රටේ පවත්නා දේශපාලන සාකච්ඡා හේතුවෙන් ප්‍රමුඛතම අංශයක් අමතකව ගොසිනි. එනම් රටේ ආර්ථිකයයි. දැනට රටේ පවතින ආර්ථිකයේ සැබෑ ස්වරූපය තේරුම් ගැනීමේ හැකියාවක් බොහෝ දෙනකුට නැත. පැවැති පාලනය 2020 වසර වෙනුවෙන් අය වැයක් ඉදිරිපත් කළේ නැත. ජනාධිපතිවරණයෙන් පසුව බලය ලබාගන්නා පාර්ශ්ව 2020 වසරට අය වැයක් ඉදිරිපත් කරනු ඇතැයි එදා කියැවුණි. යහපාලනය පරාජය වී අලුත් ජනපතිවරයකු සහ ආණ්ඩුවක් බලයට පත්වූවේය. එහෙත් ඔවුන්ට බහුතරය නොමැතිවීම හේතුවෙන් අය වැයක් ඉදිරිපත් කළේ නැත.

අප්‍රේල් මාසයේ මැතිවරණය පවත්වා ඉන්පසු අයවැයක් ඉදිරිපත් වේ යැයි සිතා සිටිය ද අනපේක්ෂිත කොරෝනා වසංගතය හේතුවෙන් මැතිවරණය ද කල් ගියේය. මේ පසුබිමේ මුල්‍ය බලතල සම්බන්ධයෙන් පක්‍ෂ විපක්‍ෂ අදහස් ඉදිරිපත් විය. නීතිමය කාරණා, තර්ක කෙසේ වුවද මැතිවරණය අවසන් වුවත් අය වැයක් නැත. ඒ වෙනුවට ඉදිරිපත් වුවේ පරිපුරක ඇස්තමේන්තුය. ඒ අනුව 2020 අයවැයක් නැතිව රට කර වූ වසරකි. එය ඉතිහාසගත වන්නකි.

කෙසේ වුවත් 2021 වසර වෙනුවෙන් බලයේ සිටින අයවැයක් ඉදිරිපත් කළ යුතුය. එයට ඇත්තේ තව ටික කාලයකි. තමන්ට ලැබෙන ආදායම සහ වියදම පුරෝකථනය කරන්නේ කවරාකාරයෙන් දැයි මෙහිදී මතුවන ප්‍රශ්නයකි. කොරෝනා අර්බුදය නැති කාලයේ පවා මේ රටේ ආදායම් පිළිබඳ ගැටලුවක් තිබුණි.

සැලකිය යුතු මට්ටමකින් මෙරට ආදායම තිබුණේ නැත. අය වැයේ දී ආදායම් කොතරම් ඇස්තමේන්තු කළත් එම ආදායම එකතු කර ගැනීමේ දුර්වලතා විශාල වශයෙන් තිබුණි. අපේක්‍ෂා කරන ආදායමෙන් සියයට විස්සක් පමණ සෑම වසරකම අහිමි වී තිබේ. වත්මන් පාලනය බලයට පත්වූ පසු පාරිභෝගිකයන්ගේ පැත්තෙන් සාධනීය පියවර රාශියක් ගැනීමට යොමුවූවේය. වැට් බදු අනුපාත ඉවත් කිරීම, උපයනවිට ගෙවීමේ බදු අනුපාත ඉවත් කිරීම, සෙස් බදු ගැළපීම ආදීය කැපී පෙනුණි. පාරිභෝගිකයන්ගේ පාර්ශ්වයෙන් බලනවිට මෙය සාධනීය පියවරක් වුවද රටට බෙහෙවින්ම අහිතකරය.

රටට ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ බදුය. තමන්ට ආදායම් ලෙස ලැබෙන බදු මෙලෙස කපා හැරිය විට රජයේ ආදායම දැඩි ලෙස පහළ වැටුණි. ඒ වගේම කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට ව්‍යාපාර දැඩි පසුබෑමකට ලක් වූවේය. මේ නිසා ව්‍යාපාරවලින් ලැබිය යුතු බදු පවා විශාල වශයෙන් අඩු වූ බව රහසක් නොවේ. කොරෝනා වසංගතය මධ්‍යයේත් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම් කළ ද පෞද්ගලික අංශයේ බොහෝමයක් ආයතන සේවක වැටුප් ගෙවීමේ අර්බුදයකට මුහුණ දුන්නේය. ඒ සමග සැලකිය යුතු ආකාරයෙන් වැටුප් කප්පාදු කර තිබේ. මෙයින් පෙන්නුම් කරන්නේ අය කරගත හැකිව තිබෙන පුද්ගල ආදායම් බදු මේ වසරේදී විශාල වශයෙන් අඩුවන බවය. පවතින ආර්ථික අර්බුදයට යම් ආකාරයක විසඳුමක් දීමට යම් යම් සීමා පැනවීමට ද රජය පියවර ගත්තේය. වාහන ආනයනය නවතා දැමීම මෙයට එක් උදාහරණයකි. මේ නිසා රජයට අති විශාල බදු ආදායමක් අහිමිව ගියේය. ඒ අනුව රටේ සමස්ත ආදායම පිළිබඳ දැඩි අර්බුදයකට රජය මුහුණ දී සිටින බව පැහැදිලිය. පූර්ණ සංඛ්‍යා ලේඛන නැති වුව ද රාජ්‍ය සේවක වැටුප් ගෙවීමටවත් ප්‍රමාණයක් ආදායමක් රැස්කර ගැනීමට පවා නොහැකි වාතාවරණයක් වුව ද නිර්මාණය වන්නට පුළුවන.

රජයේ ආදායම් අඩුවන්නා සේම රටට ලැබෙන මුල්‍ය ප්‍රවාහය ද දැඩි ලෙස අහිමිව තිබේ. සංචාරක කර්මාන්තය රටට ආදායම් ලබාදුන් ප්‍රධානම අංශයකි. පාස්කු ප්‍රහාරය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය දැඩි ලෙස කඩා වැටුණේය. එය යම් පමණකට හිස ඔසවන විට කොරෝනා වසංගතය ව්‍යාප්ත වූවේය.

2018 අප්‍රේල් මාසයේ පටන් මේ දක්වා ලංකාවට ප්‍රමාණවත් සංචාරක ආදායමක් ලැබෙන්නේ නැත. මේ නිසා ඩොලර් මිලියන ගණනක් මේ වන විට අහිමිව තිබේ. ඒ වගේම විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ආදායම් ද අහිමිව ගොසිනි. මේ වන විට ඔවුහු ලංකාවට පැමිණ සිටිති. මේ නිසා ඉදිරි කාලයේ දී ඩොලර් ආදායම් රටට අහිමි වන්නට ද පුළුවන. කොරෝනා වසංගතය හේතුවෙන් අපනයන කඩා වැටීමකට ලක් වූවේය. ප්‍රධානම අපනයන වෙළෙඳ පොළ වූවේ ඇමෙරිකාව සහ යුරෝපා සංගමයයි. අදවන විට ඇමරිකාවේ සහ යුරෝපා සංගමයේ තිබෙන ආර්ථික ගැටලුව සමස්තයක් ලෙස බලන විට අපේ අපනයන අංශයට දැඩි ලෙස අහිතකරව බලපාන්නකි. මේ අනුව බලන විට එක් පැත්තකින් රජයේ ආදායම් අඩු වන අතර තවත් පැත්තකින් රටට ලැබීමට තිබූ ආදායම් අඩු වී තිබේ.

මෙවන් පසුබිමක නිර්මාණය වන්නේ බරපතළ ආර්ථික තත්ත්වයකි. රජයේ ආදායම් අඩු වුවද වියදම් අඩු වීමක් නැත. රාජ්‍ය සේවාව නඩත්තුව, සෞඛ්‍ය වියදම් එදිනෙදා වියදම්, සංවර්ධන වියදම් යනාදී සියල්ල කිරීමට සිදුවනු ඇත. එම වියදම් වැඩි වනවා මිස අඩුවීමක් නැත. රජයේ ආදායම් වැටුප් ගෙවීමටවත් ප්‍රමාණවත් නොවන බව සිතෙන පසුබිමක එක් ලක්‍ෂ පනස් දහසක් පමණ අලුතෙන් බඳවාගෙන රාජ්‍ය සේවාව තවත් පුළුල්කර තිබේ. කොරෝනාවත් සමඟ විවිධ ක්ෂේත්‍රවල වියදම් ඉහළ ගියේය. ආදායම් අඩු වී වියදම් වැඩිවන විට රජයට සිදුවන්නේ ණය ගැනීමටය. මේ වසරේ ගෙවීමට ඇති ණය වාරික සහ පොලී අනුපාත ඉහළ අගයක තිබේ. වසරේ මුල් මාස කීපයේදී ද විශාල වශයෙන් ණය ගත් බව කියැවුණි. එවන් තත්ත්වයක පවත්නා ආදායම් වියදම් පරතරය පියවා ගැනීමට තවත් ණය ගැනීමට යොමුවීමට සිදුවුවොත් ණය පීඩනය සහ ණය ගැටලුවට බරපතළ ආකාරයෙන් මුහුණ දීමට සිදුවනු ඇත.

රටේ මුල්‍ය ආදායම අඩු වූ විට ජනතාවගේ වියදම් කිරීමේ හැකියාව අඩුවනු ඇත. වැටුප් අඩු වූ පිරිසේ මිල දී ගැනීමේ හැකියාව අඩු වී තිබේ. විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලංකාවට ලැබෙන මුදල් අඩුවීම යනු ඒ අයගේ මිල දී ගැනීමේ හැකියාව ද අඩු වී ඇති බවය. මේ සියල්ලෙන් සිදු වන්නේ මේ රටේ භාණ්ඩ හා සේවාවලට තිබෙන ඉල්ලුම විශාල වශයෙන් පහළ යාමය. ජනතාව භාණ්ඩ හා සේවා මිල දී ගැනීම අඩුකළ විට එය මේ රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට නිෂ්පාදන කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.. නිෂ්පාදනවලට ප්‍රමාණවත් වෙළෙඳපොළක් රටතුළ නිර්මාණය නොවීම බරපතළ ආර්ථික ගැටලුවකට පාර කැපීමකි. පවත්නා විදේශ වෙළෙඳ පොළද කඩා වැටුණොත් ඇතිවිය හැකි තත්ත්වය සම්බන්ධයෙන් අලුත් නිර්වචන අවශ්‍ය නැත. මෙය අපි ප්‍රායෝගිකව තේරුම් ගත යුත්තෙමු. මේ කාරණා පාට කණ්ණාඩිවලට දමා දේශපාලනිකව ලඝු නොකළ යුතුය. තිබෙන්නේ ලෝකයටම ව්‍යාප්ත වූ ආර්ථික අර්බුදයකි. නිවැරැදි චිත්‍රය එයයි. එය මුලින්ම තේරුම් ගත යුතුය.

මෙයට විසඳුම කොතැනදැයි තවම අපැහැදිලිය. කොරෝනා වසංගතයට ඇති විසඳුම තවමත් කිසිවෙක් නොදනිති. අසල්වැසි ඉන්දියාවේ කොරෝනා වසංගතය දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් තිබේ. ලංකාව තවමත් සුරක්‍ෂිත යැයි හැඟෙන්නේ තවමත් ආර්ථිකයක්, රටත් වසාගෙන සිටින නිසාය. ලංකාව දූපතකි. ගුවන්තොටුපොළ, වරාය තවමත් වසා දමා ඇත්තේ රටේ ආරක්‍ෂාව සැලකිල්ලට ගෙනය. විදේශ රටවලට රට වසාදමා ඇති නිසා අපට සුරක්‍ෂිතව ජීවත්වීමට පුළුවන. එහෙත් කොතරම් කාලයක් මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකිද? වරාය විවෘත කර අදට වඩා සක්‍රීයව කටයුතු කිරීමට සිදුවනු ඇත. ගුවන්තොටුපොළ විවෘත කර අවශ්‍ය කටයුතු කිරීම ද අවශ්‍යය. ආර්ථික කරුණු ප්‍රමුඛ කර මේ කටයුතු ආරම්භ කිරීමට සිදු වුවොත් ලංකාව යළිත් කොරෝනාවට නිරාවරණය විය හැකිය. එසේ යළි කොරෝනා බිය පැතිර ගියොත් ආර්ථිකය අඩ පණ වීම වැළැක්විය නොහැක. ව්‍යාපාර, කර්මාන්ත යළි වසා දැමීමකට වුවද යාමට සිදුවිය හැකිය. ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳ පුරෝකථන දෙස බලනවිට 1839 ට පසු දැඩිම මුල්‍ය ආර්බුදයට ලෝකය පත්වන බව සඳහන්ය. ඉතිහාසයේ වැඩිම ආර්ථික හැකිළීම සිදුවිය හැකි බවට ද පුරෝකථන තිබේ. මේ සියල්ල බලාපොරොත්තුය. මේවා කොතරම් සිදුවේ ද? ඒවායේ සීමා මොනවා ද? කොතැනකින් නවතීදැයි කිසිවෙක් නොදනිති. ගෝලීය ආර්ථිකයේ කඩා වැටීමේ දැඩි බලපෑමට ලංකාව ලක්වන්නේ විදෙස් රටවල් මත වැඩි වැඩියෙන් යැපීම හෙතුවෙනි.

ඕනෑම කාරණයක් දෙස ධනාත්මකව බලන්නේ නම් මෙම අර්බුදය මධ්‍යයේ අපට අනන්‍යවූ යෝග්‍ය ආර්ථික ක්‍රමයක් සම්බන්ධව අවධානය යොමු කරන්නට පුළුවන. ලංකාව විශාල වශයෙන් මත්ස්‍ය අපනයනය කරන රටකි. ඒ වගේම විශාල වශයෙන් මත්ස්‍ය ආනයනය කරන රටකි. මේවා වෙනස් කර ගැනීමට අපට නොහැකිද? දේශීය ඉලක්ක අනුව ආර්ථිකය හැඩ ගස්වා ගැනීමට හැකියාවක් නැති ද? ඇඟලුම්වල ද වෙනසක් නැත. අැඟලුම් අපනයනය කරන්නා සේම විශාල වශයෙන් ආනයනය කෙරෙමින් තිබේ. මේවා මෙලෙසම වීමට ඉඩ නොදී දේශීය ආර්ථිකය ඉලක්ක කරගත් ප්‍රතිපත්තිවලින් ආර්ථිකය ගොඩනැගීමට වැඩි බරක් තැබිය යුතුය. විදේශ සම්පත් මතම යැපෙන්නේ නැතිව හැකි තරම් දේශීය නිෂ්පාදන මත යැපෙන ආර්ථික ක්‍රියාවලියක අවශ්‍යතාව මේ මොහොතේ ප්‍රමුඛ කාරණයක් ලෙස ගත යුතුය..

ඇතැම් ආනයනවලට අපට විකල්ප නැත. විශාල වියදමක් යන ඛනිජ තෙල් උදාහරණයකි. එහෙත් විසඳුම් දිය හැකි අංශ තිබේ. සීනි එක් උදාහරණයකි. සීනි නිෂ්පාදනය යළි පණ ගැන්වීමට රජයේ අවධානය යොමු වෙනවා නම් විශාල මුදලක් රටට ඉතිරි කරගත හැකිය. සරුංගලයත්, ජාතික කොඩියත්, බුදුරුවත්, විදේශ රටවලින් ගෙන්වන තත්ත්වයක් පසුගිය කාලය පුරාම අපි දුටුවෙමු. එහෙත් මේවා දේශීයව නිපදවුවහොත් කඩාවැටී ඇති දේශීය නිෂ්පාදකයා ආරක්‍ෂා කර ගැනීමට අපට පුළුවන. ඒ වගේම රටතුළ අලුත් නිෂ්පාදන කර්මාන්ත ආර්ථිකයක් නිර්මාණය කිරීමට පුළුවන.

මේ වන විට පාරිභෝගිකයෝ දැඩි පීඩාවට පත්ව සිටිති. භාණ්ඩ හා සේවා මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොසිනි. ලෝක තෙල් මිල අඩු වුව ද එහි වාසිය මෙරට පාරිභෝගිකයාට නැත. පොල් ගෙඩියක මිල රුපියල් සියයට ආසන්නයේය. අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ද ජනතාවට සහනයක් නොවේ. එහෙත් එක් පාරිභෝගිකයකුවත්, වෘත්තීය සමිතියක්වත් මේ ඉහළ ජීවන වියදමට එරෙහිව පාරට බැස නැත. වැටුප් කප්පාදුවට ලක්ව සිටින පෞද්ගලික අංශ සේවකයෝ පවා ස්වයං විනයක ජීවත් වෙති. ජනතාව මෙලෙස කටයුතු කරනු ඇත්තේ වත්මන් පාලනය පැමිණි දා සිට පැවැති අභියෝග නිසා විය හැකිය. ඒ වගේම යම් සංවර්ධන වැඩ පිළිවෙළක් පෙනෙන්න තිබුණි. ජනතාවගේ පැත්තෙන් තිබෙන වාසිය රජය ගත යුතුය. රජය කුමන හෝ විසඳුමක් දෙනු ඇතැයි ජනතා විශ්වාසය වී තිබේ. එනිසා ජනතාවට සුව පහසුව සැලසෙන ආර්ථිකයක් නිර්මාණය කිරීමේ වගකීම රජයට තිබේ. ඒ වෙනුවෙන් රටේ ආර්ථික ප්‍රතිපත්ති අලුතෙන් නිර්මාණය කිරීමේ හැකියාව රජයට තිබිය යුතුය. 2021 ට අය වැය ඉදිරිපත් කිරීම සිදුවන්නේ ද මෙකී පසුබිමේය. ආදායම් සෙවී​ෙම් බරපතළ අර්බුදයට විසඳුම් දීමට රජයට සිදුවනු ඇත.

(*** සටහන - චමින්ද මුණසිංහ)