යුද්ධයේ අග භාගයේ එනම්, මාර්තු මාසයේ දී වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ඛඔඔෑ ග්‍රහණයෙන් මිදී ශ්‍රී ලංකා හමුදා පාලන ප්‍රදේශයට පැමිණියේය. එම පිරිස අතර තරමක් සිංහල බස හැසිරවිය හැකි යුද්ධයේ රළු බවට මුහුණ දීම නිසාම දිරාගිය කෙසඟ සිරුරකින් හෙබි තරමක් වයස්ගත කාන්තාවක් රූපවාහිනී කැමරාවක් ඉදිරියේ දෑත් එක්කර වැඳ අහසට හිස හරවා කැඩුණු සිංහල බසින් ‘අපි අපේ රජාට කියන්නේ අපි වගේ ම කොටුවෙලා ඉන්න අපේ මිනිස්සු ටික බේරල දෙන්න කියලා යනුවෙන් ඉතා භාවතිශය ආකාරයට පැවසුවාය. ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රජකු ලෙස පළමු ව දුටුවේද මාධ්‍යයක. ඒ බව කියූ පළමු පුද්ගලයා ද ඇය විය යුතුය. එතැන් සිට ළැව් ගින්නක් සේ රජකු පිළිබඳ අදහස සමාජය පුරා පැතිර ගියේය. එලෙස ගොඩනැඟුණු රාජකීයත්වය අවසන් කර ජනවාරි 9 වැනිදා එතුමා මැදමුලනට ගියේ ජනාධිපතිවරණයෙන් පැරදුණු දේශපාලනඥයකුගේ මානසිකත්වයෙන් නොව ඉතිහාසයේ සඳහන් රජකම හා කිරුළ අහිමි වූ රජකු යළි කවදා හෝ සේනා සංවිධානයකොට නැවත රජකම ලබා ගැනීමේ අරමුණින් මහ වනයට පලාගිය සිහසුන අහිමි අයෙකු මෙනි.


පැරණි රජ දවස වුවද එලෙස වනයට පලාගිය සිහසුන අහිමි රජකු නැවත රජකම ලබා ගැනීමට මානබලන විට රටේද රාජ්‍යයේද යම් අස්ථාවරත්වයක් නිසර්ගයෙන්ම මතු වන්නේය. මන්ද, හිටපු රජතුමාට පක්ෂපාත, ඉන් වරප්‍රසාද ලත් පිරිස වනයට පලා ගිය අපගේ රජතුමා අද හෙටම නැවත සිහසුනට පත්වේය යන බලාපොරොත්තු සහගත මානසිකත්වයකින් පෙළෙන නිසාය. ඒ තුළම විමල් වීරවංශ මන්ත්‍රීතුමා පුන පුනා කියූ යම් කුමන්ත්‍රණ මානසිකත්වයක්ද එම පිරිස තුළ හටගත හැකිය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති ධුරයේ වැඩ භාරගෙන දින ගණනකින් පසුව ගොඩනැඟෙන්නේ මෙවන් දේශපාලන සන්දර්භයකි. පක්ෂයේ සභාපතිවරයා ලෙස මෛත්‍රී ජනාධිපතිතුමාට ඒ තුළ බලය තහවුරු කර ගැනීමට බාධා ඇතිවන්නේද, යහපාලන ආණ්ඩුවේ ආරම්භක අරමුණු අභිමතාර්ථ යථාර්ථයෙන් ඈත්වන්නේ ද, මූලික වශයෙන්ම ජනවාරි 9 වැනිදා පරාජයට පත් වූ ජනාධිපතිවරයා නැවත හෙට, අනිද්දා, තවත් මාසයකින්, මාස හයකින්, අවුරුද්දකින් හෝ අවසානයේදී කවදා හෝ බලයට පත්වේ යැයි ඔහුගේ අනුගාමිකයන් තුළ වන බලාපොරොත්තුව නිසාය. ග්‍රාම්‍ය ව්‍යවහාරයටත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් අනුව එය බාලගිරි දෝෂයට සමානය.


19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ මොහොතේ පටන් මෙම ජීවිත කාලය තුළ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට යළිත් කිසිදාක මේ රටේ ජනාධිපතිවරයා විය නොහැක. එහෙත් රාජපක්ෂ පාර්ශ්වයේ දේශපාලනඥයන් එතුමා මේ රටේ යළි බලයට පත්වන බව පවසද්දී එය පරම සත්‍යය ලෙස දකින ජනතාවක් 21 වැනි සියවසේ දෙවැනි දශකයේ මෙවැනි සබුද්ධිකවාදී, තර්කානුකූල හා විද්‍යාත්මක සමාජයක ජීවත්වීම පුදුම සහගතය. සත්තකින්ම එය එසේ වීමට හේතු කිහිපයක් තිබේ. පළමුවැන්න නම් මහින්ද රාජපක්ෂ මහතා ‘ඉන්වින්සිබල්’ නායකයකු හෙවත් කිසිදා පරාජය නොවන, පැරදවිය නොහැකි නායකයකු ලෙස කලකට ඉහත දී මෙම සිංහල සමාජයේ යම් පිරිසක් අන්ධානුකරණයෙන් පිළිගැනීමය. දෙවන හේතුව නම් අපේ රටේ ප්‍රධාන පක්ෂ දෙකෙහි නායකයන් කියනු ලබන ඕනෑම දෙයක් අවිචාරයෙන් පිළිගැනීමට එම පක්ෂ දෙකෙහි යම් අනුගාමිකයන් පිරිසක් සුදානමින් සිටිමය. තෙවැන්න නම් මහින්ද රාජපක්ෂ මහතා යටතේ 2010 න් පසු ශ්‍රී.ල.නි.ප.යේ ග්‍රාමීය නායකයන්ට හා පාක්ෂිකයන්ට ස්ව චින්තන ශක්තියෙන් දේශපාලනය පිළිබඳ සිතීමට ඇති හැකියාව එම ආණ්ඩුව විසින් අහුරා දැමීමය. ජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් පසුව මැදමුලන නිවසේ ජනේලයක පොලු අල්ලාගෙන සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රූපවාහිනී මාධ්‍යකරුවන්ට කියා සිටියේ ‘මට සුළු ජාතිකයො ඡන්දය දුන්නෙ නෑ. ඒ නිසයි මම පැරදුණේ’ යනුවෙනි. වසර 10 ක් රට පාලනය කළ ජනාධිපතිවරණ 2 ක් ජය ගත් නායකයකු සියල්ල අවසානයේ කළ ප්‍රකාශය තුළත් එතුමා තමන්ගේ දැනුම, බුද්ධිය හා චින්තන රටාව පිළිබඳ තමාගෙන්ම නොව සමාජයෙන් ප්‍රශ්න කරයි.


ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව ශ්‍රී.ල.නි.ප.ය පිළිබඳ මෛත්‍රී ජනාධිපතිතුමාගේ සිත තුළ ගොඩනැඟුණේ ඉතාමත් මෘදු ආකල්පයකි. මහින්ද රාජපක්ෂ මහතාට දඬුවම් දීමට ගොස් තමාගේ ජීවිතය බදු ශ්‍රී.ල.නි.ප.යට පිටුපෑවේය යන මානසිකත්වයක් එතුමා තුළ ගොඩනැඟුණා විය හැකිය. මෛත්‍රී ජනාධිපතිතුමා ශ්‍රී.ල.නි.ප.ය හා පාක්ෂිකයන් දුටුවේ තම දරුවන්ට වරදක්, අවැඩක් කළ පියකු ඒ තුළින් දරුවන් විඳින දුක දැක සලිතවූවකු ලෙසය.


එහෙත් මෙම තත්ත්වය මහින්ද රාජපක්ෂ පාර්ශ්වය දුටුවේ මෛත්‍රී ජනාධිපතිතුමාගේ දුර්වලතාවයක් ලෙසටය. විශේෂයෙන්ම තමා තුළින් වූ වරදක් ඇත්නම් ඊට වන්දි ගෙවීමට මෙන් මෛත්‍රී ජනාධිපතිතුමා පක්ෂ නායකත්වය තමා සතු වූ මොහොතේ පටන්ම මෘදු ආකල්පයකින් යුතුව කටයුතු කළේය. පක්ෂය එතුමා සතු වූ පළමු මොහොතේම බොහෝදෙනා යෝජනා කළේ ශ්‍රී.ල.නි.ප.යේ හා එ.ජ.නි.ස ප්‍රධාන තනතුරුවලට මෛත්‍රී හිතවතුන් පත් කරගත යුතු බවයි. එහෙත් මෛත්‍රී ජනාධිපතිතුමා අනුර යාපා හා සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමන්ලා දරන තනතුරුවලින් ඔවුන් ඉවත්කිරීමට ක්‍රියා නොකළේය. බොහෝ දෙනාගේ මතය වන්නේ ඔවුන් දෙදෙනා දැරූ තනතුරු දෙක ආරම්භයේ දීම ප්‍රබල මෛත්‍රී හිතවාදීන් දෙදෙනකුට ලබා දුන්නේ නම් පක්ෂයේ බලය පූර්ණ වශයෙන්ම ආරම්භයේ දීම මෛත්‍රී ජනාධිපතිතුමා සතුකරගත හැකිව තිබූ බවයි. එහෙත් අවසානයේ එය එසේ සිදු වූයේ මහ මැතිවරණයට පැය 48 කට පෙරය.


ජනාධිපතිවරණ පරාජයෙන් පසු ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයන් ගුටි නොකෑම ද තවත් ප්‍රශ්නයකි. සාම්ප්‍රදායිකව ශ්‍රී.ල.නි.ප ආණ්ඩුවක් පෙරළී එ.ජා.ප.ය බලයට පැමිණි සෑම විටම ගමේ ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයන් ගුටිකෑමට සූදානම් විය යුතුය. මේ පිළිබඳ අඳුරුම මතක සටහන 1977 ය. ඊට අමතරව 1982 හා 2001 ද 1977 තරම් දරුණු නොවුණ ද යම් පමණකට ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයන් එ.ජා.ප යෙන් දඬුවම් ලැබූ අවස්ථා දෙකකි. එහෙත් ජනවාරි 8 ජයග්‍රහණය ඉදිරියේ රට පුරා එ.ජා.ප ක්‍රියාකාරීහු රතික්‍ඳ්ඤා පත්තු කිරීමෙන් පමණක් සෑහීමකට පත් වූහ. එය එසේ වූයේ වසර 47 ක් ශ්‍රී.ල.නි.ප.යේ අඛණ්ඩ සාමාජිකයකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීම නිසාමය. තව ද, ඊට සමගාමීව රාජ්‍ය අංශයේ කාර්යාලවල සිදු වූ පහරදීම්. ස්ථාන මාරු හා වැඩ තහනම් කිරීම් වැනි පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ද සාපේක්ෂව අඩු අගයක් ගත්තේය. විශේෂයෙන්ම මෛත්‍රී ජනාධිපතිතුමා සිය ජයග්‍රහණයෙන් පසු ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයන්ට සිදුවිය හැකි පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවමකර ගැනීමට අවශ්‍ය පියවර රැසක් ම ගත්තේය. එහෙත් එහි ප්‍රතිඵල භුක්තිවිඳි ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයෝ පෙරළා මෛත්‍රී ජනාධිපතිතුමාට පහර ගැසූහ.


යුද ජයග්‍රහණය ඉදිරියේ එ.ජා.ප.ය දුර්වලවීම හේතුවෙන් ශ්‍රී.ල.නි.ප ක්‍රියාකාරීන් බොහෝ දෙනා  අතිශය ආඩම්බර අහංකාර උද්දාමයට පත් පිරිසක් බවට පත්ව සිටියහ. ශ්‍රී.ල.නි.ප.යට උරුම අව්‍යාජ, විනීත, නීතිගරුක, අහිංසක බවින් මඬනා ලද සිත් ඇත්තවුන් වූ ශ්‍රී.ල.නි.ප ක්‍රියාකාරීහු ක්‍රමයෙන් එම සාධු ගුණයන්ගෙන් වියුක්ත දේශපාලනය ඉදිරියේ රළු සිත් ඇත්තවුන් බවට පත් වූහ. එලෙස අධිමානයෙන් විරාජමාන වෙමින් සිටි ශ්‍රී.ල.නි.ප ක්‍රියාකාරීන් චීන මහා ප්‍රාකාරය බඳු තම නායකයා රැය පහන් වන විට බිඳවැටුණු ආකාරය දැක මහත් කම්පනයකට පත්වූහ. එතැන් සිට ඔවුන් තුළ ගොඩනැඟුණු ලජ්ජාව, අවමානය හා හීනමානය සාධාරණීයකරණය කළ හැකි එකම තර්කය නිර්මාණය වූයේ මෛත්‍රී ජනාධිපතිතුමා තුළිනි.


තම අසහාය නායකයාගේ මුග්ධ, අමනෝඥ ක්‍රියා මාර්ග හේතුවෙන් සමස්ත ඛේදවාචකය නිර්මාණය වූ බව ප්‍රත්‍යක්ෂ වුවද ඊට වඩා පහසුවෙන් මෛත්‍රී ජනාධිපතිතුමා පිළිබඳ වෛරය ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයන්ගේ සිත් තුළ ගොඩනැඟීමත් එය ප්‍රචලිත කිරීමත් පහසුවිය. අවසානයේ එය රැල්ලක් සේ පැතිර ගියේය. ජනවාරි 9 වැනි දායින් පසු ඇතිවන මෛත්‍රී - මහින්ද ගැටුම දේශපාලන මනෝවිද්‍යාව තුළින් හා දේශපාලන සමාජ විද්‍යාව තුළින් තවදුරටත් විග්‍රහ කළ හැකි සංසිද්ධියකි.

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි