නවක නිලධාරිනිය තම ලේලිය කර ගන්නට සිතා සිටියත් ඇය විවාහයට තීන්දුවී සිටින බව දැනගත් ආයතන ප්‍රධානියකුගේ අඩන්තේට්ටම් ඉවසනු බැරිව නිලධාරිනිය මාරුවක් ඉල්ලාගෙන දුර බැහැර ගමකට ගිය පුවතක් එක්තරා ආයතනයකින් වාර්තා විය.


කඳුකර පෙදෙසක පිහිටි රජයට සම්බන්ධ ආයතනයකි. මෙහි සේවය කරන පිරිස කිහිප දෙනෙකි. මේ ආයතනයේ  ප්‍රධානියා තලත්තෑනි වියේ පසුවෙන දෙදරු පියෙකි. නවක පත්වීමක්ද ලද හුරුබුහුටි පෙනුමැති තරුණියක් මෙහි සේවයට ආවාය. තරුණිය සේවයට පැමිණ දින දෙක තුනක් ගත වෙද්දී ආයතනයේ ප්‍රධානියාගෙන් ඇයට වැඩි සැලකිලි මෙන්ම උපදෙස් අවවාද අනුශාසනා  ආදිය ද ලැබෙන්නට වුවේය. දුවේ යැයි කටපුරා කියන්නට ද මේ ප්‍රධානියා අමතක නොකළේය. 


ඔහු සේවයට එද්දී  නිවසේ හැදූ රසකැවිලි ආදිය ගෙනවිත් ඇයට දීමට ද අමතක නොකළේය. ප්‍රධානියාගේ වැඩි සැලකිලි ගැන අනෙක් සේවක පිරිසද ඇහැ ගහගෙන සිටියේ එනපොට හොඳ නැති බව කියමිනි. සති කිහිපයක් ගතවිය. සවස් කාලයට ප්‍රධානියාගේ පුත්‍රයා එන්නට පටන් ගත්තේ පියා සොයා එන බව හඟවමිනි. පුතා සේවක පිරිස සමඟ නිතර කතා බහට එක්වූයේය. එසේ සේවක පිරිසට එක්වූ පුතා පෙරකී තරුණිය හා වැඩි ඇසුරට යොමුවුයේය. සවසට එද්දී මේ පුතා චොක්ලට් කේක් ආදි රසකැවිලි ආදිය ගෙන එන්නට පුරුදු වූයේය.


 එසේ ගෙන එන රසකැවිලි තරුණිය අතට දෙන්නේ පිරිස සමඟ බෙදා හදා ගන්නා ලෙස ඉල්ලමිනි. මෙසේ සිදු වෙද්දී පියා නොදැක්කා වගේ සිටියේය. මෙසේ කල් ගත වෙද්දී දිනක් ප්‍රධානියා තරුණිය ඇමතුවේය.


“දුවේ, දුවට මනමාලයෙක් එහෙම ඉන්නවද?”


ප්‍රධානියා එන්නේ හොඳකට නොවන බව තේරුම්ගෙන සිටි තරුණිය ගත් කටටම කීවේ බොරුවකි. මගේ අම්මා ගමේ කෙනෙක් කතා කරලා තීන්දු කරලා ඉන්නේ ළඟදීම බඳිනවා ඇය කීවාය.


ඇත්තදැයි කී ප්‍රධානියා සුසුමක් හෙලුවේය. පසුදා සිට ඔහුට මේ තරුණිය පේන්න බැරිය. නැති වැරදි පවා හොයමින් බැණ වදින්නට පටන් ගත්තේය. සතියක් දෙකක් ඉවසූ තරුණිය මේ ගැටලුව ප්‍රධාන කාර්යාලයට දන්වා මාරුවක් ගෙන ගමින් දුර බැහැරට ගියේ නිදහසේ රස්සාව කරගෙන ඉන්නා අදහසිනි.  
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)