එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පවතින සාකච්ඡා අතරින් මේ දිනවල ඉදිරියට පැමිණ ඇති ප්‍රධාන එකක් වන්නේ තුන්වැනි අපේක්ෂකයකු අවශ්‍යද කියන කාරණයයි. මේ පිළිබඳව කතා කරන අය එයින් අදහස් කරන්නේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකටම වෙනස් ආකාරයේ අපේක්ෂකයකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතුද යන ප්‍රශ්නයයි. මේ සාකච්ජාව අද ඊයේ ආරම්භ වූ එකක් නොව 2015 යහපාලනයැයි කියන මේ ආණ්ඩුව පත්වූ දවස්වල සිටම එක්තරා කණ්ඩායමක් ඉදිරිපත් කළ අදහසක් බව පිළිගැනීම නිවැරැදි බව මගේ අදහසයි.

මේ කියන තුන්වැනි අපේක්ෂකයකු පිළිබදව කාරණය පිළිබඳව මෙ සතියේ සටහනින් ලියන්නට අදහස් කළේ ඒ  පිළිබඳව මතුකර ගත යුතු වැදගත් කරුණු කීපයක්ම සමාජයේ විවිධ ක්ෂේත්‍ර තුළින් මතුවෙමින් පවතින නිසාවෙනි.

මෙතැන තුන්වැනි අපේක්ෂකයකු යනුවෙන් අදහස් කරන්නේ ප්‍රධාන ධාරා දෙකේ අපේක්ෂකයන් දෙදෙනාගෙන් නවතින්නේ නැතිව ඒ දෙකටම විකල්පයක් ලෙසින් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුය යන අදහසයි. මේ කාරණය ලංකාවේ ජනාධිපතිවරණ මැතිවරණවල සමහර අවස්ථාවල  අත්හදා බලා තිබූ උපක්‍රමයක් වූ බවද මෙහිදී සඳහන් කළ යුතුය. විධායක ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීමට පළමුවෙන්ම මැතිවරණයක් පැවතියේ 1982 වර්ෂයේය. ඒ ජනාධිපතිවරණයේදී එජාපයේ ජයවර්ධන මහතාත් ශ්‍රීලනිපයේ කොබ්බෑකඩුව මහතාත් යන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට එරෙහිව ජවිපෙ විජේවීර මහතාත් සමසමාජයේ කොල්වින් ආර්. ද සිල්වා මහතාත් තුන්වැනි අපේක්ෂකත්වයට තරග කළ බව සමහරුන්ට තවමත් මතකය. ඒ ජනාධිපතිවරණයේ දී කිසිවකු තුන්වෙනි අපේක්ෂකත්වය හරහා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක්  අයකුව පරාජයට පත්කිරීමේ උත්සාහයකින් ඉදිරිපත් වූ බවත් පෙනුණේ නැති බවද මෙහිදී සඳහන් කළ යුතුම කාරණයකි. එහෙත් 1988 පැවති දෙවැනි ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම එරෙහිව යැයි කියමින් ඉදිරිපත්වූ ඔසී අබේගුණසේකර මහතා නියමවත් අනියම්වත් පෙනී සිටියේ එජාපයේ අපේක්ෂකයා වූ ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බව ඒ කාලයේ දේශපාලනය ගැන දන්නා අය පිළිගන්නා කාරණයක්ය. ජවිපෙ මුල්කරගත් බලවේගය විසින් දියත් කරන ලද බරපතළ භීෂණය යටතේ පැවැති ඒ ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයට ඔසීට කැඩුණු ජන්ද ලක්ෂ දෙක විශාල වශයෙන් බලපානු ලැබූ බව පිළිගැනීම ඉතාමත් නිවැරැදිය.

1994 ජනාධිපතිවරණයේ සිට මේ දක්වාම පැවැති හැම එකකම පාහේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට අමතරව වෙනත් අපේක්ෂකයන් ජනාධිපති තරගයට ඉදිරිපත් වූ නමුත් ඒ එක්කෙනකුවත් බරපතළ ආකාරයේ බලපෑමක් මූලික ප්‍රතිඵල කෙරෙහි සිදුකළේ නැති බව මගේ නිරීක්ෂණයය. ඒ හැම වතාවකම ඡන්දදායක ප්‍රවණතාව දෙකට බෙදී ගිය අතර ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ පරතරය පියවන ආකාරයේ ඡන්ද පදනමක් ලැබුණු තුන්වැනි අපේක්ෂකයෙක් පැමිණියේ නැත. ඒ නිසාම මේ කියන තුන්වැනි අපේක්ෂක කථාව හුදු ප්‍රධාන පක්ෂ දෙකේ අය විසින්ම තමන්ගේ ඡන්ද කටයුතු සඳහා වැඩි කාර්යාල ගණනක් දැමීමට හා ඡන්දපොළ නියෝජිතයන් වැඩි කර ගැනීමට යොදා ගනු ලැබූ උප්පරවැට්ටියක් පමණක් වූ බව ඉතාමත් පැහැදිලි කාරණයකි.

මා මුලින් කීවාක් මෙන් මෙවර මේ කියන තුන්වැනි අපේක්ෂකයකු පිළිබඳව වන සාකච්ඡාව මුලින්ම ආරම්භ වූයේ 2015 ජනවාරිය නිමාවීමත් සමඟමය. ඒ ජනාධිපතිවරණයේ යහපාලන කථා කියමින් බලයට පැමිණි ආණ්ඩුව පළමු මාස කීපයේදීම මහ බැංකුවේ මුල්‍ය ගනුදෙනුව හරහා බරපතළ වංචාවකට හසුවීම හේතුවෙන් වික්ෂෝපයට පත් සමහරුන් ඒ දවස්වල සිටම තුන්වැනි අපේක්ෂකයකු පිළිබඳව කතාව සමාජගත කරන්නට පටන් ගත් බව සැබෑවක්ය. මේ කාරණයට තවත් උත්තේජනයක් ලැබුණේ ප්‍රංශයේ පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රධාන පක්ෂ දෙකටම පිටින් තරග කළ අපේක්ෂකයා ජයගැනීම වැනි ජාත්‍යන්තර තත්ත්ව හේතුවෙන්ය.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන ධාරා  දෙකේ අපේක්ෂකයන්ට හා ඒ බලවේගවලට බරපතළ විවේචනයක් ගෙනා චරිත ගණනාවක්ම පසුගිය වසර තුන හතර තුළ මේ රටේ මතුවෙන්නට පටන් ගත්තේය. ඒ අතරින් මුලිකයන් ලෙසින් පෙනී සිටියේ පල්ලේවත්ත නාගානන්ද කොලොන්නේ වින්‍යා ආරියරත්න වැනි මහත්වරුය. ඒ අයගේ මතවාද මුලදී මතුවූයේ ඒ ඒ පුද්ගලයන්ගේ පෞද්ගලික ප්‍රකාශන ලෙසින් වන අතර පසුව ඒ පුද්ගල චරිත කීපයම කණ්ඩායමක් ලෙසින් එකතුවූ බව පසුගිය දවස්වල දක්නට ලැබුණු තත්ත්වයක්ය. දැන් ‘ජාතික ජනතා ව්‍යාපාරය’ ලෙසින් පෙනී ඉන්නේ මේ කණ්ඩායමය. මේ අයගේ මූලිකම යෝජනාව වූයේ මෙරට දේශපාලනයේ ප්‍රධාන ධාරා දෙකේම නායකයන් අඩු වැඩි වශයෙන් වැරැදි සහගත අය බවය. මේ කියන  වැරැදි සහගතභාවය ලෙසින් ඔවුන් හැඳින්වූයේ චෝදනා පොකුරක්ය. ඒ චෝදනා අතර තිබූ ප්‍රධාන ඒවා කීපයක් මෙසේය. පළමුව දැනට සිටින ප්‍රධාන දේශපාලන පක්ෂවල ඉන්නේ  එක්කෝ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන යුදමය පදනම් තිබෙන දේශපාලනඥයන් බවය. දෙවනුව ප්‍රධාන ධාරවේ සිටින්නේ මේ කියන ජනතා ව්‍යාපාරයේ අයතරම් ආර්ථිකය ගැන හොඳට දන්නේ නැති දේශපාලනඥයන්ය. තුන්වැනිව ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන්ට මේ කියන ජනතා ව්‍යාපාරයේ අයට තරම් හොඳ ආකාරයේ පෞද්ගලික අංශයේ පරිපාලන පළපුරුද්ද වැනි දේවල් නොමැතිය. හතරවැනිව මේ ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන් ගැලරියේ ඉල්ලීමට අනුව අපේක්ෂකයන් මාරු කරන අය වන අතර ජනතා ව්‍යාපාරයේ අය එසේ කරන්නේ නැති අතර ඒ අයගෙන් ඉදිරිපත් වෙන්නේ ස්ථිරසාර පදනමකින් දේශපාලනයට එන විද්වතුන් බවය.
 
දැන් තුන්වැනි අපේක්ෂකයා පිළිබඳව සංවාදයට පැමිණි මේ කණ්ඩායම පසුගිය මාස ගණනාවේම මෙරට මාධ්‍ය අවකාශයේ පෙනී සිටිමින් කියා සිටියේ ඒ අයගේ අපේක්ෂකයා තුළින් ඉහත සඳහන් දුර්ගුණ නැති පුද්ගලයකු වන බවයි. ඒ අතරිනුත් විශේෂයෙන්ම පෙන්නුම් කළ කාරණයක් වූයේ දැනට ප්‍රධාන ධාරාවේ නායකයන්ට නොතේරෙන ආර්ථික කළමනාකරණයක් පිළිබඳව දන්නා අයකු තමන් ඉදිරිපත් කරන බවයි. ඔවුන්ගෙන් සමහරුන් කීවේ තමන්ගේ අපේක්ෂකයා විනෝභා භාවේතුමන් වැනි අයගේ අවිහිංසාවාදයෙන් පෝෂණය වූ ප්‍රජාතන්ත්‍රවාදයේ කිමිදෙන්නකු මිස යුදවාදයට හෝ මිලිටරිකරණයට කිසිම ඇයිහොඳයිකමක් ඇති අයෙක් නොවන බවයි.

මේ සියලු කාරණා මෙසේ තිබෙද්දී පසුගිය දිනවල සිට රටට හෙළිවෙමින් පවතින්නේ මේ කියන තුන්වැනි අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් කිරීමට යන්නේ ඔය කියන ආකාරයේ  ප්‍රජාතන්ත්‍රවාදයේ පීතෘවරයකු නොව හිටපු හමුදා නිලධාරියෙකුම වන බවයි. විශේෂයෙන් මාස ගණනාවක් තිස්සේ පල්ලේවත්ත මහතා වැනි අය කියූ ආකාරයේ ව්‍යවසායකත්වයේ හෝ කළමනාකාරිත්වයේ කිසිදු අත්දැකීමක් ඇති අයකු නොව හුදු සාම්ප්‍රදායික මිලිටරිකරණයෙන් පෝෂණය වූ තවත් එක් අයකු බවයි. 2015 යහපාලන අලංකාරිකයන්ටත් එහා ගිය ආකාරයේ දේශනා සමුදායක් හරහා විද්වත්භාවයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශයක් යෝජනා කළත් ප්‍රායෝගිකව ඉදිරිපත්වීමට යන්නේ තවත් එක් ජෙනරාල්වරයකු නම් එය සමාන වන්නේ කටින් බතල කොළ සිටවීමේ පැරැණි කියමනට බව මගේ අදහසයි.
 
තමන්ගේ දේශනාව සහ කෙරුවාව අතර ඇමෙරිකාව හා ඉතියෝපියාව තරම් විශාල පරස්පරයක් ගොඩ නැඟෙන ආකාරයට මේ කියන තුන්වැනි පාර්ශ්වයේ අපේක්ෂකයා පිළිබඳ සිදුවීම වර්ධනය වන්නේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වයට ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනාවීමට සාපේක්ෂව යැයි සිතීමේ වැරුද්දක් නැති බව තවත් පැත්තකින් මතුකළ හැකි තර්කයයි. ප්‍රජාතන්ත්‍රවාදයේ හා ආර්ථික කළමනාකරණයේ පාඩම්පොත පසෙකින් තබන්නට මේ අයට බලපෑම් කරන්නේ එජාපයේ අපේක්ෂකයාට එරෙහිව මතුවෙමින් එන සිංහල බෞද්ධ බලවේග යම් පමණකින් හෝ සීමා කිරීමේ උත්සාහයක් යැයි සමහර විටෙක සිතෙන්නේ මේ කාරණයත් සමඟ මේ තත්ත්වය සලකා බලන විටය. මේ රටේ දේශපාලනයට ඝෘජුවම සම්බන්ධ සමහර තානාපති උපාය මාර්ග පෙන්නුම් කරන්නේ සිංහල මහජාතියේ බහුතරය එක් පැත්තකට ඡන්දය පාවිච්චි කිරීම මේ ජනාධිපතිවරණයේදී ඉතාමත් විශාල වශයෙන් සිදුවිය හැකි බවයි. එවැනි තත්ත්වයකින් සිදුවන්නේ 2015 ජනවාරිවරුන්ගේ අලංකාරික දේශපාලනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වීමේ පැත්තකට රට ගමන් කිරීම බව තේරුම් ගැනීමට විශේෂ ඥානයක් අවශ්‍ය වන්නේ නැත. ජාතික ජනතා ව්‍යාපාර ලෙසින් බෞතීස්ම වූ මේ සමහර තුන්වැනි බලවේගකරුවන්ගේ විද්වත්භාවයේ හා විශේෂඥභාවයේ පදනම් දෙදරවමින් මිලිටරිකරණය වූ අපේක්ෂකත්වයක් වෙතට ඔවුන් තල්ලු කරන්නට ශක්තිය සපයන්නේ එවැනි විදේශීය ආයතනද යන ගැටලුවත් මේ සංවාදයට සම්බන්ධ කාරණයක් බව මගේ මතයයි.
 
තවමත් හරියටම ඉදිරියට නොපැමිණි තුන්වැනි බලවේගයේ අපේක්ෂකයා කියන්නේ පළමුවැනි හා දෙවැනි බලවේගයටම අදළ කිහිලිකරුවක් වන්නේ නම් එහි ඇති තුන්වැනි බලවේගයක් හෝ විකල්පීය පදනමක් හෝ නොමැති බව තේරුම් ගැනීමට විශේෂ ඥානයක් අවශ්‍ය වන්නේ නැත. 1989 ජනාධිපතිවරණයේ අත්හැදූ උපක්‍රමය වූයේ මේ කියන ආකාරයේ ගෙල සිඳගත් තුන්වැනි බලවේගයේ අපේක්ෂකත්වයක් බව මතකයට නඟා ගැනීම වැදගත්වන්නේ මේ කාරණය නිසාය. එම ජනාධිපතිවරණයේ තුන්වැනි බලවේගයේ අපේක්ෂකයා වූ ඔසී අබේගුණසේකර මහතා දේශපාලනය නිමා කළේ එජාපයේ කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකු ලෙසින් යැයි සිහියට නඟා ගැනීම මේ කාරණය පැහැදිලි කර ගැනීමට සහාය වන බව මගේ අදහසය. තුන්වෙනි බලවේගයක් හදන්නට යැයි කියමින් සමහරුන් කරන්නේ මහේශාක්‍ය ලීලාවෙන් ඔසීට ඇඳීම යැයි කිව හැක්කේ ඒ නිසාය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චරිත හේරත්