IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වියරු වැටුණු ඇමෙරිකන් සෙබළා ඇෆ්ගන් වැසියන් 16 ක් මරා දමයි

වියරු වැටුණු ඇමෙරිකන් හමුදා සෙබළකු පෙරේදා (11) ඉවක් බවක් නැතිව වෙඩි තැබීම නිසා, කුඩා දරුවන් නව දෙනකු ඇතුළු ඇෆ්ගන් සිවිල් වැසියෝ 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම අවාසනාවන්ත සිද්ධිය වාර්තා වන්නේ ප‍්‍රචණ්ඩත්වය රජයන දකුණු දිග ඇෆ්ගනිස්තානයේ කන්දහාර් ප‍්‍රාන්තයට අයත් පන්ජවායි දිස්ති‍්‍රක්කයේ ඇල්කෝසායි නමැති ගම්මානයේදීය. පන්ජවායි දිස්ති‍්‍රක්කය යනු ඇෆ්ගන් තලේබාන් සටන්කාමීන්ගේ නිජ භූමියයි. ඇමෙරිකන් සෙබළුන් කණ්ඩායමක් පෙරේදා අලූයම දෙකට පමණ පන්ජවායි දිස්ති‍්‍රක්කයේ ඇල්කෝසායි ගම්මානයට පැමිණ එහි සෑම නිවසකටම බලහත්කාරයෙන් ඇතුළු වී තලේබාන් සටන්කාමීන් සිටිත් දැයි සෝදිසි කළ බව ගැමියෝ පවසති. එම සෙබළ කණ්ඩායමේ සිටි සෙබළකු හිටිහැටියේම වියරුවෙන් මෙන් සිවිල් වැසියන්ට වෙඩි තබා ඇත්තේ එම සෝදිසි මෙහෙයුම අතරතුරේදීය. ඔහු නිවාස තුනකට කඩා වැදී වෙඩි තබා ඇත. පළමු නිවසට කඩා වැදී ඔහුකළ වෙඩි තැබීමේදී 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගිය පිරිස අතර කාන්තාවෝ තිදෙනෙක් ද සිටිති. සෙබළා වහා අත්අඩංගුවට ගැනීමට හමුදාව කටයුතු කර ඇත. ඔහු හමුදා භට ඛණ්ඩ භාර සාජන්ට්වරයකු බවත්, විවාහකයකු මෙන්ම දියණියන් තිදෙනකගේ පියකු බවත් වාර්තා වේ. තමා සිදු කළ ඝාතන ගැන පසු තැවෙමින්  සෙබළා පසුව හමුදාවට යටත් වූ බව ඇතැම් විදෙස් පුවත් සේවාවලින් වාර්තා විය. සෙබළාගේ අනන්‍යතාව හෙළි වී නැති අතර ඔහු ඉරාක යුද්ධයට ද සම්බන්ධ වූවෙකැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. එහෙත් ඔහු ඇෆ්ගනිස්තානයේ හමුදා සේවයට පැමිණි පළමු අවස්ථාව වී ඇත්තේ මෙය යැයිද වාර්තා වේ. මේ සෙබළාට තවත් සෙබළුන් තිදෙනකුගේ සහාය ලැබුණු බව ගම්වැසියෝ පවසති. එහෙත් ඇමෙරිකා හමුදාව අවධාරණය කර ඇත්තේ එම සිදුවීමට සම්බන්ධ එක් සෙබළකු පමණක් බවය. මේ වෙඩි තැබීමෙන් තවත් සිවිල් වැසියන් බොහෝ දෙනකු තුවාල ලැබූ බවත් ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමීන් සමඟ සටන් වදින නේටෝ හමුදාවේ ප‍්‍රකාශකයෙක් පැවැසීය. ඝාතන සිද්ධිය සැලවීමත් සමඟ ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි ඇමෙරිකා හමුදාවටත් ජනපති ඔබාමාටත්  තදින් දොස් පැවැරූ බව කාබුල් නුවරින් වාර්තා වේ. මේ සිද්ධියෙන් තමන් දැඩි ලෙස කම්පනයට පත් වූයේ යැයිද ඇෆ්ගන් ජනපතිවරයා පවසා ඇත. මේ ඝාතන ඉතා ‘අවාසානාවන්ත සිද්ධියක්’ යැයි පවසමින් කනගාටුව පළ කිරීමෙන් පළක් නොවන බව ද ජනපති කර්සායි ඇමෙරිකාවට දොස් පවරයි. ඇමෙරිකා ජනපති ඔබාමා ජනපති කර්සායිට දුරකතනයෙන් අමතා පවසා ඇත්තේ සිද්ධිය ගැන තමා දැඩි ලෙස කනගාටුවන බවත් ඒ ගැන ඇමෙරිකා රජය ඇෆ්ගන් රජයෙන් සහ සිවිල් වැසියන්ගෙන් සමාව ඉල්ලන බවත්ය. කෙසේ නමුත් මේ වනවිට හමුදා අත්අඩංගුවේ පසුවන ඇමෙරිකන් සෙබළාට නීති මගින් කටයුතු කර දඬුවම් ලබා දීමක් ගැන ඇමෙරිකා හමුදාව හෝ ජනපති ඔබාමා හෝ  කිසිවක් ප‍්‍රකාශ කර නැත. ඇමෙරිකාව පවසා ඇත්තේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන බව පමණි. ඇමෙරිකා සෙබළුන් වියරු වැටී සිවිල් වැසියන් ඝාතනය කළ පළමු අවස්ථාව මෙය නොවේ යැයි විදෙස් පුවත් සේවා මතක් කර දෙයි. ඇමෙරිකා සොල්දාදුවා සිවිල් වැසියන් ඝාතනය කිරීම ද තලේබාන් සංවිධානයේ දැඩි කෝපයට හේතු වී ඇති අතර ඔවුන් ඊයේ (12) අනතුරු ඇඟවීමක් කළේ ‘මනස විකෘති වූ ඇමෙරිකන් තිරිසනුන්ට’ හොඳ පාඩමක් උගන්වන බවටය. මේ අතර ඇමෙරිකන් සෙබළා සිදු කළ ඝාතනයට විරෝධය පළ කරමින් ගම් වැසියන් සියයකට ආසන්න පිරිසක් ඊයේ  ඇල්කෝසායි ගම්මානය අසල පිහිටි ඇමෙරිකන් හමුදා කඳවුර ඉදිරිපිට රැස්ව සිටිනු දකින්න ලැබුණි. ඇල්කෝසායි ඇමෙරිකන් හමුදා කඳවුර ඉදිරිපිට රැුස්ව සිටින ගම් වැසියෝ සෙබළාගේ වෙඩි පහරින් මියගිය තම සිඟිති දියණියන් දෙදෙනා වෙනුවෙන් කම්පාවන පියෙක්



අදහස් (0)

වියරු වැටුණු ඇමෙරිකන් සෙබළා ඇෆ්ගන් වැසියන් 16 ක් මරා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 190 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site