පසුගිය සිකුරාදා කනෙක්ටිකට් ප‍්‍රාන්තයේ නිව්ටවුන් නගරයේ ප‍්‍රාථමික පාසලක සිසුන් 20ක් ඇතුළු පුද්ගලයින් 26ක් ඝාතනය කිරීම ඉමහත් කම්පනයක් මෙන්ම ප‍්‍රසිද්ධියක් ලැබුණු සිද්ධියකි. එහෙත් ඊට පෙර දින ඉන්දියානා ප‍්‍රදේශයේ පුද්ගලයකු පාසල් ළමයින් මරා දැමීමට කළ තර්ජනයට එතරම් ප‍්‍රසිද්ධියක් ලැබුණේ නැත. පාසලක් අසලම නිවසක සිටි එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් තවත් ඛේදවාචකයක් වැළකී ගිය ද වඩාත් කම්පනයක් වන්නේ ඔහු සතුව තුවක්කු 47ක් හා ඩොලර් 1000ක් වටිනා පතොරම් තොගයක් සොයා ගැනීමෙනි. නිව්ටවුන් සිද්ධිය වාර්තා වීමෙන් පසුව එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරය ඇතුළු විවිධ ප‍්‍රදේශවලින් වෙඩි තැබීම් වාර්තා වූ අතර ඉන් එක සිද්ධියක් වූයේ රෝහලක රෝගීන් මරා දැමීමට ගත් උත්සාහයකි. ප‍්‍රකාශයට පත් කොට ඇති සංඛ්‍යා අනුව පසුගිය වසර පහක කාලය ඇතුළත සමූහ මිනිස් ඝාතන 200කට වඩා සිදුව ඇත. මෙම වසරේ දී වූ වඩාත් ආන්දෝලනයට ලක් වූ සිද්ධීන් දෙකක් වන්නේ කොලරාඩෝහි ඔරෝරා නගරයේ සිනමා දර්ශනයක් නරඹමින් සිටි පිරිසකට වෙඩි තැබීම හා විස්කොන්සින් ප‍්‍රාන්තයේ සීක් පූජ්‍යස්ථානයකට කඩා වැදී එහි සිටි පිරිස ඝාතනය කිරීමයි. පසුගිය වසරේ දී ටස්කොන් නගරයේ මහජන රැස්වීමක් අමතමින් සිටි සෙනෙට් මන්ත‍්‍රීවරියක් ඇතුළු පිරිසකට වෙඩි තැබීමෙන් ඇය බරපතළ තුවාල ලැබූ අතර හය දෙනෙක් එතැනම මිය ගියහ. එක්සත් ජනපදයේ සාමාන්‍යයෙන් වසරකට 10,000කට අධික පිරිසක් වෙඩි තැබීමෙන් මරණයට පත් වෙති. මෙවැනි ප‍්‍රචණ්ඩ සිද්ධීන් එන්න එන්න වැඩි වූවත් ඒවා වැළැක්වීමට නිසි පියවර ගන්නා බවක් දක්නට නැත. එෆ්.බී.අයි. සංවිධානයේ වාර්තාවක සඳහන් වන ආකාරයට 2010 වසරේ දී එක්සත් ජනපදය තුළ බරපතළ අපරාධ 1,246,248ක් සිදුව ඇති අතර 2011 දී එම සංඛ්‍යාව සියයට 18කින් ඉහළ ගිය බව ද සඳහන් වේ. පසුගිය සිකුරාදා කනෙක්ටිකට් ප‍්‍රාන්තයේ නිව්ටවුන් වැනි සිද්ධීන් වාර්තා වූ විට කම්පා වීමට වඩා වැඩි දෙයක් සිදුව නැත. විස්කොන්සින්හි සික් පූජ්‍යස්ථානයේ ඝාතනය සිදු වූ අවස්ථාවේ දී මෙන්ම මෙවර ද ජනාධිපති ඔබාමා ”අප කළ හැකි දේ නොකළේ යැයි” දුක් වූයේය. කළ හැකිව හා කළ යුතුව තිබුණේ වෙනත් ඕනෑම පාරිභෝගික භාණ්ඩයක් මෙන් නිදහසේ බාධාවකින් තොරව ගිනි අවි අලෙවි කිරීම හා මිල දී ගැනීම පාලනයකට යටත් කිරීමය. සමහර විචාරකයින් පෙන්වා දෙන ආකාරයට ගිනි අවියක් අතැති ප‍්‍රචණ්ඩකාරී පුද්ගලයකුට කළ හැකි හානිය ගිනි අවියක් නැති ප‍්‍රචණ්ඩකාරී පුද්ගලයකුට කළ හැකි හානියට වඩා විශාලය. ඔබාමාගේ මුල් පාලන සමයේ දී ජාතික වනෝද්‍යාන නැරඹීමට යන පුද්ගලයන්ට ගිනි අවි රැගෙන යෑමට අවසර දුන් බව ද සිහිපත් කළ යුතුය. පසුගිය සිකුරාදා සිදු වූ ආකාරයේ ප‍්‍රචණ්ඩ සිද්ධීන් ඇතිවූ වහාම ගිනි අවි අලෙවි හා ප‍්‍රසිද්ධියේ ගෙන යෑම පාලනය කිරීමට නීති රීති පැනවිය යුතු යැයි මත ප‍්‍රකාශ වූව ද ඒවා ඉක්මනින් යටපත් වේ. මෙම සිද්ධියට සතියකට පෙර ප‍්‍රසිද්ධියේ ගිනි අවි ගෙන යෑම පිළිබඳව ඉලිනුවා ප‍්‍රාන්තයේ පනවා තිබූ තහනම චිකාගෝ ෆෙඩරල් උසාවියකින් නීති විරෝධී යැයි ඉවත් කළ බව ද සඳහන් කළ යුතුය. දැනට එක්සත් ජනපදයේ ප‍්‍රාන්ත රාජ්‍ය 50න් ප‍්‍රාන්ත රාජ්‍ය 40කම ගිනි අවි ප‍්‍රසිද්ධියේ ගෙන යෑම ගැන කිසිම නීතිමය බාධාවක් නැත. එවැනි වාතාවරණයක මෙවැනි කම්පා කරවන සිද්ධීන් නිතර නිතර වාර්තා වීම පුදුමයක් නොවේ. එවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදු කරන පුද්ගලයාගේ මානසික තත්ත්වය හා සටන් වටපිටාව ගැන ප‍්‍රචාරය කිරීම ප‍්‍රමාණවත් විසඳුමක් නෙවේ. ඇත්තෙන්ම එක්සත් ජනපදය තුළ ගිනි අවි භාවිතය පිළිබඳව කිසිම සීමාවක් පැනවීමට නොහැකි වන්නේ ගිනි අවි වෙළෙඳාමෙන් විශාල ලාබ උපයන සමාගම් හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටි බල කණ්ඩායම් නිසාය. ගිනි අවි නිෂ්පාදකයින් වෙනුවෙන් පෙනී සිටි එක් ප‍්‍රබල සංවිධානයක් වන්නේ ජාතික රයිෆල් සංගමයයි (National Rifle Association). මෙම සංගමය පවසන ආකාරයට එක්සත් ජනපද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි සංශෝධනය අනුව සෑම පුද්ගලයකුටම ගිනි අවියක් තබා ගැනීමට අයිතියක් ඇත. ”ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව පුද්ගලයකුට මෙම අයිතිය හිමි වන්නේ ඔහුගේ ගෙදර ගිනි අවියක් තබා ගැනීමට පමණක් නොවේ. මිනිසුන්ගේ ජීවිතවලට නිවසින් බැහැරව අනතුරක් සිදු වීමට වැඩි ඉඩක් පවතින නිසා ඔවුන්ට ගිනි අවි රැගෙන යෑමට අයිතියක් ඇත.” මේ අනුව ඕනෑම ඇමරිකන් පුරවැසියකුට තම ආරක්ෂාව සඳහා ගිනි අවියක් රැගෙන යෑම සීමා කිරීම ඔහුට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අයිතිය උදුරා ගැනීමකි. එක්සත් ජනපදයේ 7 වැනි සංචාරක අභියාචනාධිකරණයේ විනිශ්චයකාර රිචඞ් පාස්නර් ඉදිරිපත් කරන්නේ ද මෙවැනිම අදහසකි. ඉලිනුවා ප‍්‍රාන්තයේ ගිනි අවි රැගෙන යෑම සීමා කරමින් පනවා තිබූ නීතිය ඉවත් කරමින් ඔහු මෙසේ සඳහන් කරයි. ”චිකාගේ නගරයේ අනතුරුදායක ප‍්‍රදේශයක පදික වේදිකාවේ ගමන් කරන පුද්ගලයකුට පාර්ක් ටවර්හි නිවාස සංකීර්ණයක 35 වැනි තට්ටුවේ නිවසක ජීවත් වන පුද්ගලයකුට වඩා අනතුරකට ලක් වීමේ ඉඩකඩ වැඩිය.” එම නිසා තමන්ගේ ආරක්ෂාවට ගිනි අවි රැගෙන යෑම ඔහු අනුමත කළේය. ඒ අනුව අනාගතයේ දී හෝ ගිනි අවි භාවිතය සීමා කිරීමේ නීතියක් සම්මත කළ ද ඒවා කි‍්‍රයාත්මක කිරීමට ඇති ඉඩකඩ බෙහෙවින් සීමිත බව පෙනේ. ඉන් පැහැදිලි වන කරුණු දෙකකි. එකක් වන්නේ ලාබ ඉපැයීම සඳහා කුමන කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම සීමා කිරීම හෝ නතර කිරීම ඇමරිකානු සම්මතයට පටහැනිය යන්නයි. එය ගිනි අවි මෙන්ම කාලගුණික වෙනස්කම් අවම කිරීම සම්බන්ධයෙන් ද සත්‍යයකි. කාලගුණික විපර්යාස අවම කිරීම සඳහා වායුගෝලයට මුදා හරින කාබන් ප‍්‍රමාණය සීමා කිරීමේ සම්මුතියකට එක්සත් ජනපදය එකඟ නොවන්නේ එය ව්‍යාපාරිකයින්ට හා කර්මාන්තකරුවන්ට අමතර පිරිවැයක් වන නිසාය. පසුගියදා දොහාහි පැවති කාලගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සමුළුව අසාර්ථක වූයේ එක්සත් ජනපදය ඇතුළු රටවල විරෝධය නිසාය. දෙවැනිව තම රාජ්‍යයේත් ජනතාවගේත් ආරක්ෂාව සඳහා ත‍්‍රස්තවාදයට එරෙහිව ලොව පුරා සටන් දියත් කර ඇති එක්සත් ජනපදයට එරට වෙසෙන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකිය. එම නිසා සෑම පුරවැසියකුටම තමාගේ ආරක්ෂාව සඳහා ගිනි අවි තබා ගැනීමට සිදු වේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හා අධිකරණ විනිශ්චයෙන් තහවුරු කර ඇත්තේ එයයි. එහෙත් පසුගියදා කනෙක්ටිකට් ප‍්‍රාන්තයේ වූ සිදු වීමෙන් මෙන්ම ඊට පෙර නොයෙකුත් තැන්වල වූ සිදු වීම්වලින් පෙනී යන්නේ එම ප‍්‍රතිපත්ති නිසා ළමයින්, රෝගීන් ඇතුළු කිසිවකුගේ ජීවිත ආරක්ෂා නොවීමය. ආරක්ෂා වන එකම දෙය වන්නේ මහා සමාගම්වල ලාබය පමණි.
සටහන: මහින්ද හත්තක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවෙ අධිකරණය මෙහෙයවන්නේ ජනාධිපති නෙවෙයි.. ඒක නිසා දුක් වෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ..!(නු)
නාඩන් බබෝ නාඩන් මා විහිලු කළා එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තළා... (නි)
අනේ කාලේ වනේ වාසේ... (නි)
ඔබාමාටත් කොයි තරමි රාජකාරිකටයුතු තිබනවාද..... ලෝකෙටම පොලිස්කාරයා ලංකාව ගැන බලන්න ආවා.. ඒ යුද්දෙනම් දැන් ඉවරයි කියමු.. ඒ වුනත් ඉරාකය පලස්තීනය ඇෆ්ගනිස්ථානය සිරියාව ඉරානය ඉජීප්තුව ලිබියාව මෙකි නොකී මේ හැම රටක්ම බලන්නට ඒපායැ.... ඒ අස්සෙන් ඒ රටමැද්දේත් පුශ්ණ. (දී)
මදුරුකොයිල් කම්පැනි නිසා B .T .I බැක්ටීරියාව පරක්කු කරනවා වගේ වැඩක්නේ මේක (ස)
ඇත්ත දුකයි තමයි. එත් ඔබාමා මහත්තයෝ ආයේ මේ වගේ දෙයක් නොවෙන්න වැඩ කරන්න (දී)
එල්ලෙන්නට කඹේ සොයතියි ලාබයට සීමාවක් තිබේ ලෝකයෙ සැම දෙයට ඉපයීම ඉලක්කය කළහොත් අන්තයට සිදුවන දරුණු ප්‍රතිඵල මේවා අපට... (නි)