ජවිපෙ ආරම්භක සාමාජිකයකුගේ මතක සටහන්

10 වැනි කොටස

අම්බලන්ගොඩ ගුස්තික්‍ඳ්ක්‍ඳවඩු පියසිරි ගුණරත්න ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකි. ඒ ඉපැරණි මතකය සිහිපත් කරමින් ඔහු “මගේ මතක සටහන්” (ජනතා විමුක්ති පෙරමුණ සහ අප්‍රේල් කැරැල්ල) නමින් කෘතියක් පසුගියදා එළිදැක්විණි. මේ ඒ කෘතියෙන් උපුටාගත් කොටසකි.

ගාමිණී සිල්වා මහතා සමගි පෙරමුණ රජය ආවාට පසු ප්‍රධාන ඉංජිනේරු මහතාගේ කාර්යාලයේ කටයුතු ඔවුන්ට උවමනා ලෙස කරන්න ගත්තේය. එහි සේවය කළ දෙමළ නිලධාරී මහතුන් සිංහලෙන් ලිපි ලියන මුත් ඒවා ටයිප් කිරීමට දැන සිටියේ නැත. මේ නිසා අපි එම ලිපි ටයිප් කර දුන්නෙමු. ගාමිණී සිල්වා මහතා එසේ ලිපි ටයිප් කර නොදෙන ලෙස අපට දන්වා තිබුණි. එසේ නමුත් අපි දිගටම එලෙස ලිපි ටයිප් කර දුන්නෙමු. ටික දිනකට පසු මොහු රාජකාරී වේලාවෙන් පසු සේවයේ යෙදී සිටිනු අපි දුටුවෙමු. මොහු අතිකාල කරන්නේ අර ලිපි ටයිප් කරදීම වෙනුවෙන් බව අප දැන ගත්තේ ඒ අනුවය. අපි මෙම ලිපි කාර්යාල වේලාව තුළදීම ටයිප් කර දීමට පටන් ගත්තෙමු. මේ නිසා මොහුට අතිකාල නැතිව යාම මා සමඟ නොහොඳ වීමට හේතුවක් බවට පත් විය.


වරක් ත්‍රිකුණාමලයේ රාජ්‍ය සේවා බෞද්ධ සංගමයට බැඳීම සඳහා කාර්යාලයේ සිටි සියලුම සිංහල නිලධාරී මහතුන් සාමාජික ඉල්ලුම්පත් පුරවා එම සමිතියේ ක්‍රියාකාරිකයෙකු වූ ගාමිණී සිල්වා මහතාට මුදල් සමග භාරදෙන ලදී. මාස දෙක තුනක් ගිය ද සමිතියෙන් අපට දැන්වීමක් ලැබුණේ නැත. එවකට එම බෞද්ධ සංගමයේ සභාපති ලෙස කටයුතු කළ මගේ ගමේ අයෙකු වන ආහාර කොමසාරිස් ලෙස සේවය කළ ජයතිස්ස මහතා හමු වී මම මෙම විස්තර ඔහුට කීවෙමි. ඔහු ගාමිණී සිල්වා මහතාගෙන් මේ ගැන විමසා ඔහු ළග තබාගෙන සිටි ඉල්ලුම්පත් හා මුදල් ලබාගෙන සමිතියට අපව බඳවා ගත්තේය.


ගාමිණී සිල්වා මහතා කාර්යාලයේදී කටයුතු කළේ සහකාර ඉංජිනේරු මහතාව ගණන් නොගනය. සහකාර ඉංජිනේරු මහතාට ඉදිරිපත් කළ යුතු ලිපි පවා, ඔහුට නොයවා ප්‍රධාන ඉංජිනේරු වෙතට ඉදිරිපත් කරමින් සිටියේය. ඔහු එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ත්‍රිකුණාමලයේ සංවිධායක ලෙස සිටි මහත්මයා ළඟට ප්‍රධාන ඉංජිනේරු මහතාව එක්කරගෙන ගොස් තිබුණි. මගේ මතකයේ හැටියට එවකට ශ්‍රී ලංනිප පක්ෂ සංවිධායක ලෙස සිටියේ ජමල්දීන් කියා මහත්මයෙකි.


ප්‍රධාන ඉංජිනේරු මහතා සහ ගාමිණී සිල්වා මහතාගේ ක්‍රියා කලාපය නිසා කාර්යාලයේ සේවය කළ සියලුම නිලධාරී මහතුන් සිටියේ කලකිරීමෙන් යුතුවය. මේ නිසා දිනක් මම කාර්යාලයේ සේවය කළ ජයන්ත මනුකුලසූරිය මහතා සමග කථා කරගෙන පෝස්ටර් කිහිපයක් සාදා අපි දෙදෙනාම ගොස් රාත්‍රියේ කාර්යාලය අසල නවතා තිබූ දුම්රිය බඩු පෙට්ටිවල හා දුම්රිය ස්ථානයෙත් ඇලවූවෙමු. ඉංජිනේරු කාර්යාලයේද ඇලවීමු. අප එය කළේ කාර්යාලයේ තාප්පයෙන් පැන මුරකරුට නොදැනෙන ලෙසය.


පසුදින අප උදේ සුපුරුදු පරිදි කාර්යාලයට යන විට දුම්රිය ස්ථානය හා අප කාර්යාලය අතර සෙනග පිරී සිටියෝය. මෙම පෝස්ටර් දුටු ගාමිණී සිල්වා ඔහුගේ නෑදෑයින් සිටින අභයපුර පිරිසක් ගෙන්වාගෙන සහකාර ඉංජිනේරු මහතාගේ නිවෙසට ගොස් ඉදිරිපස දොරට ගසා එහි වීදුරු බිඳදමමින් මහා කලබලයක් කර ඇති බව දැන ගැනීමට ලැබුණි. මේ නිසා දුම්රිය රියැදුරු, දුම්රිය නියාමක, මාර්ග ෆෝමන් හා මාර්ග අංශයේ සේවක මහතුන් පසුව දුම්රිය රියැදුරු ධර්මපාල මහතාගේ නිවෙසට එක් වී මෙයට විරෝධය පා වැඩ වර්ජනයක් කිරීමට තීරණය කළෝය. ඔවුහු අදාළ අංශවලට දන්වා ඒ මොහොතේ සිටම වැඩ වර්ජනය ආරම්භ කළහ. පසුව මමද කාර්යාලයේ නිලධාරී මහතුන් සමග සාකච්ඡා කර මෙම වර්ජනයට සහභාගි වූයෙමි. සවස දෙක පමණ වන විටත් විසඳුමක් නොවූයෙන් රාත්‍රී 12 පැය සිට ගල්ඔය සිට මඩකළපුව දක්වාත් ගල්ඔය සිට මහව හන්දිය දක්වාත් වර්ජනය දියත් කරන බවට අපි අදාළ බලධාරීන්ට දන්වා සිටියෙමු. සවස පහමාර හය පමණ වන විට අනුරාධපුර දුම්රිය ප්‍රවාහන අධිකාරී මහතා වාහනයකින් පැමිණ ප්‍රධාන ඉංජිනේරු මහතා හා ගාමිණී සිල්වා මහතා රැගෙන ගියේය. එම දෙදෙනා මෙහෙන් කොළඹට මාරුකර ඇති බව ප්‍රවාහන අධිකාරී විසින් දැනුම් දෙන ලදී. අපි වර්ජනය අවසන් කර පසුදින සිට සේවයට වාර්තා කළෙමු. ගාමිණී සිල්වා මා සමඟ තරහවීමට මෙයත් තවත් හේතුවක් විය. මෙම වර්ජනය මෙහෙයවීමේදී මම ද කැපී පෙනෙන කාර්යයක් ඉටු  කළෙමි.
ගාමිණී සිල්වාගේ බිරිඳගේ තර්ජනය තිබියදීම කෙසේ හෝ අපි දුම්රියට නැග වාඩි වී සිටියෙමු. දුම්රිය පිටත්වීම විනාඩි දහයක් පමණ ප්‍රමාද විය. කාර්යාලයේ සේවය කළ ප්‍රේමචන්ද්‍ර, තෙන්නකෝන්, පුංචි බණ්ඩා යන මහතුන්ද අපට සමුදීමට දුම්රිය ස්ථානයට පැමිණ සිටියෝය. එක් වරම පොලීසියෙන් අප සිටි මැදිරියට පැමිණ මට දුම්රියෙන් බහින ලෙස අණ කළේය. මගේ බිරිඳ හා දරුවන් ද සිටින බව මම කීවෙමි. ටික වේලාවක් කල්පනා කර සිටි පොලිස් නිලධාරියකු සියලු දෙනාම බහින ලෙස දැනුම් දුන්නේය. ඔහු කියා සිටියේ පොලීසියට කටඋත්තරයක් ලබා දී පසුදා උදෑසන පිටත් වී යන ලෙසයි. අප දුම්රියෙන් බස්වාගෙන අප සියලු දෙනාම පොලීසියට රැගෙන යන ලදී. අප සමග තෙන්නකෝන් මහතාද පැමිණියේය. ටික වේලාවකට පසු මා නවතාගෙන පොලීසියෙන්ම වාහනයක් නවතා බිරිඳ හා දරු දෙදෙනා නිවෙසට යවන ලදී.


එදින රාත්‍රිය පුරාම මම එළියේ බංකුවේ වාඩිවී සිටියෙමි. පසුදින කාමරයක නවතා තබන ලදී. පොලීසියේ මා විසින් පංති කරන ලද සහෝදරයෙක්ද සිටියේය. ඔහු වරින්වර පැමිණ මා සමග කථා කළේය. මා අත්අඩංගුවට ගත් පසු කාර්යාලයේ නිලධාරී මහතුන් ගොස් එවකට ආහාර කොමසාරිස්තුමා ලෙස සේවය කළ ජයතිස්ස මහතාට මේ සම්බන්ධව කියා තිබුණි. ඔහු එවකට දිසාපතිතුමා ලෙස සේවය කළ ලයනල් ප්‍රනාන්දු මහතාට ද මේ විස්තර කියා තිබූ බව පසුව මට දැන ගන්නට ලැබුණි.


අප සමඟ සම්බන්ධකම් පැවැත්වූ පොලිස් නිලධාරී මහතා පැමිණ මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා හදිසි සාකච්ඡාවකට කොළඹ ගිය බවත් ඔහු පැමිණි පසු මා නිදහස් කරවීමට ඉඩ තිබෙන බවත් කීවේය. රාත්‍රී පොලීසියට පැමිණි මා හිතවත් පොලිස් නිලධාරී මහතා, අල්ලාගන්නා කිසිවකු නිදහස් නොකරන ලෙසට උපදෙස් ලැබී ඇති බව කීවේය. 
මෙදින රාත්‍රී දොළහට පමණ සිවිල් ඇඳ සිටි තුන්දෙනෙක් මා සිටි කාමරයට පැමිණියහ. යටට කොට කලිසමක් ඇඳ ඊට උඩින් සරමක් ඇඳ සිටි අයෙක් සරම ගලවා දමා මා ළඟටවිත් මා අල්ලා දෙවරක් බිත්තියේ හැප්පුවේය. ඒ සමගම අප හිතවත් සහෝදරයා පැමිණ එච්.කියු.අයි. (ස්ථාන භාර පොලිස් පරීක්ෂක) මහතා කථා කරන බව කී බැවින් ඔහු මා අතහැර යන්න ගියේ ය.


ආයුධ සමඟ අල්ලාගත් අප සහෝදරවරුන් මේ වන විට සිර කූඩුවේ දමා තිබුණි. මේ එක් එක් සහෝදරවරුන් වෙන වෙනම මා ඉදිරියට රැගෙන විත් මා හඳුනනවාදැයි එච්.කියු.අයි මහතා විමසීය.


මේ සහෝදරයින් මේ වනවිට සිටියේ පහර කෑම නිසා ඉතා දුර්වල තත්ත්වයකය. ඔවුන්ගේ ඇඳුම්වල ලේ පවා තැවරී තිබුණි. මේ එකද සහෝදරයෙක්වත් මා හඳුනන බව පැවසුවේ නැත. මා පන්ති කළ සහෝදරයන් ද ඒ අතර විය.


පසුදින උදේ මා රැගෙන නඩුකාර මහතාගේ නිවාසය ළඟට ගොස් නිලධාරී මහතෙකු ඇතුළට ගොස් ඉන්පසු කෙළින්ම රිමාන්ඞ් භාරයට පත් කිරීමට රැගෙන ගියේය. මා රිමාන්ඞ් කරන බව කාර්යාලයේ අය දැන සිටි බව පෙනුණි. රිමාන්ඞ් සිර ගෙදර ජේලර් මහතා හඳුනන අප කාර්යාලයේ සකාරියස් මහතා රිමාන්ඞ් එක ළඟට පැමිණ සිටියේය. අනතුරුව මාව තනි කුඩුවකට දමන ලදී. දින දෙකක් එහි සිට පසුව පොළොන්නරුවේ සිට පැමිණි බන්ධනාගාර බසයකින් එහි සිටි සියලු දෙනාම අනුරාධපුර බන්ධනාගාරයට ගෙන යන ලදී.
මා අනුරාධපුර සිර ගෙදර ගෙන ගියාට පසු මගේ භාර්යාව වූ හේමවතී ගුණරත්න හා දරුවන් දෙදෙනා, කුඩා කල මා හදාගත් අම්මා (විමලාවතී ගුණසේකර) ගේ බාල දියණිය වන මල්ලිකා විජේවර්ධන මහත්මියගේ අනුරාධපුරය ගෙදරට ගෙන ගොස් ඇරලවා තිබුණේ කාර්යාලයේ සේවය කළ ප්‍රේමචන්ද්‍ර සහෝදරයා විසින්ය. මා සිරභාරයට ගත් දින සිට කාර්යාලයේ සේවය කළ ප්‍රේමචන්ද්‍ර, තෙන්නකෝන්, පුංචි බණ්ඩා, සිරිසේන ඇතුළු මිතුරන් විසින් මගේ භාර්යාවට හා දරු දෙදෙනාට ආහාරපාන හා වෙනත් අවශ්‍ය දෑ සපයා දී තිබුණි. 


අනුරාධපුර සිරගෙදර සිටි මුල් දවස්වල අපව බැලීමට ඥාතීන්ට ඉඩදී තිබුණි. මේ දිනවල මා බැලීමට මගේ භාර්යාව, රතු අම්මා, ලොකු නංගි හා පොඩි නංගි ද පැමිණියහ. අප්‍රේල් 03 පමණ වනතුරු එසේ පැමිණ බැලීමට ඉඩදී තිබුණි. පසුව බැලීමට ඉඩදීම සම්පූර්ණයෙන් නවතා දමන ලදී.

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.