අලින්ටත් ළමයින්ටත් නලියන්නමයි හිත කියා කියමනක් ඇතත් දැඟලීමට තියා පියවරක් හෝ ඉදිරියට තැබිම නොහැකි ලෙස විලංගු දැමූ අලිපැටියක් ඉන්දුනීසියාවේ සුරයාබා සතුන් වත්තේ සිටින බව පරිසරවේදීන් චෝදනා කරති. ඔවුන් පවසන්නේ මේ සත්ත්වෝද්‍යානය ලෝකයේ නරකම සතුන්වත්ත බවයි.

විලංගු දමා ඇති අලි පැටවාගේ පසුපස පාද දෙකට හා ඉදිරිපස එක් පාදයකට විලංගු දැමිම හේතුවෙන් අලියට ඉදිරියට හෝ පිටුපසට යාමට නොහැකි වී ඇත. විලංගු හේතුවෙන් පාදවල ගැඹුරු තුවාල දක්නට ලැබේ.

සතුන්වත්තේ එක් කුඩා කූඩුවක පෙලිකන් කුරැල්ලන් 150ක් රඳවා සිටින අතර මරණාසන්න ඔටුවෙක් ද ඒ ආසන්නයේ ම දක්නට ලැබෙයි.

පොලිතීන් ආහාරයට ගත් ජිරාෆ් සතකු ද පෝමලින් යෙදූ මස් විෂ වීමෙන් සුමාත්‍රා ව්‍යාඝ්‍රයකු ද පසුගිය දිනවල මියගොස් ඇත. පරිසරවේදීන් පවසන්නේ ගතවූ මාස තුනේ දී විශාල සතුන් 50ක් පමණ මියගොස් ඇති බවයි. නිසි පරිදි කූඩු පවිත්‍ර නොකිරීමත් ආහාර නොදීමත් ඊට හේතුවී ඇතැයි මහජනතාවගෙන් නැගෙන චෝදනාවකි.