සාරා කන්දෙගොඩ

ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවට තිබුණ බරපතළ ගැටලුවකි. 2019 මැයි මාසය වනවිට ගැටුම් අවසන් කර වසර දහයක් සම්පූර්ණ වනු ඇත. දශක තුනක් තිස්සේ රටට විශාල විනාශයක් කරන්නට ත්‍රස්තවාදී අරගලය සමත් විය. ආර්ථිකය අඩාල කරන ලද අතර සංවර්ධන සැලසුම් විනාශ විය. උතුර පමණක් නොව දකුණ ද අපේක්ෂා භංගත්වයට පත්ව සිටියේය. දශක තුනකට පසු සාමයේ අරුණාලෝකය උදාවීම රට තුළ මහත් බලාපොරොත්තු ජනිත කළේය. සෑම පුරවැසියකුම අලුතින් හිතන්නට පටන් ගත් අතර යම් පරිවර්තනයක් සිදුවනු ඇතැයි සිතා සිටියේය. නිෂ්පාදනය දියුණු වන අතර කර්මාන්ත හා ව්‍යාපාර යුහුසුළු වී අවස්ථා බහුල සමාජයක් ගැන කල්පනා කළේය.

 

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2017 වසර සඳහා වන ශ්‍රමබලකා සමීක්ෂණය පෙන්වන ඉලක්කම් එපමණ යහපත් නැත. විශේෂයෙන් උතුරේ ප්‍රජාව බලා සිටි අවස්ථා එහි ළඟා වී නැත. සාමය උදා වී වසර දහයකට පසු පවා රටේ වැඩිම විරැකියා අනුපාතය පෙන්වන්නේ උතුර හා නැගෙනහිර පළාත්ය. එය එපමණ සුදුසු නැත. මෑත කාලය තුළ විශාල ව්‍යාපෘති සෑහෙන ගණනක් අගනුවර හා තදාසන්න ප්‍රදේශ ආවරණය කරමින් ආරම්භ කළේය. ඒවායේ යම් ප්‍රතිඵල අත්පත්ව ඇති බව විශ්වාස කළ හැකිය. එහෙත් උතුර නැගෙනහිර පළාත්වලට ලැබුණ වාසිය කුමක්ද?

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව 2017 වසරේ විරැකියා අනුපාතය සියයට 4.2කි. එය 2012 වසරේ පැවැති සියයට 4ක ප්‍රතිශතය අභිබවා යාමක් බව පෙනේ. එවැනි පසුබිමක් තුළ යාපනය දිස්ත්‍රික්කය මෙරට වැඩිම විරැකියාවෙන් පෙළෙන ප්‍රදේශය වී තිබේ. එහි විරැකියා අනුපාතිකය සියයට 10.7කි. මඩකලපුව සියයට 6.6ක් වන අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විරැකියා අනුපාතිකය සියයට 6.4කි. මන්නාරම, වව්නියාව, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල නිශ්චිතව ස්වභාවය වාර්තා කරන්නට අසමත්ව තිබේ. එම ප්‍රදේශවල විරැකියාව අඩු බව තහවුරු නොකරන ලද දත්ත පෙන්වන නමුත් සැබෑ ස්වභාවය එයට වෙනස්ය. විශාල පීඩනයකට ගොදුරු වී සිටි තරුණන්ට සාමකාමී කාලවකවානුව තුළ ඔවුන් ඉල්ලා සිටින අවස්ථා සාධාරණව සම්පාදනය නොකරන ලද බව දැක්විය යුතුය. එසේ සඳහන් කරන්නේ ඇයි? දකුණේ තරුණන් පවා රැකියා විරහිතභාවයෙන් පෙළෙන අතර පැවැති ආණ්ඩු එම තත්ත්වය ගැන කියන තරමට ක්‍රියා නොකළ බැවින්ය.

2017 විරැකියා සමීක්ෂණ වාර්තාව අනුව වයස අවුරුදු 15-24 අතර පිරිසෙන් සියයට 18.5ක් විරැකියාවෙන්ය. වයස අවුරුදු 25-29 අතර තරුණන්ගෙන් සියයට 9.5ක් රැකියා විරහිතය. අවසාන වශයෙන් මෙම කණ්ඩායම් දෙක එනම් මේ රටේ වටිනාම ශ්‍රම බලකායෙන් සියයට විසි අටක් රැකීරක්ෂා රහිතය. එය මෙරට සංවර්ධනය අභිමුවෙහි විශාල ගැටලුවකි. 

ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය තුළ අධ්‍යාපන මට්ටම ගැන ද විෂමතා තිබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති අලුත් වාර්තාව අනුව 2017 වසර වනවිට රැකියා විරහිත තරුණ පිරිසයෙන් සියයට 7.8ක කොටසක් පහ වසර දක්වා අධ්‍යාපනය ලද අයයි. 2012 වසරේ දී එම ප්‍රතිශතය සියයට 3.8ක මට්ටමේ තිබුණි. නිදහස් අධ්‍යාපනය බව ප්‍රකාශ කරන නමුත් රස්සා හිඟයෙන් පෙළෙන තරුණ ජනගහනයෙන් සියයට 7.8ක් දක්වා ප්‍රතිශතයක් පහ වසර දක්වා පාසල් ගිය පිරිසක් වීම විශේෂ සිද්ධියකි. එය මෙරට අධ්‍යාපන බලධාරීන්ගේ අවධානයට ලක්විය යුතුය. ප්‍රතිපත්ති සම්පාදකයන් විමර්ශනයක් ආරම්භ කිරීම අවශ්‍යය. විභාග ක්‍රමය හෝ ටියුෂන් ක්‍රමය දරුවන්ට පාසල එපා කර තිබේ. එම කණ්ඩායම නුපුහුණු හා මනා ඉගෙනුමක් නැති කොටසක් සේ රටේ විරැකියා ජන කොටසට එකතුවන විට ආර්ථිකය වේගවත් කරන්නේ කෙසේද? අනෙක් අතට විරැකියාවෙන් පෙළෙන කොටස අතර සාමාන්‍ය පෙළ සමත් පිරිස 2012 දී සියයට 20.5ක සිට සියයට 21.1 දක්වා වැඩි වී ඇත. උසස් පෙළ සමත් පිරිස 2012 වසරේ සියයට 30.6ක සිට සියයට 29.1 දක්වා සුළු ප්‍රතිශතයකින් අඩු වී තිබේ. කෙසේ වෙතත් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් අය පමණක් නොව පහ සමත් අය ද විරැකියාවෙන් පෙළෙන හෙයින් මෙය තරමක අවදානම් තත්ත්වයකි.

නිදහස ලැබූ දිනයේ සිට ක්‍රමයෙන් වර්ධනය වූ ආර්ථිකය අද එක්තරා තීරණාත්මක තැනකට පිවිස වී සිටී. ආර්ථික විශේෂඥයන්ට අනුව මෙම මට්ටමට මැදි ආදායම් ස්වභාවයකි. මැදි ආදායම් මට්ටම එක්තරා ආකාරයක උගුලක් බව ද ප්‍රකාශ වෙයි. මන්ද එවැනි තත්ත්වයක ජීවත්වන සමාජයක ආකල්ප ඉහළය. හිතන්නේ දැන් සිටින තැනින් ඉහළ මට්ටමට නැගෙන්නේ කෙසේද යන්න ගැනය. දුප්පත් සමාජයක දුප්පත් තරුණ තරුණියන්ගේ වෘත්තීය ආකල්ප මැදි ආදායම් රටක උසස් අධ්‍යාපනය අවසන් කළ පිරිස සූදානම් නැත. ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා තිබේ. තරුණන් ඇඟලුම් කම්හලට කැමැති නැත. සියවස් දෙකකට ආසන්න කාලයක් පවත්වාගෙන ගිය තේ, රබර් සහ පොල් යන වැවිලි ක්ෂේත්‍රයේ උග්‍ර රැකියා හිඟයක් තිබේ. උගත් තරුණ තරුණියන් එම ක්ෂේත්‍රය තෝරා ගන්නට සූදානම් නැත. වී ගොවිතැන තවත් අර්බුදයකට ගිය තැනකි. ගොවි ජනතාව තමන්ගේ දරුවන් ද වී වගාවෙන් ජීවිකාව කරන තැනට පත්වෙනු දකින්නට සූදානම් නැත. ගොවි පවුල්වල ඉගෙනගත් දරුවන් ද සොයන්නේ ගමෙන් බැහැර එක්තරා ඉහළ සමාජ මට්ටමක ජීවනෝපායකි. එය වරදක් නොවේ. පාලකයන් මෙම ස්වභාවය වටහා ගත යුතුය. වෙනස්වන සමාජ තත්ත්ව හා එයින් හට ගැනෙන ආකල්ප කෙරෙහි පරෙස්සමෙන් විමසා බැලීම අවශ්‍යය.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ විරැකියා දත්ත පරෙස්සමෙන් අධ්‍යයනය කරන්නට මෙරට දේශපාලන නායකයන්ට ඉස්පාසුවක් නැත. ප්‍රධාන ධාරාවේ පක්ෂ විශාල අර්බුදයකය. බලය වෙනුවෙන් උපක්‍රමශීලී වන පාලකයන් සමාජයේ සියුම් තැන්වල සිදුවන විචල්‍යයන් ගැන අවධානයෙන් සිටීම ඉතාම වැදගත්ය. තරුණ ජනගහනයට යැපෙන මාර්ගයක් නැත. ඉගෙනගත් කොටස පමණක් නොව ඉගෙන ගැනීම අඩු කොටස ද එහි සිටී. යමක් හිතා බලන්නට පුළුවන් පිරිස පමණක් නොව ඕනෑම පැත්තකට නැඹුරු කරගත හැකි පිරිසක් ද මෙම රැකියා හිඟය සහිත තරුණ ශ්‍රමිකයන් තුළ සිටිති. අනෙක් අතට භයානක ත්‍රස්ත්‍රවාදී පරිසරයකට නතු වී පසුව සාමයට නැඹුරු වූ නැවත ජීවිත ගොඩනගා ගනිමින් සිටින කොටස ද නොසලකා හැරිය නොහැකිය. අගාධයෙන් පිටතට එන මාර්ගය සොයමින් සිටින තරුණන්ට අස්වැසිල්ලක් ඇති කරන ප්‍රතිපත්ති රටට අවශ්‍යය. 

තරුණ ප්‍රජාවගේ ශ්‍රම දායකත්වය රටේ අභිවෘද්ධියට හේතු කරගත යුතුව ඇත. එහෙත් ඒ වෙනුවෙන් නිසි සැලැස්මක් නැත. අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුව විශාල මුදලක් වියදම් කරයි. සාමාන්‍ය වශයෙන් මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයකට ආසන්න ප්‍රමාණයකි. අධ්‍යාපනය නිදහස් නමුත් දරුවන්ට උගන්වනු සඳහා දෙමවුපියන් දරන වියදම සැලකිය යුතුය. අතිරේක පන්ති වෙනුවෙන් කරන ලද වියදම සුළු එකක් නොවේ. රැකියාවක් රහිතව පසුවෙන තරුණයකුට ආණ්ඩුව සහ දෙමවුපියන් කළ ආයෝජනය ඵලරහිත තැනකට පත්කිරීම අනර්ථයකි. අධ්‍යාපනයෙන් පසු ව්‍යවසායකත්ව ජනිත කරන අවස්ථා උත්පාදනය කරන අලුත් සමාජයක් නිර්මාණය විය යුතුය. ප්‍රතිපත්ති සම්පාදකයන් ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොළ සහ විරැකියාව ගැන අලුත් ආකාරයකට බැලීම අවශ්‍යය. රැකියා ඇති ක්ෂේත්‍රවලට තරුණන් යොමු නොවන්නේ මන්ද යන්න පමණක් නොව තරුණන් ආශක්ත කරන ක්‍ෂේත්‍ර ඇතිකරන්නට අයෝජකයන් යුහුසුළු නොවන්නේ ඇයි ද යන්න සොයා බැලීම වැදගත්ය. එයින් තොරව විරැකියා ගැටලුව සාධනීය විසඳුමක් කරා යොමු කළ නොහැකි බව පෙනේ.