චතුර විසින් එම්. කේ. ඒ. ඩී. එස්. චන්ද්‍රිකා මැතිනියගේ නිවසට කැඳවාගෙන ගියේය. ඒ අනුව චන්ද්‍රිකා මැතිනියගේ නිවසේ සිටම එම්. කේ. ඒ. ඩී. එස්. ශ්‍රී.ල.නි.ප.යේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ට කථා කිරීම ආරම්භ කළේය. විශේෂයෙන්ම එම දුරකථන ඇමතුම් වයිබර් යොදා ක්‍රියාත්මක වූ අතර අනෙක් අන්තයේ බොහෝ මැති ඇමතිවරුන්ට වයිබර් පහසුකම් නොවීය. මේ අනුව ඊට විකල්පයක් ලෙස අදාළ මැති ඇමතිවරුන්ගේ දූ දරුවන්ට වයිබර් ඔස්සේ කථා කළ අතර ඒ අවසරයෙන් එම පණිවිඩ බිරින්දෑවරුන්ට ද සන්නිවේදනය විය. ප්‍රශ්නය මතුවූයේ එම රැඩිකල් ඇමතිවරුන්ගේ බිරින්දෑවරුන්ගේ ගතසිත තිබුණේ අරලියගහ මැදුරේ වීමය.

 

 

මේ වනවිට ගොඩනැඟෙමින් පැවති මෛත්‍රී - චන්ද්‍රිකා - රාජිත කණ්ඩායමේ ආරම්භක අදහස වූයේ නොවැම්බර් 27 වැනිදා ශ්‍රී.ල.නි.ප කණ්ඩායම අණ්ඩුවෙන් ඉවත්වීමටය. ඒ අනුව ඉදිරි දින 10 තුළ දී තවදුරටත් සංවිධානය වී ප්‍රබල කණ්ඩායමක් ලෙස ආණ්ඩුවෙන් පිටතට පැමිණීම එහි උපක්‍රමය ලෙස දැක්වුණත් එම යෝජනාව ආකාර කිහිපයකින්ම ප්‍රායෝගික නොමැති බවට ද පෙනී ගියේය. එනම්, නොවැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වනු ඇත. ජනවාරි 8 වැනිදා මැතිවරණය පැවැත්විය හැක්කේ එවිට පමණි. නමුත් ප්‍රශ්නයකි.

එලෙස ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබිය දී පවා විපක්ෂයට තවදුරටත් පොදු අපේක්ෂකයකු නම්කරගත නොහැකි වුවහොත් එය සමස්ත විපක්ෂයම රට ඉදිරියේ අවතක්සේරුවීමකි. අනෙක් අතට 21 වැනිදායින් පසුවත් මෛත්‍රී ඇමතිතුමා ඇතුළු පිරිස 27 වැනිදා දක්වා ආණ්ඩුව තුළ මෙම රහස රැකගනිමින් සිටීම ද අභියෝගයකි. තවද, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ගැනීමට නොහැකි වුවහොත් ඒ තුළ එ.ජා.ප.යද අර්බුදයකට යනු ඇති බව රනිල් වික්‍රමසිංහ මහතාට ඉවෙන් මෙන් දැනුණි. ඒ අවසරයෙන් කරු ජයසූරිය මහතාට හෝ සජිත් ප්‍රේමදාස මහතාට එම අපේක්ෂකත්වය ලබාදිය යුතු බවට බිඳහෙළිය නොහැකි තර්කයක් පක්ෂය තුළින් මතුවනු ඇත. තවදුරටත් විමසීමේ දී පොදු අපේක්ෂක බිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පෙන්නා අගමැතිකම ලබා ඉන් සැහීමකට පත්වීමට මෛත්‍රී ඇමතිතුමා උපක්‍රමික වනු ඇතිද? මේ ප්‍රශ්න සියල්ල මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතා හා පොදු අපේක්ෂකයාට සහය පළ කරන රවී, මංගල ඇතුළු පිරිස ඉදිරියේ ප්‍රබල ප්‍රශ්නාර්ථයක් ගොඩනගා හමාරය.

මේ අනුව මෙම ප්‍රශ්නය ඉදිරියෙහි එ.ජා.පයේ යෝජනාව වූයේ කුමන තත්ත්වයක් යටතේ හෝ ජනාධිපතිවරණය ප්‍රකාශ කළ දිනයේම මෛත්‍රී ඇමතිතුමා ඇතුළු පිරිස ආණ්ඩුවෙන් ඉවත් වී රට ඉදිරියට පැමිණිය යුතු බවයි. මේ අතර 20 වැනිදා මධ්‍යම රාත්‍රිය ගෙවී යද්දී මුණගැසුණු චන්ද්‍රිකා මැතිනියගේ හා රාජිත ඇමතිතුමාගේ සාකච්ඡාවකින් පසු රාජිත හා චතුර මෛත්‍රී ඇමතිතුමාගේ නිවසට ගියේය. ඒ වන විට 21 වැනිදා අලුයම 3.00 ටද ආසන්න වී තිබිණි. එහිදී මෛත්‍රී ඇමතිතුමා රාජිත ඇමතිතුමාට කියා සිටියේ “මම තනියෙන් හරි හෙට එළියට යන්නම්, ඩොක්ටර් අනිත් කණ්ඩායමත් එක්ක පසුව එන්න” යනුවෙනි. එහෙත් රාජිත ඇමතිතුමා කියා සිටියේ මෛත්‍රී ඇමතිතුමා ඉවත්වන දිනයේ තමාද තනිවම හෝ ආණ්ඩුවෙන් ඉවත්වන බවයි.


මේ අතර චතුර සේනාරත්න මහතා මෙම ප්‍රශ්නය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හා රවී කරුණානායක මහතාගෙන් විමසූ ප්‍රශ්නය වූයේ මෙම පිරිස 21 වැනිදා විශාල ජීවිත අවදානමක් සමඟ දේශපාලන කැපකිරීමක් සිදුකර ආණ්ඩුවෙන් ඉවත්ව පැමිණි පසු පොදු අපේක්ෂකයාට එරෙහි එ.ජා.ප. කණ්ඩායම අරලියගහ මැදුර සමඟ එක්වී කුමන්ත්‍රණයක් කළහොත් එම පිරිසට අත්වන ඉරණම පිළිබඳ වගකීම ගන්නේද යන්නය. මේ අනුව මෛත්‍රී පිල පාර්ශ්වයෙන් මූලික වශයෙන් ඉදිරිපත් වූ යෝජනාව වූයේ එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලය පොදු අපේක්ෂකයාට අනුමැතිය ලබාදීමෙන් පසුව පමණක් එම පිරිස ආණ්ඩුවෙන් ඉවත්වන බවයි.


සියලුදෙනා ඒකාත්මිකව බලා සිටි යෝජිත ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීම සිදුවූයේ නොවැම්බර් 20 වැනිදා යෙදුණු සුබ මොහොතකිනි. රාජකීය දෛවඥයා ලෙස තමා විසින්ම නම් පටබැඳගත් සුමනදාස අබේගුණවර්ධන මහතාට අනුව එදින සුබ මොහොත යෙදී තිබුණේ ප.ව 1.32 ටය. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ නැකැත් ශාස්ත්‍රයට අනුව බොහෝ සුබ නැකැත් යෙදෙන්නේ පෙරවරුවේ වුවද එදිනට ගතහැකි නැකතක් නොමැතිම නම් එය පස්වරුවේ යෙදේ. අරලියගහ මැදුර තුළින් සැලසුම්කර තිබූ පරිදි ජනවාරි 8 දිනට මැතිවරණය පැවැත්වීමට අදාළව අවම දින ගණන සම්පූර්ණ කරගැනීමේ අරගලයේදී නොවැම්බර් 20 වැනිදා කෙසේ හෝ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ යුතුමය. සමහර විට මෙලෙස මධ්‍යහ්න සුබ නැකතක් සොයා යාමට සුමනදාස මහතාට සිදුවූයේ ජනවාරි 8 වැනිදාට මැතිවරණය ලබාගැනීමේ අරගලයත් සමඟ විය හැක.

 

මතු සම්බන්ධයි.

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්