වත්මන් දේශපාලන සංවාද සාකච්ඡා තුළ අපේ පැරණි ගම්කාර්ය සභාව ගැන කතාබහ කරන්නේ ඉතාමත් අඩුවෙනි. 1987 පටන් අපි ප්‍රාදේශීය සභාව ගැන විශේෂයෙන් කතා කරමු. සටහන් ලියමු. ප්‍රශ්න කරමු. ප්‍රතිපාදන ගැන කියමු, විමසමු. 1927 පටන් පැවැති ගම්කාර්ය සභා ගොඩනැගිලි ද දක්නට ඇත්තේ ඉතා අවම මට්ටමෙනි. එහෙත් එදා ගම්කාර්ය සභාවලින් ආරම්භ කළ ක්‍රියාත්මක කළ සංවර්ධන සේවාවන් අදත් බොහෝ ගම්වල දක්නට ඇත. 1927 පටන් 1987 දක්වා පැවැති ගම්කාර්ය සභා නියෝජනය කළ සභිකවරු සභාපතිවරු බහුතරයක්ම මේ වනවිට ජීවිතයෙන් සමුගෙන සිටිති. සමහරු වයෝවෘද්ධභාවයට පත්ව සිටිති. 


මෙබඳු සමාජ දේශපාලන පසුබිමක් තුළ 1948 දී හොරණ කුඹුක පත්තුව ගම්කාර්ය සභාවේ හේනගම කොට්ඨාසයේ ගම්සභා මෙම්බර් වශයෙන් පත්ව 1993 දී පොල් කර්මාන්ත සහ විවිධ බෝග කළමනාකරණ අමාත්‍ය ධුරයට පත්ව අදත් සමාජ දේශපාලන සංස්කෘතික ක්ෂේත්‍රයේ නිහඬ ක්‍රියාකාරී මෙහෙවරක නියුක්තව සිටින හොරණ පොකුණුවිට ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා ගැන කෙටි සටහනක් තබමු.


1927 ඔක්තෝබර් මස 13 වැනි බ්‍රහස්පතින්දා පොකුණුවිට – හේනගම දී ජන්ම දායාදය ලැබූ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා අද කළුතර බෝධි ආරක්ෂක සභාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ධුරයක් හොබවමින් පුළුල් සමාජ ආගමික මෙහෙවරක නියුක්තව සිටී. 2015 මහා මැතිවරණයේ දී මෙන්ම 2019 ජනාධිපතිවරණයේ දී ද ඒ මහතා සුපුරුදු එක්සත් ජාතික පක්ෂ දේශපාලන වේදිකාව නියෝජනය කළේය. ආරාධනයක් ලැබ හෝ නොලැබ කළුතර දිස්ත්‍රික්කයේම බෞද්ධාගමික උත්සවවලට පොදු උත්සවවලට ඉඩහසර මධ්‍යයේ සහභාගි වෙයි.


දැනට 93 විය ද පසු කරමින් සුපුරුදු ප්‍රසන්න භාවයෙන් නිරෝගීව පොදු ජන මෙහෙවරෙහි නියුක්තව සිටින හෙට්ටිආරච්චි මහතාට දිගාසිරි පතමු. ඒ පමණක් නොවේ. ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා ජාතික දේශපාලනයට ඉදිරිපත් වූයේ හොරණ මැතිවරණ කොට්ඨාසයෙන් 1960 ජූලි මහා මැතිවරණයෙනි. එකල ක්‍රියාකාරී දේශපාලනයට පිවිස ජාතික දේශපාලනයට අවතීර්ණ වූ පිරිසගෙන් අදත් ක්‍රියාකාරී මට්ටමෙහි සිටින්නේ රුවන්වැල්ල හිටපු මන්ත්‍රී අතාවුද සෙනවිරත්න මහතා පමණි.


ශ්‍රී ලංකාවේ පළමුවැනි චිර ප්‍රසිද්ධ සාහිත්‍ය සම්මානයේ නිර්මාතෘවරයාණන්ගේ (දොන් පේද්‍රික් හෙට්ටිආරච්චි සාහිත්‍ය සම්මානය)  මද්දුම පුතා වශයෙන් ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා ජන්ම දායාදය ලැබුවේය. ඉඩම් හිමි වැවිලිකරුවකු වන දොන් පේද්‍රික් හෙට්ටිආරච්චි මහතා ප්‍රදේශය පුරා චිරප්‍රසිද්ධියට පත්වූයේ පෞද්ගලික ධනයෙන් ගොඩනැගූ අධ්‍යාපන කේන්ද්‍රස්ථාන ඔස්සේය. අද හොරණ දොන් පේද්‍රික් මහා විදුහල (වන එදා හොරණ බෞද්ධ මිශ්‍ර පාසල) පොකුණුවිට සිරිමෙවන් මහා විදුහල, මාපුටුගල මහා විදුහල වැලිකල තක්ෂිලා කනිටු විදුහල හෙට්ටිආරච්චි නාමය සදා සිහිපත් වන අධ්‍යාපන කේන්ද්‍රස්ථානයන් වේ. ගුංගමුව සහ දඹර පාසල් කාලයාගේ ඇවෑමෙන් විනාශ වී ගොස් ඇත.
ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා මූලික ඉගෙනුම ලබාගෙන ඇත්තේ කුළුපන රජයේ මිශ්‍ර පාසලෙනි. (වත්මන් කුළුපන තක්ෂිලා කනිටු විදුහලෙනි.) වැඩිදුර අධ්‍යාපනය උදෙසා කොළඹ ආනන්ද හා නාලන්ද විදුහල් දෙකටම පිවිසියේය. ඉන්පසු කොළඹ මරදාන ප්‍රෙම්බෝක් විද්‍යායතනයට පිවිස තම දැනුම් සම්භාරය පුළුල් කරගත්තේය. පියාණන්ගේ පියසටහන් ඔස්සේ වැවිලි ක්ෂේත්‍රයට යොමු වූයේ රත්නපුර පාර්ම්ගාර්ඩ් (ගලතුර) වතුයායේ උප සුපිරින්ටැන්ඩන්ට්වරයෙකු වශයෙන් පුහුණුව ලබමිනි. ඉන්පසු දයාබර පියාණන් මිලට ගත් අවිස්සාවේල්ල ආතර් පීල්ඩ් වත්තේ සුපිරින්ටන්ඩන්ට්වරයෙකු වශයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.


සිය පියාණන්ගේ උපදෙස් හා කළමනාකාරිත්වය ඔස්සේ සිය සොහොයුරන් සමග (ගුණසෝම සහ සිරිවර්ධන) දොන් පේද්‍රික් වතු සමාගම ආරම්භ කළේ වැවිලි ක්ෂේත්‍රයේ ඉදිරි ගමන් මගකට යොමුවෙමිනි. ගලතුර, නෑබොඩ, මාපුටුගල, හැටන් (ආතර් පීල්ඩ්) ඔලබොඩුව, බටුවිට, රත්මලගොඩ පිහිටි තේ පොල් රබර් වැවිලි ක්ෂේත්‍රය ඉන්පසු පාලනය වන්නේ දොන් පේද්‍රික් වතු සමාගම මගිනි.


1948 දී එවකට අගමැති ඩී.එස්. සේනානායක මහතා හොරණ මැතිවරණ බලප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේ පොකුණුවිට හේනගම මංසන්ධියේ දී දොන් පේද්‍රික් හෙට්ටිආරච්චි, ඒ.ඩී. ආරොන් අප්පුහාමි ප්‍රධාන ප්‍රභූවරු අගමැතිතුමන් සාදරයෙන් පිළිගෙන හොරණ ප්‍රදේශයේ සංවර්ධන ප්‍රශ්න ගැන සංදේශයක් ද පිළිගැන්වූහ. 
1948 වසරේ පැවැති කුඹුකපත්තුව ගම්කාර්ය සභාවේ හේනගම කොට්ඨාසයේ ගම්කාර්ය සභික ධුරයට තරුණ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා නිතරගයෙන් පත්වෙමින් සිය දේශපාලන ගමන් මග ආරම්භ කළේය. උඩුවේ හර්බට් වික්‍රමසිංහ මහතා සභාපති ධුරයට පත්වුවද වසර දෙකකින් පරිපාලන අර්බුදයක් මත ධුරයෙන් ඉල්ලා අස්වූයේය. ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා සභාපති ධුරයට පත්විය. සභා ප්‍රදේශයේ පරිපාලන හා සංවර්ධන කාර්යයන් විධිමත් කෙරිණි. එකල අද මෙන් සභිකවරුන්ට මාසික දීමනාවක් නොලැබුණි. සභාපතිවරයාට පමණක් රු. 50ක ප්‍රවාහන දීමනාවක් ලැබුණි. වැවිලි ක්ෂේත්‍රයට සම්බන්ධව සිටි ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා රු. 50 ප්‍රවාහන දීමනාව ප්‍රතික්ෂේප කළ බැව් වාර්තාවේ. එකල සිටි මැම්බර් මහත්වරුන්ට (සභික මහත්වරුන්ට) පෞද්ගලික වාහනයක් වශයෙන් තිබුණේ හම්බර් හෝ රැලේ වර්ගයේ පාපැදියකි. සමාගම් බස් රථයක නැගී හෝ ඉතා සමීප අය පා ගමනෙන් හෝ නොවරදවා සභා රැස්වීමට සහභාගි වූහ.


සාම්ප්‍රදායිකව එක්සත් ජාතික පාක්ෂිකයෙක් වූ හෙට්ටිආරච්චි මහතා හොරණ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයාගේ දේශපාලන සටනට උපරිමව සහයෝගය දුන්නේය. 1960 ජූලි මැතිවරණයේ දී එජා පක්ෂය නියෝජනය කරමින් හොරණ ඡන්ද කොට්ඨාසයට ඉදිරිපත් කිරීමට සුදුසු අපේක්ෂකයෙකු නොවීය. 1952 හොරණ මන්ත්‍රී ධුරයට පත්ව සිටි ඇම්.ඩී.එච්. ජයවර්ධන මහතා 1956 මැතිවරණයේ දී මුදල් ඇමති වශයෙන් වමේ ප්‍රබල අපේක්ෂකයකු වූ සාගර පලන්සූරිය මහතාට අන්ත පරාජයට ලක්විය. ඉන්පසු 1960 මාර්තු මහා මැතිවරණයේ දී දේශපාලන පොර පිටියට ආධුනිකයෙකු වූ ම.එ.පෙ. නියෝජිත රත්නසිරි වික්‍රමනායක මහතාට ද ඇම්.ඩී.එච්. ජයවර්ධන මහතා පරාජය විය. පොදුජන කඳවුරේ ප්‍රබලයෙකු වූ රත්නසිරි වික්‍රමනායක මහතාට එරෙහිව තරග කරන්නට මේ වනවිට ප්‍රබලයෙකු නොවීය. එජාප නායකත්වයේ සෘජු ඉල්ලීම මත ගම් සභාපති ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා එජාපය නියෝජනය කරමින් සටනට ඉදිරිපත් විය.


රත්නසිරි වික්‍රමනායක මහතාගේ වැඩි ඡන්ද ප්‍රමාණය අඩුවීමේ ප්‍රතිශතය මත හෙට්ටිආරච්චි මහතාට 1965 මහා මැතිවරණයට ද ඉදිරිපත් වීමට සිදුවිය. එජාපය ප්‍රධාන පක්ෂ පහක හවුලකින් හෙට්ටිආරච්චි මහතා ඉදිරිපත් විය. 1965 ද පරාජය වූ හෙට්ටිආරච්චි මහතා 1970 වනවිට නව දේශපාලන පන්නරයක් ද ලබා සිටියේය.


1970 මහා මැතිවරණයෙන් රත්නසිරි වික්‍රමනායක හතරවන වරටත් විජයග්‍රහණයක් හිමිකර ගත්තේය. හෙට්ටිආරච්චි මහතා පරාජයට පත්වුවද අධිෂ්ඨානශීලීව ප්‍රදේශයේ ජන මෙහෙවරෙහි නියුක්ත විය. 1973 දී එජාපය ප්‍රතිසංවිධාන කිරීමෙන් පසු ජේ.ආර්. ජයවර්ධන මහතා විපක්ෂ නායක ධුරයට පත්විය. බලයේ සිටි සමගි පෙරමුණට මුළු රට පුරා බලවත් විරෝධතාවක් පෙළ ගැසී තිබුණි. සමගි පෙරමුණ 1975 අගෝස්තු මාසයේ බිඳ වැටීමෙන් පසු එජාපයේ බලමුළු ද ශක්තිමත් විය.
1977 ජූලි මස 22 වනදා මහා මැතිවරණය පැවැත්විය.


හෙට්ටිආරච්චි මහතා සිය ප්‍රතිවාදී රත්නසිරි වික්‍රමනායක මහතා පරාජයට පත් කළේ ප්‍රබල ඇමති ධුර දෙකක් දරමින් සිටියදීය. 1978 දී සම්මත වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව අගමැති ජේ.ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ධුරයට පත්විය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායක ක්‍රියාවලියේ නව පැතිකඩක් විවර කරමින් 1978 ඔක්තෝබර් 5 වැනිදා දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක වෙනුවෙන් දිස්ත්‍රික් අමාත්‍යවරුන් 24 දෙනෙකු පත් කරන්නට යෙදුණි.


එම විධිවිධාන යටතේ හොරණ මන්ත්‍රී ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා කළුතර දිසා ඇමති වශයෙන් පත් කෙරුණි.

 

1982 පැවැති ජනමත විචාරණයෙන් ශ්‍රී ලංකාවේ මැතිවරණ සිතියම අකුළා දමන ලදී. 1989-02-15 වන දින දී සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ මහා මැතිවරණය පවත්වන්නට යෙදුණි. හෙට්ටිආරච්චි මහතා කළුතර දිස්ත්‍රික්කයෙන් පළමු ස්ථානයට පත්විය. නාවුක කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්කෙරිණි. 

1990 මාර්තු 30 වන දින පැවැති කැබිනට් අමාත්‍ය ධුර සංශෝධනයෙන් පොල් කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ධුරයටත් ඉන්පසු පොල් කර්මාන්ත සහ විවිධ බෝග කළමනාකරණ අමාත්‍ය ධුරයටත් පත් කෙරිණි. 1994 අගෝස්තු මහා මැතිවරණයට ඒ මහතා ඉදිරිපත් නොවීය. ක්‍රියාකාරී දේශපාලනයෙන් ද සමුගත්තේය. පසුව පැවැති මැතිවරණවල දී එජා පක්ෂය නියෝජනය කළේය. අද ඒ මහතා කළුතර බෝධි ආරක්ෂක සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්ව පුළුල් සමාජ ආගමික මෙහෙවරක නියුක්තව සිටී.


1977 – 1993 දක්වා කාල පරාසය තුළ මන්ත්‍රීවරයකු ඇමතිවරයකු වශයෙන් පුළුල් ජන මෙහෙවරක නියුක්ත විය. දේශපාලන විරුද්ධවාදීන් ගැන ද ඇස් දෙකකින් විපරම් කළේය. කෙසේ වුවත් හෙට්ටිආරච්චි මහතා සිය නිල නොනිල බලයෙන් සිය ජීවිත කාලය තුළ ඉටු කළ මහඟු මෙහෙවරක් වන්නේ පොකුණුවිට ජනසෙත පදනම ව්‍යාපෘතියයි. පුස්තකාලයක්, ශ්‍රවණාගාරයක්, උත්සව ශාලාවක් සහිත දෙමහල් ගොඩනැගිල්ල පිටුපස ක්‍රීඩා භූමියක් ද උද්‍යානයක් ද වශයෙන් බහුකාර්ය ගොඩනැගිල්ලක් ගොඩනංවා ඇත්තේ දිස්ත්‍රික්කයේම ස්ථාපිත ඒ ආකාරයේ එකම ගොඩනැගිල්ල වශයෙනි.

 

 

බන්ධුල ආර්. ගුලවත්ත
ඡායාරූපය අන්තර්ජාලයෙනි