මරාගෙන මැරෙන බෝම්බ කරුවකුගෙන් තම පාසලේ සිසුවන් ආරක්ෂා කිරීමට දිවි පිදු පාකිස්තාන සිසුවකු ජාතික වීර සම්මානයකින් පිදීමට යයි.

එය ‘සිතාරා ඒ ෂුජාත්’ වීර සම්මානයයි. පාකිස්තානයේ හන්ගු නගරයේ පාසලක අධ්‍යපනය ලැබූ ඔහු අයිසාස් හසාන් 14 හැවිරිදි සිසුවෙකි.

බෝම්බ බැඳ සිටින බෝම්බකරුවකු පාසලේ ප‍්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වෙමින් සිටියදී පාසලේ ළමෝ උදෑසන රැස්වීම සඳහා රැස් වෙමින් සිටියහ. බෝම්බකරු දුටු ඔහු ඉදිරියට පා තැබුවේ අනෙක් ළමයින් එපා කියමින් කෑ ගසද්දීය.

බෝම්බකරු නැවතීමට උත්සහ දැරීමේදී බෝම්බ පිපිරී ගියේය. රෝහලට ඇතුළු කිරීමෙන් පසු අයිසාස් මිය ගියේය. පාසලේ අනෙක් කිසිම සිසුවෙකුට අනතුරක් සිදු වී නැත. ඔහුගේ වීර කි‍්‍රයාවෙන් එදා දහසක් පමණ සිසුන්ගේ ජීවිත බේරුණේය.

‘ළමයින් දහස් ගණනක් බේරා ගත් අපේ පුතා ගැන අපි සතුටු වෙනවා වගේම ඔහු අපට ආඩම්බරයක්’ යනුවෙන් අයිසාස්ගේ පියා පැවසීය. දස දහසක් පාකිස්තානුවන්ගේ හා ආරක්ෂක භටයන්ගේ ආචාර නමස්කාර මධ්‍යයේ ඔහුගේ සිරුර මිහිදන් කැරිණි

ඔහු අධ්‍යපනය ලැබූ පාසලද, හන්ගු නගරයේ කී‍්‍රඩා පිටියක් අයිසාස් හසාන් නමින් නම් කිරීමට යයි.එපමණක් නොව ඔහුගේ දෙමව්පියන්ට ඩොලර් 47000 ක (රුපියල් 6142900) තෑග්ගක් පරිත්‍යාග කිරීමටද කටයුතු කර ඇත.