ආසියානු කලාපයේ යුදමය සහ ආර්ථිකමය වශයෙන් ඉතාමත් වැදගත් වූ භූගෝලීය පිහිටීමක් ශ්‍රී ලංකාවට ඇත. ඒ නිසාම රාජ්‍ය ආරම්භයේ පටන් කෝට්ටේ රාජධානිය දක්වාම දකුණු ඉන්දියානු ද්‍රවිඩ හා චෝල ආක්‍රමණවලට මුහුණ දීමට සිදුවීම නිසා රාජධානිය ද ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගෙන යාමට සිදුවිය. කෝට්ටේ යුගයේ පටන් යුරෝපීය ආක්‍රමණිකයෝ ඔවුන්ගේ පාලනයට ලංකාව නතුකර ගත්හ.

පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකයන් ඔවුන්ගේ පාලනය පහසු කරගැනීම සඳහා දේශීය ජනතාව භාෂාමය ලෙස සහ ආගමික ලෙස බේද බින්න කිරීමට සූක්ෂම ලෙස කටයුතු කළහ. යුරෝපීයයෝ ශ්‍රී ලංකාව පමණක් නොව ඉන්දියාව වැනි මහා රාජ්‍ය ද තුවක්කු බලයෙන් යටකර ගත්හ. ඔවුන් පාලනයකොට අතහැර දමා ගිය සියලු‍ රාජ්‍ය අරාජික තත්ත්වයට මෙන්ම බොහෝ වියවුල් සහගත තත්ත්වයට පත් විය. ඊට බොහෝ සෙයින් හේතු පාදක වූයේ භාෂාව හෝ ආගමයි.

1920 දී ජවහර්ලාල් නේරුගේ නායකත්වයෙන් යුත් කමිටුවක් යෝජනා කළේ හින්දි භාෂාව ඉන්දියාවේ නිල භාෂාව බවට පත් කරන ලෙසය. කොංග්‍රස් ආණ්ඩුව සමයේ ආණ්ඩුකාර සී. රාජගෝපාලාචාරී යෝජනා කළේ පාසල් තුළ හින්දි භාෂාව අනිවාර්ය කළ යුතු බවයි. දකුණු ඉන්දියානු විරෝධය හා කැලඹීම නිසා පසුව එය ඉල්ලා අස්කර ගන්නා ලදී.

ඉන්දියාවේ බ්‍රාහ්මණ පැලැන්තියේ ආධිපත්‍යයට එරෙහිව බ්‍රාහ්මණ නොවන ජන කොටස් 1917 දී Justice Party ගොඩනගා ගත්තේය. 1947 අගෝස්තු 15 වන දිනට යෙදී තිබුණු ජාතික නිදහස් දිනය ඔවුන් ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශ කළේය. අනතුරුව පෙරියර් නමැත්තා ‘නිදහස් ද්‍රවිඩ නාඩු හෙවත් ‘නිදහස් දෙමළ රාජ්‍ය’ ආරම්භ කළේ ය. එනම් නිදහස් දෙමළ රාජ්‍ය සංකල්පයයි. පසුව එයට නායකත්වය දුන් සී.එන්. අන්නදුරෙයි ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය නිර්මාණය කළේය. ඊට පසුව එක් වූ එච්. කරුණානිධි ඊට පෙර පටන් හින්දු භාෂා විරෝධියෙක් විය. දැල්මියපුරම් දුම්රිය ස්ථානය ඇතුළු ආයතනවල නාම පුවරුවල තිබූ හින්දි වචනවල තාර ගා මකා දමන ලදී. 1960 දී ඉන්දියාවේ ජනාධිපතිවරයා තමිල්නාඩුවට පැමිණෙද්දී අන්නදුරෙයි කළු කොඩි ප්‍රදර්ශනය කර විරෝධතා පැවැත්වීය.

ඔහු 1962 දී රාජ්‍ය සභාව අමතා ද්‍රවිඩ ජනතාවට ස්වයං තීරණ ගැනීමේ අයිතිය ඉල්ලා සිටියේ ය. 1965 දී ජාතික නිදහස් සමරු දිනයේ දී එය ශෝක දිනයක් බවට පත්කර ‘හින්දි භාෂාව භංග වේවා, ඉන්දියාව බොහෝ කල් දිනේවා’ සටන් පාඨය අස්සක් මුල්ලක් නෑර ප්‍රදර්ශනය කළේ ය. 1967 දී අන්නදුරෙයි මදුරාසි ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා බවට පත්වූ අතර එම වසරේම ඉන්දිරා ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් ආණ්ඩුව හින්දි හා ඉංග්‍රීසි භාෂා රාජ්‍ය භාෂා ලෙස ක්‍රියාත්මක වන බව තහවුරු කරමින් රාජ්‍ය භාෂා පනත සම්මත කරනු ලැබීය.

තමිල්නාඩුවේ ද්‍රවිඩ නායකයන් හින්දි භාෂාවට එරෙහි ව ගෙනගිය සටනට සමාන සටනක් ලංකාවේ ද්‍රවිඩ නායකයෝ ද සිංහල භාෂාවට එරෙහිව දියත් කිරීම ආරම්භ කළහ. බ්‍රිතාන්‍ය පාලකයන් සිංහල ජන කොටසට වඩා වැඩි ප්‍රමුඛතාවක් දෙමළ ජන කොටසට ලබාදීමට කටයුතු කළේ ඔවුන්ගේ යටි අරමුණු ඉටුකර ගැනීමේ බලාපොරොත්තුවෙනි. නිදහසින් පසු ද්‍රවිඩයන්ට ලැබී තිබූ වරප්‍රසාද අඩු වේ යැයි බියට පත්ව පනහට පනහේ අයිතිවාසිකම් ඉල්ලමින් උද්ඝෝෂණ කළහ. එය අසාර්ථක වූ තැන නිදහසින් පසු 1949 වෙනම රාජ්‍යය සංකල්පය මුදුන්පත් කර ගැනීමට ඉලංකේ තමිල් අරසු කච්චි හෙවත් ලංකා ද්‍රවිඩ රාජ්‍ය පක්ෂය නිර්මාණය කළේය. එය ෆෙඩරල් පක්ෂය ලෙස ද හැඳින්විණ. ද්‍රවිඩ ජන කොටසේ ඉහළ පැලැන්තිය නියෝජනය කළ ක්‍රිස්තියානි ආගම වැළඳගත් අධි නීතිඥයකු වූ එස්.ජේ.වී. චෙල්වනායගම් එහි නායකයා වූ අතර 1947 දී ඔහු පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව ලංකාවෙන් වෙන් වී දකුණු ඉන්දියානු නිදහස් රාජ්‍යය සමඟ එක්වීමට ඔවුන්ට අයිතිවාසිකම් ඇති බවය. එම නිසා ඩොමීනියන් නිදහස ලබාගත් සැණින් මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අග්‍රාමාත්‍යතුමන්ට බ්‍රිතාන්‍ය සමඟ ආරක්ෂක ගිවිසුමකට ඇතුළු වීමට සිදු විය.

නිදහස් ඉන්දියාවේ ආචාර්ය බී.ආර්. අම්බෙඩ්කාර් නිර්මාණය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉන්දියාවේ රාජ්‍ය භාෂා ලෙස භාෂා 14ක් පිළිගත් අතර මේ වනවිට එය 22 දක්වා වැඩි වී ඇත. ඉන්දියාවේ දැනට භාෂා 100ක් භාවිත වන අතර ප්‍රාදේශීය භාෂා 1635ක් ඇත.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ඉන්දියානු පදිංචිකරුවන්ගේ පුරවැසිභාවය පිළිබඳ පනත සම්මත කිරීම මගින් උඩරට වාසය කළ ඉන්දියානු සම්භවයක් ඇති ද්‍රවිඩ ජනතාව ලක්ෂ 6 1/2කට පමණ ඡන්ද බලය අහිමි විය. එම පනතට පක්ෂව ජී.ජී. පොන්නම්බලම් පවා ඡන්දය ලබා දුනි. ඔහු අවස්ථාවාදියකු බවට ද්‍රවිඩ ජනයා චෝදනා කළේ ය. එම සිද්ධිය රට තුළ ජාතිවාදී වෛරයක් ව්‍යාප්ත කිරීමට බලපෑවේය. 1956 මැයි 04 වන දින එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැති ප්‍රකාශ කළේ ‘මම අදහස් ප්‍රකාශ කළේ ආණ්ඩු මට්ටමින් සන්ධීය ආණ්ඩු ක්‍රමයක් පිළිබඳව නොව ප්‍රායෝගික විසඳුමක් ලෙස බලය විමධ්‍යගත කිරීමය...’’ යනුවෙනි. ඔහුගේ අදහස වූයේ පළාත් පාලන ආයතන වෙත පාලන බලතල වැඩිකොට බලය විමධ්‍යගත කිරීමක් බව පෙනෙන්නට තිබුණි. 1956 වසරේ රාජ්‍ය භාෂා පනත මගින් ඇති වූ ජනවාර්ගික නොසන්සුන්තාව සමනය කිරීම පිණිස උතුරු නැගෙනහිර පරිපාලන භාෂාව දෙමළ භාෂාව ලෙස පිළිගත්තේය. එය ප්‍රමාණවත් ලෙස ක්‍රියාවේ නොයෙදුණ බවට විවේචන ඇති විය.

1963 දී අන්නදුරෙයි වෙනම රාජ්‍ය සංකල්පය අතහැර දැමුවත් ඔහුව අනුගමනය කළ ලාංකික ද්‍රවිඩ පාලකයෝ එය කර තබාගෙන ගියහ. 1976 ෆෙඩරල් පක්ෂය වඩුක්කෝඩෙයි ප්‍රකාශය මඟින් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් බව ප්‍රකාශ කළේය.

එය උඩුදුවමින් ගොස් 1983 ජුලි මස ජනවාර්ගික ප්‍රචණ්ඩත්වය උච්චතම අවස්ථාවට පැමිණියේ ය. ඊට විසඳුම් සෙවීමට ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කළ ජේ.ආර්. ජයවර්ධන ජනපති තිම්පු ප්‍රකාශනය එළිදැක්වීය. විසඳුම් ලෙස පහත සඳහන් මූලික ප්‍රතිපත්ති 4 ක්‍රියාත්මක කළ යුතු බවට එකඟ විය.

1. ලංකාවේ ද්‍රවිඩ ජනතාව ජාතියක් ලෙස පිළිගැනීම.
2. ලංකාවේ ද්‍රවිඩ ජනයාගේ නිජබිම මෙරට තුළ පවතින බව පිළිගැනීම.
3. ලංකාවේ ද්‍රවිඩ ජනයාගේ ස්වයං තීරණ ගැනීමේ අයිතිය පිළිගැනීම.
4. ද්‍රවිඩ ජනතාවට මෙරට පුරවැසිභාවයට තිබෙන හිමිකම සහ මානව අයිතීන් සඳහා තිබෙන හිමිකම පිළිගැනීම
.

එහෙත් ඒ වනවිටත් ඉන්දු-ලංකා ගිවිසුම මගින් පුරවැසිභාවය පිළිබඳ ගැටලු‍ව නිරාකරණය කර තිබූ අතර ඉන්දියානු පුරවැසිභාවය ලැබූ අනූදහසක් ඉන්දියාවට නොගොස් ශ්‍රී ලංකාවේ සිටි අතර එම අනූදහසට සහ තවත් 86,000කට 1988 දී ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදීම සිදු කෙරුණි. 2003 වසරේ දී ලංකාවේ සිටි සියලු‍ම ඉන්දියානු පුරවැසියන්ට පුරවැසිභාවය ලබා දුනි.

මෙසේ ඇති වූ ජාතිවාදී විරසකය සමනය කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම නිසා ආරම්භ වූ ත්‍රස්තවාදී යුද්ධය ජීවිත 60,000කට වඩා බිලිගන්නා තෙක් දිග ඇදුනේය. ඉන්දියාව සමඟ මනා ලෙස රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ආරක්ෂා කිරීමට තරම් විචක්ෂණ බුද්ධියක් නොතිබූ පාලකයන් මෙය ඉතා ව්‍යසනකාරී ව්‍යාකූලත්වයක් දක්වා ගෙන ගොස් ඇත.

1970 දශකයේ මුල් කාලයේ කච්චතිව් දූපතේ අයිතිය පිළිබඳව ලංකාව හා තමිල්නාඩුව අතර ගැටුමක් නිර්මාණය වූ අවස්ථාවේ දී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය, ඉන්දිරා ගාන්ධි අගමැතිනිය සමඟ සාකච්ඡාකොට 1974 දී සහ 1976 දී දෙරට අතර ජාත්‍යන්තර මුහුදු සීමා ගිවිසුමකට අත්සන් තැබීමෙන් එම ප්‍රශ්නය නිරාකරණය කළේය.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික බැඳීම කඩා බිඳ දැමීමට එවකට සිටි දේශපාලන නායකයන්ගේ ක්‍රියාකලාපය හේතු විය. 1977 මැතිවරණය ආසන්නයේ ඉන්දිරා ගාන්ධි මැතිනිය සහ එවකට දේශපාලනයේ යෙදී සිටි ඇයගේ පුත් සංජය ගාන්ධි එළදෙනකුට සහ වහු පැටියකුට සමාන කර වේදිකාවේ බෙරිහන් දීමට ජේ.ආර් - ප්‍රේමදාස හවුල කටයුතු කළේ ය. ලංකාවේ දී සිරිමාවෝ මැතිනිය සහ අනුර ද එළදෙනකුට හා වහු පැටියකුට සමාන කරමින් ඉන්දියාවේ සහ ලංකාවේ නායකයන් සමච්චලයට ලක් කිරීමේ අමනෝඥ ක්‍රියාදාමය ඉන්දියාවේ පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂය ලෙස ද පළ වී තිබුණි. එම හේතුව නිසා ඇති වූ වෛරය නොවන්නට ඉන්දිරා ගාන්ධි අගමැතිනිය ප්‍රභාකරන්ට තමිල්නාඩුවේ හමුදා පුහුණු කඳවුරු ඇතිකර ගැනීමට ඉඩ පහසුකම් ලබා නොදෙන බව ප්‍රකට කරුණකි. එම පහසුකම් නොලැබුණානම් ප්‍රභාකරන්ට ඒ සා විශාල විනාශයක් කිරීමට ඉඩක් නොවිණි.

1983 ජනවාර්ගික ගැටුම්වලින් පසුව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති සහ ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරිය අතර පැවැති සාකච්ඡාවට රජිව් ගාන්ධි සහභාගී වී ඇති අතර ඔහු අදහස් දැක්වීමේ දී ජේ.ආර්. ඔහු අවතක්සේරු කරමින් උපහාසාත්මක ලෙස කතාකොට ඇති බව ප්‍රකට විය. ‘රජිව් මහතාණෙනි, මම ආසියාවේ අඩුම වයස් මුදල් ඇමැතිවරයාව සිටි කාලයේ ඔබ බඩ ගා ඇවිදින දරුවෙක්’ යනුවෙන් ජේ.ආර්. සිය උද්ධච්චකම ප්‍රදර්ශනය කරමින් ප්‍රකාශ කර ඇත. එකී ප්‍රකාශය රජිව්ට දේශපාලන අවබෝධයක් නැති බව දැක්වීම පිණිස ඔහුට කළ අවමානයක් සේ රජිව් ගාන්ධි සැලකූ බවට සැකයක් නැත. වසර කිහිපයක් ගිය තැන ඔහු ඉන්දියාවේ අගමැති බවට පත්ව ජේ.ආර්. ඔහු ළඟ දණගස්වා ගෙන ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කර ගැනීමට රජිව් ගාන්ධි පෙළඹවීමට ඉහත කී සිද්ධිය ද පදනම් වී ඇත.

ඉන්දිරා ගාන්ධි ත්‍රස්ත සංවිධානයක් පෝෂණය කිරීම හේතුවෙන් ඇයගේ පුත් රජිව් ගාන්ධිට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූයේ එසේ පෝෂණය වූ ත්‍රස්තයන්ගේ අතින්මය. අවි ගත්තෝ අවියෙන් ම නැසෙති යන බුදුන් වහන්සේගේ ඉගැන්වීම කිසිදා වෙනස් නොවන සදාතනික සත්‍යයක් බවට මෙය එක් උදාහරණයකි. වර්තමානය වනවිට ඉන්දු-ලංකා සබඳතා ඉතා බරපතළ ලෙස කඩතොළු වෙමින් පවතී. ඊට මූලික හේතුව වූයේ හම්බන්තොට වරාය වසර 99කට චීන ආණ්ඩුවේ පාලනයට නතුකර දීමයි. එක් පසකින් 2005 සිට 2014 දක්වා පැවති ආණ්ඩුව මෙරට අසීමාන්තික ණය උගුලක සිර කිරීමත්, 2015 බලයට පැමිණි ආණ්ඩුව විදේශගැති නිවට නියාලු‍ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමත් මීට ප්‍රබල ලෙස බලපෑවේ ය. රකින්නට පරපුරක් නැතැයි උදම් ඇනූ නපුංසක පාලනය තුළ රටේ සම්පත් සියල්ල විදේශිකයන් අතට පත් කරමින් පැවතුණි. ඉන්දියාව, ඇමෙරිකාව, යුරෝපය සහ ජපානය ඉතා බරපතළ ලෙස අනතුරු ඇඟවුවත් එවකට සිටි මුග්ධ පාලකයෝ එහි ඇති බරපතළකම තේරුම් නොගත්හ. එමෙන්ම පෙර සිටි පාලකයෝ ද චීනය සමඟ තිබූ කූඨ හා ගුප්ත ගනුදෙනු හේතුවෙන් විරෝධයක් ද මතු නොකළහ. ඒ තුළ එවකට සතුරු රාජ්‍ය ලෙස සැලකුණු ඇමෙරිකාව සහ ඉන්දියාව මිතුරු රාජ්‍ය බවට පත් කළෝ ලංකාවේ අඥාන නායකයෝය. සතුරාගේ සතුරා මිතුරා කරගැනීමේ ප්‍රතිපත්තිය ගෝලීය දේශපාලනය තුළ අතීතයේ පටන් පැවතුනි. ඒ අනුව ඉන්දියාව, ඇමෙරිකාව, යුරෝපය හා ජපානය දැන් එක් පෙරමුණකි. ඔවුන්ට ඇත්තේ එක් න්‍යාය පත්‍රයකි. ආසියානු කලාපය පාලනය කළ හැකි ප්‍රධාන මර්මස්ථානය වන ලංකාව චීන ග්‍රහණයට නතු වෙමින් පැවතීම වැළැක්වීම පිණිස චීනය සහ ලංකාව යන දෙරටටම ප්‍රහාර එල්ල කිරීම ඔවුන්ගේ ඉලක්කයයි. ඔවුන් ක්‍රම කිහිපයක් හරහා එය දියත්කොට ඇත.

1. හම්බන්තොට වරාය චීනයට දුන්නේ නම් ඇමෙරිකාවට අක්කර 12,000 ක් සමඟ ත්‍රිකුණාමලය වරාය ලබා දීම පිණිස MCC ගිවිසුම අත්සන් කරවා ගැනීම.
2. ඉන් නොනැවතෙන ඇමෙරිකාව SOFA ගිවිසුම අත්සන් කරගැනීම මගින් ඇමෙරිකා හමුදා ලංකාවේ ස්ථානගත කිරීම.
3. ඉන්දියාවට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ලබාගැනීම.
4. ඉන්දියාව ලබා දී ඇති ඩොලර් මිලියන 400ක ණය මුදල නියමිත දිනට පෙර ආපසු ගැනීම.
5. මාර්තු මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මෙරටට එරෙහිව යෝජනා ඉදිරිපත් කරමින් ආර්ථික ලෙස රට බංකොලොත් කිරීම හා ඒ අරමුණින් ආර්ථික සම්බාධක පැනවීම.
6. චීනයේ මැදිහත් වීමෙන් ඉදිකරන කොළඹ Port City ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීම. එයට දැනටමත් සම්බාධක පනවා ඇත.
7. ඉන්දියාවේ මැදිහත් වීම මගින් ලංකාවේ ද්‍රවිඩ භාෂාව කථා කරන දෙමළ හා මුස්ලිම් පක්ෂ එකමුතුවක් සාදා එයට මුදල් පොම්ප කරමින් ඉන්දියාවේ ආධිපත්‍යය තහවුරු කරන ප්‍රබල මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවීම.

මෙහි ඇති භයානකකම තේරුම් නොගත් මෙරට දේශපාලන නායකයන් වර්තමානයේ ගත කරන්නේ ‘ළිප ගිනි මොළවන තෙක් දිය සැලියේ, සැපයක් යැයි කකුළුවො දිය කෙළියේ’ යන ස්ථාවරයේ සිටය.

ඉන්දියාව මිතුරකු ලෙස මිස පසමිතුරෙකු (හතුරෙකු) කරගැනීම රටේ ජනතාවගේ ජීවිත අනතුරට හෙළීමකි. වර්තමානයේ පවතින බිඳුණු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1987 බලෙන් පරිප්පු දැමූ තත්ත්වයට නැවත ඉන්දියාව තල්ලු‍ කිරීමට හේතු විය හැකිය. මෙහිදී යුක්තිය හා සාධාරණත්වය කුමක් ද යන්න තර්ක විතර්ක කිරීමේ ප්‍රතිඵලයක් ඇති නොවේ. වර්තමානය තුළ ‘තමන්ගේ අනාගත සතුරන් කවුරුන්ද යන්නවත් නොදැන වර්තමාන රාජ්‍යය යුද වැදීමට සැලසුම් සදමින් සිටී’ යනුවෙන් ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ගේ ප්‍රකාශය සිහිපත් කර ගැනීම වැදගත් වේ.
1963 දී දේශ සීමා පිළිබඳ පැවති ආරවුල් හේතුවෙන් චීනය සහ ඉන්දියාව අතර යුද ගිනි ඇවිළීමට ආසන්නව පැවතිය දී එය සමනය කරනු ලැබුවේ මේ පුංචි රාජ්‍යයේ අගමැතිවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායකය. ඒ ඇය සතු වූ දුරදක්නා නුවණත් රාජ්‍ය තාන්ත්‍රික පරිණතභාවයත් නිසාය.

2005 සිට 2015 දක්වා චීනය ඔරොත්තු නොදෙන අධික පොලියට ණය දුන්නා මිස එක ඩොලරයක්වත් ආධාර දී නොතිබුණි. එහෙත් ජපානය අපට ණය දීමට එකඟ වූයේ සියයට 0.1 ක පොලියක් මත ය. චීනය සියයට 6.4 ට වැඩි පොලියකට මිස ඊට අඩුවට ණය දී නොමැත. ජාත්‍යන්තර ලෙස අපට එරෙහි බලවේග ඉතා වේගයෙන් ක්‍රියාත්මක වේ. මෙය අවම කරගත හැක්කේ හම්බන්තොට වරාය නැවතත් ශ්‍රී ලංකාවේ පාලනය යටතට ගැනීමෙන් පමණක්ම බව මෙහි දී අවධාරණය කළ යුතුව ඇත.

(***)