මතුවී යළිත් යටට ගොස් තිබුණත් මේ අර්බුද දෙකම එකක් ලෙසින් යළිත් වතාවක් මැතිවරණ දේශපාලනයට ඉදිරි මහමැතිවරණයත් සමගින් පැමිණෙන බව මගේ තේරුම් ගැනීමයි. මේ ගැටලු මතුවන්නේ මේ වන විට නිමාවී ඇති ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති පදනමට සාපේක්ෂකව බව ද මෙහිදී තේරුම් ගත යුතු තවත් කාරණයක්ය. පසුගිය ජනාධිපතිවරණය පුරාවට මෙහිදී අපගේ අවධානයට ලක්විය යුතු දෙයක් වන්නේ මේ ගැටලු දෙක එකක් ලෙසින් මීට පෙර අවස්ථා දෙකකදී එනම් 1970 සහ 1977 මැතිවරණවලදී කරළියට පැමිණි බවයි. ඒ අවස්ථා දෙකේදීම ඒ ඒ මැතිවරණ  පුරාවටම  සාකච්ඡා වුණේ රටේ ආර්ථිකයේ ව්‍යුහයම වෙනස් කර අලුත් මාදිලියක් හඳුන්වාදීමත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර අලුත් ආණ්ඩුක්‍රමයක් හඳුන්වාදීමත් යන කාරණා දෙක බව අප හැමෝම දන්නා කාරණයක්ය. 1970 සමගි පෙරමුණේ ආණ්ඩුව රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථිකයක් හෙවත් සංවෘත ආර්ථිකයක් හා නව ව්‍යවස්ථාව (72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව) හඳුන්වා දුන්නේ මේ ප්‍රශ්න දෙකට ලබා දෙන පිළිතුරක් ලෙසින්ය. මීට අමතරව 78 තත්ත්වයත් එසේමය. වෙළෙඳපොළට සම්පූර්ණයෙන්ම යටත් වූ විවෘත ආර්ථිකයක් සහ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් (78 ව්‍යවස්ථාව) හඳුන්වා දෙමින් 1977 ජයවර්ධන ආණ්ඩුව උත්සාහ කළේ මේ ප්‍රශ්න දෙක විසඳන්නටය.

මේ උත්සාහයන් දෙකම ජයග්‍රහණ කීපයක් හා පරාජයන් රාශියක් උරුම කරගනිමින් නිමාවට පත්වූ බව මගේ නිරීක්ෂණයයි.

70 ආණ්ඩුවේ ආර්ථිකමය උත්සාහයේ ජයග්‍රහණ ලෙසින් පෙන්නුම් කළේ රාජ්‍යය නිෂ්පාදන ආර්ථිකයේ යම් වපසරියක් (Production Economy) වෙතට ගමන් කරමින් විශාල ආකාරයේ සංස්ථා හා වෙළෙඳ ආයතන පද්ධතියක් රටේ ආර්ථිකයට එක් කිරීමත් සේවක භාරකාර අරමුදල් තර කරමින් රටේ රාජ්‍ය අංශයේ ශක්තිමත් පදනමක් ගොඩනැගීමත් වැනි ක්ෂේත්‍රයන්ය. එසේම ජනතා සුභසාධන ආකෘතිය වඩාත් ඉදිරියට ගෙන යන ආකාරයේ මහජන සේවා රාශියක් හඳුන්වාදීමටත් ඒවා ශක්තිමත් කිරීමටත් ඒ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය මගින් විශාල ශක්තියක් සැපයුවේය.

එහෙත් 70 ආණ්ඩුවේ ආර්ථිකයේ තිබූ අර්බුදය ලෙසින් මතුවූයේ දැඩි මධ්‍යගතභාවය හා සංවෘත ආර්ථික දර්ශනයක් හේතුවෙන් ව්‍යවසායකත්වයේ ඇති වූ බරපතළ කඩා වැටීමයි. එපමණක් නොව රාජ්‍යයේ මැදිහත්වීමෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ තරගකාරී ලෙසින් ගොඩ නැඟිය හැක්කේ කුමන  ක්ෂේත්‍රවල ද යන කාරණය නිශ්චිතව හඳුනාගැනීමට නොහැකිවීම හේතුවෙන් සහ සංවෘත ආර්ථිකය නිසා ගොඩ නැඟුණු භාණ්ඩ හිඟය වැනි පීඩාකාරි තත්ත්වයන් හේතුවෙන් ඒ ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නට මේ රටේ බහුතර ජනතාව තීරණය කළ බව ඉතිහාසයෙන් අපට පෙන්නුම් කරන සත්‍යයෝය. මීට අමතරව 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් යෝජනා කරන ලද නව ආණ්ඩුක්‍රමය වෙනස් කරන්නට ඊළඟට පැමිණි ජයවර්ධන ආණ්ඩුව කටයුතු කළ නිසා ඒ ආණ්ඩුක්‍රමය අත්හදා බලන්නටවත් කාලයක් රටට තිබුණේ නැත.

1977 ජයවර්ධන ආණ්ඩුවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම පදනම් කළේ විවෘත වෙළෙඳ පොළ (Open Economy) ආකෘතියක් මතවීම නිසා යම් ආකාරයක ඉස්පාසුවක් හා පීඩනය අවමවීමක් වෙළෙඳපොළ තුළින් පෙන්නුම් කළත් ඒ ආර්ථික ක්‍රමය මගින්  දිගුකාලීනව රට තල්ලු වූයේ ආර්ථික ස්ථාවරත්වය හීන වූ සහ විදේශ ණය උගුලක හිරවූ තත්ත්වයක් වෙතටය. ඒ කෙසේ වෙතත් 77 ආර්ථික උත්සාහයෙන් ලැබූ සීමිත ජයග්‍රහණ අතර මහවැලි ව්‍යාපෘතිය වැනි දැවැන්ත සංවර්ධන ක්‍රම සහ ලෝකයේ තරගකාරිත්වයට ගැළපෙන ආකාරයේ නෛතික පදනමක් මේ රට තුළ ගොඩනැඟීමට අවශ්‍ය වන අණ පනත් ගණනාවක්ම ගෙන ඒම වැනි දේ හඳුනාගත හැකිය. 70 ආණ්ඩුවේ ආර්ථික මාදිලියේ ගැටලුකාරිත්වයක් වූ බරපතළ මධ්‍යගතභාවය හා ව්‍යවසායකත්වය  මොටවීම වෙනුවට 77 ආණ්ඩුවේ ආර්ථික මාදිලියෙන් හඳුන්වාදුන්නේ දැඩි වෙළෙඳපොළවාදයක් සහ දේශීය වෙළෙඳ ප්‍රජාව ක්ෂේත්‍රයෙන් ඉවත් කරමින් එතෙරට විවෘත වූ ව්‍යවසායකත්වයක්ය.

එසේම රටේ පැවති සුභසාධනමය වූ ක්ෂේත්‍ර විශාල සංඛ්‍යාවක් විනාශවීමත් රාජ්‍ය සංස්ථා සියල්ලම පාහේ වැසීයාමත් වැනි බරපතළ විපාක ගණනාවක්ම මතුවූයේ ඒ ආර්ථිකමය මාදිලිය හේතු කරගනිමින්ය. රට තුළ මේ තත්ත්වය තුළ ඇති කළ ආතතිය 1989 තරුණ කැරැල්ලකටත් පාර කැපූ බව ඉතිහාසයෙන් පෙන්නුම් කරන සත්‍යයෝය. 78 හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා නව මැතිවරණ ක්‍රමයක් හා විධායක බලයේ අලුත් තත්ත්වයක් ගොඩනැඟීම වැනි දේවල් එක් පැත්තකිනුත් සුළු ජාතික ගැටලුව උත්සන්නවීම තවත් පැත්තකිනුත් පෙන්නුම් කළේ රටේ ව්‍යවස්ථාමය ආකෘතියේ බරපතළ අර්බුදයක් ආරම්භ වූ බවයි. 1983-2009 කාලය පුරාවට උතුරේ මතුවී මුළු රටම ගිනිගත් ත්‍රස්තවාදී අර්බුදය මේ ව්‍යවස්ථා අර්බුදයේ එක ප්‍රකාශනයක් බව කීමේ වැරැද්දක් නැත.

1989 ප්‍රේමදාස ආණ්ඩුවට ගැටෙන්නට වූයේ 78 ආර්ථිකයෙන් බිහිවූ දකුණේ කැරැල්ල පරාජය කරන්නට වීමත් 2005 රාජපක්ෂ ආණ්ඩුවට ගැටෙන්නට වූයේ 78 ව්‍යවස්ථාවෙන් බිහි වූ උතුරේ කැරැල්ල පරාජය කරන්නට වීමත් සමහරුන් පිළිගන්නට අකැමැති 77 ජයවර්ධන පාලනයේ භයානක පැත්තේ කතාවය.

දැන් මීළඟට පත් වෙන්නට නියමිත ආණ්ඩුව නැවත වතාවක් මුහුණ දෙමින් සිටින්නේ 70 සහ 77 මෙන් ආර්ථික ප්‍රශ්නයත් ව්‍යවස්ථාමය ප්‍රශ්නයත් යන ප්‍රශ්න දෙකම එකට ගැට ගැසී ඇති අර්බුද දෙකක් විසඳීමේ අභියෝගයට යැයි කීමේ වැරැද්දක් නැත. ඒ අභියෝගය ජය ගන්නට නම් ආර්ථිකය සම්බන්ධව 70 ආණ්ඩුවේ හා 77 ආණ්ඩුවේ වැරැදි උපක්‍රම අත් හරිමින් නිවැරැදි උපක්‍රම රැකගනිමින් ගොඩනැඟෙන නව ආර්ථික දැක්මක් නිර්මාණය කර ගැනීම අනිවාර්ය සාධකයක්ය. දෙවනුව ව්‍යවස්ථාපිත ක්ෂේත්‍රයේ අභියෝග ජයගත හැකි ආකාරයේ විප්ලවීය ව්‍යවස්ථාමය වෙනසක් යෝජනා කරන ආකාරයේ දැක්මක් සහිත ස්ථාවරයක් ගොඩනඟා ගැනීම අනිවාර්යය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන මගින් ආමන්ත්‍රණය කරනු ලබන ප්‍රමුඛ කලාපය වන්නේ රටට අලුත් ආර්ථිකයක් සැදීමය. එසේ රටේ රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීම මේ වැඩපිළිවෙළේ මීළඟ පියවරය. ඒ පිළිබඳව පළල් සාකච්ඡාවක් කිරීම ඉදිරි මැතිවරණ දේශපාලනයේ සාකච්ඡාවේ පදනමය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය චරිත හේරත්