මංගල සමරවීර මහතා වත්මන් මුදල් සහ ජනමාධ්‍ය ඇමැති තරුණ වියේදී බයිසිකල් පැදීමට බොහෝ සෙයින් ප්‍රිය කළේය. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වශයෙන් සිටියදී තම මිත්‍රයන් හමුවීමට ඔවුන්ගේ නිවෙස් කරා ගියේ තමන් සතුව පැවැති රැලේ බයිසිකලයෙනි. 


එකල සති අන්ත දිනවල උදේ හෝ සවස් වරුවේ ජැන්ඩියට සැරසී නිවසේ පසුපස කොටසේ බිත්තියට හේත්තු කර තිබෙන බයිසිකලය ද තල්ලු කරගෙන මිදුල පැත්තට එන විට ඔහුගේ මෑණියන් වූ ඛේමා සමරවීර මැතිනිය අනිවාර්යෙන්ම අසනු ලබන ප්‍රශ්නයක් තිබුණේය. 


‘මොකද පුතා අදත් ගෙදර එන්නේ බයිසිකලෙන් වැටිලා අතපය තුවාල කරගෙනද?’ 


අම්මා එසේ ඇසුවද තමන් මීට පෙර බයිසිකලයෙන් වැටී අතපය තුවාල කරගෙන නිවසට පැමිණ ඇත්තේ එක් වතාවකදී හෝ දෙවතාවකදී පමණක් බව හෙතෙම දැන සිටියේය. 


‘පිස්සු ද අම්මේ ඔය කලාතුරකින් බයිසිකලෙන් වැටුණට හැමදාමත් එහෙම වෙනවද?’ යි අසන මංගල ඊළඟට කරන්නේ බයිසිකලය පාරට ගෙන කුරුල්ලා මිටෙන් ඇරියාක් මෙන් රීඞ් මාවත ඔස්සේ අධික වේගයකින් පැදයාමය. 


‘මම එදත් කැමති නැහැ ඔය හෙමි හෙමින් බයිසිකලේ පැදගෙන යන්න’ යි කියමින් එම රසබර අතීතය සිහිපත් කරන ඔහු ඊළඟට සඳහන් කරන්නේ තම සමවියේ මිතුරන් සමග බයිසිකල්වලින් ගිය ගමන් බිමන් ගැනය. මංගල එකල පිහිනීමට ද රුසියෙක් විය. කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිනුම් සමාජයේ සමාජිකයෙකු වූ ඔහු විද්‍යාලීය පිහිනුම් තටාකයේ පිහිනනවාට වඩා ප්‍රිය කළේ ගල්කිස්සේ හෝ බම්බලපිටියේ මුහුදේ නිදැල්ලේ පිහිනීමටය. එහෙයින් එකල සති අන්ත දිනවල ඔවුන් ගාලු පාර ඔස්සේ ගල්කිස්ස දෙසට බයිසිකල් පැදගෙන යන අයුරු නොයෙක් විට දකින්නට ලැබුණේය. 


‘කොහොම හරි මම වයස අවුරුදු දහසයේදී එංගලන්තයට ගිය නිසා ඊට පස්සේ මට බයිසිකල් පදින්න ලැබුණේ තවත් අවුරුදු තුන හතරක් විතර ගත වුණාට පසුවයි. ඒකට නං හේතු කීපයක් තිබුණා. ප්‍රධානම කාරණේ තමයි ඒ දවස්වල මට බයිසිකලයක් නොතිබුණ එක. ඊළඟට ඉගෙන ගන්නයි පාට් ටයිම් ජොබ් කරන්නයි ගියාම බයිසිකල් පදින්න වෙලාවක් තිබුණෙත් නැහැ. ඒ විතරක් නෙවි, මම එ රටේ පාරවල් ගැන දැනගෙන සිටියෙත් නෑ’. 
ඔහු එසේ කියන්නේ ලන්ඩනයේ සිටි මුල් කාලයේ තමන්ට බයිසිකල් පැදීම හිතාමතාම අතපසු කිරීමට මුල් වූ හේතු සාධක පැහැදිලි කරමිනි. කෙසේ වෙතත් තවත් තුන් වසරකින් පමණ ඔහු එරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටියදී සියලු නවීන අංගෝපාංග වලින් සමන්විත රේසිං බයිසිකලයක් අත්පිට මුදල් ගෙවා ලබාගෙන තිබුණේය. ඊට හේතු වූයේ දිනපතා සවස් කාලයේ සහ සති අන්ත දිනවල මුළු දවස පුරාමත් නිරත විය හැකි අර්ධ කාලීන රැකියා කීපයක්ම ඔහුට ලැබී තිබීමය. 


‘ඒ රේසිං බයිසිකලය ගත්තට පස්සේ මම කැම්පස් ගියෙත් බයික් එකේ. ඊළඟට මාසයකට සැරයක් විතර ලන්ඩන්වල තියෙන හැම පාරකම මම බයිසිකල් පැදල තියෙනවා. හැබැයි මම ගියේ තනියම. ලංකාවෙදි වගේ යාළුවොත් එක්ක බයිසිකල් පදින්න ගියේ නෑ. ඒ වගේම තමයි මම ඒ රටේ කොයි තරම් බයිසිකල් පැදලා තිබුණත් මම සයිකල් තරගවලට නං සහභාගී වෙලා නෑ’. 


කෙසේ වෙතත් ඊට වසර දහයකට පසු ඔහු යළිත් මෙරට පදිංචියට ආවේ ඒ වන විට වසර කීපයක් පැද තිබූ තමන්ගේ රේසිං බයිසිකලය ලන්ඩන් නගරයේ විසූ තවත් ආසියාතික තරුණයකුට අඩු මිලකට විකුණා දමමිනි. 
1981 වසරේ ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචියට පැමිණි මංගල තම කෙටි ගමන් බිමන් සඳහා අලුත්ම බයිසිකලයක් මිලදී ගත්තේය. එකල සිටි සමවියේ තරුණයන් මෝටර් බයිසිකලයක් හෝ කුඩා ප්‍රමාණයේ මෝටර රථයක හිමිකරුවකු වීමේ සිහින දකිමින් පසුවෙද්දී වසර දහයකට වැඩි කාලයක් මහා බි්‍රතාන්‍යයේ ලන්ඩන් නගරයේ විසූ මංගල එලෙස බයිසිකලයක් මිලදී ගැනීම ඔහුගේ ඇතැම් මිත්‍රයන් දුටුවේ විහිළුවක් ලෙසිනි. 


‘ඒ දවස්වල මම බයිසිකල් එකෙන් මුළු කොළඹ පුරාම ඇවිද්දා’ යි කියන ඔහුට අත් යන්ත්‍ර රෙද්දෙන් මැසූ සරමකින් සහ කමිසයකින් සැරසී බයිසිකලයෙන් ගමන් බිමන් ගිය අයුරු තවමත් මතකය. ඒ කාලයේ ඔහු ළඟින් ඇසුරු කළ මිත්‍රයන් හැම දෙනෙකුටම පාහේ අලුත්ම මෝටර් රථ තිබුණ ද ඔවුන් අනුකරණය නොකළ මංගල සමරවීර තමන්ගේ පෞද්ගලික ගමන් බිමන් ගියේ තමන් සතු බයිසිකලයෙනි. නැතහොත් ත්‍රිරෝද රියක් හයර් කරගෙනය. 


තම මිත්‍රයකුගේ මාර්ගයෙන් මංගල සමරවීර හඳුනා ගත් බුද්ධි කීර්තිසේන මහතා මාරවිල, කොස්වාඩිය ප්‍රදේශයේ පිහිටි බතික් වැඩපොළේ සැලසුම් උපදේශකවරයෙකු ලෙස එක්වන්නැයි ආරාධනා කළේ ඒ අතරතුරය. 
‘මුලදී නං මගේ ඒ හැටි උනන්දුවක් තිබුණේ නැහැ. ඒත් දවසක් මම කොස්වාඩිය පැත්තේ රවුමක් ගහලා බලන කොට මට ඒ පැත්තට හිත ගියා. පස්සේ මං එතන ස්ථිර සේවයට නොගිහින් පාට් ටයිම් වැඩ කරන්න පටන් ගත්තා. මොකද ඒ දවස්වල මටත් කොල්ලුපිටියේ පොඩි වර්ක් ෂොප් එකක් තිබුණා. මම මුහුදු වෙරළ අද්දර තිබුණු ගෙයක් කුලියට අරගෙන තමයි නතර වෙලා හිටියේ’ යි කියන ඔහු තමන්ගේ පෞද්ගලික ගමන් බිමන් සඳහා කොළඹ, පොල්හේන් ගොඩ නිවසේ තිබූ තම බයිසිකලය ද රැගෙන ගොස් තිබුණේය. 


මංගල බුද්ධි බතික් ආයතනයේ අර්ධකාලීනව සේවය කරද්දී කොස්වාඩිය පැත්තේ විසු තරුණයන් අතිවිශාල පිරිසක් ඔහු හා මිතුරු වී සිටියහ. 


ඊට අමතරව සති අන්ත දිනවල කොළඹිනුත් මගේ යාළුවෝ ආවා. මොකද ඒ මුහුදු වෙරළ හරිම ලස්සනයි. සමහර සති අන්තවලදී කොළඹින් යාළුවෝ ආවම අපි හුඟක් රෑ බෝ වෙනකම්ම මුහුදු වෙරළේ සින්දු කියනවා, නටනවා, කනවා. බොනවා. හරිම විනෝදයෙන් තමයි ඒ අවුරුදු දෙක මම එහේ හිටියේ’. මංගල එසේ කියන්නේ තමන් එංගලන්තයේ සිට මවුබිමට පැමිණි අලුත මාරවිල බුද්ධි බතික් ආයතනයේ නව මෝස්තර නිර්මාණ උපදේශකවරයෙකු වශයෙන් අර්ධකාලීනව සේවය කළ කාලයේ වූ විවිධ රසවත් සිදුවීම් පිළිබඳ මතකය අවදි කරවමිනි. 


මේ අතර කොස්වාඩිය ප්‍රදේශයේ තරුණ පිරිසක් අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණහ. විවිධ ක්‍රීඩා තරග ඉසව් රැසකින්ම සමන්විත එම අලුත් අවුරුදු උත්සවයේ එක් තරග ඉසව්වක් වූයේ සැතපුම් විස්සක් හෝ විසි පහක් දුරැති බයිසිකල් ධාවන තරගයයි. 


‘මෙදා සැරේ මාත් යනවා සයිකල් රේස් එකට’. 


තමන් නතර වී සිටි නිවසට නොදුරින් පැවැත්වීමට නියමිත අවුරුදු උත්සවය ගැන ඇසූ ඔහු එම බයිසිකල් ධාවන තරගයට ඉදිරිපත්වීමට සිතා ගත්තේ සති ගණනකටත් පෙර සිට ය. 


‘මේ ඊයේ පෙරේදා බයිසිකල් පදින්න පටන් ගත්ත ඔයාට පුළුවන්ද? රේස් පදින්න’ යි කියමින් තම මිත්‍රයාට විහිළු කළ බුඩී කීර්ති සේන ඇතුළු කොළඹ මිත්‍රයන් කැට කඩා කියා සිටියේ රේස් දිවිල්ල කෙසේ වෙතත් මංගලට අතපය තුවාල කරගෙන රෝහල්ගතවීමට පවා සිදු වන බවය. 


‘හ හ් ඔයගොල්ලො එහෙමද හිතන් ඉන්නේ? මම ලන්ඩන්වලත් බයිසිකල් පැද්ද කොල්ලෙක්’ යි කී ඔහු තමන්ට සමච්චල් කළ කොළඹ මිත්‍රයන්ගේ අභියෝගය පිළිගනු ලැබුවේ තමන් අනිවාර්යයෙන්ම මුල් ජයග්‍රාහකයන් තුන් දෙනා අතරට එන බවට සහතික වෙමිනි. 


‘හැබැයි ඉතින් ඔය ගොල්ලො මට සපෝට් කරන්න ඕන’ යි කී මංගල දින කීපයක් මහන්සිවී පුහුණුවීම්වල ද යෙදුණේ සිත දිරිමත් කරගෙනය. 


මුලින් මංගලට විහිළු කළ ද පසුව ඔහුගේ කොළඹ මිතුරු කැල විවෘත ජීප් රියකින් සහ මෝටර් බයිසිකල් කීපයකින් පැමිණ තිබුණේ තම සුමිතුරාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අදහසිනි. මේ අතර තරග කරුවන් අතර පැතිර ගිය රාවයක් වූයේ කොළඹ සිට පැමිණි මංගල මහත්තයා එංගලන්තයේ ද කප් ගසා ඇති බයිසිකල් රේස්කාරයෙකු බව ය. 


‘හැබැයි ඒක...... මේ අපේම යාළුවෝ ප්‍රචාරය කරලා තිබුණු බොරු කතාවක්. ඒත් ඒ කතාව අහලා කොල්ලොනං ටිකක් බය වෙලා වගෙයි මගේ දිහා බැලුවේ’. 


මංගල එසේ කියන්නේ සිනාසෙමිනි. කෙසේ වෙතත් තමන්ට අවශ්‍ය වූයේ බයිසිකල් ධාවන තරගයෙන් ජයග්‍රහණය කිරීමට නොව ඊට සහභාගීවීම පමණක් බව හෙතෙම පවසයි. 


‘ඔන්න කොහොම හරි රේස් ඒකත් පටන් ගත්තා. මම හිටියේ තුන් වැනි පේළියේ. සමහර විට තරග සංවිධායකයන් මම ඒ විදියට තුන් වැනි පෙළට දමන්න ඇත්තේ එංගලන්තයේ පවා සයිකල් පැදපු ධාවන ශූරයෙකුගෙන් ගමේ කොල්ලන්ට අසාධාරණයක් වෙන්න පුළුවන් කියලා හිතල ද කියන්නත් බෑ’ යි සිනාසෙමින් කියන මංගල තරගයේ ආරම්භක සංඥාවත් සමග වෙර යොදා තම බයිසිකලය පැදගෙන ගිය ද තිස් හතළිස් ගණනක්වූ සෙසු තරගකරුවන් පිරිස ඒ වන විටත් මීටර් පන්සීයක් පමණ ඉදිරියට ඇදී ගොස් සිටියහ. 


මේ අතර විවෘත ජීප් රියකින් සහ මෝටර් සයිකල් කීපයක නැගී තමන් පසුපසින් පැමිණි බුඩී ඇතුළු මිත්‍රයන් පිරිස ‘කමෝන් මංගල ෆාස්ටර් ෆාස්ටර්’ යි කියමින් තමන් දිරි ගන්වන හඬින් ඔහුගේ දෙසවන් පිරී තිබුණේය. එසේ වුවද සෙසු තරගකරුවන් පෙනෙන තෙක් මානයක නැති බව දුටු මංගල  එවර තම මුළු ශක්තියම යොදා බයිසිකලය පැදවූයේ ඉදිරියට ඇදී ගිය පිරිස අතර සිටි අන්තිමයාගේ ඡායාමාත්‍රයක් හෝ දැක ගැනීමේ අදහසිනි. 
ඒ අස්සේ අතරමඟ වතුර බාල්දි තියාගෙන හිටපු කොල්ලො කෙල්ලො මට වතුර ගහනවා. මට වැඩිපුරම වතුර ගැහුවේ ගෑනු ළමයි. දැන් මගේ මුළු ඇඟම දිය බත් වෙලා. මහන්සිය වැඩි. මට බඩවැල් කටින් එන්න වගේ දැනෙනවා. දැන් මේ රූට් එකේ කඳු දෙකක් තියෙනවා. මම කොහොම හරි එක කන්දක් නං නැග ගත්තා. ඒත් ඊළඟ කන්ද දකින කොටම මම තරගයෙන් අයින් වෙලා. බයිසිකල් එකත් අරගෙන බූඩීලගේ ජීප් එකට නැගලා ආපහු ආවා’. යි කියමින් තමන් ජීවිතයේ මුල් හා අවසන් වතාවට බයිසිකල් ධාවන ශූරයෙකු වීමට ගිය අයුරු සිහිපත් කරන මංගලට එම සිද්ධිය කිසි දිනෙක අමතක නොවන්නේ අතරමඟ දී වැදුණු වතුර බාල්දි පාරවල් නිසා තමන්ට දරුණු සෙම්ප්‍රතිෂ්‍යාවක් පවා වැලඳුණු බැවිනි.

 

 


නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූපය : අන්තර්ජාලයෙනි