ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2012 න් පසුව පැවැතියේ දිගින් දිගටම අඩාල වෙමිනි. විශේෂයෙන්ම යුද්ධය නිමාවෙන් පසුව 8%ක පමණ වර්ධන වේගයක් වාර්තා කළ මෙරට ආර්ථිකය 2012 දී 6.4% ක් හැටියට පහළ වැටී 2019 වනවිට 2.3% දක්වා අන්තිම පහළ අඩියකට වැටුණි. අපනයන අංශය මෙන්ම විදෙස් ආයෝජන ගලාඒම කඩාවැටීම හා රටේ ණය බර විශාල ලෙස වැඩිවීම නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය කලක් තිස්සේම යම් අර්බුදකාරී තත්ත්වයක පැවැතියේ නම් මෙකී තත්ත්වය විසින් සිදුකරනු ලැබුවේ එය තීව්‍ර කිරීමය. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හා කොවිඩ්-19 වසංගතය නිසා දැන් සිදුව තිබෙන්නේ එකී නරකම තත්ත්වයෙන් ද පහළට අපේ රටේ ආර්ථිකය ගමන් කරමින් තිබීමය.  

ආර්ථික අර්බුදයේ ගැටලු පෙළගැස්වුවහොත් එහි ඉදිරියෙන්ම ඇති කාරණයක් වන්නේ විදෙස් ණයයි. මෙම වසරේ පමණක් රුපියල් බිලියන තුනකට වැඩි විදෙස් ණය කන්දක් අපට හිමිය. මෙම ණය ගෙවීම සඳහා අවශ්‍ය ඩොලර් ඉපැයීම දැන් තිබෙන්නේ පහළම මට්ටමේය. විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ඉපැයීම් පහළ වැටීම, සංචාරක ව්‍යාපාරයේ කඩාවැටීම හා විදේශ ආයෝජන පහළ වැටීම මෙම තත්ත්වයට බලපා තිබේ. විදෙස් නියෝජිතයන් මුණගැසුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා ණය සම්බන්ධයෙන් කාල විරාමයක් ලබාගැනීමේ හැකියාව ගැන විමසා බැලුවේ එහෙයිනි. එයින් පෙනෙන්නේ තවත් අවුරුදු පහක කාලයක්වත් ගෙවෙන තුරු විදේශ ණය මත පදනම් වූ සංවර්ධන ව්‍යාපෘති හරහා මෙරට ආර්ථිකය තල්ලු කිරීමේ හැකියාවක් නැති බවය. අනෙක් අතට කෙටි කාලයක් ඇතුළත අපනයන හා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට හැකියාවක් අපට නැත. ඒ අනුව ලංකාවේ ආර්ථිකය ඉදිරියට තල්ලු කිරීමට නම් ණය නොවන විදේශ ආයෝජන හා විදේශ ආධාර යන අංශය කෙරෙහි සැලකිල්ල යොමුකිරීමට සිදුවේ. වරාය නගර ව්‍යාපෘතිය වැනි සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති රීති සකස් කිරීම් කඩිනම් කිරීමත් එම්.සී.සී වැනි ආධාර වැඩසටහන් ගැන අවධානය යොමුකිරීමත් අවශ්‍ය වන්නේ මෙම සන්දර්භයෙහිය. සැබැවින්ම මෙම තත්ත්වයෙන් ගොඩඑන්නට නම් සියල්ලට පෙර අප පවත්නා ආර්ථික යථාර්ථය තේරුම්ගත යුතුය. විදේශ ආධාර හා විදේශ ආයෝජන මත පදනම් වූ සංවර්ධන ව්‍යාපෘතියකට ඉඩදීමේ අත්‍යවශ්‍යභාවය අවබෝධ කරගත හැක්කේ ද එවිටය.

කොවිඩ්-19 පරිසරයෙහි ස්වයංපෝෂිත ආර්ථිකයක් සකස්කිරීම ගැන සාකච්ඡාවක් නිර්මාණය විය. සැබැවින්ම දේශීය වශයෙන් නිපදවිය හැකි දේ නිපදවීමට යොමුවීමේ වරදක් නැත. එහෙත් වියයුත්තේ එම පරිසරය සකස් කිරීම සීමාසහිත තත්ත්වයක නිශ්චිත කාරණාවලට අදාළ කරගනිමින් අපනයන ප්‍රවර්ධනයට බර තැබීමය. විදේශ වෙළෙඳපොළට භාණ්ඩ සපයන්නේ නැතිව අපනයන ප්‍රවර්ධනයකින් තොරව මෙරට ආර්ථිකයෙහි ඉදිරි පිම්මක් පැනීමට අවස්ථාවක් ඇතැයි සිතිය නොහැක. වරාය නගරය සංවර්ධනයට අවශ්‍ය මහා පරිමාණ ආයෝජන ගෙනඒමේදී ලංකාවේ ව්‍යාපාරික පරිසරය වැදගත්ය. එනම් ජාත්‍යන්තරයෙහි ලංකාවට ඇති ප්‍රතිරූපයයි. ජාත්‍යන්තර ප්‍රතිරූපය හා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා යනු විදෙස් ආයෝජන ගලාඒමේ ප්‍රධාන සාධකයි. එම්.සී.සී. ගිවිසුම ප්‍රතික්ෂේප කිරීම හා ඊට අනුබද්ධිතව සිදුවන ක්‍රියාකාරකම් නිසා ලංකාව ජාත්‍යන්තරයෙහි යම් ආකාරයක ප්‍රතික්ෂේප වීමක් හෝ ලංකාවට ආධාර කරන රාජ්‍ය සමග විරසකයකට මගපෑදීමක් වුවහොත් එය අනර්ථයකි.

ආර්ථික වශයෙන් ලංකාව මත එල්ල වී ඇති පීඩනය තවත් තීව්‍ර කරන මගක් බවට වුව එය පත්වීමට හැකිය. වරාය නගරය වැනි සංවර්ධන ව්‍යාපෘතිවලට විදෙස් ආයෝජන කැඳවාගැනීමේදී එය ඍජුව බලපානු ඇත. එම්.සී.සී. හා වරාය නගර ව්‍යාපෘතිය එකම සන්දර්භයක තබා තේරුම් ගත යුතු යැයි පෙරදීත් මා අවධාරණය කළේ එහෙයිනි. රටට නොගැළපෙන යම් දේවල්වලින් තොරව ගිවිසුම සම්බන්ධයෙන් එකඟතාවට පැමිණිය හැකි නම් රටේ අනාගත ආර්ථික සංවර්ධනය විෂයෙහි එවැනි ව්‍යාපෘතියක් සමග ඉදිරියට යෑම ඉතා වැදගත් වනු ඇත.

කොවිඩ්-19 වයිරසය ඍජුවම ඉල්ලුම් අංශයට මෙන්ම සැපයුම් අංශයට ද බලපෑමක් එල්ල කළේය. එහිදී ලෝක වෙළෙඳපොළෙහි සැපයුම් අංශය කඩාවැටීම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඍජුවම බලපෑම් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ පුරෝකථන අනුව ලෝක ආර්ථිකය යථාවත් වීම 2024 දක්වා දිග්ගැස්සීමට පුළුවන. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න පහසුවෙන් විසඳෙනු ඇතැයි මෙම තත්ත්වය මත අපට අපේක්ෂා කළ නොහැකිය. මේ නිසා විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබුණු විශාල ආදායමක් අපට අහිමි වනු ඇත. සංචාරක ක්‍ෂේත්‍රය ද මීට වෙනසක් නැත. සංචාරක කර්මාන්තය පෙර පරිදි කෙටි කලෙකින් හිස ඔසවනු ඇති බවට ද කිසිදු සාධකයක් නැත. මහා පරිමාණ විදෙස් සංවර්ධන ව්‍යාපෘතියක් මගින් රැකියා උත්පාදනය ගැන අප කල්පනා කළයුත්තේ එහෙයිනි. එහිදී ප්‍රතිපත්ති සම්පාදකයන්ට සිතන්නට වෙන්නේ එවැනි මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම සඳහා අවශ්‍ය අඩිතාලම හා පරිසරය නිර්මාණය කිරීමය. ඉහළ යන විරැකියා අනුපාතයට පිළිතුරු සොයාගැනීමට ද එය මගක් කරගත හැකිය. උදාහරණයකට ගතහොත් ලෝක බැංකුවේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 70% ක් නියෝජනය කරන්නේ අවිධිමත් අංශයයි. කොවිඩ්-19 වයිරසයෙහි වැඩියෙන්ම ආර්ථික වශයෙන් බැට කෑ පිරිසක් බවට පත්වූවෝ මොවුහුය. දෛනිකව ආදායම් උපයන මේ මිනිසුන්ට සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් නොමැතිවීම එම තත්ත්වයට බලපෑ ප්‍රධාන හේතුවයි. අනෙක් අතට අවිධිමත් අංශයේ සේවය කරන්නන්ගේ ඉතිරි කිරීම් තිබෙන්නේ අන්තිම පහළ අඩියකය. කොවිඩ්-19 විසින් ඔවුනගේ ඉපැයීම් ද අහිමි කරනු ලැබූ පරිසරයක දැන් ඔවුන් සිටින්නේ කබලෙන් ළිපට වැටී යැයි කීමේ වරදක් නැත. ඒ නිසා මෙවැනි ආර්ථික සමාජ කණ්ඩායම් ද සියල්ල ආවරණය වන පරිදි සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සැකැසීම ගැන රජයේ අවධානය යොමු විය යුතුය. මන්දයත් දැනට පවතින සමාජ ආරක්ෂණ වැඩසටහන්වලින් මෙකී අවිධිමත් අංශයට රැකවරණයක් ලැබෙන්නේ නැති බැවිනි.  

පවතින කොවිඩ්-19 පරිසරයෙහි මුළු ලෝකයම ආර්ථික අර්බුදයක ගැලී ඇතැයි පොදු මතයක් තිබේ. කරුණක් හැටියට එහි සත්‍යතාවක් ඇතත් ණය නොවන ආකාරයට ආධාර දීමේ හැකියාවට සීමාවක් පැන වී ඇතැයි එයින් කියැවෙන්නේ නැත. ලෝක වෙළෙඳපොළෙහි පොලී අනුපාතිකය මේ වනවිට තිබෙන්නේ පහළ වැටීය. ලෝක ආර්ථික අවපාතයෙහි පැවැති මට්ටමට සමාන තත්ත්වයකය. එයින් කියැවෙන්නේ විශාල ද්‍රවශීලතාවක් ලෝක ප්‍රාග්ධන වෙළෙඳපොළෙහි පවතින බවය. සංවර්ධිත රටවලට මෙම තත්ත්වයෙහි ණය ලබාදීම මෙන්ම මූල්‍යාධාර ප්‍රදානවලට මෙන්ම ණය සම්බන්ධයෙන් කාල විරාම ප්‍රදානයේ හැකියාවක් වුවමනාවටත් වඩා තිබේ. එනිසා අප රටක් හැටියට කළයුත්තේ දැනට අපට ලබාගත හැකි දේ සූක්ෂ්ම ලෙස ලබාගැනීම ගැන සිතීමය. රටක පවත්නා ආයතනික ව්‍යුහය වෙනස් වෙන්නේ එකී සමාජය අර්බුදවලට මුහුණ දෙන විටදීය. ඒ සමගම එකී අර්බුදයට සාමූහිකව මුහුණ දීමේ අවශ්‍යතාව ද මතුවේ. එකී සුවිශේෂී තත්ත්වය හමුවේ ඇතිකරගන්නා සහයෝගිතා සාමාන්‍ය තත්ත්ව යටතේ ද පවත්වා ගත යුතු යැයි එයින් අත්‍යවශ්‍යයෙන්ම කියවෙන්නේ නැත. එහෙත් සුවිශේෂී තත්ත්වයකදී වුව නිර්මාණය වන සාධනීය ක්‍රියාකාරකම් ඉදිරියට නඩත්තු කිරීම ගැන අපට විවාදයක් තිබිය යුතු නැත. ඊට හොඳම උදාහරණය නම් අන්තර්ජාලය හරහා අධ්‍යාපන මාධ්‍ය සකස් කරගැනීම හෙවත් ඔන්ලයින් අධ්‍යාපනයයි. යම් සීමාකාරී පරිසරයක මධ්‍යයේ වුවද මේ වනවිට ඔන්ලයින් අධ්‍යාපනය ඉදිරිගාමී පියවරක් මෙරට තබා තිබේ. ඉතින් සාමාන්‍ය කාලපරිච්ඡේදයක ආරම්භයේදී අප එයින් සම්පූර්ණයෙන්ම බැහැර නොවී එහි ඇති සාධනීය දේ උකහාගැනීම කළ යුතුය.

ආර්ථික කඩාවැටීමේ ප්‍රමුඛම හේතුව නම් සැපයුම් අංශය අඩාලවීමය. සැපයුම් අංශයෙහි ප්‍රධාන ප්‍රශ්නය නම් නිෂ්පාදකයාට අවශ්‍ය අරමුදල් හෙවත් ක්‍රියාකාරී ප්‍රාග්ධනය මදිකම යැයි සිතුවහොත් ණය දීම පුළුල් කිරීම හරහා අවශ්‍ය ද්‍රවශීලතාව නිර්මාණයට හැකියාව තිබේ. උදාහරණයකට කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීමට හෝ තොග පවත්වාගැනීමට හෝ සේවකයන්ට වැටුප් ගෙවීමට මුදල් නොමැති නම් ඒ සඳහා අවශ්‍ය මුදල් සැපයීමට බැංකු අංශයෙහි ණය පුළුල් කිරීමෙන් කළ හැකිය. එහෙත් සැපයුමට අමතරව ඉල්ලුමෙහිද ප්‍රශ්නයක් තිබුණහොත් එය අර්බුදයකි. සරලව කිවහොත් හෝටලය විවෘත කර සේවකයන්ට ද පඩිනඩි ගෙවා ආහාර සකස් කර පිරිනැමීමේ හැකියාව හිමිකරුට ඇතත් හෝටලයට සංචාරකයන් නොපැමිණෙන්නේ නම් ඉල්ලුමේ ද අවුලක් ඇත. සේවකයන්ට ද කෙසේ හෝ වැටුප් ගෙවා භාණ්ඩ නිෂ්පාදනය කළ පසු අපනයනයට ඇණවුම් නොලැබෙන්නේ නම් එය ද ඉල්ලුමේ ප්‍රශ්නයකි. එනිසා ආර්ථිකයෙහි සැපයුම් අංශයට අදාළ සංරෝධක ඉවත් කරන අතරේම ඉල්ලුම සකස්කිරීමට අවශ්‍ය පරිසරය ද සැකැසිය යුතුවේ. නොඑසේව සැපයුම විසින්ම ඉල්ලුම නිර්මාණය කරනු ලැබේ යැයි සිතීම යෝග්‍ය නොවේ. එනිසා ණය ප්‍රසාරණය කළයුත්තේ ආර්ථිකයෙහි ඉල්ලුම් අංශය ගොඩනැංවීමට ප්‍රතිචාරිකවය. එසේ නොකළහොත් සිදුවන්නේ හිඟ ප්‍රාග්ධන සම්පත් ඵලදායී නොවන අංශවලට ගලායාමය.

උදාහරණයකින් පැහැදිලි කළහොත් 4% පොලියට ණය ලබාගත් තැනැත්තා එය ආයෝජනය කරනු වෙනුවට ඉඩමක් වැනි වෙනත් වත්කමක් මිලදී ගැනීමක් හෝ මෝටර් රථයක ලීසිං මුදල් ගෙවීමට හෝ පාවිච්චි කළහොත් එයින් අපේක්ෂිත අරමුණ ඉටුවන්නේ නැත. මේ නිසා අරමුදල් සුලබ කිරීම කළයුත්තේ ඵලදායී නොවන අංශවලට ගලායාමට ඇති ඉඩ වළක්වන අතරේ බව අවධාරණකටයුතුය. විවේචන එල්ල වුවද මහ බැංකුව ණය සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටියේ මෙම ප්‍රතිපත්තියයි.

අනෙක් අතට ඵලදායී නොවන අංශවලට එසේ අරමුදල් ගලායාම් දිගටම සිදුවුවහොත් ණය ආපසු අයකරගැනීමේදී බැංකු ද වැටෙනු ඇත්තේ අමාරුවේය. මහ බැංකුවට වුව ආර්ථිකයට මැදිහත්වීම් කළ හැකි සීමාවක් තිබේ. රැඩිකල් ලෙස තීන්දු ගැනීමට වඩා සංතුලනාත්මක ලෙස ආර්ථිකය හැසිරවීම ගැන මහ බැංකුව කල්පනා කරන්නේ ඒ නිසාය. යම් හෙයකින් ගන්නා තීන්දු තීරණ නිසා රටේ උද්ධමනකාරී තත්ත්වයක්, විදේශ විනිමය අනුපාතිකයට බලපෑමක් එල්ලවුවහොත් එහි වගකීම පැවරෙනු ඇත්තේ ද අවසන මහ බැංකුවටය. එනිසා පවතින තත්ත්වයෙහි සීරුමාරුවට තීන්දු ගැනීම හැරුණු විට ක්ෂණික විපර්යාසවලට මහ බැංකුවට ඉඩක් කොහෙත්ම නැත. විශේෂයෙන්ම සැපයුම මෙන්ම ඉල්ලුම ද කඩා වැටුණු ආර්ථිකයක ක්ෂණික නූඩ්ල්ස් මෙන් වැඩපිළිවෙළකට ඉඩක් නැති වග අප අමතක කළ යුතු නැත.  

ලෝක බැංකුව පවසන පරිදි ශ්‍රී ලංකාව හමුවේ මේ මොහොතේ ඇති අභියෝගය කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කර තැබීමයි. ලෝක බැංකුව අනතුරු අඟවා සිටියේ එහි ව්‍යාප්තිය දීර්ඝ කාලයක් පැවතියහොත් තවදුරටත් ගමනාගමන සීමා පැනවීමට එය හේතු විය හැකි බවත් එමගින් ආර්ථික සහ සේවා වෙළඳපොළට දැඩි බලපෑම් එල්ල විය හැකි බවත්ය. අඩ සියවසක ඉතිහාසයෙහි දකුණු ආසියාවේ ආර්ථික ප්‍රගමනයෙහි නරකම තත්ත්වය අපට ද බලපෑම් කිරීම ගැන පුදුම විය යුතු නැත. එහෙත් මෙවැනි අර්බුදකාරී පරිසරයක ජනප්‍රිය දේශපාලන දෘෂ්ටිවාද මෙන්ම ආර්ථික විද්‍යාවේ නියාම ධර්ම ගැන ද එපමණටම බර තැබීම ද අත්‍යවශ්‍යය.

*** සටහන - බිඟුන් මේනක ගමගේ