අගමැතිවරයකු ජනතාව ඉදිරියේ හඬා වැලපීම අගමැති තනතුරට සුදුසු වැඩක් නොවේ. එය ධුරයට අගෞරවයකි. තත්ත්වයට මදිකමකි. පට්ටමට නිගාවකි. එමෙන්ම හිටපු අගමැතිවරයෙකුටද මේ සිද්ධාන්තය බලපායි. හිටපු අගමැතිවරයෙකුද ජනතාව ඉදිරියේ කඳුළු වගුරුවන්නේ නම් එයද හිටපු තනතුරට කරන මදි පුංචිකමකි. කරපු ජොබ් එක පාවාදීමකි.


අගමැතිවරයකුට ඊළඟ ඡන්දයේදී ධුරය අහිමිවීම අනපේක්ෂිත සිද්ධියක් නොවේ. මෙය දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ විටින්විට සිදුවෙමින් පැවති සාමාන්‍ය සිද්ධියකි. අවුරුදු 70 ක් තිස්සේ මෙය සිදුවිය. ලෝකයේ බොහෝ රටවල මෙහෙමය. ඡන්දයකදී පුද්ගලයෙකුට ආණ්ඩුව සහ අගමැතිකම අහිමිවීම මහ ලොකු පුවතක් නොවේ. ඒ වගේ පුවත් වලින් ජනතාවට සත පහක වැඩක් නැත.


අහසින් පොළවට


එහෙත් ඡන්දයකදී රජයත්, අගමැති පුටුවත් සමගම යම් අයෙකුට තම මැතිවරණ ආසනයන් අහිමිවී ඔහුගේ පක්ෂ සාමාජිකත්වයන් අහෝසිවීම සාමාන්‍ය සිද්ධියක් නොවේ. එය හරිම ජංජාලයකි. අහසින් පොළොවට වැටීමකි. තානාන්තරය බිංදුවට බැසීමකි.


මා මේ ලියන්නට යන්නේ එවැනි ජංජාලයක් ගැනය. 1959 සැප්තැම්බර් 26 වැනිදා චීවරධාරියෙකු විසින් බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කිරීමෙන් පසු අගමැති තනතුරට පත්වුණේ ගාල්ලේ විජයානන්ද දහනායකය. ආර්ය සිංහල ඇඳුම් ඇන්ද ඉංග්‍රීසි ගුරුවරයාය. බනිස් මාමා සහ අමුඩයා යන නම් ජනතාව විසින්ම පටබඳිනු ලැබූ ඡන්ද වලට බය නැති විජයානන්දය. හිටපු අධ්‍යාපන ඇමැතිවරයාය. මේ කියන විජයානන්දට අධ්‍යාපනයේ මුල් පුටුව බණ්ඩාරනායක විසින් ලබාදුන්නේ හොඳට හිතලා බලලාය. ඔහු ගුරුවරයෙක් නිසාය.


දහනායක නොගිය නිව්යෝර්ක් ගමන


දේශපාලනය නිසාම තනිකඩවී සිටි මේ රුහුණු පුත්‍රයාට වැඩිකල් අගමැති පුටුවේ වාඩිවී සිටීමට හැකිවූයේ නැත. බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කරනු ලැබුවේ ඔහු එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීම සඳහා නිව්යෝර්ක් නුවරට යාමට සූදානම් වී සිටි මොහොතකය. 


ඒ වනවිට අගමැති තනතුරේ වැඩ බැලීමට අනිකුත් සියලු ප්‍රබල ඇමැතිවරුන් අබිබවා යමින් අනාගතයේදී නායකත්වය තකා තමා සමග තරගයකට නොපැමිණෙන අයෙකු යයි තමා විසින්ම නිගමනය කරගෙන තිබූ විජයානන්ද දහනායකගේ නම ආණ්ඩුකාරවරයා වෙත බණ්ඩාරනායක අගමැති විසින් යවා තිබුණි. ඝාතනය කළ නිසා බණ්ඩාරනායකට නිව්යෝර්ක් යාමට නොහැකි විය. දහනායකට පින පෑදුණේ මෙහෙමය අගමැති වූ දහනායක බණ්ඩාරනායක අගමැති වෙනුවට නිව්යෝර්ක් නුවරට ගියේද නැත.
දහනායකට මාස කීපයක්වත් අගමැති කමේ ඉන්නට නොලැබුණේ ඩඞ්ලි, ජේ. ආර්. වැනි යූ.ඇන්.පී.කාරයින් නිසා නොවේ. බණ්ඩාරනායකගේ කැබිනට් මණ්ඩලයේ ප්‍රබලයින්ගේ නූල් සූත්තර නිසාය. කැපිලි කෙටිලි නිසාය. උප්පරවැට්ටි නිසාය. දහනායක අරලියගහ මන්දිරයට ගියේ නැෂනල් ඇඳුම් කීපයක් සහිත සූට්කේස් එකක් අරගෙනය. අරලියගහ මන්දිරයේ තාප්පය උස්කර බැඳීම මුලින්ම සිදුකළේය. ඔහු මාධ්‍යවේදීන්ගේ ඉතා කිට්ටු හිතවතෙකු විය. ඔවුන් අතර දවස, රිවිරැස ප්‍රධාන කර්තෘ ධූරය දැරූ රුහුණේ රෝහණ ගජසිංහ ගමගේ ඔහුගේ කිට්ටුම හිතවතා විය. වෙන එකක් තබා අගමැති තනතුරේ රැඳී සිටින තාක්කල් මේ රෝහණට අරලියගහ මන්දිරයේ නැවතී සිටීමට ඉඩ දුන්නේය. (මගේ පත්තර ගුරුවරයාද මේ රෝහණය)


හිටි පිනුම්


මා සිතන විදියට අරලියගහ මන්දිරය තම වාසස්ථානය කරගත් එකම මාධ්‍ය දැවැන්තයා මේ රෝහණ ගමගේය. මෙරිල්ට මෙන්ම රෝහණටද පත්තරයෙන් එහා ලෝකයක් නොවීය. ජීවිතයක්ද නොවීය. මාස පහේ අගමැති දහනායක 1959 දී ආණ්ඩුව විසුරුවා හැරියේ ශ්‍රීලනිප ප්‍රබලයින්ට පාඩමක් උගන්වන්නටය. ඔහු ශ්‍රීලනිපයට අභියෝග පිණිස ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පිහිටුවා ගත්තේය. ඔහු එසේ කළේ තමා වටේ සිටි අයගේ ලණු කෑමෙනි. දහනායක සමසමාජ, ශ්‍රී ලංකා, යූඇන්පී යන ප්‍රධාන පක්ෂ තුනටම විටින් විට පැන්නේය.


ඡන්දයට පෙර ගාල්ලේ පැවැත්වූ ඔහුගේ අවසාන ඡන්ද රැස්වීමට විශාල ජනකායක් රැස්වී සිටියහ. මයික්‍රපෝනය අල්ලාගත් දහනායක හඬා වැලපෙන්නට විය. කතාකාරයෙකු වූ ඔහුට එදා කතා කරගන්නට නොහැකිවිය. රැස්වීමේ සිටි සමහරුන්ද හඬන්නට වූහ. හැඬූ අයද ඔහුට එරෙහිව කතිරය ගැසූහ. 


ගාල්ලේ පැටි මහත්තයාට (ඩබ්ලිව්. ඩී. එස්. අබේගුණසේකර) 1960 මාර්තු මැතිවරණයේදී ඔහු පරාජයට පත්විය. ඉන් වසර 17කට පසු 1977 දී දහනායක හිටිපිනුම් ගැසූ හැටිද ප්‍රකටය. එදා ගාල්ල හෙල්ලූ දහනායක අද ගාල්ලේ ජනතාවට අමතකය. මේ දහනායක මුල්වරට බිබිල ආසනයෙන් මැතිසබයට ගොස් වසර 30 ක් ගාල්ල ආසනය නියෝජනය කළ බවද බොහෝදෙනාට අමතකය.


එදත් අදත් කවදත් ශ්‍රී ලංකා දේශපාලන පොරපිටියේ බල්ටි, කරණම්, කුමන්ත්‍රණ, පැනීම්, ඩීල්, හිටි පිනුම් අනන්තය. (පසුගියදා ශ්‍රී ලංකාවට ඇමෙරිකාවේ සිට පැමිණ ගාලු පුරයේ රවුමක් ගසද්දී දහනායක පිළිබඳ මේ පුවත මගේ සිහියට නැගුණි. එදා දහනායක සිටි ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ලේකම් තනතුරක් දැරීමටද මට අවස්ථාවක් ලැබිණි.)

 


සිරී හීන්පැල්ල 
නිව්යෝර්ක් නුවර සිට...
ඡායාරූපය : අන්තර්ජාලයෙනි