(වියලුව වාර්තාකරු)
ප්‍රධාන නගර කීපයක උපකාරක පන්ති පවත්වනු ලබන ප්‍රසිද්ධ ගුරුවරයකුට මුහුණ දීමට සිදුවූ ඇබැද්දියකි. 


සිද්ධිය මෙසේය. 


ඔහු අ.පො.ස. උසස් පෙළ දරුවන් සඳහා දිවයිනේ ප්‍රධාන නගර කීපයකම පන්ති පවත්වන ප්‍රසිද්ධ ගුරුවරයෙකි. 


පසුගිය දිනෙක ඔහු තමන් අලුතින් ආරම්භ කරනු ලබන පන්ති කීපයක් සඳහා අවශ්‍ය පෝස්ටර් මිටියක් හා මිතුරන් කීප දෙනකු ද සිය වාහනේ නංවාගෙන නගරයක් වෙත පැමිණියේ එහි ස්ථාන කීපයක සිය පෝස්ටර් ඇලවීමේ අරමුණෙනි. 


වාහනයේ යමින් සිටි ඔහුට එක්වරම දැකගන්නට ලැබුණේ තම පාසල් වියේ මිතුරෙකි. හරිහැටි ඉගෙන ගැනීමට නොලැබීම නිසා මේ වනවිට ගොවිතැන් හා කුලී වැඩ කරමින් සිටියද මිතුරා හඳුනාගත් ගුරුතුමා වාහනය නවතා ඔහු සමග ආ ගිය තොරතුරු කතා කළේ සිය වාහනයේ තිබූ ඇඟ රත්වන පානයකින් ද සුළු සංග්‍රහයක් කරමිනි. 


සංග්‍රහයෙන් පසුව වාහනේ තිබූ පෝස්ටර් මිටියක් අතට ගත් ගුරුතුමා එය සිය පැරණි මිතුරාගේ අත තැබුවේ “අනේ මචං මේ ටික පුළුවන්නම් මේ නගරේ තැන් කීපයක ගහලා දියන්” යනුවෙන් පුංචි ඉල්ලීමක්ද කරමිනි. 


පෝස්ටර් මිටිය අතට ගත් හෙතෙම සිය මිතුරාගෙන් සමුගත්තේ “වැඬේ හරියටම කරන්නම්” යයි පවසමිනි. 


සිය මිතුරා වෙනුවෙන් උදව්වක් කළ යුතු නමුත් තමන්ට නොගැළපෙන මෙම කටයුත්ත කරන්නේ කෙසේදැයි කල්පනා කළ ඔහුට නගරය ආසන්නයෙන් ගලා යන ඇළ දකිද්දී හිතට ආවේ අපූරු අදහසකි. පෝස්ටර් මිටියේ ලණුව ලිහූ හෙතෙම අතේ වූ පෝස්ටර් එකින් එක ඇළ මාර්ගයට දැම්මේ “ඇළේ පල්ලැහෑ නාන උන්ට මේ පෝස්ටර් බලල පන්ති යන්න පුළුවන්” යනුවෙන් තමන්ටම කියා ගනිමිනි.