එකළ මැලේරියා රෝගියකු කදක තබාගෙන යන පිරිසක්.
 
 
 
ගොඩ ගොඩ ඇටසැකිලි 
තැන තැන තැබු බලි බිලි 
මහ මඟ රෙදි වැරළී 
එපුර හැම තැන බලන් පිළිකුලි 
 
 
බුවනෙකබා රජ දවස විදාගම මෛත්‍රෙය හිමියන් ලියු බුදුගුණාලංකාරයෙහි වසංගත රෝග බියෙන් ඇළලී ගිය ඉන්දියාවේ විශාලා නුවර දර්ශනය එසේ මතකයට නගයි. 
 
එම කවිය සිහියට නැගුණේ චීනයේ හුවාන් ප්‍රාන්තයේ නගරය කොරෝනා උණ වසංගතයෙන් වෙළී ඇති අයුරු දුටු විටය. 
 
වෛද්‍ය මෙහෙයුම් කෙතරම් දියුණුව ඇතත් වේගයෙන් පැතිරෙන කොරෝනා වෛරසය පරාජය කිරීමට බටහිර වෛද්‍යවරුන්ට අපහසු වී තිබේ. ඊට ත්‍රිවිධ හමුදා සහය ලබා ගැනීමට ලෝක නායකයන්ට සිදුවිය. කෙසේ වෙතත් හුවාන් ප්‍රාන්තයේ සිර වී අසරණව සිටි වෛද්‍ය සිසුන් 33 දෙනා නිරුපද්‍රිතව මුදාගෙන වෛද්‍ය නිරෝධායන රැකවරණය මත මෙරටට ගෙන්වා ගෙන දියතලාවේ නේවාසික රැකවරණය ලබාදීමට තරම් රජය, වෛද්‍යවරුන් හා ත්‍රිවිධ හමුදාවා ගත් පියවර ගැන රන් අකුරින් ඉතිහාස ගතවනු ඇත. 
ලොව මිනිස් බලයෙන් ලොකුම බලවතා වන චීනය මෙම වසංගත තත්ත්වය නිසා බියෙන් සැලෙද්දි ඉන්දීය සාගරයේ මුතු ඇටය තරම් කුඩා අපේ රට වසංගත රෝග සතුරාට සාර්ථකව මුහුණ දුන්නේ අද පමණක් නොවේ.  
 
මින් වසර 86 කට පෙර ක්‍රි.ව. 1934 දී මෙතරම් වෛද්‍ය තාක්ෂණය නොදියුණු සහ රෝග සතුරාට මුහුණ දීමට පෙර සූදානම් නොමැති යුගයක මෙරට බලධාරීන් හා ආයුර්වේද වෛද්‍යවරුන් එකතුව මාරාන්තික මැලේරියා වසංගතය පැරද වු අයුරු ද විස්මය ජනකය. 
‘‘මැලේරියා වසංගතය කෑගලු දිස්ත්‍රික්කය විසාලා මහනුවරක් වන ලකුණු.’’ ‘‘කඩිනම් ප්‍රතිකාර නොලැබුණොත් පළාතම අමු සොහොනක්.’’ 
 
මෙවැනි සිරස්තලවලින් එකල මුද්‍රිත මාධ්‍ය පිරී ගොස් තිබිණ. මැලේරියා උණ එක පවුලක එක් රෝගියකු නොව මුළු පවුලම එකම මොහොතේ ගිල ගැනීම නිසා එකිනෙකාට පිහිට වීමට කාලයක් වත් ඔවුනට නොවිණ. 
 
තම නිවසේ අය අසනීප වු බව දැන්වීමටවත් ඔවුන්ට බෙහෙත් හේත් තබා ආහාර පාන සපයා ගැනීමටවත් නොහැකිව කුස ගින්නේම මිය ගිය වූවන්ගේ නගරය පිරිණ. මියගිය වුන්ගේ අවසන් කටයුතු කරගත නොහැකිව අලුත් ගැටලු පැන නැගිණ. 
කෑගල්ලෙන් ලැබුණු අලුත් ආරංචි මෙන්න. 1934 වසරේ දෙසැම්බර් මාසය තුළ මරුමුවට පත් ගණන 3027 කි. මින් 2500 ක් පමණ ළඳරුවෝය. 1935 ජනවාරි මුල් දෙසතිය තුළ දී මැලේරියාවෙන් 1976 ක් මියගිය අතර ඉන් 1470 ක් ළඳරුවෝය. මේ අනුව මාස එකහමාරක් තුළ මියගිය ගණන 3500 ඉක්මවයි. 
 
මෙම පුවත් වාර්තා අනුව මැලේරියා වංසගතය ශ්‍රී ලංකාවට කෙතරම් තදින් බලපාන්නට ඇත්දැයි පෙනී යයි. 
මහනුවර නගර සීමාව තුළ පිහිටි ගම් වල මැලේරියා රෝගීන් උදෙසා මලබාර් වීදියේ ආණ්ඩුවේ පාඨශාලාවේදී ආයුර්වේද වෛද්‍ය සංගමය විසින් ආරෝග්‍ය ශාලාවක් විවෘත කෙරිණ. 
 
ප්‍රධාන ආරාධිතයා වු මධ්‍යම පළාතේ ආණ්ඩුවේ ඒජන්තවරයා පිළිගනිමින් කතා කළ වෛද්‍යවරු පැවසුවේ මෙරට ආයුර්වේද ක්‍රමයේ සාර්ථක භාවය පෙන් වීමට මෙය කදිම අවස්ථාවක් කර ගන්නා බවයි. 
 
නාරම්පනාවේ වෙද මුහන්දිරම් ද ආයුර්වේද ක්‍රමයේ අනර්ඝත්වය ගැන කතා පවත්වා ඇත. ආණ්ඩුවේ ඒජන්තවරයාගේ උපදෙස් අනුව අසරණ වු ජනතාව උදෙසා තුන්පනේ පළාතේ ආයුර්වේද මධ්‍යස්ථාන 04 ක් ද හාරිස්පත්තුවේ මහනුවර පාතදුම්බර එක බැගින්ද ආරෝග්‍යශාලා අටක් මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටුවන ලදි. 
 
එවකට ලංකාණ්ඩුකාර තනතුර දැරුවේ රෙජිනෝල්ඩ් එඩ්වර්ඩ් ස්ටබ්ස්ය. එතුමාට මැලේරියා වසංගතය මැද රට වෙළා ගෙන ඇති බව දැන ගන්නට ලැබුණේ බොහෝ ප්‍රමාදවය. 
 
මෙතරම් විපතක් සිදු වී ඇති බව මට නිලධාරි දැන්වූයේ නැහැ. ඒක බලවත් වරදක්. මගේ පාලනයට බලවත් පහරක්. වහාම ඊට පිළියම් යෙදිය යුතුයි. 
 
එසේ නියෝග කළ සුදු ජාතික ආණ්ඩුකාරයා මැලේරියාව පවතින ප්‍රදේශ වලට ගොස් සියැසින්ම තත්ත්වය දැක බලා ගැනීමට කැමැත්ත පළ කළේ නිලධාරීන් පුදුම කරවමිනි. උසස් නිලධාරීහු මෙම ගමන නුසුදුසු බව කියා වැළැක්වීමට බොහෝ උත්සාහ කළහ. 
එහෙත් දුකට පත් ජනතාවට පිහිට වීමේ අදහස ආණ්ඩුකාරයා බැහැර නොකළේය. ඒ අනුව වසංගතය තදින් පැවැති ප්‍රදේශවල සංචාරය කළ එතුමා වෛද්‍යාධාර සහ ආහාර ද්‍රව්‍ය බෙදා දුන්නේය.
 
මෙහිදී ආණ්ඩුකාරයා අපූරු මතයක් පළ කළේය. මගේ පාලනය යටතේ සිටින ජනතාව මං පියෙකු වගේ බලා ගත යුතුයි. වසංගතය මෙතරම් දුර දිග යනතුරු මට නොදන්වා සිටීම නිසයි තත්ත්වය දරුණු වුණේ. මැලේරියා මදුරු මර්දනයට යුද හමුදා සහය දෙන්න ඉල්ලා සිටියත් ඒ ගැන සැලකුවේ නෑ. 
 
1915 කැරැල්ල ඇති වු වේලාවෙත් නිසි පියවර ගත්තා නම් රටට දරුණු විපතක් වෙන්නේ නෑ. 
 
දුර දිග නොබලා ක්‍රියා කිරීම නිසා එයින් රටට මහත් විපත්තියක් සිදු වු බව ඉතිහාස ගත වෙලා ඉවරයි. ඒ නිසා මැලේරියා තත්ත්වයත් දුර දිග යන්නට පෙර නිමා කිරීම සඳහා සැවොම එක්විය යුතුයි. මෙසේ පැවසු සුදු ආණ්ඩුකාරයා මැලේරියා මෙහෙයුමට එරෙහිව රජයට සහය දුන් රටේ ස්වේච්ඡා සංවිධානවලට ස්තූතිය පළ කිරීමට මැළි නොවීය. 
මෙම මෙහෙයුම සැලසුම් කිරීම සඳහා ආණ්ඩුවේ වෛද්‍යවරුන්ට අමතරව ලංකා වතු කම්කරු සංගමයේ මැලේරියා මර්දන ව්‍යාපාරයේ උපදේශක ලෙප්ටිනන්ටි කර්නල් ඩබ්. ඩබ්. ක්ලෙමිෂා මහතා ද එතෙර සිට පැමිණියේය. වෛද්‍ය හා සෞඛ්‍ය අධ්‍යක්ෂ දොස්තර ආර්. බ්‍රියර් ක්ලිප්, උප අධ්‍යක්ෂ දොස්තර ඇස්. පී. ගුණසේකර මැලේරියා නාශක ව්‍යාපාරයේ සුපිරින්ටැන්ඩන් දොස්තර සහ ජාතික ප්‍රතිශ්ඨාධාර කේ. ජී. රස්ටම්ජි සහ විශේෂ ප්‍රතිශ්ඨාධාර කොමසාරිස් එම්. ඊ. නිවුන්හැම් ද ඊට එක්වූහ. 
 
පත්තරවලට තොරතුරු දෙන්න බැහැ. බොහොම කනගාටුයි. දොස්තර රස්ටම්ජි මාධ්‍යකරුවන්ට පැවසීය. පසුදා පුවත්පත් වල තොරතුරු නොදෙන ලෙස ඔහු තම කාර්ය මණ්ඩලයට චක්‍ර ලේඛයක් ද නිකුත් කළේය. 
 
“බය වෙන්න එපා. කලබල වෙන්න එපා. යහපත් සෘතු ගුණයක් ළඟ ළඟ එනවා. අපි අපේ යුතුකම් නිවැරදිව ඉටු කරනවා.” රජයේ වෛද්‍යවරු පැවසූහ.
 
 
මේ අතර මැලේරියා මර්දනය සඳහා තමන් යොදා ගන්නා ලෙස යුද්ධ හමුදා නිලධාරීන් රජයට වරින් වර කළ යෝජනා වෛද්‍ය නිලධාරින් විසින් නොසලකා හැරීම ගැන දෝෂාරෝපණයක් ද එල්ල වූ අතර මහනුවර ලංකා පාබල හමුදා බැරැත්ත තාවකාලික සාත්තු නිවාසයකට හරවන ලදි. ගංගා වල හා මඩකඩිති වල මඳුරුවන් බෝ වන හෙයින් තෙල් ඉසීමේ කටයුතු හමුදාවට පැවරිණි.

මේ අතර ගම්බද වැසියන් මැලේරියාවට ඔරොත්තු දීම සඳහා ශක්තිමත් කිරීමේ අරමුණින් බටහිර ආහාරයක් වූ බාර්ලි නමැති පෝෂණ ඇට වර්ගය නාගරික ජනතාව විසින් බෙදා හැරිණ.

බාර්ලි ඇට තම්බා එම වතුර පානය කිරීමෙන් පෝෂණ ගුණය ලැබේ යැයි උපදෙස් දුන්න ද දරිද්‍රතාවෙන් වෙළී සිටි ජනතාව කළේ බාර්ලි තම්බා වතුර විසිකර ඇට බත් මෙන් කා දැමීමය.

යුරෝපයේ විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලැබුවද මෙරට වාමාංශික ව්‍යාපාරය ඇරඹූ තරුණ පිරිස “සම සමාජ පක්ෂය” පිහිටුවා ගන්නා ලදි.
සම සමාජය ඇතුළු වාමාංශික කඳවුර දේශීය මලක් වු සූරියමල දේශපාලන කටයුතු සඳහා ආධාර පිණිස ඇරඹූ අතර මැලේරියා වසංගතයෙන් ජනතාව විඳින පීඩාව දැක ඔවුන්ට පිහිට වීම සඳහා සූරියමල් ව්‍යාපාරයේ මුදල් හා තම ධනය ද වැය කිරීම ඇරඹුවෝය. 

කෑගල්ල අවට රෝගීන් සහ අසරණයන් සඳහා වෛද්‍යාධාර කෑම බීම හා පෝෂණ ආහාර රැගෙන ඇන්.ඇම්. ඇතුළු වාමාංශික නායකයෝ පවුල් පිටින්ම වසංගතය දරුණුවටම පැවැති කෑගල්ලට ගියහ. 

තැන තැන මළ මිනිසුන්ය. පණ අඳින රෝගීහුය. කුසගින්නෙන් පෙළෙන වැඩිහිටියන්, කාන්තාවන් හා දරුවන්ය. සම සමාජවාදී තරුණ පිරිස සමග නන්දෙසින් ආ මානව හිතවාදියෝ ලොරි රථ වලින් සහනාධාර රැගෙන ආහ. එවේලේම ගිනි දල්වා ආහාර පාන සකසන අයත් වියළි ආහාර බෙදාදෙන අයත් නිවසක් ගානේ ගියහ. 
රූප සම්පන්න තරුණයකු වූ ඇන්. ඇම්. පෙරේරා හැමෝටම කතා කළේ සහෝදරයා කියාය. ඔහු ගැමියන් අතර ඉක්මනින් ජනප්‍රිය විය. “පරිප්පු මහත්තයා” යැයි ඔහු හැඳින්වුයේ පරිප්පු ඇතුළු වියළි ආහාර බෙදූ නිසාය. කෙතරම් ජනප්‍රිය වූවාද යත් රුවන්වැල්ල ආසනයේ මහජන නියෝජිතයා ලෙස තරග කිරීමට ඔහුට යෝජනාවක් ද ආවේය.
එහෙත් ජනතා මෙහෙයෙහි යෙදී ජනප්‍රසාදය දිනාගත් සම සමාජයේ ඇන්.ඇම්. ට ජයග්‍රහණය හිමිවිය. 

ගී ගයමින් පීඩිත ජනතාව නැටූ බව පුවත්පත්වල සඳහන් විය. රාජ්‍ය මන්ත්‍රණ සභාවට එම වසරේ තේරී පත් වූ අනිත් සම සමාජ නායකයා වූයේ බොරලුගොඩ පිලිප් ගුණවර්ධන හෙවත් බොරලුගොඩ සිංහයාය. 

පුවත්පත් කර්තෘ හේමපාල මුණිදාස මහතාණන් ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ගැන අපූරු හැඳින්වීමක් කර තිබිණි. මැලේරියා රෝගීන්ට “පරිප්පු දන්දීමේ ආනිශංසයෙන් එතුමා රුවන්වැල්ලට අධිශ්වර වූයේය” යනුවෙනි.

කෙසේ වෙතත් මාරාන්තික වෛරස් රෝගයක් වූ මැලේරියා වසංගතය අභියෝගය භාරගත් ආයුර්වේද වෛද්‍යවරුන්ටත් සම සමාජ පක්ෂය ඇතුළු සමාජ වාදී කඳවුරටත් නිසි ලෙස මාධ්‍ය තොරතුරු ලබාදුන් දිනමිණ සිංහල ජාතිය හා සිංහල බෞද්ධයා වැනි පුවත්පත් වලටත් ත්‍රිවිධ හමුදාවටත් විශේෂඥ බටහිර වෛද්‍යවරුන්ටත් ස්වේච්ඡා සංවිධාන වලටත් ජාතියේ ගෞරවය හිමිවේ.
 
 
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි