ජනපතිවරණයට තවත් දින 19ක් ගෙවෙන්නට ඉතිරිව තිබෙන තැන ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දේශපාලඥයන්ට පවතින ආදරය මේ දිනවල ජනපතිවරණ වේදිකාවන්ගෙන් දෝරෙ ගලා යනු දැකගත හැකිය. එම වේදිකාවන්ගේ සිට ජනතාව අමතන ඔවුහු සෑම කෙනෙක්ම පාහේ කියමින් සිටින්නේ එකම දෙයකි. එනම් ප්‍රජාතන්ත්‍රවාදයට ඔවුන්ට තිබෙන ආදරය ගැනය. දූෂණයට ඔවුන්ගේ තිබෙන විරෝධය ගැනය. ව්‍යාධිවලින් තොර නව සමාජයක් ගැනීමට දෙන පොරොන්දු ගැනය.

වසර 5කට පෙර මේ ආකාරයෙන්ම ජනතාව ඇමතූ දෙපළක් විය. ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඔවුහුය. වංචාවෙන් හා දූෂණයෙන් තොර යහපාලනයක උදාවක් ගෙන එන බව ජනපති සිරිසේන කීවේය. නමුත් ඔහුම පත්කර තිබෙන ජනපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සහ පොලිසිය දියත් කර තිබෙන විමර්ශනවලින් අනාවරණය වෙමින් තිබෙන්නේ වත්මන් රජයේ වංචා හා දූෂණයන් ද, ඇතැම් අවස්ථාවල පැවැති රජයටත් වඩා, ඉහවහා ගොස් තිබෙන බවය.

වත්මන් රජයේ ආර්ථික සංවර්ධන කටයුතුවලට නායකත්වය දුන්නේ අගමැති වික්‍රමසිංහය. කිසිදු බාධා කිරීමකින් තොරව ඔහුට එම කටයුතුවල නියැළීමට අවස්ථාව සලසා දුන්නේ සහ එසේ කරන ලෙස උනන්දු කළේ අන් කිසිවෙක් නොව ජනපති සිරිසේනම බව බොහෝ දෙනෙක් නොදන්නා කාරණයකි. කොටින්ම, 2014 වසරේ දී එවක පැවැති රාජපක්ෂ පාලනය පෙරළා දැමීමේ අරමුණින් පොදු සන්ධානයක් ගොඩනගා ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වෙන අතරවාරයේ ජනපති සිරිසේන, වික්‍රමසිංහව ඇමතූයේ ‘සර්’ ලෙසය. වික්‍රමසිංහ කෙරේ එතරම්ම ගෞරවයක් සහ විශ්වාසයක් ඔහුට තිබිණ. 2015 ජනපතිවරණයෙන් පසුව ද කලක් යන තෙක්ම එය එසේම පැවතිණ. එහෙත් පසුව ‘සර්’ - රනිල් උන්නැහේ බවට පත්විය.

මෙම අරමුණ සඳහා ආර්ථික කළමනාකරණ කටයුතු වෙනුවෙන් වන කැබිනට් කමිටුවක් පත්කිරීමට පියවර ගත් වික්‍රමසිහ එහි මුලසුන ද, හෙබවීය. රටේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් වූ බහුතරයක් කාරණාවලට අදාළව පියවර ගත්තේ මෙම කමිටුවයි. එහි සාමාජිකයන් වූ ඇතැම් අමාත්‍යවරු, විදේශීය සමාගම්වල දේශීය නියෝජිතයන් හා අතිනත් බැඳගෙන කටයුතු කරමින් එම විදේශීය සමාගම්වල ප්‍රතිපත්තිවලට අදාළවම මෙරට ඔවුන්ට කටයුතු කරගෙන යාමේ ඉඩ ප්‍රස්ථාව සලසා දුන්හ. එවන් කටයුතු විමසුමකට හෝ සෝදිසියට ලක් නොවූ තරම් විය. ගැටලුකාරී මුල්‍ය ගනුදෙනු ඉහ වහා ගියේ ය. කමිටුව ගන්නා තීරණ අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු වුව ද, බොහෝ විට එසේ ඉදිරිපත් වූයේ එසේ ගැනුණු තීරණවලින් කොටසක් පමණකි.

ආර්ථික කළමනාකරණ කටයුතු වෙනුවෙන් වන කැබිනට් මණ්ඩලය, සමාන්තර කැබිනට් මණ්ඩලයක තත්ත්වයකට පත්විය. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ජනතාවට දුන් ප්‍රධාන පොරොන්දුව - එනම් රැකියා ලක්ෂ 10ක් ඇති කරන බව, අමතකව ගියේ ය. කොපමණ ප්‍රමාණයක්දැයි නොදන්නා තරමේ විශාල මුදලක් ‘විදෙස් ආයෝජනයන්’ යැයි සඳහන් කර රටට පොම්ප කර තිබෙන බවට ද, චෝදනා නැගිණ.

ජනතාව මත බදු පිට බදු පැටවිණ. රැකියා උත්පාදනය ඉතාම අවම මට්ටමක පැවැති මුත්, ගුවන් නගරයක් (එරෝ සිටි) වැනි මහා පරිමාණ - චිත්තාකර්ශනීය ව්‍යාපෘති ආරම්භ කරන බව නැවත නැවතත් සඳහන් කෙරිණ. එසේ සැබෑවටම දියත් කැරුණු ව්‍යාපෘති ප්‍රමාණය අතලොස්සකි. රටට ඉසුරු ගෙන ඒමේ අපේක්ෂාවෙන් අගමැතිවරයා ප්‍රමුඛ දූත පිරිසක් ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර පැවැති ලෝක ආර්ථික සමුළුවට ද සහභාගි විය. එයින් වැඩි යමක් සිදුවූයේ නැත. එවක මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සහ අලිබබා සමාගමේ නිර්මාතෘ ප්‍රකෝටිපති ව්‍යාපාරික ජැක් මා කොක්ටේල් සාදයකට සහභාගිව සිටිනු දැක්වෙන ඡායාරූපයක් මාධ්‍යවල පළවිය. ඔහු මෙරට ආයෝජනය කිරීම සඳහා සූදානමින් පසුවන්නේ යැයි සඳහන් විය. එයින් පසුව වසර 2ක් ගතවුව ද, ජැක් මා හෝ අලිබබා සමාගම ශ්‍රී ලංකාව සොයා ආවේ නැත. සිදුවූ එකම දෙය කරුණානායකට ඔහු දරමින් සිටි මුදල් අමාත්‍ය ධුරය අහිමිවීම පමණකි.

ආර්ථික කළමනාකරණ කටයුතු වෙනුවෙන් වන කැබිනට් කමිටුවේ ක්‍රියාකාරීත්වය අරබයා ගැටලු ගණනාවක් නැගී තිබුණු අතර, ජනපතිවරයා සහ අගමැතිවරයා එකිනෙකාගෙන් දුරස්වීමට ප්‍රධාන වශයෙන්ම හේතුවූයේ ද, ඒවාය. අවසන 2017 වසරේ දී මෙම කමිටුව වසා දැමීමට කටයුතු කළ ජනපතිවරයා ඒ වෙනුවට ජාතික ආර්ථික කවුන්සිලයක් ස්ථාපිත කළේ ය. වසර දෙකක ඇවෑමෙන්, මෙම ඔක්තෝබර් මාසයේ දී එම කවුන්සිලය ද අහෝසි කිරීමට පියවර ගත් ජනපතිවරයා එහි ලේකම් ජනරාල් ලලිත් සමරකෝන් මහතා එම තනතුරින් ඉවත් කළේය. ජාතික ආර්ථික කවුන්සිලයේ ලේකම් ජනරාල්වරයා ලෙස සමරකෝන් පත්කරන අවස්ථාවේ දී ජනපතිවරයා ඔහුව හඳුන්වා දුන්නේ, පුළුල් ක්ෂේත්‍රයක අත්දැකීම්, දැනුම සහ උනන්දුවක් ඇති, පැවරී තිබෙන රාජකාරිය ඉහළින්ම ඉටුකිරීමට අවැසි උසස්ම සුදුසුකම් සහිත පුද්ගලයකු ලෙසය.

ජනපතිවරයා මෙවැනි පියවරක් ගැනීමට හේතුවී තිබෙන්නේ ජාතික ආර්ථික කවුන්සිලයේ ලේකම් ජනරාල්වරයා ලෙස මසකට ලක්ෂ 5කට ආසන්න වැටුපක් ලබන සමරකෝන් වසරේ වැඩි කාලයක් දිවයිනෙන් බැහැරව සිටීමයි. පසුගියදා මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ ජනපති සිරිසේන, අගෝස්තු මාසයේ දිවයිනෙන් බැහැරව ගියායින් පසුව මේ වන තෙක්ම සමරකෝන් නැවත ශ්‍රී ලංකාවට පැමිණ නොමැති බව එහි සඳහන් කර තිබිණ. එහෙත් සමරකෝන් අවධාරණය කර තිබෙන්නේ ඔහු දිවයිනෙන් බැහැරව ගිය සෑම අවස්ථාවකම ඒ පිළිබඳව ජනපතිවරයා දැනුම්වත් කිරීමට පියවර ගත් බවයි. නොදන්වා ගියේ යැයි ජනපති සිරිසේන කරන ප්‍රකාශය ඔහු අභියෝගයට ලක්කර තිබේ. එය එසේ නම් ජනපතිවරයා සමරකෝන්ගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කර නැත. ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් යුතුව ද කටයුතු කර නැත.
මෙම නාටකයේ ප්‍රතිවිපාක ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථිකය දෙස බැලීමේ දී හොඳින්ම පෙනෙන්නට තිබේ. සභාග පාලන සමයේ මුල් අර්ධයේ දී ආර්ථික කටයුතු මෙහෙයැවුණේ අගමැති වික්‍රමසිංහගේ අධීක්ෂණය යටතේය. ඉතිරි අර්ධයේ එය ජනපතිවරයා යටතේ ක්‍රියාත්මක විය. ආර්ථික කළමනාකරණ කටයුතු පිළිබඳ කැබිනට් කමිටුව යටතේ ඉතාම බරපතළ මට්ටමින් සම්මතයන්ට පිටුපා කටයුතු කර තිබෙන බව සහ එම කමිටුව වංචා හා දූෂණයන් රිසිසේ සිදුකරන්නට මාධ්‍යයක් බවට පත්ව තිබුණු බව දැන් රහසක් නොවේ. එම කමිටුවේ ඉහළ නිලයක් හෙබවූ එක්තරා නිලධරයෙකුට පැවැති එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ ද ආර්ථික කටයුතුවලට අතපෙවීම අරබයා නමක් තිබේ. ඉතිරි වසර දෙකහමාරක කාලයේ ආර්ථිකය මෙහෙයවීම තිබුණේ ජනපති සිරිසේනගේ අතය. ඔහු ද එය හරියාකාරව සිදුනොකළ බව දැන් පෙනෙන්නට ඇත.

ඔහු පවසන ආකාරයටම ජාතික ආර්ථික කවුන්සිලයේ ප්‍රධානී සමරකෝන් වැඩි කාලයක් රටෙන් බැහැරව සිටියේ නම්, එයින් ආර්ථික කටයුතුවලට කොපමණ නම් බලපෑමක් එල්ලව තිබේ ද? කවුන්සිලය ගන්නා තීන්දු තීරණ ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බව තහවුරු කිරීම ඔහුගේ - කවුන්සිලයේ සභාපතිවරයා ලෙස ජනපතිවරයාගේ, වගකීම විය. සිරිසේන - වික්‍රමසිංහ රජය යටතේ ආර්ථිකය එතරම් සුභ මට්ටමක නොපවතින බව ශ්‍රී ලංකා ජනතාව දැන් අවබෝධ කරගෙන සිටී. එවැනි තත්ත්වයක වුව ද, ඇතැම් අමාත්‍යවරු නොයෙක් සංඛ්‍යාලේඛන ගෙනහැර දක්වමින් ඇමරිකා එක්සත් ජනපදයට පසු ලොව සංවර්ධිතම ආර්ථිකය බවට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකාව බව පවසන්නට යෙදුණ ද, එය ඔවුන්ගේ සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගේ හිතසුව පිණිස මිස බහුතර ශ්‍රී ලංකා ජනතාවගේ හිත සුව පිණිස නොවේ. එසේ ජනතාව රැවටිය නොහැකිය.

නැවත පාර්ලිමේන්තුවට පැමිණීම
අද (27) දින නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ජනපති සිරිසේන, ලබන නොවැම්බර් මස 16 වැනිදා තමන් වෙනුවට පත්වන අනුප්‍රාප්තිකයාගේ ආගමනයෙන් අහිමි වන ජනපති පුටුව වෙනුවට පාර්ලිමේන්තුවේ අසුනක් වෙන්කර ගැනීම අරබයා දැනටමත් අවධානය යොමුකර තිබේ. පසුගිය ඉරිදා ජනපති සිරිසේන සිව්දින සංචාරයක් සඳහා ජපානය බලා පිටත්ව ගිය අතර, එහිදී ඔහු ජපාන අධිරාජයා නරුහිතෝගේ කිරුලු පැළඳවීමේ උත්සවයට සහභාගි විය. දින 4ක් ජපානයේ ටෝකියෝ නුවර ගත කළ ඔහු අනතුරුව පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර, ඔහු අද දිවයිනට පැමිණෙන්නේ එරට දින 3ක් ගතකිරීමෙන් පසුවය.

ජපානය බලා පිටත්ව යෑමට ප්‍රථම ජනපතිවරයා ලෙස සිය තනතුර අහිමි වූ වහාම, පාර්ලිමේන්තුවට පැමිණීමට පවතින අවස්ථා විමසුමට ලක්කිරීමට ජනපති සිරිසේන කටයුතු කළේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකඟතාවයක් ඇතිකර ගැනීමට ප්‍රථම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේ යැයි විනය ක්‍රියාමාර්ගවලට හසුව සිටින ඩිලාන් පෙරේරා මහතා සමග ඔහු මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ය. කොටින්ම, ඩිලාන් පෙරේරා ප්‍රමුඛ තවත් තිදෙනෙක්, නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමට ඔවුනට තිබෙන අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මීට පෙර අවස්ථාවක දී ජනපති සිරිසේන හමුවූහ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයන් අතුරින් තම තමන්ව නොසලකා හැරෙමින් තිබෙන බවට පෙරේරා එම හමුවේ දී අතිශය විවේචනාත්මකව අදහස් දක්වා තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනය ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙන සාමාජිකයන්ගෙන් එක් අයකු වන පෙරේරා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග අදහස් හුවමාරු කරගෙන තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඔවුන්ට දැනුම් දී තිබෙන්නේ, පෙරේරා හට කිසිදු තනතුරක් ලබානොදෙන ලෙසය.

පෙරේරා සමග පැය 4කට ආසන්න කාලයක් පැවැති හමුවේ දී, ඔහු (පෙරේරා) දැනට හොබවන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට තිබෙන කැමැත්ත විමසා සිටි ජනපතිවරයා, පාර්ලිමේන්තුවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන තමා ඒ සඳහා එම අසුන යොදාගන්නා බව පැවසුවේ ය. අහිමි වන පාර්ලිමේන්තු අසුන වෙනුවට ඔහුව ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කිරීමට පියවර ගන්නා බව ජනපති සිරිසේන කීවේ ය. එය දෛවයේ සරදමක් වැනිය. ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක්වූ අවස්ථාවේදීම, එවක ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරමින් සිටි ඔහුගේ පියා, මාෂල් පෙරේරා මහතා එම තනතුරින් ඉල්ලා අස්විය. මාෂල් පෙරේරා එසේ ඉල්ලා අස්වූයේ ජනපති ලේකම් කාර්යාලයෙන් කළ ඉල්ලීමක් ප්‍රකාරව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචිමාර්ග සඳහන් කළේය. ජනපති සිරිසේන සමග පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් පෙරේරා පසුව ශ්‍රී ලංකා ජනතා සන්ධානයේ නායක මහින්ද රාජපක්ෂ මහතාව දැනුම්වත් කිරීමට පියවර ගත්තේය. තීරණයක් ගැනීමට ප්‍රථම ඒ පිළිබඳව සිය නව නායකයා වන මහින්ද රාජපක්ෂ සමග පමණක් නොව සන්ධානයේ ජනපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ද සාකච්ඡා කිරීමට සිදුවන බව ජනපතිවරයාට දැනුම්දුන්නේ යැයි පෙරේරා මහින්ද රාජපක්ෂ සමග කීවේය. ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පෙරේරා පත්කිරීමේ සූදානමක් පවතින බව අසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළුව, යම් කසුකුසුවක් ඇති විය. නමුත් දැන් ඔහු එම තනතුර භාරගනු නැත.

පෙරේරා වෙනුවෙන් මාර්ගය සලසා දීම සඳහා ඌව පළාත් වත්මන් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා හමුවීමට ද, ජනපතිවරයා කටයුතු කළේ ය. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හරහා නැවත පාර්ලිමෙන්තුවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන තමා ඒ සඳහා ඩිලාන් පෙරේරාගේ පාර්ලිමේන්තු අසුන යොදාගැනීමට සිටින බව පැහැදිලි කළ ජනපතිවරයා, පෙරේරාට ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්වීම සඳහා එම තනතුරින් ඉවත් වන ලෙස ගුණරත්නගෙන් ඉල්ලා සිටියේය. තවමත් හොඳ සෞඛ්‍යය තත්ත්වයක පසුවන තමාට තවදුරටත් දේශපාලනයේ නියැලෙමින් රට වෙනුවෙන් සේවය කිරීමට වුවමනා බව ද, ජනපතිවරයා ගුණරත්න හමුවේ පවසා තිබේ. කෙසේ වුවත් ගුණරත්න, සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් සඳහන් කළේ මෙම කාරණය ඉතාම හොඳින් සැලකිල්ලට ගෙන තිබෙන ඔහු ජනපතිවරයාගේ ඉල්ලීම පරිදි ඉල්ලා අස්නොවන බවය. ගුණරත්න, ඔහුගේ සගයින් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකොන් සහ උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්වරුන් සමග සහාය දක්වමින් සිටින්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාටය. ජනපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් සිට දැන් එම තනතුරින් ඉවත්ව ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක්වීමට එක්ව සිටින ශිරාල් ලක්තිලක මහතා හා ඔවුන්ට ඇත්තේ ඉතාම සමීප සම්බන්ධතාවයකි. ලක්තිලක දැනට ප්‍රේමදාසගේ වොක්ෂෝල් වීදියේ පිහිටි මැතිවරණ කාර්යාලයේ වැඩකටයුතුවල නිරතව සිටින අතර, ප්‍රචාරණ වීඩියෝ පටවලට ද පෙනී සිටී.

කළ ඉල්ලීම දෙදෙනාම ප්‍රතික්ෂේප කළ තැන පාර්ලිමේන්තුවට පිවිසීමට පවතින අදහස සාක්ෂාත් කරගැනීම සඳහා ජනපති සිරිසේන කුමන පියවරක් අනුගමනය කරනු ඇතිදැයි යන්න දැනගත හැකිවනු ඇත්තේ ඉදිරියටය. වෙනත් අයගෙන් ද ඔහු මෙවැනිම ඉල්ලීම් කරනු ඇති බවට සැකයක් නැත. නමුත් දිගු කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඔහුට කටයුතු කිරීමට හැකියාව ලැබෙනු උගහටය. ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම වෙනුවෙන් නෙලුම් පොකුණ රඟහලේ සංවිධානය කර තිබූ උත්සවයකට එක්ව සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ එහිදී අදහස් දක්වමින්, මෙවර ජනපතිවරණයෙන් ශ්‍රී ලංකා ජනතා සන්ධානයේ ජනපති අපේක්ෂකයාට ලැබෙන ජයග්‍රහණය කඩිනම් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා පළවන ජනමතයක් ලෙස ද, සලකන බව පැවසුවේ ය. එවැනි පියවරක් නොගැනෙන වාතාවරණයක වුව ද, ජනපති සිරිසේනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ හැකිවනු ඇත්තේ තවත් මාස 3ක් හෝ 4ක කාලයක් දක්වා පමණකි. ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්ෂේත්‍ර 10ක් මත පදනම්ව සකස් කර තිබෙන අතර, ආරක්ෂාව සිට ආර්ථිකය දක්වා වන ක්ෂේත්‍රයන් ඒ අතරට ඇතුළත් කර තිබේ. එය එළිදැක්වීමේ අවස්ථාවට දේශපාලන පක්‍ෂ 20කට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් පැමිණ සිටි

නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයාට සහාය දක්වන සිවිල් සමාජ කණ්ඩායම්වල සාමාජිකයෝ පිරිසක් එක්ව සිටියහ.

පසුගිය සතියේ මෙම තීරුවෙන් අනාවරණය කළ ආකාරයට තමා වෙනුවෙන් සේවා පැකේජයක් දිනාගැනීමට ජනපති සිරිසේන සමත්විය. නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජනතා සන්ධානයේ නායකයෙක්, නිවසට අමතරව ජනපති සිරිසේන වෙනුවෙන් වෙඩි නොවදින මෝටර් රථ වෙන්කර තිබෙන බව ද අනාවරණය කළේය. එම රථ දෙකම හෝ දෙකෙන් එකක්, මර්සිඩීස් බෙන්ස් මයිබාක් වර්ගයේ රථ වන බව ඔහු පැවසුවේය. එකවර එල්ල වන අත්බෝම්බ ප්‍රහාර 2කට මුහුණදීමේ හැකියාව පවතින මෙවන් රථයක මිල ඩොලර් ලක්ෂ 3කට ආසන්නවේ. රථයේ ගමන් කරන පුද්ගලයාට සෑම අයුරකින්ම පාහේ ආරක්ෂාව සලසා දී තිබෙන මෙම මෝටර් රථයට, එහි ටයරවලට හානි වී තිබෙන අවස්ථාවක වුව ද, රිම්වලින් පවා දිගටම ධාවනයේ යෙදිය හැකිය. කෙසේවුව ද, මුදල් අමාත්‍යවරයාගේ කැබිනට් පත්‍රිකාව තවමත් ප්‍රසිද්ධියට පත්කර නොමැති හෙයින් මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීමට නොහැකි විය. කැබිනට් මණ්ඩලයේ දී ගැනුණු තීරණ පසුගිය සතිය පුරාවට ප්‍රසිද්ධියට පත් කරන්නට යෙදුණ ද, මෙම කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොතිබිණ. පාලක පක්ෂයට එරෙහි ඇතැම් සිවිල් සමාජ කණ්ඩායම් මුදල් අමාත්‍යවරයාගේ කැබිනට් පත්‍රිකාව නීති විරෝධී යැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යෑමේ සූදානමක පසුවන්නේ ය. එහෙත් එම කැබිනට් පත්‍රිකාව ඔවුන් පවසන පරිදි නීති විරෝධීදැයි යන්න අතිශය විවාදාත්මක කාරණයක් බව සඳහන් කළ යුතුය.

ප්‍රේමදාසගේ ජනපතිවරණ ව්‍යාපාරය
සජිත් ප්‍රේමදාස ජනපතිවරයා ලෙස පත්වුව ද, තමාට දිගටම අගමැති ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව හිමි බවට විශ්වාසයකින් සිටින රනිල් වික්‍රමසිංහගේ දැඩි අවධානය ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කෙරෙමින් පවතින ආකාරය කෙරෙහි යොමුව තිබෙන බවක් පෙනේ. එම කටයුතු මෙහෙය වන කිහිපදෙනෙක් හා පසුගියදා පැවැති හමුවක දී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායකයා, ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයේ කලින් පැවති උනන්දුව හීනවී ගොස් තිබෙන සෙයක් පෙනෙන්නට ඇති බවත් - වහාම එය ඉහළ නංවා, ජවයකින් යුතුව එම කටයුතු දියත් කළ යුතුව තිබෙන බවත් පැවසුවේය. වික්‍රමසිංහ මෙසේ අදහස් දැක්වූයේ ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය හා සම්බන්ධව සිටි ප්‍රමුඛ පෙළේ ප්‍රචාරණ ආයතන එම කටයුතුවලින් ඉවත්වීමට කටයුතු කර තිබූ වාතාවරණයකය. විවිධ කණ්ඩායම්, විවිධ දිශාවලට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරය අදිමින් සිටින නිසාදෝ, එම කටයුතුවල යම් වියවුල් සහගත තත්ත්වයක් පෙනෙන්නට තිබේ. නමුත් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින්, කිසිම ගැටලුවක් නැහැ. අපි ඉතාම හොඳින් ඉන්නවා යැයි පැවසුවේ ය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන මස ආරම්භයේ දී පමණ එළිදැක්වීමට නියමිතය. එම පෙරමුණේ මාධ්‍ය කමිටුවේ සභාපති මංගල සමරවීර ඒ සම්බන්ධයෙන් සන්ඬේ ටයිම්ස් හා මෙසේ අදහස් දැක්වූයේය.

ප්‍රතිපත්ති ප්‍රකාශය, රාජ්‍ය, ආර්ථිකය සහ ජන කොටස් වන ප්‍රධාන අංශ 3න් සමන්විතයි. එපමණක් නොව, ජනපතිවරයා ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරනු ඇති සටන් 3ක් පිළිබදව, එනම් වංචාවට සහ දූෂණයට එරෙහි සටන, මත්කුඩුවලට එරෙහි සටන සහ ආගමික අන්තවාදයට එරෙහි සටන, සඳහා වෙන්වූ විශේෂ අංශයක් ද එහි තිබෙනවා. අධ්‍යාපනයට, ආර්ථික තරගකාරීත්වයට, ජාතික ආරක්ෂාවට, නීති කටයුතුවල තිබෙන ප්‍රමාදයන්ට, පොදු ප්‍රවාහනයට, යන කාරණාවලට අදාළව විශේෂයෙන් සකස් කර තිබෙන නිර්දේශ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබෙනවා. යුද සමයේ දී පීඩාවට පත්වූ ප්‍රදේශවල වගේම වතුකරයේ ජනතාව ගැනත් අවධානය යොමු කරන්නට අප අමතක කර නැහැ.

ප්‍රේමදාසගේ ජනපතිවරණ ව්‍යාපාරයේ දැකගත හැකි එක් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ශ්‍රී ලංකා ජනතා සන්ධානයේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව චෝදනා නැගීමය. මෙම තත්ත්වය 2015 වසරේ ජනපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සිහිපත් කරන්නකි. එම සමයේ ද, එදා විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය කරමින් සිටියේ පැවැති රාජපක්ෂ පාලනයට චෝදනා කිරීම සහ විවේචනය කිරීමය. දැන්, එදායින් පසුව වසර 5ක් ගතව තිබෙන තැන, ඔවුන් කරමින් සිටින්නේ එයමය. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට එසේ කිරීමට සිදුව තිබෙන්නේ වසර 5ක පාලන සමයේ දිනාගත් දෙයක් ජනතාවට පෙන්වීමට නොමැති නිසා ද? නැතිනම් මැතිවරණ ප්‍රචාරණ කටයුතු දුර්වල අයුරින් සැලසුම් කර තිබෙන නිසා ද? කාරණය කුමක්වුව ද අතීතයේ නැගූ චෝදනා වර්තමානයට ද ගෙන ඒමට එක්සත් ජාතික පෙරමුණට සිදුව තිබෙන්නේ එම කරුණු කාරණා සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට ඔවුන් දිගින් දිගටම අපොහොසත් වූ නිසා බව සඳහන් කළ යුතුමය.

සියලුම ගොවියන්ට නොමිලයේ පොහොර ලබාදීමට පියවර ගන්නා බව ගෝඨාභය රාජපක්ෂ පවසන්නට යෙදුණු තැන, ප්‍රේමදාස එයටත් ඔබ්බෙන් යමින් පවසා සිටියේ වී ගොවියන්ට පමණක් නොව ආහාර භෝග වගා කරන සියලුම ගොවියන්ට නොමිලයේ පොහොර සැපයීමට තමා පියවර ගන්නා බවය. පාසල් දරුවන්ට නොමිලයේ දිවා ආහාර සැපයීමට ද කටයුතු කරන බවත් ඔහු වරක් පැවසුවේය. මෙම ව්‍යාපෘතීන්වලට සැලකිය යුතු මුදලක් වැය වනවා පමණක් නොව, එම ව්‍යාපෘතීන් ගැන සඳහන් කෙරෙන්නේ වඩා විශාල සංවර්ධන සැලසුමක කොටසක් ලෙස ගෙනහැර දක්වා ද නොවේ. ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ නිසි සැලසුමක් නොමැතිව, සිතෙන සිතෙන ආකාරයට බව පෙන්වීමට මෙය එක් උදාහරණයකි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හමුවේ තිබෙන තවත් තර්ජනයක් වන්නේ එහි කුඩා පක්ෂ දෙකක සාමාජිකයන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග අත්වැල් බැඳගැනීම අරබයා තිරය පසුපස සිට සාකච්ඡා පවත්වමින් සිටීමය. ජනපතිවරණයට දින කිහිපයක් තිබිය දී, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සහ පාලක පක්ෂයක නායකත්වය සමග ඉතාම සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් සිටින දකුණේ දේශපාලඥයෙකු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක්වීමේ සූදානමකින් පසුවන බව ද සැලය. මේ බව අදාළ පුද්ගලයා තරයේම ප්‍රතික්ෂේප කර ඇතත්, දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකි විය. අමාත්‍යවරයෙකු වන මෙම පුද්ගලයා, රජයේ අභිමතය පරිදි කටයුතු නොකර, විපක්ෂයේ දේශපාලඥයින් බේරාගැනීමේ නියැලුණු නැවත නැවතත් චෝදනාවලට හසුවූවෙක් ද, වේ. කෙසේවුවත්, ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග අත්වැල් බැඳගැනීම සමාන කළ හැක්කේ දෙපැත්ත කැපෙන අවියකටය.

එක් පසෙකින් එය ප්‍රේමදාසට ලැබෙන උත්තේජනයක් වනු ඇත. අනෙක් පාර්ශවය නියෝජනය කරමින් රජයට එක්ව සිටි අයෙකු ඉවත් කරගැනීමට හැකි වූවා යැයි උදම් ඇනීමට එක්සත් ජාතික පාර්ශවයට හැකිවනු ඇත. අනෙක් පාර්ශවය එනම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ද එක්සත් ජාතික පක්ෂ නායකයාගේ සමීපතමයෙකු දිනාගත හැකිවූවා යැයි උදම් ඇනීමට හැකිවනු ඇත. ඔහු පමණක් නොව තවත් අමාත්‍යවරු දෙදෙනෙක් (එක් අයෙක් හිටපු අමාත්‍යවරයෙක් වේ) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක්වීමේ සූදානමකින් පසුවන බව දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දිනාගැනීම උත්සාහ කරමින් සිටීමේ වෙනත් අරමුණක් ද තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා ලෙස පත්වුවහොත්, පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන තෙක් තමන්ගේම යැයි රජයක් සහ කැබිනට් මණ්ඩලයක් ගොඩනගා ගැනීම සඳහා අවැසි පාර්ලිමේන්තු බහුතරය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අවැසිය. එහිලා ඔවුන් සාර්ථක වීම යනු ජනපතිවරණය අවසන්වී ගෝඨාභය රාජපක්ෂ රටේ ජනපතිවරයා ලෙස පත්වනවා හාම එක්සත් ජාතික පෙරමුණු රජය සම්පූර්ණයෙන් අහෝසි වන සහ ඔවුන් දරමින් සිටින සියලුම තනතුරුවලින් ඔවුන්ව නෙරැපෙන තත්ත්වයකි. මෙය පිටුදැකීම සඳහා එක්සත් ජාතික පෙරමුණ ද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයන් තමන් වෙත එක් කරගැනීමේ උත්සාහයක නිරතව සිටින අතර, එය සාර්ථක වනු ඇති බවක් දැනට පවතින තත්ත්වය අනුව පෙනෙන්නට නැත. පොදු ජන පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිවුවහොත් එය ශ්‍රී ලංකා ජනතා සන්ධානය නියෝජනය කරමින් නව අගමැතිවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක පත්වීම සඳහා මාර්ගය විවර කරනු ඇත.

ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය පදනම්ව තිබෙන්නේ ජාතික ආරක්ෂාව හා ඒ හා අදාළ වන වෙනත් ගැටලු සහ ජනපතිවරයා ලෙස පත්වුවහොත් ප්‍රමුඛත්වය ලබාදිය යුතු යැයි ඔහු සලකන කාරණා මතය. එවන් තත්ත්වයක විප්ලවීය වෙනසක් සිදුවනු දැකගත හැකිවනු ඇත. මෙරට ආරක්ෂක අංශ අතින් යුද අපරාධ සිදුව ඇතැයි සහ එම අපරාධයන් විමසුමට ලක්කිරීම සඳහා දෙමුහුන් අධිකරණ පිහිටුවීම සහ වෙනත් නිර්දේශ ඇතුළත් කර එක්සත් ජනපදය ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවලියට, ශ්‍රී ලංකාව දක්වන්නට යෙදුණු සම අනුග්‍රහකත්වය ඉවත් කරගැනීමට ගෝඨාභයගේ ජනපතිත්වය යටතේ නිසැකයෙන්ම පියවර ගැනෙනු ඇත. තවද, ඔහු අනුරාධපුරයේ පැවැති ජන රැලියේ දී සඳහන් කරන්නට යෙදුණු පරිද්දෙන්, ‘අත්තනෝමතික චෝදනා’ මත සිරගත කර සිටින ‘යුද විරුවන්’ නිදහස් කිරීමට ද පියවර ගැනෙනු ඇත.

නීතිය කඩකර තිබෙන ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව පියවර ගන්නා බවට ජනපතිවරයා සහ අගමැතිවරයා 2015 මැතිවරණයට පෙර පොරොන්දු දුන්හ. එහෙත් පසුව පියවරක් පසුපසට ගත් ජනපතිවරයා, ආරක්ෂක අංශවල ඉහළ තලයේ නිලධාරීන් අත්අඩංගුවට නොගන්නා ලෙස උපදෙස් දුන්නේය. එම අවස්ථාව වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණය හමුවට කරුණු ඉදිරිපත් කර තිබිණ. එම විමර්ශන දැන් පවතින්නේ අතරමග නතරවය. දූෂිත අයුරින් කටයුතු කර තිබීමේ සහ මුල්‍ය අවභාවිතා කර තිබීමේ සිදුවීම් කිහිපයක්ම ඒ අතර වේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව
ජනපතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මකව තිබෙන මෙම වකවානුවේ 2019 අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදුවූ ත්‍රස්වාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව වැදගත් සාධකයක් වනු ඇතැයි එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ සිතූහ. පසුගිය බදාදා, සාමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විත වූ මෙම කමිටුවේ මුලසුන හෙබවූ නියෝජ්‍ය කතානායක ආනන්ද පද්මසිරි මහතා, එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ එම කමිටුව නියෝජනය කළේය. එක්සත් ජාතික පක්ෂයට නොනිල මට්ටමින් සහාය දක්වන දේශපාලන පක්ෂ යැයි ගැනෙන එම පක්ෂවලින් සමන්විත වූ මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව එනිසාම එහි ස්වරූපයෙන් එක්සත් ජාතික පෙරමුණම මැදිහත්ව ගත් වෑයමක් හා සම විය.

පළමු කොටම පිටු 274කින් සමන්විත වන මෙම වාර්තාවේ විධායක සංක්ෂිප්තයේ වැදගත් කොටස් කිහිපයක් කෙරේ අවධානය යොමු කිරීම වටී. සම්පූර්ණ චිත්‍රයම නොවූව ද, සිදුවූ දෙය සම්බන්ධයෙන් යම් අදහසක් ඉන් ජනිත කරගත හැකිය.

2019 අප්‍රේල් මස 21 වන පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ පල්ලි තුනක සහ හෝටල් තුනක සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයන් පුද්ගලයෙන් 277 දෙනෙක් පමණ (මරාගෙන මැරෙන බෝම්බකරුවන් 8ක් ද ඇතුළුව) ජීවිතක්ෂයට පත්කර 400කට වැඩි පිරිසකට තුවාල කළේය. මරණයට පත්වූ අය අතර අවම වශයෙන් විදේශිකයන් 40ක් සහ ළමයින් 45ක් සිටි බව වාර්තා විය.

මෙම සංවිධානාත්මක ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවා ලෙස ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ වරෙක නායකයාව සිටි සහරාන් හෂීම් පරීක්ෂණ පවත්වන්නන් විසින් හඳුනාගෙන තිබේ. මෙම ප්‍රහාරයන්ට පසුව රටේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගත් වාර්ගික ප්‍රචණ්ඩත්වයන් සහ නොසන්සුන්තාවන් ඇති විය.

2019 මැයි සිට ඔක්තෝබර් දක්වා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව 24 වතාවක් රැස්වූ අතර, පුද්ගලයන් 55 දෙනෙකුගෙන් සාක්ෂි විමසන ලදී. මෙම වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සියලුම සාමාජිකයන් විසින් අනුමත කර තිබේ.

පහත දැක්වෙන්නේ ප්‍රධාන සොයාගැනීම්ය.

සිදුවිය හැකි ප්‍රහාරයක් පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබුණ බවටත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගත් බවටත් ප්‍රහාරයට පසුව සාක්ෂි මතුවිය. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානයට ලක්වූ ආකාරයට මෙම ප්‍රහාරයට අදාළ බුද්ධි තොරතුරු රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂ වෙත 2019 අප්‍රේල් 4 වැනි දින ප්‍රථමයෙන්ම ලැබී තිබූ නමුත් අදාළ බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ වෙත එය ලබා දීමේ දී ඔහුගේ පාර්ශවයෙන් ප්‍රමාදයක් සිදුව තිබුණි. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා නමින් අමතා 2019 අප්‍රේල් 09 වැනි දින පැවති බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ රැස්වීමේ දී, ඒ පිළිබඳව දැනුවත් කරන ලෙස පවසා තිබුණ ද, ලද බුද්ධි තොරතුරු මත ක්‍රියා කිරීමට ඒ පිළිබඳව ලිඛිතව දැනුවත් කිරීම් කරන බව පවසමින් එසේ කිරීමට අසමත්ව තිබේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අදහස වන්නේ මෙය බුද්ධි අංශය තුළ ප්‍රධාන ස්ථානය ගන්නා එමෙන්ම බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ රැස්වීමේ සහ ජාතික ආරක්ෂක මණ්ඩලයේ මූලික ස්ථානය ගන්නා රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂකගේ පාර්ශවයෙන් සිදුවූ බරපතළ අසාර්ථකවීමක් බවයි. එසේම කාන්තන්කුඩි හි 2019 අප්‍රේල් 16 වැනි දින සිදුවූ පිපිරීමට පසුව ලද බුද්ධි තොරතුරු මත කටයුතු කිරීමේ දී රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාගේ අසාර්ථකත්වය ද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානයට ලක්විය. රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියාට වැඩිම වගකීම පැවරෙන බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අදහසයි. මෙය තවදුරටත් තීව්‍ර වන්නේ රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ විසින් 2018 අප්‍රේල් 8 දින සිට, මෙම සිදුවීම සිදුවීමට පූර්ණ වසරකට පෙර, අනෙකුත් පාර්ශව විසින් සහරාන් සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ නවත්වන ලෙසට පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටීමත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් සහරාන් සම්බන්ධ පරීක්ෂණ කළ එකම පරීක්ෂකයා රාජ්‍ය බුද්ධි අංශය බවටත් පත්වීමත් නිසාය.

කිහිප දෙනෙකු පමණක් දන්නා බුද්ධි තොරතුරු අදාළ පාර්ශවයන් සමග හුවමාරු කර නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශවල තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව බරපතළ කරුණු සොයාගැනීම් සිදුකර තිබේ. යම්කිසි වෙනත් අරමුණු තිබූ පුද්ගලයන් විසින් වසර අග භාගයේ දී එළැඹීමට නියමිත ජනපතිවරණය ඉලක්ක කරමින් රට තුළ බියක් සහ අවිනිශ්චිතතාවයක් සහ කැළඹිලි ඇති කිරීම අරමුණු කරගෙන ලැබුණ බුද්ධි තොරතුරු මත කටයුතු නොකළේ ද යන්න සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණ සිදුකළ යුතුයැයි ද, කාරක සභාව නිරීක්ෂණය කරයි. මෙවන් තත්ත්වයක් එවැනි ත්‍රස්ත ක්‍රියා පාලනය කිරීමට පාලනයේ වෙනසක් ඉල්ලා සිටින තත්ත්වයකට මගපාදනු ඇත. සහසිද්ධිමය වශයෙන් හෝ එසේ නොවී ආරක්ෂක තත්ත්වය සහ බිය මුදාහැරීම ජනපතිවරණයට මාස කිහිපයකට පෙර සිදුවනු ඇත. මෙය ද, ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ හමුදා බුද්ධි අංශයේ නායකත්වය 2019 දී වෙනස්වීම යන සන්දර්භය තුළ සිදුව ඇති බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානයට ලක්කර තිබේ. මේවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, මැතිවරණ ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතාම බරපතළ නිරීක්ෂණ වන අතර, ඒවා කෙරෙහි ඉක්මන් අවධානය යොමු විය යුතුය.

මීට අමතරව අවස්ථා ගණනාවක දී ජනපතිවරයා නායකත්වය ලබාදීමට අසමත් වූ බවත්, හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීම් කැඳවීම මගින් හා ප්‍රධාන පුද්ගලයන් ඊට සහභාගි කර නොගැනීම මගින් රජය හා එහි පද්ධතීන් දුර්වල කළ බවත් විශේෂ කාරක සභාව නිරීක්ෂණය කරයි. ව්‍යවස්ථා අර්බුදය මගින් උත්සන්න කරන ලද ආණ්ඩුවේ බෙදීම් 2018 වසර තුළ පැහැදිලිව පෙනෙන්නට තිබුණු අතර, මේ හේතූන් ද, ආරක්ෂක ක්‍රියාකාරීත්වයට බලපාන ලදී. අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, නීතිපති දෙපාර්තමේන්තුව හා පුද්ගලයින් ගණනාවක් වාර්තාවෙහි සිය වගකීම් පැහැරහැරි අයවලුන් ලෙස ලැයිස්තු ගතකොට තිබේ.

මෑත වසරවල දී, ශ්‍රී ලංකාවෙහි බොහෝ පෙදෙස්වල වහබ්වාදය හා අරාබිකරණයෙහි වැඩිවීමක් ද, කාරක සභාව නිරීක්ෂණය කරයි. ප්‍රසිද්ධ දැන්වීම් පුවරුවල අරාබි අකුරු භාවිතය හා රටඉඳි ගස් පෙනෙන්නට තිබෙන නිසා මෑතක දී කාත්තන්කුඩි නගරයෙහි භෞතික වෙනස්කමක් ඇතිව තිබේ. මඩකලපු විශ්වවිද්‍යාල ගොඩනැගිලි සඳහා රටෙහි අනෙකුත් විශ්වවිද්‍යාල ගොඩනැගිලිවලට සපුරා වෙනස්ව යමින්, ඉස්ලාමීය ගෘහ නිර්මාණ හා උද්‍යාන අංලකරණය විශේෂිතව යොදාගෙන තිබේ. එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා විසින් කාත්තන්කුඩියේ අරාබිකරණය අරඹා වර්ධනය කළ බව කාරක සභාවට ලැබුණු සාක්ෂිවලින් පෙනේ.

මීට දින 3කට ඉහත ප්‍රකාශයට පත් කළ පිටු 274කින් සමන්විත මෙම වාර්තාවේ පූර්ණ අධ්‍යයනයක් සිදුකිරීම ඉතාම අපහසු කටයුත්තකි. එහෙත් එක් කාරණයක් ඉතාම පැහැදිලිය. මෙම වාර්තාව සහ එහි සොයාගැනීම් ඉතාම ගැඹුරින් මුල් බැස තිබෙන දේශපාලන අදහස්, සබඳතා සහ මතිමතාන්තර හා බැඳී තිබෙන බව ඉඳුරාම කිව හැකිය. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කැරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ද ස්වභාවය මෙවැනිම වූ අතර, එහි වාර්තාව ප්‍රකාශයට පත්වූ පසුව බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් කරුණු කාරණා බොහෝමයක් එහි අන්තර්ගතව නොමැති බව පැහැදිලි විය. බැඳුම්කර වංචාව වසා ගැනීම සඳහා ගැනුණු උත්සාහයක් ලෙස ඇතැම්හු එදා එම වාර්තාව හැඳින් වූහ. දැන් ශ්‍රී ලංකා ජනතාවට සිදුව තිබෙන්නේ සැබෑම සත්‍ය කුමක්දැයි දැනගැනීමට පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වමින් සිටින තවත් කමිටුවක් එහි වාර්තාව එළිදක්වන තෙක්ය.

ඒ හා සමානවම මෙම නවතම පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව ජනපති සිරිසේන ඉලක්ක කර එල්ල කරන ලද දේශපාලන මිසයිලයකි. ආරක්ෂක ව්‍යුහයේ අග්‍රස්ථානයේ ඔහු අසුන්ගෙන සිටින බව සත්‍යයකි. නමුත් එහිලා ඔහු අසාර්ථකව තිබෙනවා හැරෙන්නට, ඔහු අසාර්ථකව තිබෙන්නේ කෙසේ ද? කවර ආකාරයෙන් ද? ක්‍රියාපටිපාටීන් ඔහු නොසලකා හැර තිබෙන්නේ කවර ආකාරයෙන් ද? යන්න ගැන කිසිදු විස්තරයක් වාර්තාවේ නැත. එයින්ම මෙම වාර්තාවේ යටි අරමුණ පැහැදිලි වේ. එහෙත් එසේ යැයි ජනපති සිරිසේන උද්ගත වූ තත්ත්වයට පිළිතුරු බැඳිය යුතු නොවේ යන්න කිසිදු ලෙසකින්වත් අදහස් නොකෙරේ. ඔහු පිළිතුරු දිය යුතුව තිබෙන ගැටලු බොහෝමයකි. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ඔහු සිටියේ පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා ගොස්ය. කළ යුතුව තිබෙන්නේ කුමක්දැයි යන්න ගැන ඔහු සිය අගමැතිවරයා හා සමග සම්බන්ධව සාකච්ඡා කළේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස අහිංසක ජීවිත රැසක් අකාලයේ විනාශ වූවා පමණක් නොව, රටට ආර්ථික වශයෙන් දැඩි පහරක් එල්ල විය.

2018 වසරේ රජයේ බෙදීම් ඇතිව තිබූ බවට ලකුණු සහ එම තත්ත්වය ව්‍යවස්ථා අර්බුදයත් සමග පුපුරා ගිය බව ද එය ආරක්ෂක අංශයේ ක්‍රියාකාරීත්වයට බලපෑ බව ද, මෙන්ම අගමැතිවරයා, රාජ්‍ය අමාත්‍යවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව ඔවුන්ගේ රාජකාරි ඉටුකිරීමෙහි ලා අපොහොසත්ව තිබෙන බව වාර්තාවේ සඳහන් කර ඇත.

මෙයද ජනපතිවරයා වෙත එල්ල කැරුණු චෝදනාවකි. එහෙත් පෙර අවස්ථාව හා සමානව ව්‍යවස්ථා අර්බුදයෙන් සහ රජයේ ප්‍රධාන දෙපාර්ශවය අතර විරසකයෙන් ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වයට බලපෑම් එල්ල වූ ආකාරය, එම අංශයක නිලධාරියෙකු හෝ දේශපාලකයෙකු හෝ කර තිබෙන ප්‍රකාශයකින් පෙන්වා දීමට තේරීම් කාරක සභාව කටයුතු කර නැත. ආරක්ෂක අංශයේ නිලධාරීන් තීරණය කර තිබුණේ ඔවුන්ගේ සේනාධිනායකයාට අවනතව කටයුතු කිරීමටය. වරක් එක්සත් ජාතික පෙරමුණේ නායකයෙක්, ඔක්තෝබර් අර්බුදය සමයේ දී, එක්තරා ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරියකුගේ සහාය ඉල්ලා සිට තිබෙන අතර, ඔයගොල්ලන් ඔයගොල්ලන්ගේ සටන්වලයි නිරතව සිටින්නේ. අපි අපේ අණදෙන නිලධාරියාගේ අණට යටත්වෙලා කරන්න ඕනෑ රාජකාරිය කරන්නම්, පවසා තිබෙන එම නිලධාරියා දුරකතනය විසන්ධි කර ඇත.

පාස්කු ඉරිදා සංහාරයේ සාමූහික වගකීම තමා භාරගන්නා බව අගමැතිවරයා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීම නිසා අගමැතිවරයා ලෙස ඔහු සිය රාජකාරි ඉටුකිරීමට අපොහොසත්ව ඇතැයි වාර්තාවෙන් චෝදනා කර තිබීම අවබෝධ කරගත හැකිය. එහෙත් පුදුමයට කාරණය වන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වුව ද, රුවන් විජයවර්ධන මහතාට මෙහෙයුම් අරබයා කිසිදු බලතලයක් හෝ වගකීමක් නොමැති බව තේරීම් කාරක සභාව නොදැන සිටීමය. සම්මන්ත්‍රණ කැඳවීමට හෝ පසුවිපරමක් සිදුකර අදාළ පියවර ගැනීමට නිලධාරීන් වෙත උපදෙස් ලබාදීමට හෝ ඔහුට හැක්කේ කෙසේ ද?

වාර්තාවෙන් සිදුකර තිබෙන අනෙක් නිර්දේශ බහුතරයක් සැලකීමේ දී, පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වා තත්ත්වයක් ගොඩනැගීමට සහ එවැනි ප්‍රහාරයක් එල්ලවීමට තුඩුදුන් හේතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අතිශයින්ම නිවැරදිය. නුසුදුසු පුද්ගලයින් රටේ ඉහළම තනතුරුවලට පත් කිරීමේ පිළිවෙතක් අනුගමනය කළ ජනපති සිරිසේන යටතේ පත්වුණු ආරක්ෂක ලේකම්වරුන්ගේ ගණන 5කි. අනෙක් පත්කිරීම වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිලන්ත ජයවර්ධන මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමය. 46 වියැති ඔහුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස උසස් කිරීමට ද ජනපතිවරයා පියවර ගත්තේය. සහරාන් සම්බන්ධ සියලුම විමර්ශන කටයුතු රාජ්‍ය බුද්ධි සේවයට පැවරෙන පරිදි, ඔහු සම්බන්ධයෙන් වන අනෙක් සියලුම විමර්ශන කටයුතු නවතා දමන ලෙස පොලිස්පතිවරයාගෙන් ජයවර්ධන පාස්කු ඉරිදා සංහාරයට සම්පූර්ණ වසරකට පෙර ඉල්ලා තිබෙන බව ද, තේරීම් කාරක සභාවේ අවධානයට ලක්ව තිබේ. බුද්ධි අංශයේ නිලධාරීන් වෙත සන්තෝසම් දෙන දේශපාලන නායකයින්, එයට ප්‍රතිඋපකාරයක් ලෙස තම තමන්ගේ දේශපාලන එදිරිවාදීන් ගැන ඔත්තු බැලීමට එම නිලධාරීන්ව යොදවා ගනිමින්, ඔවුන්ගේ මූලික වගකීම අමතක කරවන තැනට වැඩ කරන බව බුද්ධි අංශ සමාජයේ රහසක් නොවේ.

අයි.එස්.අයි.එස්. සබඳතා ගැන ගැටලු
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා සමානවම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ද, පාස්කු ඉරිදා ප්‍රහාරය අරබයා ගැනෙන ප්‍රධානම ගැටලුවට පිළිතුරු ලබාදීමට අපොහොසත්ව තිබේ. එම ප්‍රහාරය හා අයි.එස්. සංවිධානය අතර සබඳතාවයක් පැවතුණි ද යන පැනයට වාර්තාවෙන් ලබා දී තිබෙන පිළිතුර වන්නේ ඒ බව තහවුරු කිරීම සඳහා සාක්කි නොමැති බවය. වාර්තාව ඒ සඳහා පදනම ලෙස භාවිතා කර තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාවරයයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය මේ වන විට ප්‍රාදේශීය පොලිස් ස්ථානයක සුලු අපරාධ අංශයක ක්‍රියාකාරීත්වයට සමවන අතර, අප්‍රේල් මාසයේ සිට විමර්ශන කටයුතු දියත් කර ඇතත් තවමත් පාස්කු ඉරිදා සංහාරය දියත් කළවුන් වෙනුවෙන් මුදල් වැය කළේ, ඔවුන්ට සහාය සහ පුහුණුව ලබාදුන්නේ කවුරුන් ද යන්න මේ දක්වාම අනාවරණය කරගැනීමට ඔවුනට හැකිව නොමැත. එසේ කළේ අයි.එස්. සංවිධානය නොවේ නම් වෙන කවුරුන් ද? පිළිතුර තවමත් අභිරහසකි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ද, පෙරළා අසන්නේ මෙම පැනයමය.

ඔවුන් අඩුම තරමින් ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියා බියුරෝවේ වැඩබලන සහායක ලේකම් ඇලිස් ජී. වෙල්ස්ගෙන් පාඩමක් උගත යුතුය. පසුගිය අඟහරුවාදා විදේශ කටයුතු සම්බන්ධයෙන් වන එක්සත් ජනපද උපකමිටුව අමතමින් ඇය මෙසේ පැවසුවා ය.

අයි.එස්. සංවිධානය සිහි ගන්වමින් පසුගිය අප්‍රේල් මස 21 වැනිදා ශ්‍රී ලංකාවේ සිදුවුනු ප්‍රහාරයන් සැලකීමේ දී මුස්ලිම්වරුන්ට සහ මුස්ලිම්වරුන් යැයි සැලකුණු පුද්ගලයින්ට එරෙහිව එල්ල වුනු තර්ජන මැඩ පැවැත්වීමෙහි ලා ශ්‍රී ලංකා රජය මුලින්ම මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන්නට යෙදුන ද මැයි මාසය වන විට සරණාගතයින් සහ සරණ පතා පැමිණ සිටියවුන් ඇතුළු සුලුතර ජන කොටස් ආරක්ෂා කරන්නට බලධාරීන් පියවර ගත් අතර, ඒ හරහා ජන කොට්ඨාස අතර ගැටුම් ඇතිවීම වැළකී ගියේය.

අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා සංහාරයෙන් පසුව ඇමරිකා මධ්‍යම බුද්ධි ඒජන්සියේ (සී.අයි.ඒ.) සහ ෆෙඩරල් බුද්ධි බියුරෝවේ (එෆ්.බී.අයි.) නිලධාරීන් සති කිහිපයක් පුරාවටම මෙරට රැඳී සිටියේය. එය මෙම අන්තවාදී මුස්ලිම් කණ්ඩායම තම ආදර්ශය බවට පත්කරගෙන තිබී ඇත්තේ අයි.එස්. සංවිධානය බව මනාව පෙන්වා දෙන්නකි. රාජ්‍ය බුද්ධි සේවය සහ එය හා අනුබද්ධව තිබෙන බුද්ධි ඒකකයන් දැන් පවතින්නේ සම්පූර්ණයෙන් වෙනස් කර නවීකරණය කළ යුතුව තිබෙන අවදියකය. දේශපාලඥයන්ගේ වුවමනා වෙනුවෙන් කටයුතු කරන වරප්‍රසාදිත පන්තියක් බවට පත්ව සිටීම හමුවේ බුද්ධි අංශයේ නියම රාජකාරිය වන රට වෙනුවෙන් සහ රටෙහි ජනතාව වෙනුවෙන් වන සේවය වැටී තිබෙන්නේ දෙවැනි තැනටය.

පරිවර්තනය
කෝවිද ගුණසේකර