දොන් විජයානන්ද දහනායකට 1959 සැප්තැම්බර් 26 වැනිදා ලංකාවේ 5 වැනි අගමැති බවට පත්වීමට පින පෑදුණේ කැබිනට් රැස්වීමේදී සී. පී. ද සිල්වා ඇමැතිවරයා පානය කළ කිරි වීදුරුවක් හේතු කොට ගෙන රෝගාතුර වී ප්‍රතිකාර ලබාදීම සඳහා ඔහු බි්‍රතාන්‍යයේ රෝහලකට යැවීමේ සිද්ධිය හේතුකොටගෙන බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.
බණ්ඩාරනායක අගමැතිවරයා 1959 සැප්තැම්බර් 28 වැනිදා නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගිවීම සඳහා යාමට සූදානමින් සිටියේය. සභානායක සී. පී. ද සිල්වා ප්‍රතිකාර ලබාගැනීමට ලන්ඩනයට ගොස් සිටි නිසා ඇමැති මණ්ඩලයෙහි අනිකුත් අය පිළිබඳව විශ්වාසයක් නොමැති නිසා ආපසු ලංකාවට පැමිණෙන තෙක් වැඩ බලන අගමැති තනතුර අධ්‍යාපන ඇමැති දහනායකට පවරන ලෙස අගමැති බණ්ඩාරනායක සර් ඔලිවර් ගුණතිලක ආණ්ඩුකාරවරයාට ලිපියක් මගින් දන්වා තිබුණි.
සැලසුම් කළ පරිදි බණ්ඩාරනායක අගමැතිවරයාට නිව්යෝර්ක් ගමන යාමට නොහැකි වූයේ 1959 සැප්තැම්බර් 26 වැනිදා ඔහු වෙඩි තබා ඝාතනය කළ නිසාය. සී. පී. ද සිල්වාට ලැබෙන්නට තිබුණ අගමැතිකම දහනායකට ලැබුණේ මෙසේය. මෙය දහනායක සිහිනෙන්වත් අපේක්ෂා කළ දෙයක් නොවේ.


ඒ වනවිට අධ්‍යාපන ඇමැති වශයෙන් පාසල් ළමයින්ට බනිස් සැපයීම හේතුකොට ගෙන රටපුරා ‘බනිස් මාමා’ යන නමින් හඳුන්වනු ලැබූ රෙද්ද බැනියම ඇන්ද මේ ඉංග්‍රීසි ගුරුවරයා අගමැති වී නොබෝ දිනකින් මහ රෑ කැබිනට් මණ්ඩලයෙන් ප්‍රබල ඇමැතිවරුන් පස් දෙනකු ගෙදර යැව්වේ ඔවුන් බණ්ඩාරනායකට දැමූ සෙල්ලම් තමන්ටද දමන්නට ඉඩ නොදෙමෙනි. ලංකා පාර්ලිමේන්තුවේ පැය 13 හමාරක් තිස්සේ දීර්ඝතම කතාව පැවැත්වූ මන්ත්‍රීවරයා ඔහුය. පාර්ලිමේන්තුවට අමුඩයකින් සැරැසී පැමිණි එකම මන්ත්‍රීවරයාද ඔහුය.


දහනායකට හැදුන දේශපාලන උණ


ඔහුගේ පියා දොන් දියෝනිස් පණ්ඩිත සේපාල දහනායකය. නිවුන් සොහොයුරා දොන් කල්යාණප්‍රිය දහනායකය. ඔහු දොන් විජයානන්ද දහනායකය. ඉංග්‍රීසි ගුරුවරයෙකු වශයෙන් සේවය කරද්දී ‘දේශපාලන උණ’ හැදීම හේතුකොට ගෙන තම නමින් ‘දොන්’ කෑල්ල ගලවා දමා 1939 දී දේශපාලනයට පිවිස මුලින්ම ගාල්ලේ නගරාධිපති තනතුරට පත් වුණේය. (හරියට මහින්ද රාජපක්ෂලා තම නම්වලින් ‘දොන්’ කොටස හැලුවා වගේය) දොන් නම් දොන්, සිමන් නම් සිමන් දොන් සිමන් දෙකම බෑ යයි කියමනක්ද ඇත.
ගාල්ලෙන් ඡන්දයට ඉදිරිපත්වීමට අවකාශ තිබියදී එහි සිට ඉතා දුෂ්කර දුර පළාතක් වූ බිබිලට ගොස් 1944 දී බිබිල ආසනය සඳහා ඔහු ඡන්දයට ඉදිරිපත් විය. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ ඇස්. ඒ. පීරිස් නමැති ධනවත් බස් මුදලාලි කෙනෙකි. බස් මුදලාලිට ඔහු පැරදුණේය. එහෙත් මේ දහනායක ‘සටන’ නැවැත්වූයේ නැත.


බස් මුදලාලිට එරෙහිව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළේය. ඔහුම නඩුවට කතා කළේය. නීතිඥ සහායක් ලබා නොගත්තේය. නඩුවෙන් ඔහු දිනුවේය. මුල්වරට රාජ්‍ය සභාවට ඔහු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වුණේ මෙසේය.


ඉතා දුෂ්කර පළාතක් වූ බිබිල ප්‍රදේශය පුරා ඇවිදිමින් ඡන්ද කටයුතුවල නිරතවීම නිසා දහනායක එහිදී රෝගාතුර විය. මදුරුවන්ගෙන් සිදුවුණ පීඩාවන් නිසා ඔහුට උණ රෝගයක් වැලඳුණේය. මෙම රෝගී තත්ත්වය හේතුකොට ගෙන ඒ වනවිට 40 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ හිසකෙස් ගැලවී යන්නට පටන් ගත්තේය. මේ නිසා දහනායක හිස් වැස්මක් (තොප්පියක්) පළඳින්නට පටන් ගත්තේය. මේ හේතුවෙන් ‘තනිකඩ’ දහනායකට අමුතු පෙනුමක් ලැබුණේය. ඔහු මුල්වරට රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඇතුළු වුයේ තොප්පිය දමාගෙනය. තොප්පිය ගලවා එන ලෙස වේත්‍රධාරියා සහ කතානායක ඔහුට නියෝග කළහ. ‘තොප්පි කතාව’ රාජ්‍ය මන්ත්‍රණ සභාව පුරා රැව් පිළිරැව් දුන්නේය. 
රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී මෙසේ තොප්පිය හරස්වීම දහනායකගේ ජීවිතයේ විශේෂ සිද්ධියකි. තොප්පි ප්‍රශ්නය උග්‍රවිය. දහනායක වාදයක පැටලුණේය. අවසානයේදී තොප්පිය ගලවා විසිකර දමා දහනායක අසුන් ගත්තේය.


පිස්තෝල කල්ලිය


මේ රුහුණු පුත්‍රයා තම ජීවිතයේ පරාදයට පත්වූ තවත් අවස්ථාවක් ඇත. 1960 මාර්තු මහ මැතිවරණයට ඔහු විසින් අලුතින් පිහිටුවා ගන්නා ලද ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් අපේක්ෂකයින් 127 දෙනක් බොහෝ ආසන සඳහා තරග බිමට අවතීර්ණ වූහ. මෙම පක්ෂය බොහෝ අය එදා හැඳින්වූයේ (පිස්තෝල පක්ෂය) වශයෙනි. ඔවුන්ගෙන් ජයග්‍රහණය කළේ අපේක්ෂකයින් 4 දෙනකු පමණකි. එම මැතිවරණයේදී දහනායක ගාල්ල ආසනයෙන්ද පරාජයට පත්විය. ඒ ඡන්ද 483කිනි. තනිකඩ දහනායක 1997 මැයි 4 වැනිදා මියයනවිට ඔහුගේ වයස අවුරුදු 95කි. 


(දීර්ඝ කාලයක් දහනායක ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ, ඔහු අගමැති වූ පසු අරලියගහ මැදුරේද කලක් පදිංචිවී සිටි කලකට පෙර ‘දවස’ ‘රිවිරැස’ පත්‍රවල ප්‍රධාන කර්තෘ ධුරය දැරූ රෝහණ ගමගේ මහතා මා සමඟ පැවැසූ බොහෝ තොරතුරු ඇසුරෙන් මෙම ලිපිය සකස් කළෙමි)

 

සිරී හීන්පැල්ල
ඡායාරූපය අන්තර්ජාලයෙනි