ඊළාම් සටනේ මහ මුහුදේ යුද්ධය 39


යුද ජයග්‍රහණයට දස වසරකි. ඒ යුද ජය ග්‍රහණය නිර්මාණය වූයේ මරණයට අභියෝග කළ වීරෝදාර රණවිරුවන්ගේ අයස්කාන්ත මැදිහත් වීමෙනි. ඇස්, ඉස්, මස්, ලේ හා ජීවිත පරිත්‍යාග කළ මව්බිමේ සුජාත දූ පුතුන්ගේ ඒ උත්තම පූජාවන් වර්තමානයට මතු නොව අනාගතයටද දෑසක්ව පැලඳවිය යුතුය.


තිස් වසරක යුද්ධය තුන් වසරකින් නිමා කිරීමේ මෙහෙයුමේදී නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා නාවික හමුදාවට සැපයූ නායකත්වය නොවන්නට ඉතිහාසය වෙනස් විය හැකිව තිබිණි. මේ ඒ ඉතිහාසයෙන් වසන් කළ නොහැකි කතාවය. අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ තම යුද අත්දැකීම අළලා ලියූ ‘අධිෂ්ඨානය’ කෘතියෙන් මේ උපුටනය අනාගත පරපුර වෙනුවෙනි.


 

 

 

2003 වසරේ මාර්තු මාසයේ එක් දිනෙක නාවික හමුදාපති වයිස් අද්මිරාල් දයා සඳගිරි හදිසියේම මට දුරකථනයෙන් කතා කළේය. 


වසන්ත, ජනාධිපතිතුමියට ත්‍රිකුණාමලය වරායේ ආරක්ෂාව පිළිබඳ දැන ගන්න අවශ්‍ය වෙලා තිබෙනවා. සති දෙකක් ඇතුළත ඒ සම්බන්ධ වාර්ථාවක් ඉදිරිපත් කරන්න. 
මම එසේ කරන්නම් සර්. 


පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්ධන් මහතා මට විරුද්ධව කළ පැමිණිල්ල පිළිබඳව මාගෙන් විමසූ අවස්ථාවේ දී ත්‍රිකුණාමලය වරායට ඇති වී ඇති තර්ජනය පිළිබඳව මම ජනාධිපති ලේකම් බාලපටබැඳි මහතාට කරුණු පැහැදිලි කර දුන්නෙමි. 


බාලපටබැඳි මහතා ජනාධිපතිනියට මේ බව දැනුම් දෙන බව ද මට පවසා තිබිණි. මෙසේ ජනාධිපතිනිය සහ සේනාධිනායිකාවකට සම්පූර්ණ විස්තරය ඉදිරිපත් කිරීමට ලැබීම මෙම සාම ගිවිසුමත් සමග තිබෙන වාතාවරණය අනුව ඉතා විරල අවස්ථාවකි. මම එයට සූදානම් වූයෙමි. 


වාර්තාව සකස් කිරීම සඳහා කරුණු රැස් කිරීමට මම ජ්‍යෙෂ්‍ඨ නිලධාරීන් 03 දෙනෙකුගේ නායකත්වය යටතේ කණ්ඩායම් තුනක් පත් කළෙමි. ඔවුනට වෙන් වෙන්ව තම වාර්තාවට අවශ්‍ය කරුණු රැස් කිරීමට උපදෙස් දුන්නෙමි. ප්‍රධාන වාර්තාව සකසන ලද්දේ වාර්තා තුනෙහිම කරුණු පිළිබඳව එම කණ්ඩායම් තුනම සමග දීර්ඝ වශයෙන් පවත්වන ලද සාකච්ඡා වලින් පසුවය. ඒ අනුව අවශ්‍ය සියලුම කරුණු ප්‍රධාන වාර්තාවට එක් කළ යුතුය. රට වෙනුවෙන් මට කළ හැකි යුතුකම එයයි. මම මාගේ කාර්ය මණ්ඩලය සමග අතිශය නිරවද්‍යවූත්, සවිස්තරාත්මක වූත් වාර්තාවක් සති දෙකක් ඇතුළත සකස් කෙළමි. වාර්තාව සකස් කොට මෙම නාවික හමුදාපතිට ඒ බව දැනුම් දුනිමි. 


• සර් ප්‍රසන්ටේෂන් (ඉදිරිපත් කිරීම) එක රෙඩි සර්. 
• වසන්ත තවම ජනාධිපතිතුමිය ප්‍රසන්ටේෂන් එක කරන්න දිනයක් දුන්නේ නැහැ. දිනයක් දුන් සැනින් එය ඉදිරිපත් කරන්න සුදානිමින් සිටින්න. 
• වෙරි වෙල් (එසේ කරන්නම්) සර්. 


ත්‍රිමලය වරායේ දකුණු මායිම් ප්‍රදේශයට අයත් ගම්මාන කීපයක් විය. එයින් ප්‍රධානම තැනක් ගත්තේ මුස්ලිම් ජනතාව සීයට අනූවක් පමණ වාසය කරන මූතූර් නගරයයි. මීට අමතරව සම්පූර්ණයෙන් දෙමළ ජනතාව වාසය කරන “සාම්පූර්”, “සුදෙයිකුඩා”, “උප්පාරු”, “ගගෙයි”, “රාල්කුලි” යනාදී ගම්මාන වරායේ දකුණු මායිමේ මුහුදු වෙරළට යාබදව පිහිටා තිබුණි. එහි වාසය කළ දමිළ වැසියන්ගේ සහයෝගය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් L.T.T.E. යට නිරන්තරයෙන්ම ලැබුණි. මෙම ගම්මානවල වෙසෙන වැඩි දෙනෙක් ධීවරයෝය. එහෙත් මූතූර්හි සිට මුස්ලිම් වැසියන්ගේ සහාය L.T.T.E. යට නොලැබුණි. මුස්ලිම්වැසියන් මුතූර් නගරයේ පළවා හැරිය හොත් ත්‍රිමලය දකුණු ප්‍රදේශයේ වෙරළ තීරයම L.T.T.E. ආධිපත්‍යයට පත් වනු ඇත. එවිට L.T.T.E. යට රිසි සේ එම ප්‍රදේශයේ තමන්ගේ කටයුතු කළ හැක. එසේ වුවහොත් එමගින් ත්‍රිමලය නාවික කඳවුරට නාවික වරායට සහ එහි ඇති යාත්‍රාවලට ඇති තර්ජනය තවත් වැඩි වනු ඇත. L.T.T.E. මෝටාර් සහ කාලතුවක්කු මෙම ප්‍රදේශයේ අවශ්‍ය පිරිදි ස්ථාන ගත කළ විට ත්‍රිමලය වරායට යන එන යාත්‍රා සියල්ලම නවතාලිය හැකිය. යාපනය අර්ධද්වීපය නැවත තම ආධිපත්‍යයට හසු කර ගැනීමට තිබෙන විශාලතම බාධකය ත්‍රිමලය නාවික වරාය සහ නාවික හමුදාවයි. නාවික හමුදාව වරායට කොටු කර තැබුවේ නම් ඊළාම් සිහිනය ඉතා ඉක්මණින් සැබෑ වනු ඇත. 


ඒ වන විට එන්න එන්නම ත්‍රිමලය ප්‍රදේශයේ L.T.T.E. ය ශක්තිමත් වෙමින් තිබුණි. 2003 මාර්තු මාසය වන විට මූතූර් වලින් පළවා හැරීමට L.T.T.E. යෙන් කරන බලපෑම  වැඩිවීමට පටන් ගෙන තිබුණු අතර ඔහුන්ව මුතුර්වලින් පලවා හැරීමට L.T.T.E. විශාල උත්සාහයක යෙදී සිටියහ. ලුතිනන් කොමාන්ඩර් දසනායකගේ බුද්ධි තොරතුරු රැස් කරන කණ්ඩායමට තොරතුරු සපයන මුස්ලිම් ඔත්තුකරුවෝ මේ බව දන්වමින් මූතූර් නගරයට නාවික හමුදාවේ ආරක්ෂාව සහ අවි ආයුධ ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියහ. 
මෙම ඉල්ලීම් දෙකම මාගේ මට්ටමෙන් සිදු කළ නොහැක. නාවික හමුදා මූලස්ථානයෙන් වුවද ඊට අවසර දීමට පුළුවන් තත්ත්වයක් නොවීය. එයට හේතුව සාම ගිවිසුම අත්සන් කළ දිනයේ එනම් 2002 පෙබරවාරි මස 22 දිනයේ තිබුණු හමුදා කඳවුරුවලට වඩා අලුතින් කඳවුරු ආරම්භ කිරීමට දෙපාර්ශ්වයටම (රජයට සහ L.T.T.E. යට) තහනම් වීමයි. එසේ නම් මූතූර් ප්‍රදේශයට ආරක්ෂාව සැලයීමට අලුතින් කඳවුරක් ආරම්භ කිරීමට සාම මහ ලේකම් කාර්යාලයෙන් අවසර ගත යුතු විය. 


මූතූර් ප්‍රදේශයේ නාවික අනු ඛණ්ඩයක් ආරම්භ කිරීමට මට තදින්ම උවමනා විය. මූතූර් ප්‍රදේශයට කිලෝ මීටරයක් පමණ උතුරින් නෝර්වේ අයිලන්ඩ් නමැති දූපතෙහි නාවික අනු කණ්ඩයක් පිහිටා තිබුණි. මෙම වරායේ ආරක්ෂාවට වැදගත් විය. එහි රේඩාර් යන්ත්‍රයක් ද සවි කර තිබුණි. මේ නිසා එම දූපත අවට විශේෂයෙන් පිටත වරායේ ධීවර යාත්‍රා අතර සැක කටයුතු යාත්‍රා නිරීක්ෂණය කළ හොත් කල් ඇතිව නැගෙනහිර විධාන මූලස්ථානයේ මෙහෙයුම් මැඳිරියට දැනුම් දීමට පුළුවන් විය. නමුත් මූතූර් ප්‍රදේශයේ නාවික අනු ඛණ්ඩයක් පිහිට වූයේ නම් මූතූර්වලට දකුණින් පිහිටි කට්ටපරිච්චාන් යුද හමුදා කඳවුරු සහ සේරුවාවිල ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා ස්ථාපිත කර ඇති යුද හමුදා අනුඛණ්ඩවලට L.T.T.E. යෙන් ප්‍රහාර එල්ල වන අවස්ථාවක එය ප්‍රයෝජනවත් වනු ඇත. මන්දයත්, එවන් අවස්ථාවක L.T.T.E. ය අමතර යුද හමුදා භට පිරිස් සහායට පැමිණීමට හැකි මාර්ගයන් අවහිර කරනු ඇත. එවිට අනිවාර්යයෙන්ම මුහුදු මගින් භට පිරිස් මූතූර් වෙත ප්‍රවාහනය කිරීමට නාවික හමුදාවට සිදු වන බව මට මනාව පැහැදිලි වී තිබුණි.
මේ සඳහා මූතූර් වෙරළ තීරයේ නාවික අණු ඛණ්ඩයක් පිහිටුවා ගැනීමට අත්‍යවශ්‍ය විය. එබැවින් මූතූර්හි නාවික හමුදාවට ඔත්තු සපයන ඔත්තුකරුවන්ට ඔවුන්ගේ ආරක්ෂාවට නාවික හමුදා කඳවුරක් අවශ්‍ය බව තම ප්‍රජා නයකයන් හරහා රජයට දැනුම්වත් කරන ලෙස ඔවුනට උපදෙස් දුන්නෙමි​.

 

මම ද මේ තත්ත්වය පිළිබඳ නාවික මුදාපති ද දැනුම්වත් කළෙමි. 


2003 අප්‍රේල් 16 වැනි දින රාත්‍රියේ මූතූර් නගරයේ කඩවල් ගණනාවකටම L.T.T.E.  ය ගිනි තැබුවේය. මම සිද්ධිය මෙම නාවික හමුදා මූලස්ථානය වෙත එදින රාත්‍රියේම දැනුම් දුන්නෙමි. මෙවැනි තත්ත්වයක් පාලනය කිරීමට මූතූර් පොලිසියට අවශ්‍ය පිරිස් බලය ද නොතිබිණි. නාවික හා යුද මූලස්ථානවල අනුමැතිය ඇතිව නාවික සහ යුද හමුදා භට පිරිස් 17 දා පාන්දර වන විට මූතූර් ප්‍රදේශයට නාවික යාත්‍රා වලින් ගොඩ බස්සවා එහි සිටි මුස්ලිම් ජනතාවට අවශ්‍ය ආරක්ෂාව සපයමින් මූතූර් නගරයේ ආරක්ෂාව ද තර කිරීමට කටයුතු කරනු ලැබිණි. 


එය තාවකාලික විසඳුමක් විය. එහෙයින් මෙම තත්ත්වය යටතේ දීර්ඝ කාලීන විසඳුමක් මූතූර් ජනතාවට ලබා දීම සඳහා එවකට රජයේ ප්‍රබල අමාත්‍ය ධුර ගණනාවක් හෙබවූ, මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ නායක රවුෆ් හකීම් මහතා ඊට මැදිහත් විය. මුස්ලිම් ජනයාගේ ආරක්ෂාව සලසන ලෙස ඉල්ලමින් වරාය සහ ගුවන් සේවා අමාත්‍ය රාවුෆ් හකිම් ඇමැතිවරයා 2003 අප්‍රේල් මස 17 වැනිදා මූතූර්හි පල්ලියකට පැමිණ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය. 


රජය විසින් මූතූර් ගම්වාසීන්ගේ ආරක්ෂාව තහවුරු කරන සතුටුදායක පියවරක් ගන්නා තුරු තමා එයින් නොයන බවත් දින කිහිපයක් ඇතුළත යම් කිසි පියවරක් නොගත හොත් තම පක්ෂය රජයෙන් ඉවත් වන බවත් ප්‍රකාශ කර සිටියේය. ඔහුගේ පක්ෂය ඉවත් වූයේ නම් රජයේ බහුතරය පාර්ලිමේන්තුමේන්තුවේ නැති වීමෙන් එ.ජා.පය.ට ආණ්ඩු බලය නැති වී යන තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබුණි. 


මෙය මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් වූයෙන් ඇමැතිවරයා ආපසු ගෙන්වා ගැනීමට තිලක් මාරපන, මිලින්ද මොරගොඩ, මහින්ද සමරසිංහ යන අමාත්‍යවරු සහ ත්‍රිවිධ හමුදාපතිවරු ත්‍රිමලයට 18 වනදා උදේ ගුවනින් පැමිණියහ. එම පැමිණි කණ්ඩායම මූතූර් නගරයට ගියේ රවුෆ් හකීම් අමාත්‍යවරයාව කැඳවාගෙන ඒම සඳහායි. නමුත් හකීම් ඇමැතිවරයා ඔවුන් සමග පැමිණියේ නැත. 


එම අවස්ථාවේ දී මූතූර්හි සිටි මුස්ලිම් නායකයෝ L.T.T.E. ය. මුස්ලිම් ජනතාවට කරන හිරිහැර නවතන තෙක් ඔවුන්ගේ ආරක්ෂාවට නාවික හමුදා පුද්ගලයන් යොදවන ලෙසත් ඉල්ලීමක් කළෝය. ඊට අමතරව, අගමැතිතුමන් ද මූතූර් නගරයට පැමිණ එහි සිටින ප්‍රජා නායකයන්ට ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳව සහතික වන තෙක් තමා මූතූර් හි රැඳී සිටින බව ප්‍රකාශ කරමින් රාවුෆ් හකීම් අමාත්‍යවරයා පල්ලියේ නතර විය.

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූප අන්තර්ජාලයෙනි