“තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගත යුතුයි” පළමුවැනි විධායක බලය ඇති ජේ. ආර්. ජයවර්ධන මහතා වරක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. 
මුළු රටම ත්‍රස්ත බියෙන් ඇළලී ගිය සමයක රාජ්‍ය නායකයා විසින් කළ එම ප්‍රකාශය ගැන මාධ්‍යවේදීන්ගේ අවධානය යොමුවුවත් කිසිවකු ඊට ප්‍රතිඋත්තර බඳින්නට නොගියේ එහි ප්‍රති විපාකය දන්නා හෙයිනි. එහෙත් 1986 ජූනි මස දෙවන ඉරිදා දිවයින පත්‍රයේ කතු වැකියෙන් එම ප්‍රකාශය ලුණු ඇඹුල් ඇතුව නිර්දය ලෙස විවේචනය කර තිබිණි. එම අභීත කතුවරයා වූයේ දිවංගත දයාසේන ගුණසිංහයන්ය. 


මෙවර පුවත්පත් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන මෙවැනි පෙරළිකාරයකුව දසතින් ඇගයීම් ගලා එන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ ඔහු පඩි සහිත නිවාඩු මත සේවයෙන් පහකිරීමය. හෘදය සාක්ෂියට එකඟව පුවත්පත් කලාවෙහි නිරතවීම නිසා “මා ලැබූ අනපේක්ෂිත විවේකය මාගේ සාහිත්‍ය මෙහෙවරට පමණක් නොව ජීවිතය හා මනුෂ්‍යයා පිළිබඳ ඉතා දුර්ලභ ගණයේ අත්දැකීම් සම්භාරයක් සඳහා උපකාර වුණා.” දයාසේනයන් පවසා තිබිණ. 


“මාධ්‍ය නිදහස” යන ලේබලය තුළ මාධ්‍යවේදියාටත් භූමිකාවක් තිබෙන බව එම සිද්ධියෙන් පෙනේ. ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ට ද ඇත්ත කතා කරන්නට ගොස් මෙවැනි අකරතැබ්බවලට මුහුණපාන්නට සිදුවිය. අත ගැසූ සෑම කාර්යයක්ම එහි සාම්ප්‍රදායික ප්‍රතිරූපය බිඳ නව මං කරා ගෙනයාමට ඔහු උත්සුක විය. 
1994 දී ඔහු රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළ අතර ලූෂන් බුලත්සිංහල වැනි නිර්මාණශීලී කලාකරුවන් සමග දිගු වැඩපිළිවෙළකට අවතීර්ණ වූයේ සම්ප්‍රදායන්ට අභියෝග කරමිනි. රූපවාහිනියේ ප්‍රථම වරට පක්ෂ - විපක්ෂ දේශපාලන චරිත එකම වේදිකාවට කැඳවමින් ‘කතිකා’ මැයෙන් සංවාදශීලි මණ්ඩපයක් ඔහු නිර්මාණය කළේ ජනතාව දේශපාලනය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහාය. 


එහෙත් ජනාධිපති රණසිංහ ප්‍රේමදාසයන්ට වැරැදි තොරතුරු ලැබීම නිසා මාධ්‍යවේදින් දඩයම රූපවාහිනියේ ක්‍රියාත්මක විය. 
පළමුව රූපවාහිනියේ සභාපති ලයනල් ප්‍රනාන්දු ද අධ්‍යක්ෂ ජනරාල් වයි. ආර්. ද සිල්වා ද රූපවාහිනියෙන් බැහැර කරන ලදි. 
කතිකා වැඩසටහනට එවකට ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායකයන් ද එක් කර ගැනිණ. දකුණු ආසියාවේ රාජ්‍ය මාධ්‍යයක් මෙබඳු වැඩසටහනක් ඉදිරිපත් කළ මුල්ම අවස්ථාව මේකයි. ඒ මහතා ආචාර්ය සුනන්දයන්ට ප්‍රශංසා කරමින් පැවසීය. 


එහි ප්‍රතිඵලය වූයේ දේශපාලකයාගේ ගෝලයන් පිරිසකට වැඩසටහන භාර දී එවකට ආචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් සහ ලූෂන් බුලත්සිංහලයන් පිටමංකිරීමයි. අනතුරුව වැඩසටහන දියාරු වී ගිය බව පැවසේ. 


රණසිංහ ප්‍රේමදාස ජනපතිගේ යුගයේදී සිදුවූ මෙම කැකිල්ලේ තීන්දුවම 1997 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේදී ද සුනන්දයන් වෙත ලැබිණ. 
“අන්න මැඩම් ඔබතුමාල එක්ක උදහස් වෙලා” 


ඔවුන්ගේ හිතවතා වූ අමාත්‍ය ධර්මසිරි සේනානායක පැවසූ බව සුනන්ද මහේන්ද්‍ර සාර සන්නිධි සංග්‍රහයේ පළ වී තිබිණ. මෙවැනි කළකිරීම් මැද වටිනා ජනමාධ්‍යවේදීන් රැසක් ගුවන් විදුලියට හා රූපවාහිනියට අහිමිවිය. 


පත්තර ලෝකයේ දැවැන්තයා ලෙස විරුදාවලි ලැබූ ඩී. බී. ධනපාල, මාධ්‍ය ලෝකයේ උඩුගම් බලා පීනන්නට වෙර දැරූ මාධ්‍යවේදියෙකි. 1956 දී එතෙක් පැවැති යූ.ඇන්.පී. පාලනය පලවාහැර ජනතා යුගයක් බිහිකරලීම සඳහා එක්වූ විදවත් බලවේග අතර ධනපාලයෝ ද වූහ. 


ප්‍රවීණ මාධ්‍යවේදී ජුලියස් ද ලැනරෝල් මහතාගේ යුගයෙන් පසු ටයිම්ස් ආයතනයේ පුවත් පත් සමූහයේ මුල් පුටුව හිමිවුයේ ධනපාලයන්ටය. 1961 අගෝස්තු මස 14 වැනිදා සිට එම සහයෝගය ස්වාධීන ප්‍රවෘත්ති පත්‍ර ආයතනයට ලැබිණි. 


එක්තරා යුගයක හාල්, සීනි, පිටි වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල දැඩි හිඟයක් ඇති විය. මේ පිළිබඳ ජනතාව දැනුම්වත් කරන ප්‍රවෘත්තියට ශීර්ෂ පාඨයක් දැමීමට මාධ්‍යවේදියකු අපොහොසත් විය. 


“මොනවද අයිසෙ, ඔය තරම් කල්පනා කරන්නේ. දානවා හෙඩිම නෑ.... නෑ.... නෑ.... කියලා. මෙවැනි සැහැල්ලු ගති පැවතුම් ඇති මේ කුඩා මිනිසාට රාජ්‍ය නායකයන් පවා බියවූයේ කොයි මොහොතක හෝ ඔහු තමන් විවේචනය කරාවිද යනුවෙන් සිතමිනි. ඔහු ආණ්ඩු හැදුවාක් මෙන්ම ආණ්ඩු පෙරළීමද පත්‍ර කලාව හසුරුවමින් සිදුකළේය. 
“ධනපාල තමයි මාව කෑවේ. ඒ වුණාට මිනිහගෙ දස්සකම් වලටත් නිර්භීතකම්වලටත් මං ගරු කරනවා.” අගමැති ජෝන් කොතලාවල වරක් පැවසුවේය. 
මං මළහම කාටවත් විශේෂයෙන් කියන්න ඕන නෑ. පැය දෙකක් යන්න කලින් වළ ඳාන්න. හැබැයි, යක්කඩුවේ නායක හාමුදුරුවන්ට විතරක් දන්වලා සුදුරෙදි කෑල්ලක ඩී.බී.ට නිවන් සැප ලැබේවා. කියලා එල්ලුවොත් හොඳටම ඇති.


ඩී. බී. ධනපාලයන්ගේ අන්තිම කැමැත්ත එලෙසින් විය. මාධ්‍යවේදීන්ගේ, සාහිත්‍යධරයන්ගේ තරම දන්නා දේශපාලනඥයෝ එදා සිටියහ. ගත්කතුවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වූ අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා එවැන්නෙකි. 


1967 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම විවිධ කෘති තේමාව යටතේ සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශ වූයේ යූ.ඇන්.පියේ ප්‍රබල ප්‍රතිවාදයෙකුටය. ඒ එවකට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් පිළිබඳව සිරගත කර සිටි හේන්පිටගෙරද ඤාණසිංහ හිමියන්ටය. තේරීම් මණ්ඩලයේ ප්‍රතිගාමී හිමිනමක් ඊට එකහෙළා විරුද්ධ වූහ. 
රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට සම්බන්ධ හිමිනමකට රාජ්‍ය සම්මාන දීම හරි නෑ. එවකට ඩඞ්ලි සේනානායක ආණ්ඩුවේ සංස්කෘතික අමාත්‍ය ධුරය දැරුවේ ප්‍රවීණ දේශපාලනඥයකු වූ අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ලය.  සංස්කෘතික අධ්‍යක්ෂවරයා වූයේ ප්‍රවීණ ලේඛක ලීල් ගුණසේකරය. 
මේක දුර දිග යන පාටයි. ඇමැතිතුමන් එක්ක කතා කරලා ප්‍රශ්න බේරුම් කරලා දෙන්න. සාහිත්‍ය මණ්ඩලයේ සාමාජික ආනන්ද ගුරුගේ, ලීල් ගුණසේකරයන් ගෙන් ඉල්ලා සිටියේය. 


සර් පොඩි ප්‍රශ්නයක්. ලීල් ගුණසේකර කීය. මොකක්ද ඊරියගොල්ල ඇමැතිවරයා ඇසීය. හේන්පිටගෙදර හාමුදුරුවන්ට රාජ්‍ය සම්මානෙ දෙන්න. එපයි කියලා සමහරු කියනවා. දැන් දැන් ඇමැතිවරයා ද පුපුරා හැලෙනු ඇතැයි ලීල්ට සිතුණි. නමුත් සිදුවූයේ අනෙකකි. 
අයිසේ, දක්ෂ යකා හිරේ හිටියත් නිරේ හිටියත් දක්ෂයා. අපි කෝකටත් අගමැතිතුමටත් කියල බලමු. ඊළඟට දෙදෙනාම අගමැති ඩඞ්ලි හමුවන්නට ගියහ. අධ්‍යක්ෂතුමා මොකක්ද අදහස් කරන්නේ. ඩඞ්ලි ඇසීය. සර් උන්වහන්සේ තමයි සුදුසුස්සා ලීල් කීය. 


“මාත් කියන්නේ ඒකමයි.” ඊරියගොල්ල පැවසීය. ඒ කතාව මාත් අනුමත කරනවා, කී ඩඞ්ලි අනුමැතිය දුන්නේය. ඒ අනුව සාහිත්‍ය සම්මාන සහතිකය පළමු වතාවට බන්ධනාගාරගතව සිටි ඤාණසීභ හාමුදුරුවන් වෙත ගෞරව සහිතව පිරිනමන ලදී. 
පක්ෂ දේශපාලනය නොවිමසා සුදුස්සාට සුදුසු තැන දෙන්නට සංස්කාතික ඇමැතිවරයා එදා පසුබට නොවීය. අගමැති බණ්ඩාරනායක මහතා බලයට පත්වූයේ ජන බලය මෙන්ම මාධ්‍ය බලය ද පෙරදැරි කරගෙන බව නොරහසකි. මහ පත්තර කන්තෝරු ධනවාදීන්ගේ පැත්ත ගත් වකවානුවේ සිංහල මහා සභාව තුළින් සිංහල බලය පුවත් පත් ඇරඹූ මාධ්‍යවේදීන්ගේ දස්කම් නිසා නිර්ධන පන්තියට ප්‍රබල ආයුධයක් ලැබිණ. 
ශ්‍රීලනිප නායක බණ්ඩාරනායක මැතිඳුන්ගේ මුර දේවතාවා වෙමින් ජයග්‍රහණය මඟ එළි පෙහෙළි කළ සිංහල බලයේ සංස්කාරකවරයා වූයේ දිවංගත මාධ්‍යවේදී හේමපාල මුනිදාසයෝය. බණ්ඩාරනායකයන් යූ.ඇන්.පී.ය බිඳගෙන පැමිණ ශ්‍රීලනිපක්ෂය පිහිටුවා ගත් දා සිට ඇරඹු සිංහලේ පත්‍රයේ කර්තෘ පදවිය දැරුවේද ඔහුය. 


ලේක් හවුස් පත්‍ර කඳවුර යූ.ඇන්.පී. පාර්ශ්වය ගත් අතර ටයිම්ස් මන්දිරයෙන් නිකුත් වූ ලංකාදීප, ඉරිදා ලංකාදීප ටයිම්ස් ඔෆ් සිලෝන් වැනි පුවත්පත් බණ්ඩාරනායක යුගයට සහයෝගය දුන්නේය. 


අධිනීතිඥ ගිල්බට් පෙරේරාගේ ස්වදේශ ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙන් ජාතිය, ගාඩියන්, සන්ඬේ පික්ටෝරියල් හා සිංහල ජාතික පුවත් පත් තුළින්ද සමාජවාදී ගමනට වෙර වීරිය ලැබිණ. 
පත්තර ලොව පෙරළියක් කළ බණ්ඩාරනායක නමැති දේශපාලනඥයා ඉන් නොනැවතී තම ලේඛක කුසලතාව ද ඔප නංවා ගත්තේ පත්තරවලට ලිවීමෙනි. 
අතුරුදන් වූ අපේක්ෂකයා ඔහු ලියූ අපූරු කෙටි කතාවකි. අනතුරුව රදල සමාජය විචාරයට ලක් කරමින් ලියූ මහහේනේ රීරියාකා කෘතිය දෙස් විදෙස් රසිකයන් පිනවූ අතර සිනමාවට ද නැගිණි. 


බණ්ඩාරනායක චරිතය තුළ වඩාත් කැපී පෙනෙන එමෙන්ම ස්වදේශීය සංස්කෘතික හා කෘෂිකාර්මික රටාව පිළිබඳ පූර්වාදර්ශයක් දෙන කෘතිය වූයේ 1933 මැයි 11 වැනිදා පළවූ චර්කය හා ගොයම් කෙතයි. 
තමන්ගේ නම ප්‍රචලිත කර ගනිමින් ඇතැම් කෘති පළකළ දේශපාලනඥයන්ට ගරු සම්මාන පුදන සමාජයට අභියෝග කරමින් බණ්ඩාරනායක නම් කෘතහස්ත ලේඛකයා චර්කය සහ ගොයම් කෙත කෘතිය තුළින් සියරට දේ සිරි සැප දේ යනුවෙන් එදා මුනිදාස කුමාරතුංගයන් පෙන්වා දුන් දර්ශනය ක්‍රියාත්මක කළේය. 
චර්කය තුළින් තමන් අතින්ම වියාගත් රෙදිවලින් මැසූ ජාතික ඇඳුම ඇඳ විවාහ මංගල්‍යයට එක්වූ බණ්ඩාරනායක මැතිඳු පාර්ලිමේන්තුවට ගියේ ද එම කදාර් වස්ත්‍රය හැඳ නිල් පැහැති සාටකය පැලඳ දේශාභිමානී හැඟීමෙනි. 


දේශපාලනය කරන භිකෂුව ජනතාවට දවල්ට බණ කියා රාත්‍රියේ සොරකමේ යන්නෙකු වැනි යැයි එක්තරා දේශපාලනඥයකු භික්ෂු දේශපාලනයට එරෙහිව කියා ඇත. එම සභාවේ සිටි සාහිත්‍යධරයකු වූ බඹරැන්දේ සිරිසීවලී හිමියෝ වහා නැගිට ගිහි දේශපාලකයා වනාහි මහ දවල් මහපාරේ සුදු ඇඳගෙන යමින් ජාතික ධනය මංකොල්ල කන්නෙකු වැනි යැයි කියා ඇත. මෙය මාධ්‍යයට එරෙහි වන දේශපාලකයන්ට ද ගැළපෙනු ඇත.

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි