
කොළඹ, ශ්‍රී ලංකාව: PhysioPremiere සහ Physio Medicare ආයතන විසින්, LUXUZ සමඟ හවුල් සංවිධායකයන් ලෙස එක්ව, චලනය, සංචලතාව සහ නිවාරණ සෞඛ්‍යය පිළිබඳ ඔවුන්ගේ පණිවිඩය පුළුල් ප්‍රජාව වෙත ගෙන යාමේ අදහසින් ලෝක භෞත චිකිත්සක දිනයට සමගාමීව, "Move It Sri Lanka 2.0" ජාතික ව්‍යාපාරය සංවිධානය කරනු ලැබේ.
පසුගිය වර්ෂයේ සාර්ථකව නිමකළ පළමු අදියරේ අත්දැකීම් ද සහිතව, "සක්‍රීය ජීවිතයක් යනු සෞඛ්‍ය සම්පන්න ජීවිතයකි" යන පණිවිඩය වටා විවිධ වයස්වල සහ හැකියාවන්ගෙන් යුත් පිරිස් ඒකරාශී කරමින් Move It Sri Lanka 2.0 වඩාත් පුළුල් පරිමාණයෙන් නැවත සංවිධානය කෙරේ.
එහි සමාරම්භක උත්සවය 2026 සැප්තැම්බර් 06 වන ඉරිදා දින උදෑසන 6.00 සිට දෙහිවල, ප්‍රේසර් උද්‍යානයේදී (Frazer Park) පැවැත්වෙන අතර, 10km ධාවන තරගයක්, 5km ධාවන තරගයක්, 2km විනෝද ඇවිදීමක් සහ 100m පැරා ක්‍රීඩක දැක්මක් ඊට ඇතුළත් වේ. තනි පුද්ගලයන්ට, පවුල්වලට, ආයතනික කණ්ඩායම්වලට, යෝග්‍යතා ලෝලීන්ට සහ ආබාධ සහිත පුද්ගලයන්ට තම තමන්ට ගැළපෙන මට්ටමින් ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීමට අවස්ථාව සලසා දීම මෙම වැඩසටහනේ අරමුණයි.
චලනය දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් කරගැනීම
Move It Sri Lanka 2.0 හරහා උත්සාහ කරනු ලබන්නේ වර්තමානයේ ආසනවලට කොටු වී ගත කරන ජීවන රටාවෙන් මිදී, නිතිපතා ශාරීරික ව්‍යායාම දෛනික යහපැවැත්මේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස හඳුනා ගැනීමට ශ්‍රී ලාංකිකයන් දිරිමත් කිරීමයි.
එය හුදෙක් තරගකාරී ක්‍රීඩාවකට එහා ගිය, සැමට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ක්‍රියාකාරකමක් ලෙස නිර්මාණය කර තිබේ. ඇවිදීමෙන්, ධාවනයෙන් හෝ දිනපතා සක්‍රීය තේරීම් සිදු කිරීමෙන්, ශාරීරික යහපැවැත්ම, මානසික සෞඛ්‍යය සහ යහපත් ජීවන තත්වයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය තිරසර පුරුදු ඇති කර ගැනීමට ජනතාව පෙළඹවීමට සංවිධායකයෝ අපේක්ෂා කරති.
"Move It Sri Lanka වැඩ සටහනේ මූලික අරමුණ චලනය පිළිබඳ අපේ චින්තනය වෙනස් කිරීමයි. සක්‍රීය ජීවිතයක් ගත කිරීමට ඔබ කායවර්ධන ශිල්පියෙකු හෝ වෘත්තීය ක්‍රීඩකයෙකු වෙන්න වුවමනා නැහැ. සෑම ඇවිදීමක්ම, සෑම දහදිය බිඳුවක්ම සහ සක්‍රීය වීමට ගන්නා සෑම තීරණයක්ම සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු සහ සමාජයක් කරා තබන පියවරක්," PhysioPremiere සහ Physio Medicare ආයතන නිර්මාතෘ නිලක්ෂි කාසිලිංගම් මහත්මිය පවසයි.
"Move It Sri Lanka 2.0 කියන්නෙ වුවමනාව සහ සූක්ෂම කළමනාකරණය එකතු වීමෙන් බිහිවුණු බීජයක්. LUXUZ ආයතනයක් වශයෙන් අප සැමවිටම සුඛෝපභෝගී සන්නාමගත උත්සව නිර්මාණය කිරීමට කැප වී සිටිනවා. PhysioPremiere සහ Physio Medicare සමඟ හවුල් වීමෙන් අපට එම ප්‍රමිතිය ජාතික මෙහෙවරක් සිදුකරන වටිනා වැඩසටහනකට ගෙන ඒමට හැකිවුණා," LUXUZ හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ලකී අර්සකුලරත්න මහතා පැවසීය.
මෙම වැඩසටහන කාලීනව පුළුල් වීම මඟින් ශාරීරික ක්‍රියාකාරකම්, සංචලතාව සහ නිවාරණ සෞඛ්‍යය පිළිබඳ පුළුල් මහජන සංවාද වේදිකාවක් නිර්මාණය කිරීමට සංවිධායකයන්ට ඇති අභිලාෂය පිළිබිඹු වේ. මීටර් 100 ක පැරා ක්‍රීඩක දැක්ම ඇතුළත් කිරීම මඟින් චලනය සහ සහභාගීත්වය සෑම හැකියාවකින් යුත් පුද්ගලයකුටම හිමි විය යුතු බව ඔවුන් තවදුරටත් තහවුරු කරයි.
Move It Sri Lanka 2.0 හි සාර්ථකත්වය පෞද්ගලික අංශය, සෞඛ්‍ය, සුවතා, මාධ්‍ය සහ ප්‍රජා අවකාශයන්හි හවුල්කාර ජාලයක් මත නිර්මාණය වී ඇත. Nestlé Nestomalt ප්‍රධාන අනුග්‍රාහකත්වය දරණ අතර, මාධ්‍ය සහ සන්නිවේදන දායකත්වය Wijeya Newspapers (මාධ්‍ය සහකරු) විසින් සපයයි. Adithya Ayurveda (සුවතා සහකරු) සහ Bestrends.lk (පාවහන් සහකරු) විසින් අතිරේක දායකත්වයන් ලබාදෙනු ලැබේ. තවද, Asian Mirror (මාර්ගගත මාධ්‍ය සහකරු), in10nt (සමාජ මාධ්‍ය සහකරු), FireCircle (මහජන සම්බන්ධතා සහකරු), OneTicket (ටිකට්පත් සහකරු), BIOFROST (වේදනා නාශක සහකරු), Studio CLICK (ඡායාරූපකරණ සහකරු), Cinematic Productions (වීඩියෝකරණ සහකරු) සහ Rotary PanColombo (ප්‍රජා සහකරු) යන දී වශයෙන් මෙම වැඩසටහන හා අත්වැල් බැඳගෙන තිබේ. එම සහයෝගීතාවය මඟින් එක් පොදු අරමුණ වටා විවිධ ක්ෂේත්‍රවල සංවිධාන ජාලයක් ඒකරාශී කර තිබීම වැදගත් වේ.
මෙම වැඩසටහන සැමට සහභාගී විය හැකි, ශක්තිජනක ප්‍රජා අත්දැකීමක් ලබා දෙනු ඇති අතර, සියලුම සහභාගීවන්නන්ට ටී-ෂර්ට්, නිමකිරීමේ පදක්කම් සහ ඊ-සහතිකපත් පිරිනැමේ.
සායනයෙන් ඔබ්බට භෞතචිකිත්සාව ගෙනයාම
PhysioPremiere සහ Physio Medicare ආයතනවලට අනුව, Move It Sri Lanka 2.0 යනු කුඩා පරිමාණයෙන් ආරම්භ වී ප්‍රමාණයෙන් සහ අභිලාෂයෙන් වර්ධනය වූ මුලපිරීමක මීළඟ අදියරයි.
එහි පදනම වන්නේ භෞතචිකිත්සාව සහ ශාරීරික යහපැවැත්ම පිළිබඳ මහජන අවබෝධය පුළුල් කිරීමේ උත්සාහයකි. යම් ආබාධයක් සිදූ වූ පසු පමණක් භෞතචිකිත්සාවට යොමුවීම වෙනුවට, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීමේ වැදගත් අංග ලෙස චලනය, සංචලතාව සහ ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමේ වැදගත්කම පිළිබඳ ජනතාව අතර වැඩි දැනුවත්භාවයක් ඇති කිරීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.
අවසාන වශයෙන්, "විවිධ හැකියාවන්ගෙන් එක්සත් වූ රටක්" යන තේමාව යටතේ, Move It Sri Lanka 2.0 වැඩසටහන චලනය හරහා ජනතාව එකමුතු කිරීමට සහ වඩාත් සක්‍රීය හා සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම පළමු පියවර තැබීමෙන් ආරම්භ කළ හැකි බව පෙන්වා දීමට උත්සාහ කරයි.
වැඩසටහන් තොරතුරු:
- වැඩසටහන: Move It Sri Lanka 2.0
- දිනය: 2026 සැප්තැම්බර් 06 වන ඉරිදා
- ස්ථානය: දෙහිවල, ප්‍රේසර් උද්‍යානය (Frazer Park)
- වේලාව: උදෑසන 6.00 සිට
- තරග ඉතිරි: 10km ධාවනය | 5km ධාවනය | 2km විනෝද ඇවිදීම | 100m පැරා ක්‍රීඩක දැක්ම
- විමසීම්: 0775 123 234







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd