ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූවාට පසු ඔහු පක්ෂය වෙනුවෙන් වෘත්තිය සමිති ක්‍රියාකාරකම්වල නිරත වූයේ තමන් සේවය කළ ලංකා දුම්කොළ සමාගමේ දී ය. වැඩ බිම දේශපාලන කෙම්බිමක් බවට පත්කර ගත් සුනිල් සහෝදරයා රංජිත් සහෝදරයා සමග එක්වී දුම්කොළ සමාගමේ ජවිපෙ දේශපාලන වෘත්තීය සමිති ක්‍රියාකාරකම් වේගවත් කළේය.

 

ටුබැකෝ (දුම්කොළ සමාගම) එක ඇතුලෙදි මමයි රංජිත් සහෝදරයයි ජවිපෙ දේශපාලන මතවාදය ව්‍යාප්ත කරන්න කටයුතු කරනවා. අපි ඉස්සෙල්ලම කළේ පක්ෂෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොටසක් කොපි කරලා ඒක කැලණියෙ පට්ටිය හංදියෙ තිබුණ සමගි කියන මුද්‍රණාලයෙන් පත්‍රිකාවක් විදියට මුද්‍රණය කරපු එක. පස්සෙ අපි එදා රෑ වැඩ මුරයේ දී කම්කරුවන්ගේ ලොකර් ඇතුළට හොරෙන් ඒ පත්‍රිකා  දැම්මා. ඊට පහුවෙනිදා රෑ ටුබැකෝ එක ඇතුළෙ රාවයක් යනවා චේ ගුවේරාකාරයෝ, ජේ.වී.පී. කාරයො ඇතුළෙ ඉන්නවා කියලා. මේ රාවය දරුණුවටම යද්දී මමයි රංජිත් සහෝදරයයි අපේ පක්ෂය වෙනුවෙන් ප්‍රසිද්ධියේ ම පෙනී සිටියා.

 
දුම්කොළ සංස්ථා පරිශ්‍රය ඇතුළත සුනිල් සහෝදරයා රංජිත් සමග එක්වී ගෙනගිය මේ දේශපාලන කාර්යභාරය ඒ වනවිට ඉමහත් ප්‍රසිද්ධියට පත්ව තිබූ අතර ඒ හේතුවෙන් ඔහු ‘ටුබැකෝ සුනිල්’ යන නාමයෙන් කා අතරත් ජනප්‍රියවන්නට විය. එය සුනිල් සහෝදරයාට ජවිපෙන් ලැබුණු අන්වර්ථ නාමය ද විය. ටුබැකෝ සුනිල්ලාගේ මේ ක්‍රියාකාරකම් ගැන පක්ෂයේ ඉහළ මට්ටමේ  සාමාජිකයන් හට ද තොරතුරු  වාර්තා වන  අතර ඒ අනුව පක්ෂ නායකයෝ එකා දෙන්නා නිතර දෙවේලේ දුම්කොළ සමාගමට හොර රහසේ ආහ, ගියහ.


“ඔය කාලේ වෙනකොට අපේ පක්ෂයේ නායකයො කීප දෙනෙක් මාව  හොයාගෙන ටුබැකෝ එකට නිතරම වාගේ ආවා ගියා. එහෙම ආපු අය අතර අබේවර්ධන, ගමනායක, නෙල්සන්, සෝමවංශ (සෝමවංශ අමරසිංහ) සහෝදරවරු හිටියා මට මතකයි. මේ අයගෙ පැමිණීමත් එක්ක අපිට ටුබැකෝ එක ඇතුළෙ ජේවීපී සම්බන්ධකම් ශක්තිමත්ව ඇති කරන්න පුළුවන් වුණා. ඒ අනුව අපි ඉස්සෙල්ලම සමාජවාදී කම්කරු සංගම් පක්ෂ කමිටුවක් ටුබැකෝ එක ඇතුළෙ හැදුවා. ඒකෙ සංවිධායක ලේකම් හැටියට පත්වුණේ මම. හපුආරච්චි, සිසිර, ගුණපාල, සෙල්ලා කියන  සහෝදරවරු මේ කමිටුවේ සාමාජිකයො  හැටියට වැඩ කළා. 1977, 1978 අවුරුදුවල පක්ෂයෙන් පවත්වපු මැයි රැලි හා පෙළපාළිවල දී අපි මේ කමිටුව හරහා ඒවාට දායක වුණා. 


1977 කාලේ වෙනකොට අපරාධ යුක්ති කොමිසන්  සභා පනත අහෝසි වෙනවා. ඒත් එක්කම රෝහණ විජේවීර සහෝදරයවත් නිදහස් කරනවා. හිරෙන් නිදහස් වුණාට පස්සෙ රෝහණ සහෝදරයා පළමුවැනි පුවත්පත් සාකච්ඡාව පැවැත්වූයේ බාලා තම්පෝගෙ කාර්යාලයෙදී. ඒ සාකච්චාවේදී පක්ෂයේ ඉදිරි කටයුතු රෝහණ සහෝදරයා ප්‍රසිද්ධ කළා. මේ පුවත්පත් සාකච්ඡාවෙන් පස්සෙ රෝහණ සහෝදරයා සහභාගී වුණු මංගල රැලිය පැවැත්තුවෙ විහාරමහා දේවි උද්‍යානය ඉස්සරහපිට තියෙන නගර සභා පිට්ටනියේදී. ඒ වෙනකොට පක්ෂයෙන් මුද්‍රණය කරලා තිබුන ඔක්තෝබර් විප්ලවය සමරන පෝස්ටර්. අපි කළේ ඒ පෝස්ටර්වල විජේවීර ඔබ අමතයි කියලා ලියපු එක. එදා තිබුණු ඒ රැලියේදී තමයි මට මුලින්ම රෝහණ සහෝදරය දකින්න ලැබුණෙ. මම ඊට කලින් කවදාවත් හිතුවෙ නෑ රෝහණ සහෝදරයාව සියැසින් දැකල පසු කාලයේදී එයත් එක්ක එකට වැඩ කරන්න ලැබෙයි කියලා. 


වෘත්තීය සමිති දේශපාලනයෙන් බැහැරව දේශපාලන තලයේදී පක්ෂය වෙනුවෙන් ටුබැකෝ සුනිල්ට පළමු වගකීම පැවරෙන්නේ තරුණ රතු ගැටව් සංවිධානය මගිනි. 


දැන් තියෙන තරුණ සමාජවාදී සංගමය වගේ පක්ෂයට අනුබද්ධිත තරුණ සංගමයක් ඒ කාලේ තිබුණා. ඒකට කිව්වෙ තරුණ රතු ගැටව් සංවිධානය කියලා. ඒකෙ කැලණිය බියගම ආසනයෙ සංවිධායක ලේකම් තනතුර මට හම්බ වුණා. මේ තනතුරේ වගකීම්  දරන අතරේදි මම ටුබැකෝ එකේ හදපු සමාජවාදී කම්කරු සංගමයේ සංවිධායක ලේකම් තනතුරේ වැඩකටයුතුත් කරගෙන ගියා.

ඔය කාලයේදී අපි ටුබැකෝ එකේ වැඩවර්ජනයක් මෙහෙයෙව්වා. ඒ වැඩවර්ජනය පරාද වුණාට පස්සෙ මාව රස්සාවෙන් අයින් කළා. පස්සෙ අලුත් සේවකයො හැටියට කොන්දේසි එකොළහක් පනවලා අපිට වැඩට  එන්න කිව්වා. ඒත් මම ගියේ නෑ. ටුබැකෝ  එකේ මගේ සේවය අත්හිටෙව්වෙ 1979 ජනවාරි පළමුවැනිදා. ඒ අවුරුද්දේම පෙබරවාරි මාසෙ 18 වැනිදා පක්ෂෙ පූර්ණකාලීන සාමාජිකයෙක් හැටියට වැඩ කරන බවට මම විජේවීර, ගමනායක සහෝදරවරු ඉස්සරහපිට දිවුරුම් දුන්නා. ඒ අනුව මම පළවෙනි වතාවට කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල සමාජවාදී කම්කරු සංගමයෙ සංවිධායකයෙක් හැටියට වැඩ බාර අරගෙන කටයුතු කරනවා.

උපුල් වික්‍රමසිංහ